ධුර
ධුර ශබ්දය පාලි සංස්කෘත භාෂා දෙකෙන් සිංහලයට තත්සමව ආ ශබ්දයකි. එසේ වුව ද භාෂා දෙකේ ලා මෙය යෙදෙන අර්ථ ගණන එක සමාන නොවේ. පාලියෙහි වියදඬු, තනතුරු (අධිකාර), වීර්ය, ප්‍රධාන, සමීප යන අර්ථයන්හි එය භාවිත වන අතර සංස්කෘතයෙහි විය ගහ, විය කර, නගුලිස් කෙළවර, ගැල් අත, බර, වගකීම හෝ රාජකාරිය හෝ කාර්ය භාරය, ධනය, ගිනි පුපුර, විපත, අනතුර, ඇඟිල්ල, කම්පනය, කොටස, ධනය, ගංගානම් ගඟ යන අර්ථ තුදුසෙහි එය යෙදෙයි. සිංහලයෙහි භාෂා ප්‍රයෝගයෙහි ආකාරය අනුව ඉහත සඳහන් කවර අර්ථයක හෝ එය යෙදිය හැකි වුවත් බහුල වශයෙන් භාවිත වනුයේ තනතුර, කාර්යභාරය, වගකීම, විය ගස, විය හිස, රථ ශීර්ෂය, වීර්යය හෝ පරිශ්රමය, වැඩිය යුතු හෝ පුරුදු කළ යුතු දෙය, ප්‍රධානත්වය යන අර්ථවල ය.
වැඩිය යුතු හෝ පුරුදු කළ යුතු දෙය යන අර්ථයෙන් හා කාර්යභාරාර්ථයෙන් 'ධුර' නම් වූ ශාසනික ප්‍රතිපදා දෙක මෙහි ලා විශේෂයෙන් දැක් විය යුත්තේ ය. ග්රන්ථ ධුරය සහ විදර්ශනා ධුරය යන මේ දෙකෙන් එකක් සසුන් ගත බුදු සව්වන් විසින් අනිවාර්යයෙන් ම තෝරා ගනු ලැබිය යුතු බැවින් ඒවා ඉතා වැදගත් ස්ථානයක් උසුළයි.
ග්රන්ථ ධුරය
ධර්මය අවබෝධ කර ගැනීම සහ එය අනුන්ට අවබෝධ කරවීම ශාසනාවචාර ප්රව්රජිතයකුගේ කාර්ය භාරයෝ ය. නොපැහැදුනවුන් පැහැදවීම පිණිසත් පැහැදුනවුන් වඩ වඩා පැහැදවීම පිණිසත් ධර්ම ඥානය අත්යන්තෝපකාරී වෙයි. පිටක වශයෙන් තුනක් හා ස්කන්ධ වශයෙන් අසූසාර දහසක් බුද්ධ වචනය ශ්‍රද්ධා, ප්‍රඥා දෙක වර්ධනය කිරීම සඳහාත් සත්‍ය ඥානය ඇති කර ගැනීම සඳහාත් උගත යුතු ය. ස්වාර්ථ පරාර්ථ චර්යා සඳහා ශ්‍රද්ධ ගෞරව පූර්වකව බුද්ධ ධර්මය හදාරා, එය ආචික්ඛණ, දේසන, පඤ්ඤාපන, පට්ඨපන, විභජන, උත්තානි කම්ම කිරීමට සමත්වීමේ ක්‍රියා මාර්ගය ග්රන්ථ ධුරය නම් වේ.
ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීමට පෙර එය රැකගන්නා ලද්දේ කටපාඩම් කිරීමෙනි. තම තමන්ගේ ප්‍රඥා ශක්ති ප්‍රමාණයෙන් ත්‍රිපිටක ත්‍රයයට හෝ දෙකක් හෝ එකක් හෝ එකක කොටසක් හෝ භවෝද් ගත කළ ග්රන්ථ ධුරීහු තමන් අධ්‍යයනය කළ කොටසෙහි විශාරදයන් බවට පත් වූවාහු උපපද නාමයක් හැටියට තමන් උගත් ධර්ම කොට්ඨාසයෙන් ද හැඳින්වූහ. දීඝ භාණක, මජ්ඣිම භාණක, ආභි ධම්මික, ත්‍රිපිටක වාචිස්සර ආදී වශයෙනි.
ස්වවාද සමථනය (තමන්ගේ මතය තහවුරු කිරීම) සහ පරවාද මථනය (ප්‍රතිවිරුද්ධ මතය බිඳ දැමීම) ද ග්රන්ථ ධුරීන්ගේ කාර්ය භාරයක් ලෙසින් සැලකෙන්නට වූයේ විවිධ නිකාය වාදයන් ඇති වීමත් අන්‍ය දෘෂ්ටි වාදයන් සමඟ ගැටෙන්නට වීමත් නිසා ය. නිකායවාදයන් මර්දනය සඳහා විනය ප්රමුඛ ත්‍රිපිටකයෙහි ප්‍රාමාණික වෛශ්යරාද්යයෙක් අවශ්‍ය වූ අතර, අනෙක සඳහා බාහිර ශාස්ත්රාන්තරයන් පිළිබඳ පරිණත ඥානය ද අවශ්‍ය වූයේ ය. මේ හේතුවෙන් බුද්ධ ධර්මයෙන් පිටත විද්‍යාශාස්ත්‍ර පිළිබඳ හැදෑරීමත් ග්රන්ථ ධුරයෙහි අවශ්යංගයක් බවට පත් විය.
විදර්ශනා ධුරය
කාර්ය බහුල ජීවිතයෙන් වෙන් ව, ග්‍රාමාන්ත සේනාසනයන් ගෙන් ඈත්ව අනිත්‍ය, දුඃඛ, අනාත්ම යන ත්රිලක්ෂණ භාවනාවන්හි යෙදීමේ පිළිවෙත විදර්ශනා ධුරය නම් වේ. සසරින් මිදී නිවන් අවබෝධ කර ගැනීමේ ක්‍රියා මාර්ගය මෙය වේ. සංසාරයේ සැබෑ තත්වය වටහා ගත හැකි විශුද්ධ වූ ඥානය ලැබිය හැක්කේ එමඟින් බැවිනි. කොතෙක් ග්රන්ථ ධුරය වැඩුව ද පරමාර්ථ ධර්ම ඥානය එයින් නොලැබේ. එනිසා සත්‍යාවබෝධය විදර්ශනා මාර්ගයෙන් ම අත්පත් වන්නේ ය.
ලෞකික වශයෙන් දැනුම දියුණු කර ගැනීම පමණකින් තෘප්තියට පත් වීම ශ්‍රමණ ධුරයක් නොවේ. ඒ දැනුම සත්‍යවබෝධයට පාදක කිරීමෙන් සංසාර විමුක්තියට මාර්ගය සලසා ගැනීමෙන් පමණක් ශ්‍රමණ ධර්මය සපිරෙන නිසා ග්රන්ථ ධුරය විදර්ශනා මාර්ගයක් කර ගත යුතු ය. එසේ නොවු කළ හොත්
“බහුම්පි චෙ සහිතං භාසමානො
නත කකරොහොති නරො පමතෙතා
ගොපෝ ව ගාවො ගත්සං පරෙසං
නභගවා සා මඤ්ඤස්ස හොති” යනුවෙන් කුලියට ගෙරිසරක් රකින ගොපල්ලකු බදු වනු මිස ශ්රාමන්ය ඵලයේ කොටස් කරුවෙන් නොවන්නේ ය.
(කර්තෘ: සු.බ. හේරත්)
(සංස්කරණය නොකළ)