පීටර් ඇබලාඩ්
(1079-1142). ප්‍රංසයේ විසූ දාර්ශනිකයෙකි, පූජකවරයෙකි. බ්‍රිටනි ප්‍රදේශයෙහි උපන් ඇබලාඩ් පැරිස් නගරයෙහි දී උසස් අධ්‍යාපනය ලැබුවේය. එහි නෝත්‍ර දාම් කැතිඩ්‍රල් විද්‍යාලයේ දී ඔහු සිය ආචාර්යවරයාගේ මතවලට පවා පහර දෙමින් කළ විවාද නිසා මධ්‍යතන යුගයේ සිට යථාර්ථවාදය (Realism) ලබා සිටි උසස් තැන එයට අහිමි විය.
පැරිස් නගරයෙන් පිටුවහල් කරනු ලැබූ ඇබලාඩ් ලෙයොන්හි ඇන්සල්ම් යටතේ දේවධර්ම ශාස්ත්‍රය ඉගෙනීමට පටන්ගත්තේය. මඳ කලකින් සිය ගුරුවරයාටත් වඩා දක්ෂ දේශකයකු වූ ඔහුගේ කීර්තිය දසත පැතිරී ගියෙන් ඔහු වෙත හැම පසින් ම ශිෂ්‍යයෝ ඇදී ආහ. නෝත්‍ර දාම් දේවස්ථානයේ කැනන් පදවිය ද ආචාර්ය ධුරයක් ද ලත් හෙතෙම ඒලොයීස් නම් තරුණ ශිෂ්‍යාවක හා ඇති කරගත් අයථා සම්බන්ධයකින් ඇයට දරුවකුදු ලැබුණු පසු රහසින් ඇය විවා කරගත්තේය. ඒ සම්බන්ධය පිළිබඳ රහස පැතිරී යත් ම ඇබලාඩ්ගේ අනාගත ශුභ සිද්ධිය තකා ඒලොයීස් කන්‍යාරාමයකට ඇතුළු වූවාය. ඉගෙනුම සඳහා මුල දී ඔහුට ඇය බාර කළ ඇයගේ මාමා වූ කැනන් ෆුල්බෙයාර් පුංස්ත්වහරණය කරවීමෙන් ඔහුගෙන් පළිගත්තේය. ඉන් පසු තවුස් බිමට ඇතුළු වූ ඇබලාඩ් නැවත ජනප්‍රිය දේශකයෙක් විය. එහෙත් සතුරු පක්ෂ බලවත් වූයෙන් ඔහුගේ දේශනා මිථ්‍යා මත හැටියට ප්‍රකාශ කරනු ලැබීය. ඔහුට කලක් සිර මැදිරියේ සිටින්නට ද සිදු විය. නිදහස ලැබූ පසු ඇබලාඩ් නැවතත් ඒලොයීස් සමඟ සිය සබඳකම අලුත් කරගත්තේය; මිය යන තෙක් ම ඇය හා ලියුම් ගනුදෙනු කෙළේය. ඇය විසින් ලියන ලදැයි සැලකෙන ලියුම් ලෝකයේ ශ්‍රෙෂ්ඨ පෙම්හසුන් අතර අද්විතීය ස්ථානයක් ගනී.
ඇන්සල්ම්ගේ දැඩි ආගමික නීතිවලට එකඟ නුවූ ඇබලාඩ්, ක්ලෙයාර්වෝහි බෙර්නාර් (පසුව ශුද්ධ බෙර්නාදු) ප්රශස්ත කොට සැලකූ බුද්ධියෙන් තොර, ශ්‍රැතිය මත පමණක් පදනම් ලත් විශ්වාසයට ද විරුද්ධ විය. බුද්ධියෙන් විමසා බැලීමෙන් පසු ඇති කරගන්නා භක්තිය අචල වූවක් බව ඔහුගේ අදහස විය. ඇබලාඩ්ගේ මත මිථ්‍යා මත හැටියට දක්වා පාප්තුමා විසින් ප්‍රකාශයක් කරන ලදි. තම මතවල නිවැරදි බව ඔප්පු කිරීමට රෝමයට යමින් සිටිය දී ඇබලාඩ් මිය ගියේය.
ඇබලාඩ් ඇරිස්ටෝටල්ගේ දර්ශනය දේවධර්මානුකූල තර්ක ශාස්ත්‍රයෙහි පදනම හැටියට යෙදුවේය. ඔහු ස්කොලැස්ටික්වාදය ඇති කිරීමෙහි ලා පුරෝගාමි වූවෙකි. ඔහුගේ කෘති අතර ‘විපත්ති ඉතිහාසය’ (හිස්ටෝරියා කලමිටාටුම්) නම් වූ ආත්ම චරිතාපදානය හා දේවධර්මය පිළිබඳව පරස්පර විරෝධී සේ පෙනෙන පාඨ ඇතුළත් ‘එවං නෛවං’ (සික් එට් නෝන්) නම් කෘතිය ද ප්‍රධාන තැනක් ගනී.
(සංස්කරණය: 1967)