නීවරණ

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

නීවරණ

සිත ආවරණය කරන ධර්මයෝ නීවරණ නම් වෙති. එනම් සිතෙහි උපදනා ධ්‍යානාදි ධර්මයන් වළකාලන චිත්තගතියි. එහෙයින් ම නීවරණයෝ ස්වර්ග-මොක්ෂ දෙකට බාධක ධර්ම ද වෙති. මේ නිසා ‘නීවරණ’ ශබ්දය විග්‍රහ කරන අටුවා ඇදුරෝ ‘චිත්තං නීවරන්ති පරියොතද්ධන්තී’ති නීවරණ’, ‘ඣානාදිවසෙන උප්පජ්ජනකං චිත්තං පටිසෙධෙන්තී,ති නීවරණ’, ‘සග්ගමග්ගාවරණං නීවරණං’ යනාදිය කීහු. ‘නීවරණ’ ශබ්දය නී-වර-වරණෙ ධාතුයෙන් ‘යු’ ප්‍රත්‍ය ව සිද්ධයි. ඇවිරීම, වැළකීම, බාධා කිරීම යන අර්ථයි.

නීවරණ පසෙකි. ඔහු නම් 1. කාමච්ඡන්ද නීවරණය 2. ව්‍යාපාද නීවරණය 3. ථීනමිද්ද නීවරණය 4. උද්දච්ච කුක්කුච්ච නීවරණය 5. විචිකිච්චා නීවරණය යන මොහු ය. මෙයට අවිද්‍යා නීවරණය ද එක්කොට නීවරණ සංඛ්‍යාව සයෙකැයි ද කෙනෙක් කියති. එහෙත් අවිද්‍යා නීවරණය සෙසු නීවරණයන් හා ම එක් ව උපදනා බැවින් වෙන් කොට ගැනීම අනවශ්‍යයි.

කාමච්ඡන්දය

පස්කම් සැපතෙහි කැමැත්ත, ඇල්ම, සතුට, ආශාව කාමච්ඡන්ද නමි. සිත් අලවන රූපාදී අරමුණු ශුභ වශයෙන් සැලකීම කාමච්ඡන්දයාගේ උපැත්මට හේතු වෙයි. අශුභ වශයෙන් සැලකීම ප්‍රහාණයට හේතුයි.

ව්‍යාපාදය

අනිෂ්ට ආරම්මනයන් නිසා චිත්තය විකාරත්වයට පැමිණීම ව්‍යාපාද නම් වෙයි. පටිඝ නිමිත්ත ව්‍යාපාදයාගේ උපැත්මට හේතු වෙයි. මෙහි පටිඝයත් පටිඝාරම්මනයත් පටිඝ නිමිතියි.

ථීනමිද්දය

චිත්තයාගේ අකර්මණ්‍යත්වය (වැඩට නුසුදුසු බව) ථීනයයි. චෛතසිකයන්ගේ අකර්මණ්‍යත්වය මිද්ධයයි. මෙදෙකින් එකක් ඇති තැන අනෙක ද නිත්‍යයෙන් ම සිටුනේ වෙයි. අරතියයි කියන ලද, ප්‍රාන්තසෙනාසනයන්හි හෝ ග්‍රන්ථ-විදර්ශනා ධුරයන්හි නොඇල්මත් තන්දියයි කියන ලද අලස බවත් විජම්භිකායයි කියන ලද ඇඟමැලි කැඩීමත් බත්මතයත් චිත්තායාගේ හැකුලුණු බවත් යන මේ කරුණු ථීනමිද්දයට හේතුයි. ආර්බ්ධ වීර්යය ප්‍රහාණයට හේතුයි.

උද්දච්ච කුක්කුච්චය

සිතෙහි ඇවිසුණු ආකාරය උද්දච්චයයි. කළ වරද සිහි කොට පසුතැවීම කුක්කුච්චයයි. චිත්තයාගේ නොසන්සුන් බව උද්දච්ච් කුක්කුච්චය උපැත්මට හේතුය. සන්සුන්බව ප්‍රහාණයට හේතුයි.

විචිකිච්ඡාව

විචික්ච්ඡා යනු සැකයයි. එනම් බුදුන් කෙරෙහි, ධර්මය කෙරෙහි, සංඝයා කෙරෙහි, ශික්ෂා කෙරෙහි පූර්වන්තයෙහි, අපරාන්තයෙහි, පූර්වාපරාන්තයෙහි, ප්‍රතීත්‍යසමුප්පාද ධර්මයෙහි සැක කිරීමයි. නුනුවණින් මෙනෙහි කිරීම විචිකිච්ඡාවගේ උපැත්මට හෙතු ය. නුවණින් මෙනෙහි කිරීම ප්‍රහාණයට හේතුයි.

මේ හැර ග්‍රන්ථ හැදෑරීම, ධුතාංග ධැරීම, සමවත් ආවර්ජනා කිරීම, විදර්ශනායෙහි යෙදීම, නවකම්හි යෙදීම ආදිය ද නිවරණයන් යටපත් වීමටත් එහෙයින් ම ප්‍රහීණ වීමටත් හෙතු වෙයි.

(සංස්කරණය නොකළ)

නීවරණ

කුශලධර්මයන්ගේ ඉපදීම වළහමින් සිතට උපද්‍රව භාවයෙන් සිටුනා කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන ක්ලේශ ධර්ම සමූහය නීවරණ නාමයෙන් හඳුන්වති. “චිත්තං නිවරන්ති පරනන්ධකීති නිවරණ”යි ධම්සඟුණු අටුවායෙහි කුශල චිත්තය වළහාලන හාත්පසින් බැඳ තබන හෙයින් නීවරණ නම් වූහයි දක්වා ඇත. විභංග අටුවායෙහි ද කුශලධර්මයන් ආවරණ කිරීම් වශයෙන් නීවරණාර්ථ දක්වන ලදි. බුදුරදුන් විසිනුදු පඤ්චකංගුත්තරයෙහි “පඤ්චමෙ භික්කවෙ ආවරණ නීවරණ චෙතයො අජ්ඣාරුහා පඤ්ඤාය අබ්බලීකරණ”යි. මේ පඤ්චනීවරණයෝ කුශලචිත්තය ආවරණ කරන කුශලචිත්තය වළහන කුශලචිත්තය යට කොට නැඟී සිටුනා විදර්ශනාප්‍රඥාව හා මාර්ගප්‍රඥාව ඉපැදිය නොදී දුබල කරන ධර්මයෝ යයි වදාරන ලදහ.

එක කාමච්ඡන්ද නම් කෙත්වත්, රන් රුවන් ආදි කාමවස්තූන් කෙරෙහි ක්ලේශකාම වශයෙන් උපදනා ඡන්දය හෙවත් තෘෂ්ණාවයි. රාගය ඉපදීමට කාරණ වූ ඉෂ්ටාලම්බන සංඛ්‍යාත ශුභනිමිත්ත නුනුවණින් මෙනෙහිකරන්නාහට කාමච්ඡන්දය උපදී.

භක්තව්‍යාපත්තියක් (බත පිලුණුවීමක්) මෙන් සිත විකෘතියට පැමිණීම ව්‍යාපාද නම් වෙයි. “තත්ථ කතමං ව්‍යාපාදනීවරණං අනත්ථං මෙ අචරීති ආඝාතො ජායති” යනාදින් ධම්සඟුණුයෙහි මට අනර්ථ කෙළේ ය යන දසපරිද්දෙකින් සිත්හි උපදනා ආඝාතය වෛරය ව්‍යාපාද නීවරණ යයි වදාරන ලද්දේ ය. පටිඝ නිමිත්ත කෝපය ඉපදීමට අරමුණු වූ කරුණ නුනුවණින් මෙනෙහි කරන්නා හට ව්‍යාපාදය උපදනේ ය.

