නිග්‍රෝධාරාමය (කිඹුල්වත්පුර)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Nigrodharama – Kapilavastu). ශාක්‍ය වංශිකයන් විසින් බුදුසසුනට පූජා කළ ගෞතම බුදුරජාණන් වහන්සේ වැඩ විසූ ආරාමයකි. මෙයට 'නිග්‍රෝධ' යන නම ලැබී ඇත්තේ නුගගස්වලින් ගැවසීගත් ප්‍රදේශයක ඉදිකරන ලද්දක් බැවිනි. සම්බුද්ධත්වයෙන් වසරකට පසු බුදුරජාණන් වහන්සේ සිය පියරජතුමා, සුළු මෑණියන් ඇතුළු ඥාතීන් බැලීමට කිඹුල්වත්පුරයට වැඩම කළ අවස්ථාවෙහි ධර්ම දේශනා කිරීමෙන් අනතුරුව උන්වහන්සේට වැඩ සිටිීම සඳහා ශාක්‍ය වංශිකයන් විසින් මෙම විහාරය පූජා කරන ලදි. පුරාණ භාරතයෙහි, වත්මන් නේපාලයට අයත් මෙම විහාරස්ථානය පිහිටි භූමිය අතීතයෙහි ශාක්‍ය වංශිකයන් ජීවත් වූ ප්‍රදේශයයි. නේපාලයේ කුඩාන් ග්‍රාමයෙහි (Kudan village) දැනට මෙය පවතින අතර එය ටිලෞරකොට් (Tilaurakot) සිට කි.මි. හයක් දකුණින් පිහිටා තිබේ. මෙය පිහිටා ඇත්තේ උතුරු අක්ෂාංශ 27.528186° හා නැගෙනහිර දේශාංශ 83.040757° අතර ය.

බුදුරජාණන් වහන්සේ වෙස්සන්තර ජාතකය, චූලදුක්ඛක්ඛන්ධ සූත්‍රය ඇතුළු දේශනා කිහිපයක් මෙහි දී සිදු කර තිබේ. ඒ අතර විනය ශික්ෂා පද ගණනාවක් මෙහි දී පනවා වදාළහ. තවද මහානාම, ගෝධ, සරකානි, නන්දිය, වප්ප වැනි ශාක්‍යයන් මෙහි පැමිණ බුදුරදුන් මුණ ගැසී තිබේ. ඒ අතර බුදුරජාණන් වහන්සේ කාළිගෝධා බැලීමට වැඩම කොට ඇත්තේ ද මෙහි සිටයි. බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට පැමිණි මුල් අවස්ථාවෙහි මහාප්‍රජාපතී ගෝතමිය කාන්තාවන්ට පැවිදි වීමට අවසර ඉල්ලූ අවස්ථාවෙහි බුදුරජාණන් වහන්සේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කොට කපිලවස්තුවේ සිට විශාලා මහනුවරට වැඩම කළහ.

බුදුරජාණන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩ වසන සමයෙක ශාක්‍යයන් විසින් ඉදිකරන ලද මඟ අවන්හල විවෘත කිරීමට උන්වහන්සේ ආරාධනා ලදහ. එදින භාග්‍යවතුන් වහන්සේ මැදියම් රෑ වන තුරු ම ධර්ම දේශනා කළ අතර තවදුරටත් එම දේශනය කරගෙන යාමට මුගලන් තෙරුන් වහන්සේට පැවැරූ බව සඳහන් වේ. වරෙක නිග්‍රෝධාරාමයේ වැඩ සිටිය දී බුදුරදුන් අසනීප වූ අතර උන්වහන්සේ රෝගී තත්ත්වය සුව වන තෙක් එහි වැඩ වාසය කළහ. රෝහිණී නදියේ ජලය බෙදා ගැනීම සම්බන්ධයෙන් ශාක්‍ය - කෝලිය වංශිකයන් අතර ආරවුලක් පැනනැගුණ අවස්ථාවෙහි බුදුරදුන් නිග්‍රෝධාරාමයෙහි වාසය කළ අතර එම ආරවුල සමනයට පත් කොට ඔවුන්ට ධර්මය දේශනා කළහ. තව ද භාග්‍යවතුන් වහන්සේ නිග්‍රෝධාරාමයේ වැඩ වසන අවස්ථාවල දී ඊට සමීපයෙහි පිහිටි මහ වනයෙහි සවස් කාලයෙහි දිවා විහරණය කිරීම පුරුද්දක් ව පැවැති බව කියවේ.

අනුරුද්ධ, ලෝමසංඝිය වැනි තෙරවරු ද නිග්‍රෝධාරාමයෙහි වාසය කළහ. ආරාමය සමීපයෙහි කණ්හ නමැති ඍෂිවරයකු වාසය කළ වෙනත් ආරාමයක් ද පැවැති බව සඳහන් වේ. මෙකල බුදුරජාණන් වහන්සේ එම කණ්හ ඍෂිවරයා අරභයා කණ්හ ජාතකය දේශනා කළහ. බුදුරජාණන් වහන්සේ කිඹුල්වතට වැඩි පළමු ගමනේ දී ම චරියාපිටක හා බුද්ධවංස සැරියුත් මාහිමියන්ට දේශනා කළ බව කියැවේ. එය සම්ප්‍රදායක් බව ද සඳහන් වේ.

අනුරුද්ධ තෙරණුවන්ගේ සහෝදරියකගේ ඉල්ලීම පරිදි නිග්‍රෝධාරාමයේ දෙමහල් රැස්වීම ශාලාවක් ඉදි කෙරිණ. මජ්ඣිම නිකාය අටුවාවට අනුව කාළ - ඛේමක නමැති ශාක්‍යයා විසින් නිග්‍රෝධාරාමය අසල විශේෂ විහාරයක් සාදවා තිබේ.

නිග්‍රෝධාරාමය පිහිටි ප්‍රදේශයෙහි වත්මන්හි ස්තූපයක හා විහාර සංකීර්ණයක නෂ්ටාවශේෂ දැක ගත හැකි ය. වර්තමානයෙහි දඹදිව වන්දනාවේ යෙදෙන සැදැහැවතුන්ගේ හා සංචාරකයන්ගේ වන්දනාවට හා අවධානයට යොමුවන ස්ථානයක් බවට මෙය පත් ව තිබේ.

(කර්තෘ: උස්ගොඩ ධම්මගරු හිමි: 2024)

(සංස්කරණය නොකළ)