ධම්මගුත්තික
බෞද්ධ භික්ෂු නිකායකි. දීපවංස, මහාවංස යන ලාංකේය වංශකථාවන්හි දැක්වෙන පරිදි දෙවැනි ධර්මසංගායනාවෙන් පසු බෞද්ධ භික්ෂූන් අටළොස් නිකායකට බෙදී ගියහ. ඒ අතරින් ධම්මගුත්තික නිකාය අයත් වනුයේ ථෙරවාදී කොටසටයි. ධම්මගුත්තික, (පාලි) ධම්ගුප්පක, (සංස්) ධර්මගුප්ත නමැති ආචාර්ය්යවරයෙකු විසින් ආරම්භ කරන ලද බැවින් එනමින් ප්‍රකට වූ බව පැවසේ. සුවර්ෂක යැයි අපර නාමයන් ද දක්නේ ය.
මහාචාර්ය වින්ටර් නීට්ස් සඳහන් කර ඇති පරිදි සර්වාස්තිවාදීන්ගේ ප්රාතිමෝක්ෂ සූත්‍රය සහ තවත් විනය පිටකයට ග්රන්ථ කොටස් කිහිපයක් මධ්‍ය ආසියාවේ නැගෙනහිර තුර්කිස්තානයෙන් සොයාගෙන තිබේ. මෙම පෞරාණික ග්රන්ථ කොටස් විමර්ශනය කිරීමේ දී අනාවරණය වූයේ සර්වාස්තිවාදීන්ගේ මෙන් ම මහීසාසක, ධර්මගුප්තක, මහාසාඞ්ඝික යන නිකායිකයින්ගේ ඉගැන්වීම් ථෙරවාද විනය පිටකය හා සමාන්තරතා දුටුව හැකි බවයි. (A History of Indian Literature. M. Winterhitz. p. 233)
ඉන්දියාවේ උද්‍යාන දේශයෙහි සුභවස්තු නම් ගංගාව ආශ්රිත ප්‍රදේශයෙහි සංඝාරාම 1,400ක් පමණ පැවැති බවත් සර්වාස්තිවාදී, ධර්මගුප්තක, මහීසාසක, කාශ්‍යපීය, මහාසාඞඝික යන නිකායිකයන්ට ඒවා අයත් වූ බවක් සියං එං සියෑංගේ දේශාටන වාර්තාවේ සඳහන් වේ. භාරතයෙන් රැගෙන ගිය ධර්මගුප්තක නිකායට අයත් පොත් 42ක් චීනයේ හොංඵු මහාවිහරායේ තැන්පත් කළ බව ද එම වාර්තාවේ වැඩි දුරටත් සටහන් වී ඇත.
වසුමිත්‍රගේ වාර්තාවනට අනුව ධර්මගුප්තක නිකාය ප්‍රභව වූයේ මහීසාසකයන්ගෙනි. ථෙරවාදී විනය අටුවාවන්හි මහීසාසාකයන්ගේ සහ ධර්මගුප්තකයන්ගේ විරුද්ධ මත සාකච්ඡාවට භාජනය වී ඇත. චීන මූලාශ්‍ර ඇසුරෙන් ධර්මගුප්තකයන්ගේ ප්රභවය පිළිබඳ ව සිය 'Le concile de Rajagrah' නම් කෘතියෙහි මහාචාර්ය්ය පර්සිලුස්කි (Prazyluski) සාකච්ඡා කර ඇති බව මහාචාර්ය නලිනාක්ෂදත් පවසයි. (Buddhist Sects in India . p. 130)
නන්ජියෝ ග්‍රන්ථමාලාවේ අංක:680 යටතේ සඳහන් වන 'බුද්ධ පූර්වචර්යා සඞග්‍රහ සූත්‍ර' යන ග්‍රන්ථය ධර්මගුප්තකයන්ගේ නිර්මාණයක් බව මහාචායඥා එඩ්වර්ඩ් ජේ. තෝමස් සඳහන් කරයි. (The History of Buddhist Thought p. 281) එහි සැකැස්ම 'මහාවස්තු' කෘතියට වඩා සතුටුදායක වන අතර ම පාලි විනය ග්රන්ථයන්ට වඩාත් සමීප වන බව ද තෝමස් වැඩිදුරටත් පැහැදිලි කරයි. විනය කෘතිවල මෙසේ සමානතා පෙනී ගියත් ධර්මගුප්තයන්ගේ සහ ථෙරවාදීන්ගේ අභිධර්ම ග්රන්ථයන්හි බොහෝ විෂමතා දක්නට ඇත. විනය ග්රන්ථ මෙම නිකායිකයන් එක්ව සිටීමේ දීත් අභිධර්ම කෘති වෙන් වී යාමෙන් පසුවත් නිර්මාණය කරන්නට ඇතැයි මෙම සාක්ෂ්‍ය අනුව නිගමනය කළ හැකිය. 'අවදාන' වැනි සමහර සාහිත්‍ය කොටස් නිර්මාණයේ දී සර්වාස්තිවාදීන් සමඟ ධර්මගුප්තකයන් ද මූලික බව තොමස් නිගමනය කරයි.
නන්ජියෝ ග්රන්ථ මාලාවේ අංක:1117 යටතේ දැක්වෙන විනය ග්‍රන්ථය ධර්මගුප්තකයන්ගේ කෘතියකි. මෙම නිකායික මත දැනගැනීමට ඇති වැදගත්ම මූලාශ්‍රය මෙම ග්‍රන්ථයයි. 'අභිනිෂ්ක්රමන සූත්‍රය' ද ඔවුන්ගේ නිර්මාණයක් ලෙස සැලකේ. ක්‍රි.ව. 280 දී පමණ එය චීන භාෂාවට පරිවර්තනය කර ඇත.
අශෝක අධිරාජයාගේ ධර්මදූත පිරිස් අතරින් අපරන්ත දේශයට වැඩම කළ යෝනක ධම්මරක්ඛිත තෙරුන් ධර්මගුප්තක නිකායයේ ආදිකර්තෘ ධර්මගුප්ත තෙරුන් ම විය හැකි යැයි මහාචාර්ය පර්සිලුස්කි අනුමාන කරයි.
(කර්තෘ: කහපොල සුගතරතන හිමි)
(සංස්කරණය නොකළ)