නාගරික සභා
(Municipalitries). පළාත් පාලන ආයතන විශේෂයකි. විශාල නරගවල සහ නාගරික පළාත්වල පාලනය සඳහා නාගරික සභා යොදා ගනු ලැබේ. ඉංග්‍රීසි සහ ඇමෙරිකානු නීතියෙන් හැඳින්වන අන්දමට නාගරික සභා වූ කලී කේන්ද්‍රීය ආණ්ඩුව විසින් පිහිටුවන ලද සමායතන හා සමාන වූ උපපාලක ආයතනයෝ ය. මෙකී අර්ථ කථනය වෙනත් පළාත් පාලන ආයතන හැඳින්වීම සඳහා ද යොදා ගත හැකි ය. ඉන් නාගරික සභාවල විශේෂත්වය පෙනෙන්නේ නැත. නාගරික සභා විශේෂත්වය හටගන්නේ එය නාගරීකරණ ප්‍රශ්ණ විසඳීමෙහි ලා යොදන විශේෂතම පළාත් පාලන ආයතන වීම නිසායි. අප රටේ කොළඹ, මහනුවර, ගාල්ල, යාපනය, නුවරඑළිය යන ප්‍රධාන නගරයන්ගේ පාලනය භාර දී ඇත්තේ නාගරික සභාවන්ට ය.
කිසියම් නගරයක නාගරික සභාවක් පිහිටුවීම සුදුසු බව ප්‍රකාශ කිරීමේ බලය මහ ආණ්ඩුව සතු ය. මේ සඳහා ප්රකාශනයක් ඇති කිරීමටත්, මියුනිසිපල් සභාවේ පාලනය යටතට අසුවන පළාත සීමා නිර්ණය කිරීමටත් එයට නම් තැබීමට සහ එහි තත්ත්වය නිසියාකාර ව හැඳින්වීමටත් සම්පූර්ණ බලය ඇත්තේ මධ්‍යම ආණ්ඩුවටයි. ස්වකීය පාලනයට භාජනය වන ජනතාවගේ ශුභ සිද්ධිය සැලසෙන අයුරින් කටයුතු කිරීම වෙනත් පළාත් පාලන ආයතනයන්ගේ මෙන් ම නාගරික සභාවල ද පරමාර්ථයයි.
ජනයාගේ සෞඛ්‍ය තත්වය පවත්වාගෙන යෑම සඳහා සනීපාරක්ෂක සේවාවන් සැපයීම ඔවුන්ගේ ගමනාගමන පහසුව තකා මංමාවත් සෑදීම, කසල ශෝධක සේවාවන් සැපයීම ද වෙනත් පළාත් පාලන ආයතන මෙන් ම නාගරික සභා මඟින් නොපමාව ඉටුකළ යුතුයි. එහෙත් වෙනත් පළාත් පාලන ආයතන මෙන් නොව නාගරික සභාවල කාර්යයෝ බහුල ය. විශේෂ සේවාවන් සහ විශේෂ කටයුතු නාගරික සභා විසින් ඉටුකළ යුතු වේ. බස් නැවතුම් පොළවල් හා වෙළෙඳ පොළවල් ඇති කිරීම, විශ්‍රාම ශාලා හා පුස්තකාල නඩුත්තු කිරීම, විදුලිය බලය හා ගෑස් සැපයීම, කසල ශෝධන ක්‍රම සැලැස්වීම, නිවාස ක්‍රම ආරම්භ කිරීම සඳහා ජනයාට උපකාර ලබා දීම නාගරික සභා විසින් ඉටු කළ යුතු වූ අතිවිශාල කාර්යයන් මුළුල්ලෙන් කොටසෙකි. අපේ රටේ නගර සභා අතරෙන් ප්‍රමුඛස්ථානය උසුලන කොළඹ නගර සභාව සෞඛ්‍ය ආරක්ෂාව සඳහා නොමිලයේ ප්‍රතිකාර සලසන බොහෝ ශාලා සහ මාතෘදාරකාභිවෘද්ධි කේන්ද්‍රස්ථාන පිහිටුවා ඇත. ජනාකීර්ණ නගරවල වසංගත රෝග මර්දන ව්‍යාපාර ගෙන යෑම ද නාගරික සභා විසින් කළ යුතු වැදගත් කාර්යයකි. භෝජනාගාරයන්හි විකුණනු ලැබෙන ආහාරපානාදිය පරීක්ෂා කිරීම, මාර්කට්වල විකුණනු ලබන මත්ස්යමාංසාදිය ආහාරයට ගැනීමට සුදුසු ද නැද්ද යනු දිනපතා සොයා බැලීම, දඩාවතේ යන සුනඛයන් ආදි අහිංසක සතුන් විනාශ කිරීම, ක්‍රීඩා පිට්ටනි උයන්වතු ආදිය නඩත්තු කිරීම තවත් කටයුතු සමහරෙකි.
ජනයා අධික පෙදෙස්වල ජල හිඟය දුෂ්කර ප්රශ්නයකි. මියුනිසිපල් සභා විසින් ජල සම්පාදන ක්‍රම ඇරඹීමෙන් මේ දුෂ්කර ප්‍රශ්න විසඳා ගැනීමට ප්රයත්න දරනු ලැබේ. මහනුවර නාගරික සභාව විසින් ජල සම්පාදන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලද්දේ 1963 දී ය. කොළඹ නගර සභාවේ ජල සම්පාදන ක්‍රමය ප්‍රතිසංස්කරණය කරන ලද්දේ 1950ටත් ඉහතින් ය.
ජනයා විසිරී ඇති ගම්බද පළාත්වල ගොඩනැගිලි ඉදිකිරීම එතරම් ප්‍රශ්නයක් නොවේ.
ගොඩනැගිලි ඉදිකිරීම පරීක්ෂා කිරීමත් ඒ සම්බන්ධ නීති රීති ඇතිකර ඒවා ක්රියාවේ යෙදීමත් නාගරික සභාවේ කාර්යයකි. මුඩුක්කු ප්රශ්නය නගර සභාව විසින් විසඳිය යුතු තවත් ඉතා අමාරු ගැටළුවකි. පදික වේදිකා වෙළෙඳුන්ගේ ප්රශ්නය ද නාගරික සභාවට භාර ය. මේ කටයුතු සියල්ල ජනයාගේ ශුභ සිද්ධිය උදෙසා කරන වැඩ කටයුතු ය.
මියුනිසිපල් සභා මඟින් සැපයෙන සේවාවන් තවත් ඇත. ට්‍රොලි බස්, ට්රෑම් වැනි විදුලි රථ සේවා, ගිනි ආරක්ෂක සේවා නඩත්තු කිරීම ද නාගරික සභා මඟින් කළ යුතුයි.
මියුනිසිපල් සභාවක් විසින් කළ යුතු වූ කාර්යයන් බහුල වන්නාක් මෙන් ම මෙකී කටයුතු සැපයීමෙන් නගරවැසියන්ගෙන් ලබා ගන්නා ආදායම ද විශාල ය. අවසර පත්‍ර බලපත්‍ර නිකුත් කිරීමෙන් ගාස්තු, කුලී, වරිපනම් අය කිරීමෙන්, වැඩියෙන් ම ආදායම් බදු ගැනීමෙන් ය, නාගරික සභා ආදායම ලබන්නේ.
පළාත් ආණ්ඩු සහා ආදායම ලබන මාර්ගවලට නගර සභාවේ ආදායම් උපදවන මාර්ග සමාන වන නමුත් නගර සභාවලට ලැබෙන ආදායම ප්‍රමාණයෙන් විශාල ය. නගරවල වෙළෙඳ කටයුතු සහ බැංකු වැනි වෙනත් ව්‍යාපාර බහුල ය. ධනවත් වෙළෙඳුන් මෙන් ම උසස් රැකී රක්ෂාවල යෙදෙන්නන්ගේ සංඛ්‍යාව ද බොහෝ ය. විදුලිය බලය, ට්රෑම් ට්‍රොලී රථ වාහන පාවිච්චිය ද අධික ය. ජලය පාවිච්චි කිරීම සඳහා ගාස්තු ද විදුලි බලය පරිහරණ ගාස්තු ද නාගරික සභාවට බහුලව එකතු වෙයි. මෝටර් රථ වාහන යනාදිය පාවිච්චි කිරීම සඳහා බලපත්‍ර නිකුත් කිරීමෙන් එකතුවන ආදායම ද තවද නගරයක නිශ්චල දේපොළ - ඉඩම් ගොඩනැගිලිවල වටිනාකම් ගම්බද පළාත්වලට වඩා අධික මුදලක් නගරයක විශාලවීම නියතයි. සෑම නගර සභාවක් සතුව ම අරමුදලක් ඇත්තේ ය. මියුනිසිපල් ආඥාපනත යටතෙහි අය කෙරෙන වරිපනම් බදු, තීරු බදු, ගාස්තු, දඩ මුදල් සියල්ල ම ගෙවන ලැබෙනුයේ මෙකී අරමුදලටයි. විකිණීම් බදු ගැනීම් සහ මේ ආකාරයේ නාගරික සභාව විසින් ගන්නා වෙනත් ගනුදෙනුවලින් ලබන මිල මුදල් ද මෙකී අරමුදලට ම එකතු වෙයි. විදුලි බලය, ජලය, කසල ශොධක ක්‍රම යනාදී ජනාහිත පොදු සේවාවන් සැපයීමෙන් ද නාගරික සභාව භාරේ පවත්නා දේපොළ ඉඩම්වලින් ද ලබාගන්නා සියලු ම ආදායම් ද අරමුදලට වැටෙයි.
මධ්‍යම ආණ්ඩුවෙන් ද නගර සභාවට ආධාර මුදලක් දෙනු ලැබේ. ඒ මුදල ද තැන්පත් කරනු ලබන්නේ නාගරික සභා අරමුදලෙහි ය. නාගරික සභාවේ සේවයේ නියුක්තව සිටින නිලධාරීන් සහ වැඩකරුවන්ට ගෙවන ලද්දේත් වෙනත් සියලු ම වැය සඳහා මෙකී අරමුදල පාවිච්චි කරනු ලැබේ.
නාගරික සභාවලට මුදල් ණයට ගැනීමට පුළුවන. ණය ලබා ගැනීමේ සම්බන්ධයෙන් නාගරික සභා ලත් බලතල මෙන් ම එය කෙරෙහි ඇතිකර ඇති සීමාවන් ද නගර සභාවලටත් අදාළවන නමුදු නාගරික සභා ලබන ආදායම වැඩි විශාල හෙයින් එම සභාවල ද ණය ලබා ගැනීමේ ශක්තිය ද වැඩි ය. එහෙයින් නාගරික සභාවලට වඩාත් විශාල ණය මුදල් සොයා ගත හැකි වේ. නගර ශාලාවක මාර්කට් එකක් ඇතිකිරීමට වැනි විශේෂ කටයුත්තක් සඳහා ණය සහ සංවිධාන අරමුදල් (local loan & development fund) මාර්ගයෙන් මධ්‍යම ආණ්ඩුවෙන් ණය ගැනීමට පුළුවන්කමක් ඇත. මුදල් හා ඔඩිටර් ජෙනරාල් දෙපාර්තමේන්තුව මඟින් නාගරික සභාවල මුදල් පරිහරණය සම්බන්ධයෙන් මහාණ්ඩුව විසින් සියුම් පරීක්ෂණයක් ගෙන යනු ඇත.
නාගරික සභා වූ කලී සමායතනයේ දේශයේ ඇත්තා වූ දේපොළ සියතට ගැනීමට, තබා ගැනීමට සහ විකිණීමට බලය නාගරික සභාවලට නාගරික සභා ආඥාපනත යටතෙහි ඇත. ඕනෑ ම කෙනෙකුට විරුද්ධ ව නගර සභාවට නඩු පැවරීමට ද මේ ආඥාපනත යටතෙහි අවකාශ තිබේ. පාළු නිස්සරු ඉඩම්, ගල් ආකර, වාරිමාර්ග යන රජයේ ඉඩම් යනා දී නිශ්ඵල දේපොළ සියල්ලක් ම තිබෙන්නේ නාගරික සභාව යටතෙහි පොදු ජනයා සඳහා ඇති කරන ලද උයන්වතු, මල්වතු, මාර්කට් ගොඩනැගිලි සහ මංමාවත් සියල්ල ම ද එයට භාර ය.
මියුනිසිපල් සභාව යටතෙහි වැටෙන පළාත කොට්ඨාශ (wards)වලට බෙදනු ලැබේ. සෑම කොට්ඨාශයකින් ම එක් සභිකයකු බැඟින් තෝරා පත් කරනු ලැබේ. ඔවුන් පත්කරනු ලබන්නේ අවුරුදු තුනකට ය.
නගරාධිපති, නාගරික සභාවේ ප්‍රධාන විධායකයා ය. සභාවේ ප්‍රථම රැස්වීමේ දී සභිකයන් විසින් නගරාධිපතිවරයා පත් කරගනු ලැබේ. සභාවේ රැස්වීම්වල දී මුලසුන ගන්නේ මොහු ය. ආඥාපනතෙහි සඳහන් ව ඇති අයුරින් වර්ෂයකට සභාවේ රැස්වීම් 12ක් පැවැත්විය යුතුයි. විශේෂ කටයුතු උදෙසා සභා රැස්වීම් කැඳවීමට නගරාධිපතිට බලය තිබේ. නාගරික සභා ස්ථාවර කොමිටි සභා ගණනකට බෙදනු ලැබේ. නගරාධිපති මුදල් කොමිටියේ සභාපති ධුරය උසුලමින් එහි තීරණවල දී ඡන්දය පාවිච්චිකිරීමට ද අවකාශ ලබයි.
(කර්තෘ: එල්.එස්. ගුණසේකර: 1961)
(සංස්කරණය නොකළ)