ධාතු

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

යමක් මූලික අවස්ථාව, භෂ්මාවශේෂ, බුදුරජාණන් වහන්සේ භාවිත කළ පටිය, පාත්‍රා ආදි දෙයෙහි ඉතිරි කොටස් ආදී අර්ථ සඳහා භාවිත වන වචනයකි. ඒ අනුව මෙහි අර්ථ මෙසේ දැක්විය හැකි ය.

1. ධාතු ශබ්දය නානාතර්ථවත් ශබ්දයකි.

2. දැනීමක් හෝ සත්ව පුද්ගල භාවයක් නැති වස්තු ධාතු නමි.

3. පඨවි ධාතු, ආපොධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු වශයෙන් මූලය දැක්වීම.

4. සර්වඥ ධාතු. පිරිනිවන් පා වදාළ තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් නොදැවී ඉතිරි වූ කොටස් සර්වඥ ධාතු නමි.

5. ධාතු ප්‍රාතිහාර්‍යය - කිසිම ධාතුවකට ඍද්ධි ප්‍රාතිහාර්ය පෙන්වීමේ උවමනාවක් හෝ උත්සාහයක් නැත. ධාතූන් වහන්සේලා ප්‍රාතිහාර්ය නොපාන සේක. බුදුරජාණන් වහන්සේ කිසියම් ධාතුවක් සම්බන්ධයෙන් මාගේ මේ ධාතු ප්‍රාතිහාර්ය පවත්වායි අධිෂ්ඨානයක් වූයේ නම් ඒ ධාතු එසේ කරණු ඇත. සමහරවිට දෙවියන් විසින් ද ධාතු ප්‍රාතිහාර්ය දැක්විය හැක. සැදැහැවතුන්ගේ සත්‍යක්‍රියා බලයෙන්ද ධාතු ප්‍රාතිහාර්ය පාන්නට පුලුවන.

සර්වඥ ධාතු හැඳින ගත හැක්කේ ප්‍රමාණයෙන් පැහැයෙන් සහ හැඩහුරුකමිනි.

තථාගත දේහය ආදාහන කළ ඉක්බිති ධාතු හතක් නොකැඩී නොවිසිර ඉතිරි වූ බව ධාතු විස්තරවල එයි. ඒ සප්ත ධාතුහු නම්;

1. ලලාට ධාතුව

2. දන්තධාතු සතර

3. අකුධාතු දෙක

බුද්ධ දේහයේ නොවිසිරි අවශේෂ වූ ඉහත සඳහන් සප්ත ධාතු හැර අනෙක් සියලු අස්ථි ධාතූහු මුංපියළි කඩසාල් පමණ වූ ධාතු සමන් කැකුළු පැහැබඳු ය. අබ පමණ වූ ධාතු මුතුවන් පැහැයෙන් යුක්ත ය. සත්කාර සම්මාන නොලබන ධාතූන් වහන්සේ සත්කාර සම්මාන කරන තැන්වලට වඩිති’යි මනොරථපූරණී අටුවාවේ සඳහන් වෙයි. බුදුසසුන පිරිහෙන කල්හි ලක්දිව සියලු ධාතූන් වහන්සේ රුවන්වැලි සෑයට එකතු වී එතැනින් සියලු ධාතු නාගදීපයේ රාජායතන චෛත්‍යයට වැඩ ඉන්පසු දඹදිව මහබෝමැඩ කරා වඩින බවත් නාගලෝකයේ සහ දිව්‍යලෝකයේ ද බ්‍රහ්මලෝකයේ ද ඇති ධාතුන් එහි වැඩමවා ඒ සියල්ලෙන් බුදුරුවක් මැවී දස දහසක් සක්වළ පැතිර යන පරිදි බුදුරැස් විහිදුවා නැවත ආදාහනය වී සියල්ල අතුරුදහන් වන බවත් ධාතු පරිනිර්වාණය වනතුරු එක ම ධාතු නමක් හෝ නැති නොවන බවත් සම්‍පසාදනීය සූත්‍ර අටුවාවේ සඳහන් වෙයි. බුද්ධ ශරීරය ආදාහන කළ තැනින් ධාතූන් වහන්සේලා රැස්කොට කුසිනාරා නුවරට ගෙන ගිය පසු බොහෝ දෙනා ඊට අයිතිවාසිකම් කීහ. මල්ලයෝ බුදුන් පිරිනිවියේ ඔවුන්ගේ රටේ නිසා ධාතු ඔවුන් සතු යැයි කීවෝ ය. ශාක්‍යයෝ බුදුරදුන් සම වංශයෙහි උපන් නිසා ධාතූන් වහන්සේ ඔවුන්ට අයත් වග කියා සිටියෝ ය. තථාගතයන් වහන්සේ ක්ෂත්‍රිය වංශිකයෙකු බැවින් වෙනත් රජවරු ද ධාතු උරුමය කියා පෑහ. ඔවුහු ඒ සම්බන්ධයෙන් යුද්ධයට ද සැරසුණෝය. ද්‍රෝණ බ්‍රාහ්මණයා ඔවුන්ට කරුණු කියා යුද්ධය වළකා ධාතූන් වහන්සේලා සුදුසු පරිදි බෙදා දුන්නේ ය.

දැනට පරම්පරාවෙන් පරම්පරාවට අතින් අතට එන්නේ ඒ ධාතූන් වහන්සේලා ය. ධාතු බෙදීමේ නියුක්ත වූ ද්‍රෝණ බමුණා එක් දළදාවක් සිය ජටාවේ සඟවා ගත්තේ ය. ඒ බව දුටු ශක්‍රයා ඒ ධාතු නම ඔහුට රහසින් ගෙන දෙව්ලොවට ගෙන ගියේය. ඒ බව පරිනිර්වාණ සූත්‍ර අටුවාවේ සඳහන් වෙයි.

තවද බුදුරජාණන් වහන්සේ භාවිත කළ පාත්‍රය, පටිය ආදියෙහි ශේෂ ව ගිය කොටස් පාත්‍රා ධාතුව, පටී ධාතුව ආදි නම්වලින් ව්‍යවහාර කෙරෙන අතර ඒවාට ද සැදැහැවත්හු ගෞරව කොට පින් සිදු කර ගනිති.

බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලාට අමතරව සැරියුත් මාහිමියන් ආදි රහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලා ද ධාතු නාමයෙන් ව්‍යවහාර කරන අතර ඒවාට ද සැදැහැවත්හු ඉමහත් ගෞරවයෙන් පුදපූජා පවත්වති.

(සංස්කරණය නොකළ)‍

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ධාතු&oldid=4386" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි