ධර්මසේන හිමි
ධර්මසේන හිමි කීර්තිධර සිංහල ලේඛකයන් අතර ප්රමුඛ ස්ථානයක් හිමි කරගන්නා යතිවරයෙකි. 13 වැනි සියවසෙහි 11 වැනි පැරකුම්බා රජ දවස 11 වැනි ධර්මකීර්ති මා හිමියන් විසින් රචිත, නිකාය සංග්රහයෙහි “... එසේම ශ්ලෝක සිද්ධාර්ථය, සාහිත්‍ය විල්ගම්මුලය, අනුරුද්ධය, දීපංකරය, මයුරපාදය, ධර්මසේනය යනාදී ස්ථවිරයන් හා ශූරපාදය, ධර්මකීර්තිපාදය, ධීරනාගපාලය, රාජමුරාරිය, ආගමචක්රවර්තිය, පරාක්‍රම පණ්ඩිතය යනාදී වූ ගෘහස්ථ පණ්ඩිත ජනයෝ ධර්මානුගත ශ්ලෝක ප්‍රබන්ධ හා විචිත්‍රාර්ථ ප්‍රකාශ වූ සන්න ගැටපද හා නොයෙක් ධර්ම ව්‍යාඛ්‍යාන ඉපැදැවූහ...” යනාදී වශයෙන් සඳහන් ගත්කතුවර නාම ලේඛනයට අයත් වන 'ධර්මසේන' හිමියන් අන් කෙනෙකු නොව, උන්වහන්සේ ම යැයි විශ්වාස කෙරෙයි. එහි ලා ධර්මසේන යතිවරයන්ගේ නම දඹදෙණි අවධියෙහි විසූ මයුරපාද හිමියන්ගේ නමට අනතුරුව යෙදී ඇත්තේ, ඊට සමකාලීන ව හෝ පශ්චාත් කාලීන ව හෝ ජීවත් ව සිටි නිසා යැයි ඇතැමෙක් නිගමනය කරති. ඒ හැර උන්වහන්සේ අයත් කාලය පිළිබඳ නිශ්චිත අදහසක් ඇති කර ගැනීමට අන් වැදගත් තොරතුරක් නොලැබෙයි.
ලේඛකයෙකු වශයෙන් ධර්මසේන හිමියන්ගේ ශ්‍රේෂ්ඨත්වය විදහා පෙන්වන ග්‍රන්ථය සද්ධර්මරත්නාවලියයි. එහි අවසානයෙහි දැක්වෙන “සද්ධම්මටඨිතිමිච්ඡනෙතා - ධම්මසෙන යතිසසරො අකාසි පවරං එතං - සද්ධම්මරත්නාවලිං” (1032 පිටුව) සද්ධර්මරත්නාවලිය කළේ යයි යන සඳහනෙන් ඒ බව ඉඳුරා පළවෙයි. එහෙත් එහි “ධර්මසේන යතීඕවර වූ මම...කළෙමි”යි නොකියා ධර්මසේන යතීශ්වර තෙමේ (යතිස්සරො)...කළේ ය (අකාසි)”යි කියූවෙන් ඒ ගාථාව එතුමන් අතින් නොව අනිකකු අතින් ලියැවුණැ කැයි ඇතැමෙක් සිතති. ඒ කෙසේ වුව රත්නාවලී කතුවරයා ධර්මසේන හිමියන් බව නිගමනය කිරීමට එය බාධාවක් නොවෙයි. ධර්මසේන හිමියන් වැඩ විසූ තැනක් හෝ එතුමන් පිළිබඳ අනු තොරතුරක් හෝ තිර ලෙස දැන ගැනීමට පිහිට කොට ගත හැකි වක්‍ර හෝ සාධකයක් නොවීම පිරිමැසිය නොහැකි පාඩුවකි. එතුමන්ගේ ශක්‍යතා ආකල්ප ආදී වත-ගොත ගොඩ නගා ගැනීමට සිදු ව ඇත්තේ උක්ත සද්ධර්මරත්නාවලියේ අන්තර්ගත ඇතැම් කරුණු ඇසුරින් මැයි. උන්වහන්සේ සද්ධර්මරත්නාවලියේ ලියා ඇත්තේ ඇතැම් පැරණි ගත්කතුවරුන් මෙන් කිසියම් ප්රභූවරයෙකුගේ හෝ එවැන්නකුගේ චිත්තාරාධනය පිණිස හෝ නොවෙයි. පූජාවලිය, සිදත් සඟරාව ආදී ග්රන්ථ රචනා කළ සමකාලීන ගත්කතුවරුන් මෙන් ධර්ම ශාස්ත්‍රයෙහි නියැලුණු එසේ ම එසේ නියැලුනවුනට අනුග්‍රහ දැක්වූ 11 වැනි පැරකුම්බා නිරිඳු ගැන හෝ තත්කාලීන අනෙක් ඇමැත්තකු, වියතකු ගැන හෝ කිසිදු සඳහනක් ස්වකීය ග්රන්ථයෙහි ඇතුළු කරලීමට සිත් නොයෙදන ලද්දේ ඔවුන්ගේ පිහිට හෝ ඇසුර මහත් කොට නොතැකූ නිසා විය හැකි ය. ග්‍රන්ථාරම්භයෙහි ම දැක්වෙන “එසේ හෙයින් යම් කෙනෙක් නුවණ මඳ වන් කුසලච්ඡන්දය ඇති ව ධර්මාභියෝගයට උපදෙස් ලදින් බණ දැන පින්කම හැසිර නිවන් සාධා ගනිත් නම් එසේ වූ සත්පුරුෂයන්ට වැඩ සඳහා සද්ධර්මරත්නාවලී නම් වූ ප්‍රබන්ධයක් කරම්හ” (2 පිටුව), “නුවණ නමැති ඇස්හි මොහ නැමැති පටලය නැති කොට නුවණැ’ස අඳුරු හැර, කුසල් මහවතට බැස නිවන් පුරයට සුවයෙන් යා යුතු” (2 පිටුව), “නිවන් පුර වදනවුන් අතුර සැතපෙන්නට සද්ධර්මරත්නාවලී නැමැති ශාලාව සරසමු” (3 පිටුව) ආදී සඳහන්වලින් හැඟෙන්නේ සාමාන්‍ය ජනයාගේ ධර්ම ඥානය වර්ධනය කිරීම හා ඔවුනට යහ මඟපෙන්වීම එතුමන්ගේ පරමාධ්‍යාශය වූ බව ය. මේ වූ කලී ධර්මසේන හිමියන්ගේ නිහතමාන සිතුම් මගත් අදීන ජීවන පිළිවෙතත් පිළිබිඹු කරන්නක් විය හැකි ය. නිබඳව පොදු ජනයා වෙත සිත් සතන් නැමී පැවැතිය ද උන්වහන්සේ ත්‍රිපිටකධාරී පඬිවරයෙකු වූහයි කියැවේ. එසේ ම ස්වකීය ධර්මධරභාවය නිසා ම සමකාලීන වියතුන් අතර ඉමහත් කීර්තියක් දිනාගැනීමට සමත් වූ බව ද කියැ වේ. සද්ධර්මරත්නාවලිය අවසානයේ, "ධම්මසෙස්නවතො ථවා යසවතො - ධමෙමන ධම්මධජො, පුණ්ණින්දුජජුති ධම්මසෙන ඉති සො - ථෙරො මහා විස්සුතො, තෙජං සො සුචිරං තිපටෙකධරො - සාධුහි සම්භාවිතො, සෙනෙසා රත්නාවලී චිරච්තා - සධම්මව ං සුබහවා" (1032 පිටුව) යනුවෙන් උන්වහන්සේ විසින් කරනු ලබන ප්‍රකාශය අතිශයෝක්තියක් නෙවන බවට ඒ තුළ ම අන්තර්ගත කොට ඇති පෘථුල ධර්ම ඥානය ම දෙස් දෙයි.
ධර්මසේන හිමියන් සදධර්මරත්නාවලිය තුළ ප්‍රදර්ශනය කොට ඇති අපූර්ව ස්වීයත්වය පැරණි ලේඛකයන් අතර සුවිශේෂ ස්ථානයක් හිමි කර ගැනීමට හේතු වී තිබේ. ග්රන්ථ සම්පාදනය කර ගැනීම සඳහා උන්වහන්සේ විසින් මූලාශ්‍රය කොට ගන්නා ලද්දේ බුද්ධඝෝෂ මා හිමියන්ගේ “ධම්මපදට්ඨ කථා” නම් වූ අටුවා ග්‍රන්ථයයි. එසේ ද වුව මිලින්ද පඤහ, දීඝනිකායටඨ කථා, සුත්තනිලාතටඨ කථා යනාදියත් බුද්ධවංශය හා එම අටුවාවත් යෝග්‍ය පරිදි ඇතැම් තන්හි ඇසුරට ගෙන ඇති බව ද පැහැදිළි වෙයි. කථා වස්තු තෝරා ගැනීමේ දී වුව උන්වහන්සේ සම්ප්‍රදායික පරිවර්තන මඟින් බැහැර ව කටයුතු කළ බව මෙයින් පෙනෙයි. “පාලි ක්‍රමය අතහැර අර්ථ පමණක් ගෙන” (2 පිටුව) යථෝක්ත මූල ග්රන්ථවලින් උපුටාගත් කථාවස්තු ඉදිරිපත් කිරීම උන්වහන්සේගේ අභිමතය විය. පෙළ ගත් එපරිද්දෙන් ම පෙරළා දැක්වීමේ ගානුගතික ක්‍රමය හෙවත් යථෝක්ත පාලි ක්‍රමය නොසලකා හැර මෙසේ අදීන පිළිවෙතක් අනුගමනය කිරීම උන්වහන්සේගේ රචනා මාර්ගයෙහි විශේෂත්වය ලෙස හඳුනාගත හැකි ය. පාලිය ඇසුරු කොට ගත් නිපැයූ අනෙකුත් පැරණි සිංහල ගත්කතුවරුන්ට වඩා ධර්මසේන හිමියන් මෙරට ශ්‍රාවක පාඨක ජනයා කෙරෙහි සමීපවීමට මෙය හේතු වූවා නිසැක ය. පෙළ පොතෙන් කවර කථා පුවතක් වුව ගෙන හැර දැක්වීමේ දී එහි ආගන්තුක බව සටහන් වන පරිදි දේශීය මුහුනුවර ගැන්වීමට ජනවහරින් පෝෂිත උපමා, පිරුළු ආදියත් විවිධ විස්තර කථනයන් නිසි සේ ගැළපීමට උන්වහන්සේ දක්වා ඇත්තේ විස්මයජනක කුසලතාවකි. අදාළ මූල ග්රන්ථ හා සසඳමින් ගුරුළුගෝමීන් කළ අමාවතුරත් ධර්මසේන හිමියන් කළ සද්ධර්ම රත්නාවලියත් විමසීමෙන් මේ බව වඩාත් අවබෝධ වේ. මේ නිසා සැබවින්ම සද්ධර්මරත්නාවලිය කියවන්නෙකුගේ සිත තුළ ධර්මසේන හිමියන් පිළිබඳ ව මැවෙන්නේ ගැමියන් ඉදිරියේ රස ගන්වමින් චතුර ලෙස කතන්තර කියන වැඩිහිටි ගැමියෙකුගේ චිත්රයකි.
සද්ධර්ම රත්නාවලියෙන් නිරූපණය වන ධර්මසේන හිමි පොතපතින් ලත් පාණ්ඩිත්‍යයට වඩා පොදු ජන ජීවිතයේ දුක් දොම්නස් මිදීමෙන් හා වටහා ගැනීමෙන් ලත් බහුශ්රැතභාවයක් ඇත්තෙකි. විවිධ ජීවත ගැටලුවලට මැදි වූ මිනිසුන් කෙරෙහි මධ්‍යස්ථ වූ ද උපේක්ෂා සහගත වූ ද දෘෂ්ටියකින් නිරීක්ෂණය කිරීමට උන්වහන්සේ සමත් වී ඇති අයුරු එහි එන බොහෝ ප්රවෘත්ති විවරණය කරන විලාසයෙන් පැහැදිලි වෙයි. වස්තු තෘෂ්ණාව විසින් දැරූ ප්‍රේමය යටපත් කරන කල්හි අසරණ වූ අදින්න පුබ්බක වැනි බමුණන් කෙරෙහි ද (මට්ටකුණ්ඩලී වස්තුව) කුල ධර්මයට එරෙහි ව යමින් වරදෙහි බැඳෙන පටාචාරාව වැනි කාන්තාවන් කෙරෙහි ද (පටාචාරා වස්තුව) කුසීතකම හා මෝහය නිසා ගැහැටට පත්වන ථුල්ලතිස්ස වැනි භික්ෂූන් කෙරෙහි ද (ථුල්ලතිස්ස වස්තුව) රාගයෙන් මඩනා ලදුව පරදාර ධර්මයෙහි ඇලී එහි ආදීනව විඳින ඛේම වැනි මානවකයන් කෙරෙහි ද (ඛේම නම් උපාසකයන්ගේ වස්තුව) තෘෂ්ණා චෛතසිකයන්හි බලවත්කම නිසා තම සිත් තුළ උපන් රහස් ආසා හෙළි කළ නොහී දුක් ඉවසන මච්ජරිය කෝසිය වැනි සිටුවරුන් කෙරෙහි ද (මච්ජරියකෝසිය සිටාණන්ගේ වස්තුව) රස බොජුන්හි බැඳි ලෝභයෙන් අනුනට බැලමෙහෙ කරන බත් බැළයා වැනි මිනිසුන් කෙරෙහි ද (සුඛ සාමනේර වස්තුව) හෙළන උපේක්ෂා සහගත දෘෂ්ටිය ජීවිත අත්දැකීම් කෙරෙන් උන්වහන්සේ ලැබ තිබූ පරිණතභාවය විදහා දක්වයි. විවිධ දුර්වලකම්වලින් යුතු මේ කවර පුද්ගලයෙකු කෙරෙහි හෝ කෝපයක්, පිළිකුලක්, නුරුස්නා බවක්, පළ නොකරන උන්වහන්සේ සාධාරණ ව මැදිහත් ව දයානුකම්පාවක් ම පළ කරති. ලේඛකයෙකු වශයෙන් උන්වහන්සේ ප්‍රදර්ශනය කරන මේ මහඟු ලක්ෂණය උසස් කොට සැලකිය යුත්තකි.
සද්ධර්ම රත්නාවලිය තුළ පිළිබිඹු වන ධර්මසේන හිමියන්ගේ කවීත්වය බොහෝ සෙයින් ම ගැමියන්ගේ දිවි පෙවෙතෙන් ලත් අත්දැකීම්වලින් පෝෂණය ලැබූවකි. එතුමන් නගරයෙහි නොව, ගමෙහි ඉපිද එහි ම වැඩුණු කෙනෙකැයි යන ඇතැමුන්ගේ කල්පනාවට ද එය හේතු වී තිබේ. ගොවි ජීවිතය පිළිබඳ ව උන්වහන්සේ තුළ පැවැති අවබෝධය බොහෝ අවස්ථාවලදී ම පළවෙයි. දේවදත්ත වස්තුවෙහි එන “පළමු කොට කුඹුරු ගෙවඩිය යුතු ය, ඉක්බිති බිම් නැගිය යුතු ය, පසුව දෙසී සෑව යුතු ය, මියර කොටිය යුතු ය, තැන් සී සාන්ට යුතු ය, කැට තලා පෝරු ගෑ යුතු ය, කලල්ලම් බැන්ද යුකු ය, ඉස්නන් තෙමිය යුතු ය, දිය බැන්ද යුතු ය, ගොයම් රෝගයට කෙම් කළ යුතු ය, ගොයම් පැසී ගිය කලට ද මැඩ වී අටු කොටුවල ලිය යුතු ය, පෙරළා හිපනැ සී සෑව යුතු ය, දවා හෙළි කටයුතු ය, වපුළ පුතු ය, මාස් සමයත් මෙලෙස ම කටයුතු ය යනාදීන් හවුරුදු පතා කළ මනා කර්මාන්තයෙහි නියමයක් නැති කොට කීවා අසා...” (151-152 පිටුව) යනාදී විස්තරය ගොවිකම හා සම්බන්ධ කුදු-මහත් තතු උන්වහන්සේට බෙහෙවින් හුරුපුරුදු බව හෙළි කරන සාධකයකි. ඇතැම් දහම් කරුණු පැහැදිළි කිරීමට යාමේ දී ද එකී ගොවි දිවියේ තතු ම එතුමන්ගේ සිතතුළට පිවිසෙන අයුරු චක්ඛුපාල වස්තුව, මිත්‍ර දෙනමකගේ වස්තුව වැනි කතා පුවත් විමසීමේ දී පැහැදිළි වෙයි.
මෙරට ගැමියාගේ සිනහව, කඳුල, ජීවය කොට ගත් ව්‍යවහාර භාෂාව සිංහල පද්‍ය රචනාව සඳහා නොපැකිල යොදා ගනිමින් ඊට නව මුහුණුවරක් දීම සඳහා ගෙන ඇති ප්රයත්නය අතින් ධර්මසේන හිමියෝ අන් සියලු ලේඛකයන් අබිබවා ඉදිරියෙන් සිටිති. සද්ධර්මරත්නාවලියේ ලා යොදා ගන්නා ලද එකී බසත් රීතියත් වඩාත් කැපී පෙනෙනුයේ ගද්‍ය-පද්‍ය සාහිත්‍ය කෙරෙහි සංස්කෘතයේ ආභාසය වඩාත් ලැබෙමින් තිබුණු අවදියක ලියන ලද හෙයිනි. පාලිය, සකුව, හුදු හෙළුව පමණක් නොව, ද්‍රවිඩ ආදීයෙන් ගත් වචනත් ගැමි ජන වහර හා සංකලනය කොට තනා ගත් යථෝක්ත සුවිශේෂ ව්‍යවහාරය උන්වහන්සේගේ නිර්මාණ කුසලතාවට නිදසුන් කළ යුත්තකි. වස්තු වර්ණනයේ දී උන්වහන්සේ විසින් බහුල වශයෙන් උපයෝගී කර ගන්නා භාව පූර්ණ උපමා හා පිරුළු තුළින් ගැමි-නගර, උස්-පහත්, වියත්-නොවියත් ආදී ප්‍රභේදවලින් තොර සමස්ත ජනසමාජයත් එහි සිරිත්-විරිත්, ඇදහිලි, ආකල්ප ආදියත් ඉර-හඳ, කඳු-හෙල්, ගස්-වැල් ආදියෙන් ද කුදු-මහත් සතා සතුන්ගෙන් ද සමන්විත අපරිමිත සොබාදහමත් එහි පැවැත්මත් ඇසුරින් එතුමන් විසින් උකහා ගන්නා ලද ඥාන සම්භාරය විදුරු මිණක් සේ විනිවිද දිස් වෙයි. එබඳු සිය ගණනක් යෙදුම් අතුරෙන් කිහිපයක් මේ ය: “අකුරු ලියන සේ නොදන්නා කෙනෙකුන් පත්වල ඉරි හඳුනා සේ" (46 පිටුව), "මේ වරහි අඩු වැඩි දන්නා කෙනකුන්ට කියන මේවරක් මෙන්" (76 පිටුව), "රඟ මඩුල්ලක සරමාට්ටු පානා කෙනෙක් සේ" (447 පිටුව), "රාජ නියෝගයෙන් අනික් කෙනකුන් කරා මෙහෙවරක ගිය වුන් අත්ලස් හැර ගෙන ගිය මෙහෙවර පෙරළා ගොසින් නොකියන්නා සේ" (25 පිටුව), "ජයලත් රජක්හු සම්මැට යන යෝධයන් පටාළ ඇලයේ එළුවාක් මෙන්" (76 පිටුව), "මුදලිවරුන් අත් නොබලා ලා ලූ බත් කන්නවුන් මෙන්" (122 පිටුව), "මුදල් තිබිය දී පොලියෙන් ම ප්‍රයෝජන විදිනා සේ" (418 පි.), "යම් කෙනෙක් මඳක් වුවත් අසා ඉගෙත වෙළදාම් දන්නා කෙනෙකුන් භාණ්ඩ මූල නොනසා වෙළදාම් කරන්නා සේ" (782 පිටුව), "විරේචනයෙන් දුර්වල වූ ශරීරයක් ස්නේහ පානයෙන් සතපන්නා සේ" (22 පිටුව), ඇඹුලකින් තඹ මලකඩ නැති වන්නා සේ (49 පි.) යකඩ, වානේ තුබූ කළ දිවුණා කැපෙන්නා සේ (92 පිටුව), සෙසු ලෙසකින් ඇද නොහැරෙන දඬු ගින්නට පෑ නවා ලූ කල හැඳ හැරෙන්නා සේ (101 පිටුව) "වන ඇත්තවුනට මී විනි මස් අනුභව කරන්ට කියන්නා සේ" (555 පිටුව), "ජරාව දිරා ගොසින් මාලු වූ දෑකැත්තෙක දැති වැගිර ගියා සේ" (358 පිටුව), "යහපත් පෑයක් ගන්නට වයිති හනන්නා සේ" (55 පිටුව), "මේඝ නාද පමණකින් දැරු සම්පත් ලදින් කෙකින්නන් බලවත් ව සතුටු වන්නාසේ" (66 පිටුව), "සක්වාලිහිණියෝ දිවිහිමියෙන් දෙන්නෙක් මුත් තනි ව නො ඇවිද්ද ද එමෙන්" (55 පිටුව), "යම් සේ කුකුළෝ කෙසේ මරා නෙරීතත් ආදියෙන් ලා ලූ තැන නොපරිද්ද මෙන්" (108 පි.), "මසැයි සිතා කෑල මල් රැක ගෙන හුන් කැණහිලකු සේ" (199 පිටුව), "මවු දෙන සිටිය දී අනිත් දෙන කරා කිරට ගිය වස්සාට ඇඩෙන් පාරා විනා කිරක් ම නැත්තා සේ" (523 පිටුව), "හඳ පානට මූද වඩනා දිය සේ" (416 පිටුව), "මී හංවලින් දුනුකේ ගස් නැගෙන්නා සේ" (228 පිටුව), "පිරිමි තල් ගස තල් පල නොගන්නා සේ" (413 පිටුව).
සද්ධර්මරත්නාවලිය හැර ධර්මසේන හිමියන් අතින් ලියැවුණු වෙනත් ශ්‍රේෂ්ඨ ග්රන්ථයක් ගැන පැහැදිලි සාක්ෂි විද්‍යමාන නොවෙයි. ‘දහම් ගැට’ නම් වූ ප්‍රහේලිකා ස්වරූපය ගත් ගී පොතක කතුවරයා ධර්මසේන නම් මිහි කෙනෙකුන් බව සඳහන් වෙයි. කෝට්ටේ යුගයේ දී එයට ‘දහම් ගැට පදාර්ථ’ නමින් සන්නයක් ද ලියැ වී තිබේ. මතු පිටින් හාස්‍යය දනවන සරල අරුතකින් ද ඇතුළතින් බුද්ධිමතුනට විභාග කොට දත හැකි දහම් කරුණකින් සමන්විත ගී පනස් නවයකින් යුතු දහම් ගැටය සද්ධර්මරත්නාවලංකාර ධර්මසේන හිමියන්ගේ ම කෘතිය කැයි නිගමනය කිරීමට තරම් ප්‍රබල සාධක නොමැත. යම් ලෙසකින් එබඳු සාධක වුවහොත් උන්වහන්සේ විචිත්‍ර කාව්‍ය බන්ධන විෂයෙහි වුව කුසලතා සම්පන්න කෙනෙකුන් බව හඳුනාගැනීමට ඉඩ ලැබෙයි.
(කර්තෘ: අගුළුගහ ධම්මින්ද හිමි)
(සංස්කරණය නොකළ)