චිත්තයාගේ අකර්මණ්‍යබව ‘ථින’ නමි. අලසබවට නමෙකි. වෙදනා, සඤඤා, සංඛාර යන තුන් ස්කන්ධයන්ගේ අකර්මණ්‍යබව ‘මිද්ධ’ නමි. වඳුරු නින්ද වැනි නිදාවැටෙන බවට නමෙකි. මෙකී චිත්ත චෛතසිකයන්ගේ අකර්මණ්‍යබව ථිනමිද්ධ නීවරණ නම් වෙයි. අධිකුසල ධර්මයෙහි නොඇලීම වූ අජතිය ද අලස බව යයි කියන ලද තන්දිය ද ඇඟමැලි කැඩීම වූ විජම්භිකාව ද බත්මතයයි කියන ලද භත්තසම්මදය ද චිත්තයාගේ හැකුළුණුබව වූ චිත්තලීනතාව ද යන කරුණු හේතුකොටගෙන ථීනමිද්දය උපදනේ ය.

චිත්තයාගේ නොසන්සුන්බව ‘උද්දච්ච’ නමි. කුසල් නොකොට අකුසලයෙහි යෙදී සිටියහුට ඒ හේතුයෙන් උපදනා විපිළිසරබව පසුතැවිල්ල කුක්කුච්ච නමි. මෙකී උඩඟුබව හා විපිළිසරබව උද්දච්ච කුක්කුච්ච නීවරණ නම් වේ. ධ්‍යානයෙන් හෝ විදර්ශනායෙන් හෝ සන්හුන්බවට නොපමුණුවන ලද සිත ථිනමිද්ද නීවරණය ඉපදීමට උපනිශ්‍රය වශයෙන් ප්‍රත්‍යය වන්නේ ය.

ශාස්තෲන් වහන්සේ කෙරෙහි නවලොව්තුරු දහම්හි සංඝය කෙරෙහි අධිශීලාදි ත්‍රිවිධ ශික්ෂායෙහි පූර්වාන්තයෙහි අපරාන්තයෙහි පුර්වාපරාන්ත දෙක්හි ඉදම්ප්‍රත්‍යතාසංඛ්‍යාත ප්‍රතීත්‍යසමුප්පාදයෙහි යන අට තැන්හි සැකකිරීම විචිකිච්ඡා නමි. අයොනිසොමනසිකාරය හෙතුකොටගෙන විචිකිච්ඡා නීවරණය උපදනේයි.

(විස්තර සඳහා අංගුත්තර එකක නිපාත දෙවෙනි වර්ගය හා එහි අටුවා බලන්න)

නීවරණ ප්‍රහාණය

කාමඡන්දාදි පඤ්චනීවරණයෝ පිළිවෙළින් අසුබනිමිත්ත මෙත්තාචෙතොවිමුත්තිය ආරම්භධාතු නික්කමධාතු පරක්කමධාතු සංඛ්‍යාත වීර්යය චිත්තව්‍යුපශමය යොනිසොමනසිකාරය යන ධර්මයන් හෙතුකොටගෙන නූපදිති. ශමථවිදර්ශනා බලයෙන් පඤ්චනීවරණයන් ප්‍රහීණකළ යොගීහට ප්‍රමොද්‍ය උපදී. ප්‍රමුදිතයාහට ප්‍රීතිය උපදී. ප්‍රීතිසිත් ඇත්තහුගේ කය සැහැල්ලු වෙයි. කායදරථ නැති කල්හි සුඛවෙදනාව උපදී. සුඛිතයාගේ සිත සමාධිගත වේ. නිවරණයන් ප්‍රහීණ කල්හි විතක්ක විචාර ප්‍රීති සුඛ එකග්ගතා යන පඤ්චාංගයෙන් යුක්ත වූ ප්‍රථමධ්‍යානයට පැමිණියේ වෙයි.

තවද නීවරණ සංඛ්‍යාත ක්ලේශයන්ගේ ප්‍රහාණය සතර අයුරෙකින් වෙයි. තදංග විෂ්කම්භණ සමුච්ඡෙද පටිප්පස්සදයි ප්‍රහාණයන්ගේ වශයෙනි. එහි පහන් එලියෙන් අඳුරුදුරලන්නා සේ කාමාවචර කුසල් සිත් උපදනා ඇසිල්ලෙහි තාවකාලිකව අකුශලයන්ගේ ප්‍රහාණය ‘තදංග’ නම් වෙයි. සෙවෙල් සහිත ළිඳකින් කළයෙන් සෙවෙල් ඈත් මෑත් කොට දිය නඟා ගන්නාක් මෙන් මහද්ගත කුශල චෙතනාබලයෙන් නීවරණයන්ගේ ප්‍රහාණය විෂකමහණ නම් වෙයි. අකුණු වැදුණු ගසක් සහමුලින් විනාශවන්නාක් මෙන් ලොකොත්තරමාර්ගයෙන් නීවරණ ප්‍රහාණය ‘සමුච්ඡේද’ නම් වෙයි. ගින්නෙන් දැවී ගිය තැන ගිනි නිවී ගිය ද ශෙෂව සිටි උණුසුම ක්‍රමයෙන් නැසීයන්නා සේ මාර්ගයෙන් නැසූ ක්ලෙශොෂමය ඵලසිතින් ප්‍රහාණය කිරීම පටිප්පස්සදයි ප්‍රහාණ නම් වේ.

(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි)

(සංස්කරණය නොකළ)

නීවරණ

සිත අවුරන (ආවරණ), සිත වසන (නීවරණා), සිත කෙලෙසන (චේතසා උපක්කිලෙසා), නුවණ දුර්වල කරන (පඤ්ඤාය දුබ්බලීකරණ) කරණු පහක් ඇත. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ද, උද්දච්ච-කුක්කුච්ච හා විචිකිච්ඡා යන නමින් ඒවා හැඳින්වේ. (සනි.5 (1), 190). මේ නීරවරණ පහ, දහයක් වන ආකාරයක් ද වෙයි. ඒ, එක එක නීරවරණය තමා පිළිබඳ ව (ඇතුළත) හා සෙසු අය පිළිබඳ ව (පිටත) ඇති වීමෙනි. (සනි.5 (1), 212). කාමච්ඡන්දාදි නීවරණ පසින් කෙලෙසුණු සිත මෘදුත් නොවේ, ප්‍රභාස්වරත් නොවේ, බිඳෙනසුලු ද වේ, ආස්‍රවයන් ක්ෂය කිරීම පිණිස මැනවින් එකඟ ද නොවේ. (සනි.5 (1) 186). යකඩ, ලෝකඩ, ඊයම්, රිදී ඈ දැයින් කිලිටි වූ ස්වරණය මෘදු ද කර්මණ්‍ය ද ප්‍රභාස්වර ද නොබිඳෙනසුලු ද වැඩට සුදුසු ද යස් සේ නොවේද, එමෙනි. නීවරණයන්ගෙන් නිදහස් වූ සිත මෘදු, කර්මණ්‍ය, ප්‍රභාස්වර, නොබිඳෙනසුලු ද එසේම අස්‍රවක්ෂය පිණිස සමාහිත වන්නේ ද අභිඥානයෙන් සාක්ෂාත් කිරීමට අවශ්‍ය යම් යම් දහම් විශේෂයන් සඳහා නැඹුරු වේ ද ඒ ඒ දහම ප්‍රත්‍යක්ෂ කිරීමට සුදුසු ද වේ (අනි.3, 28).

කාමච්ඡන්දාදිය සිත කිලිටි කරන ආකාරය මැනවින් වටහා ගැනීමට උපකාරී වන උපමා පහකින් කරුණු විස්තර කිරීමක් සංගාරව සූත්‍රයෙන් (සනි.5(1) 228) හෙළිවෙයි.

යම් සේ බඳුනක ජලය කහ, නිල්, මදටිය වැනි කහට සායම් මිශ්‍ර වී තිබේ නම් එයින් මුහුණ බැලීමට නුපුළුවන. කාමච්ඡන්දයෙන් මඬනා ලද සිත ද එමෙනි. එවැනි සිතින් යුත් පුද්ගලයා ආත්මාර්ථයවත්, පරාර්ථයවත්, උභයාර්ථයවත් නොදනී. ඒ සායම් ඉවත් වී පිරිසිදු වූ විට දිය බඳුනෙන් මුහුණ පෙනෙන්නේ යම් සේ ද කාමච්ඡන්දය ප්‍රහීණ වීමෙන් පිරිසිදු වූ සිතට ආත්මාර්ථය ද පරාර්ථය ද උබඳාභයාර්ථය ද මැනැවින් පෙනේ.

බඳුනේ ජලය ගින්නෙන් තැවී, උණුසුම් වී, කැකෑරී තිබේ නම් එවිට ද මුහුණ නොපෙනේ. ව්‍යාපාදයෙන් මඬනා ලද සිත ද එලෙසය. ජලය දිව සෙවෙලින් වැසී තිබෙන විට යම් සේ මුහුණ නොපෙනේ ද ථිනමිද්ධයෙන් මඬනා ලද සිතට ද එමෙනි.

සුළඟින් කම්පිත ව සැලෙන ජල බඳුන මෙනි, උද්ධච්ච-කුක්කුච්චයෙන් කැළැඹුණු සිත.

කැළැඹුණු, නොසන්සුන් වුණු මඬවුණු, අඳුරෙහි තබන ලද ජල බඳුන යම් සේ ද විචිකිච්ඡාවෙන් මැඬුණු සිත, එමෙනි.

මේ නිසා නීවරණ පස අන්ධභාවය ඇති කරන (අන්ධකරණා), නුවණැස නැති කරන (අචක්ඛුකරණා), මෝහය ඇති කරන (අඤ්ඤානකරණා), ප්‍රඥාව වළක්වන (පඤ්ඤානිරෝධියා), දුක්ඛපක්ෂයෙහි වන (විඝාතපක්ඛියා), නිර්වාණය පිණිස නොපවතින (අනිබ්බාන සංවත්තනිකා) කෙලෙස් ලෙස දැක්වෙයි (මනි. 5 (1), 194).

නීවරණයක් ඉපදීමට හේතුවන කරුණු ද නීවරණයක් ප්‍රහාණයට හේතු වන කරුණු ද විස්තර වන තැනකි, බොජ්ඣංග සංයුක්තයේ ආහාර සූත්‍රය (සනි.5 (1), 202). එහි එන හැටියට, කාමච්ඡන්දයට, (1) සුභ නිමිති ද (11) නුනුවණින් මෙනෙහි කිරීම ද හේතුවෙයි. ව්‍යාපාදයට, (1) ප්‍රතිඝ නිමිත්ත ද (11) අයොනිසො මනසිකාරය ද හේතුවෙයි. ථින-මිද්ධයට (1) කුසල් දහම්හි නොඇල්ම ද, මැලි කැඩීම, බත් මත, සිතේ සැඟවුණුබව හා (11) අයොනිසොමනසිකාරය ද, විචිකිච්ඡාවට, (1) සැක කෙරෙන කරුණු හා (11) අයොනිසොමනසිකාරය ද හේතු (ආහාර) වේ. නූපන් නීවරණ ඉපදීමටත් උපන් නීවරණ බහුල බවට විපුල බවට පත් වීමටත් මේ කරුණු හේතු වේ. එහෙත් අසුභ නිමිති හා නුවණින් මෙනෙහි කිරීම (යොනිසොමනසිකාර) කාමච්ඡන්ද ප්‍රහාණයට හේතුය. එසේම, මෛත්‍රීචිත්ත විමුක්තිය හා මනසිකාර බහුලබව ව්‍යාපාද ප්‍රහාණයට ද ආරම්භක වීර්යය, ඉදිරියට යන වීර්යය, යළි යළිත් යොදවන වීර්යය හා මනසිකාර බහුලබව ථින මිද්ධයේ ප්‍රහාණයට ද, සිත සංසිඳුණුබව හා මනසිකාර බහුලබව අද්දච්ච-කුක්කුච්ච ප්‍රහීණවීමට ද, කුසලාකුසල දහම්, සාවද්‍යානවද්‍යදහම්, හීනප්‍රණීතදහම් හා කෘෂ්ණශුක්ල සප්‍රතිභාග දහම් හා මනසිකාර බහුලබව විචිකිච්ඡා ප්‍රහීණ වීමට ද හේතු වේ. නූපන් නීවරණ ඉපදීමට හෝ උපන් නීවරණ වැඩී බහුලවීමට හෝ මේවා හේතු නොවේ.

නීවරණ ප්‍රහීණ කිරීම සඳහා අනුගමනය කළ යුතු මාර්ගය සතිපට්ඨාන සූත්‍රයේ ධම්මානුපස්සනා සතිපට්ඨානයෙහි නීවරණ පර්වයෙහි විස්තර වේ. එහි එන පඤ්ඤවිධ ප්‍රහාණ විධිය මෙසේය. 1. ස්වසන්තානයෙහි කාමච්ඡන්දය ඇති විට කාමච්ඡන්දය ඇතැයි දැන ගැනීම 2. කාමච්ඡන්දය නැති විට නැතැයි දැන ගැනීම 3. නූපන් කාමච්ඡන්දය උපදී නම් එවිට ම ඒ බව දැනගැනීම 4. උපන් කාමච්ඡන්දයේ නැතිවීමක් වේ නම් ඒ බව දැනගැනීම සහ, 5. ප්‍රහීණ වූ කාමච්ඡන්දයේ යළි ඉපදීමක් නොවේ නම් එය ද දැනගැනීම යන අයුරින් අනිත් නීවරණයන් ගැන ද සිහි ඇතිව සිටීමය (දීනි. 2,466).

මිනිසා විසින් ලබා ගත යුතු ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ ඓහක් ලොවැ දුර්ලභ වූ, කරුණු, හතරක් පෙන්වා දෙන පත්තකම්ම සූත්‍රය (අනි. 2, 124) ඒවායේ ප්‍රතිලාභය පිණිස පවත්නා ධර්ම හතරක් ද දක්වයි. එයින් එකක් ප්‍රඥාවයි. මෙතැන ප්‍රඥ්ව විස්තර කොට ඇත්තේ නීවරණයන් හඳුනාගෙන ඒවා ඉවත් කිරීමට ඇති හැකියාව හැටියටය (කාමච්ඡන්දය වෙනුවට මෙහි අභිජ්ඣාව යොදා ඇත.) නීවරණයන්, සිත වසා නොකටයුතු දෑ කරන (අකිච්චජ කරොති), කටයුතු දෑ වළහන (කිච්චං අපරාධෙන්තො), යශසිනුත්, සුවයෙනුත් පිරිහෙළන (යසා ච සුඛා ච ධංසති) කරුණු බව ද අවධාරණය කෙරේ. ඒ නිසා මේ චිත්තෝපක්ලේශයන් වන නීවරණයන් හඳුනාගෙන ඒවා ඉවත් කළ තැනැත්තේ මහා ප්‍රාඥ, පෘතුලප්‍රාඥ ආපාථදක්නා, ප්‍රඥාසම්පන්න ආර්යෂ්‍රාවකයාය. (අයං වුච්චති ගහපති, අරියසාවකො මහා පඤ්ඤො පුථුපඤ්ඤො ආපාථදසො පඤ්ඤාසම්පන්නො).

(කර්තෘ: ධර්මසේන හෙට්ටිආරච්චි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නීවරණ&oldid=4807" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි