ධාරා නගර්
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ඉන්දෝර් දිස්ත්‍රික්කයේ පිහිටි ඉපැරණි ජනාවාසයකි, ධාරා නගර්. නර්මදා නදියට උතුරු දිගින් පිහිටි මෙය වින්ධ්‍යා කඳු වැටියට සම්බන්ධ කඳු හා ආශ්රිත නගරයකි. වින්ධ්‍යා කඳුවැටියේ උතුරු සීමාවේ සිට නර්මදා නිම්නයට පිවිසෙන දොරටුවක් හෙයින් ධාරා නගර් ඉපැරණි ඉතිහාසයක් උරුම කරගෙන ඇත. අද කපු කැටීම, අත් යන්ත්‍ර රෙදි පිළි නිෂ්පාදනය ප්‍රධාන කර්මාන්ත සේ පවතින අතර මෑතක් වනතුරු ම ඉන්දියාවේ හොඳ ම ජල සම්පාදන කටයුතු මෙහි සිදු කෙරිණි.
අශෝක රජුගේ පුවරු ලිපි කීපයක් මෙහි ඇති අතර ධාරා නගර් කෙතරම් පැරණි වැදගත් ජනාවාසයක් වී තිබුණේ දැ'යි එයින් ම පැහැදිලි වේ. ‘අසිපත් නගරය’ යන අර්ථ දෙන ධාරා නගර් ශත වර්ෂ ගණනාවක් ප්‍රධාන නගරයක් සේ පැවතිය ද එය වඩාත් ප්‍රසිද්ධියට පත් වූයේ රාජ්පුත් වංශයට අයත් පරවාර පෙළපතේ උපේන්ද්‍ර හෙවත් ක්‍රිෂ්ණරාජා විසින් සිය අගනුවර වශයෙන් එය තෝරා ගැනීමෙන් පසුවයි. එකල පරමාරයෝ ඩෙකෑනයේ රාෂ්ට්‍රකූට පෙළපතට යටත් රාජ වංශිකයෝ වූහ.
රාෂ්ට්‍රකූට ආධිපත්‍යයෙන් මිදී ස්වාධීන රාජ්‍යයක් ගොඩ නැගූ ප්‍රථම පරමාර පාලකයා පරපුරේ සත් වැන්නා වූ මුන්ජා විය. ඔහු සිය අගනුවර සේ ධාරා නගර් ම තෝරා ගත්තේ ය. ඔහුගේ පූර්වාගමික II වැනි වර්ෂ සීයක ආක්රමණික හූන සේනාවක් සමඟත් සිය පාලක බොට්ටිග්ග ප්‍රදේශයේ පාලනය ගෙන ගිය රාෂූට්රකූටයන් සමඟත් සටන් වැදී බලය තහවුරු කරගෙන සිටියේ ය. රාෂ්ට්‍රකූටයන් පැරදවීමෙන් පසු ඔහු අධිරජ විරුදාවලිය ද ගෙන තිබිණ.
මුන්ජ ධාරා නගර්හි ස්වාධීන පරමාර පාලකයා වශයෙන් 974-995 අතර විසි එක් වසක් රජ කළේ ය. මේ කාලය තුල ධාරා නගර් සාහිත්‍යයේ හා කලාවේ පෝෂණයට මූලික විය. මුන්ජ කවියකු වූ අතර ඔහු විසින් ප්‍රබන්ධ කෙරුණු කාව්‍ය අද පවා ප්‍රසිද්ධ ය. මෙරතුංග කවියාගේ ප්‍රබන්ධ චින්තාමණී කාව්‍යයේ මුන්ජ රාජ ගැන කියැවෙයි. නවසාහසාංක චරිතය රචනය කළ පද්මගුප්ත, දසරූපණ ලිවූ ධනංජය හා ඔහු සොයුරු ධනික ද මුන්ජගේ ප්රතිග්රහය ලැබූහ. රණ ශූරයකු වූ මුන්ජ ධාරා නගර් වෙත එල්ල වූ හූන හා වේදි ආක්රමණවලට සාර්ථකව මුහුණ දුන්නේ, ඔවුන් පරදවා සිය රාජ්‍යයේ ස්වාධීනත්වය රැක ගත්තේ ය. චාලුක්‍ය රජ වූ තෛල II රජු හා සය වරක් සාර්ථකව සටන් වැදුණු ඔහු හත් වැනි වර සිය ඇමතිවරුන්ගේ උපදෙස්වලට පිටු පා ගෝධාවරි නදිය තරණය කොට තෛල හා යුද වැදීමට ගොස් සතුරන් අතට පත් වූයේ, පැන යෑමට තැත් කිරීම නිසා 995 දී මරා දමන ලදි. මේ වන විට ධාරා නගර්හි කීර්තිය අසල්වාසී රාජ්‍යවල පවා පැතිරී ගියේ ය.
ධාරා නගර්හි ස්වර්ණමය යුගය උදා වූයේ පරමාර පරපුරේ භෝජි නම් රජුගේ සමයේ දී ය. 1018-1045 අතර කාලයේ ධාරා පාලනය කළ භෝජ රජුට පෙර මුන්ජගේ සොයුරු සින්ධුරාජා හෙවත් සාහසංක හූන සහ ලාට සේනා හා සටන් කළේ ය. චාලුක්‍ය පාලක චාමුණ්ඩරාජා ද 996 දී සින්ධු රාජා පැරදවී ය. එහෙත් චාමුණ්ඩ රාජා වසූරිය හේතුවෙන් මිය ගියෙන් ධාරාහි ස්වාධීනත්වය ආරක්ෂා විය.
භෝජ රජු දශක සතරක් වැනි දිගු කලක් ධාරා පාලනය කළේ ය. සටනෙහි මෙන් ම කලා නිර්මාණයන්හි ද එක සේ දක්ෂ වූ භෝජ සිය අගනුවර වූ ධාරා නගර් අලංකාර ගොඩනැගිලිවලින් හැඩ ගැන්වූවා පමණක් නොවේ. ඛේට්වා නදිය කුඩා ඇලක් ද හරස් කොට බැමි බැඳ වර්ග සැතපුම් 250ත පමණ විශාලත්වයෙන් යුත් භෝජ්පූර් වැව තැනුවේ ය. මෑතක් වන තුරු ඉන්දියාවේ පිහිටි විශාල ම වැව වූයේ මෙයයි. මෙය ප්‍රදේශයේ කාලගුණය පවා වෙනස් කිරීමෙහි සමත් වූ බව කියනු ලැබේ. මේ විශාල ජලාශය කෘෂිකර්මයේ සංවර්ධනයට ඉවහල් වූයේ ප්‍රදේශයේ, දුර්භික්ෂය දුරු කොට ජනතාව නීරෝගී වාසනාවන්ත ජනතාවක් කිරීමට සමත් විය. තාරකා ශාස්ත්‍රය හා ගෘහ නිර්මාණ ශිල්පයෙහි හසල දැනුමක් ඇත්තකු වූ භෝජ එම විෂයයන් අලලා ග්රන්ථ ගණනාවක් රචනය කළා පමණක් නොව, ඊළඟ පරපුරට මේ විශාල ඥාන සම්භාරය ලබා දීමට සරස්වතීහි සිද්ධස්ථානයක සංස්කෘත පාසැලක් ද ඇරඹී ය. මෙහි තිබුණ සංස්කෘත ව්‍යාකරණ රීති ලියවන ලද ගල් පුවරු අද ද එහි ඇති මුස්ලිම් පල්ලියක බිම අතුරා තිබෙනු දැක්ක හැකි ය. හින්දු දේවාලවල කොටස් ද යොදා භෝජගේ මාලිගය, පුස්තකාලය, සංගීත ආශ්‍රමය, රෝහල, වික්‍රම් විශ්වවිද්‍යාලය මැදි කොට පසු කල මොහම්මද් ඉබ්න් ටුග්ලුක් විසින් තනන ලද මාලිගය නරඹන්නකුට එදා භෝජ රජ දවස ධාරා නගර්හි විශිෂ්ඨත්වය කෙබඳු දැ'යි වැටහෙනු ඇත.
සම්පතින් පිරුණු ධාරා නගර් නිරන්තර සතුරු ආක්රමණවලට මුහුණ දුන්නේ ය. ඔහු හූන සහ කල්යාණියේ චාලුක්‍යයන්ගේ ආක්රමණවලට සාර්ථකව මුහුණ දුන්න ද 1060 දී ගුජරාට් සහ ඒකාබද්ධ චේදි හමුදා අබියස පරාජය විය. මෙයින් පසු රාජ්පුත්වරුන් යටතේ පැවැති මේ නගරය 1310 දී පමණ අලා-උද්දීන් ඛල්ජිගේ හමුදාවන්ට අයත් විය. දිල්ලි සුල්තානය ඝුර්වරුන්ට යටත් වූ පසු ඔවුන්ගේ ප්‍රථම අගනුවර වූයේ ධාරා නගර් ය. එය මන්ඩු වෙත ගෙන යනු ලැබුවේ ඉන් පසු වයි. 1730 දී මරාථ පාලනයට මෙය නතු විය.
දීර්ඝ කාලයක් තිස්සේ විවිධ රාජ පරම්පරා යටතේ අගනුවර හෝ ප්‍රධාන නගරයක් වූ ධාරා නගර්හි ස්මාරක සිහිවටන හෝ ගොඩනැගිලි රාශියක් අද ද පෙනෙන්නට තිබේ. භෝජ රජු තැනූ භෝජ්පූර් වැව 15 සියවස මුස්ලිමුන් විසින් විනාශ කරනු ලැබුව ද එහි නටබුන් දක්නට ලැබේ. පැරණි ජෛන විහාරයක නටබුන් මත ගොඩනගන ලද මුස්ලිම් පල්ලියක්, කමාල් මව්ලා සිහිවටනය, 13 වැනි සියවසේ ජයග්‍රහණයක් සිහි කර තනන ලද අයෝමය ස්තම්භයක් ද වේ. එහි 1598 දී අක්බාර් ධාරා නගර් වෙත පැමිණ දින 7 ක් ගත කළ බව දක්වන ලිපියක් මෙහි ලියා තිබේ. අඩි 43 (මීටර් 12.9) උස මේ ස්තම්භය දැනට කොටස් තුනකට කැඩී ඇත. නගරයට උඩින් කුඩා කඳු ගැටයක් මත මුහම්මද් ඉබ්න් ටුග්ලුක් විසින් ගොඩනගන ලද රතු වැලිගලින් නිමැ වූ බලකොටුවක් ද වේ.
ධාරා නගර් අද දුම්රිය මාර්ගයක් නිසා දෙකට බෙදී තිබේ. සරු කෘෂි බිම්වලින් යුත් ධාරා නගර් අද ද වැදගත් නගරයකි.
(කර්තෘ: සුමනා ඇල්ලේපොල)
(සංස්කරණය නොකළ)