පිලිප් ද ඔලිවේරා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(?-1627). යාපනේ ප්‍රදේශය පෘතුගීසීන්ට සතු කර දුන් පෘතුගීසි නිලධාරියායි. හත් කෝරළේ දිසාපති ධුරයෙහි ද පෘතුගීසි හමුදාවේ අණ දෙන නිලධාරි තනතුරෙහි ද සේවය කළ මෙතෙමේ නිකපිටියේ බණ්ඩාර ආදි රණශූරයන් සමග බිහිසුණු සටන් කීපයක් ම කෙළේය.

තමා යටතේ සිටි ලස්කිරිඤ්ඤ හේවායනට ආයුධ සහිතව සතුරු පක්ෂයට යාමට ඉඩදීම ගැන මෙතෙමේ දිසාපති ධුරයෙන් අස් කරනු ලැබිණ. එහෙත් යාපනයේ ද්‍රවිඩ ජනයා ලන්දේසින් සමඟ පෘතුගීසීනට විරුද්ධව කුමන්ත්‍රණ කරන බැව් ඇසූ එවක කොළඹ පෘතුගීසි අධිපතිව සිටි ද සා විසින් මෙතෙමේ යුද්ධ සේනාවක් සමඟ යාපනයට පිටත් කර යවනු ලැබීය. විශාල සංග්‍රාමයකින් පසු 1618 දී මුළු යාපන ප්‍රදේශය ම පෘතුගීසින් සතු කර ගත් ඔලිවේරා එහි ආණ්ඩුකාර ධුරයට මෙන් ම කැප්ටන් මේජර් ධුරයට ද පත් කරනු ලැබිණ.

පාලකයකු වශයෙන් මෙතෙමේ යාපන වැසියන්ගේ සිත් ගත්තේය. මොහුගේ මරණයෙන් පසු ඒ තනතුරට කිසිවකු පත් නොකළ යුතු බවත් ඒ ප්‍රදේශයේ සාමය ආරක්ෂා වීමට ඔහුගේ සේයා රුව පමණක් ප්‍රමාණවත් බවත් ද්‍රවිඩ මුදලිවරුන් පවසා තිබීමෙන් ඔලිවේරා කොතරම් ජනප්‍රිය වී දැයි මැන ගත හැකිය.

ලංකාවේ මුහුදුබඩ ප්‍රතිකාල් විජිතයෙහි මුල් අවධියේ දී දිසාව පදවිය සිංහලයන් විසින් හොබවන ලද නමුත් කල්යාමේ දී එම පදවියට ප්‍රතිකාල්වරුන් ම පත් කරන ලද බව පෙනී යයි. ආචාර්ය ටිකිරි අබේසිංහ පෙන්නා දෙන පරිදි අසවේදු ආණ්ඩුකාරයාගේ කාලයෙන් පසුව සිමන්කුරේරාල වෙනුවට (සත්කෝරළේට) පත් කරන ලද පෘතුගීසි දිසාවේවරයා පිලිප් ද ඔලිවේරායි. එහෙත් ඔලිවේරා ගැන කියන සමකාලීන ඉතිහාසකාර ජුවාං රුබේරු ඔහු කිතුනුවකුට නොදෙවැනි ධීරත්වයකින් ද නිහතමානී බවකින් ද හෙබි පුද්ගලයෙක් වීය යි කියයි. “කිතුනුවකුට නොදෙවැනි” යන්නෙන් “උපතින් ක්‍රිස්තුභක්තික පෘතුගීසි ජාතිකයකු තරම් ම” යන්න අදහස් කළ බව පෙනේ. ඔහු කවදාවත් තම දෙමව්පියන් ගැන මතක් නොකළ බව ද නම ලියාපදිංචි කිරීමේ දී තමා පැවැතෙන්නේ තණ පැළයෙනැයි කී බව ද වැඩි දුරටත් පවසන රුබේරු මෙය මෙරැටියන් අතර සුලභ ලක්ෂණයන්ට ඉඳුරා වෙනස් වූවක් බව - එනම්, තමන් පැවැතෙන්නේ තාරකා කෙරෙනැයි ඔවුන් හැම ම කියන බව - ද පවසයි. මෙසේ බලන කල ඔලිවේරා උපතින් පරංගි ජාතිකයකු නොවූ බවත් බව්තීස්ම ලත් ස්වදේශිකයකු හෝ මෙස්තිඤ්ඤවරයකු හෝ වූ බවත් සිතිය හැකිය.

(සංස්කරණය: 1974)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=පිලිප්_ද_ඔලිවේරා&oldid=11738" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි