මායා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

මධ්‍යම ඇමරිකාවේ වයඹ ප්‍රදේශයේ, විශේෂයෙන්ම (Guatemala), (Chiapas), (British Honduras) හා උතුරු යුකටන් අර්ධද්වීපයේ වාසය කළ පැරණි මනුෂ්‍ය ගෝත්‍රයකි, මායාවරු. ඔවුන් බටහිර ආසියාවේ සිට ඇමෙරිකාවට සංක්‍රමණය වූ ඉන්දියානුන්ගෙන් පැවත එන ගෝත්‍රයක් බව පුරාවිද්‍යාඥයෝ හා මානව විද්‍යාඥයෝ විශ්වාස කරති.

මායා අධිරාජ්‍යය පැවතුන වර්ෂ පිළිබඳව පුරාවිද්‍යාඥයන් අතර එකඟත්‍වයක් නැතත් වඩා පිළිගත් මතය වනුයේ එය ක්‍රි.ව. 4 වන සියවස පමණ සිට 14 වන සියවස පමණ දක්වා පැවතුන බව ය. මෙම අධිරාජ්‍යය පැවතුන කාලය කොටස් දෙකකට බෙදේ. එනම් පැරණි අධිරාජ්‍යය හා නව අධිරාජ්‍යය යනුවෙනි. ක්‍රි.ව. 300 සිට 1000 පමණ දක්වා පැවතුණ පැරණි අධිරාජ්‍යය පූජකවරුන් විසින් පාලනය කරන ලදි. නව අධිරාජ්‍යය ක්‍රි.ව. 1000 සිට 1450 පමණ දක්වා පැවතුනි. මායා අධිරාජ්‍යයේ ප්‍රධාන නගර වූයේ (Uaxactun), (Tikal), (Copan) හා (Palenque) ය. ක්‍රි.ව. 1000 දී උපරිම දියුණුවක් ලබා තිබුණ මෙම අධිරාජ්‍යය තවමත් නිශ්චිත වශයෙන් දැක්වීමට නොහැකි යම් යම් හේතු කරණ කොට ගෙන ක්‍රමයෙක් පරිහානියට පත් වී ස්පාඤ්ඤ ආක්‍රමණයත් සමඟ විනාශ මුඛයට ඇද වැටුණි. මායා අධිරාජ්‍යයේ දියුණු ශිෂ්ඨාචාරයක් පැවතුන බව නටබුන්වලින් ඔප්පු වේ. ගෘහනිර්මාණ ශිල්පය, කැටයම් කලාව, ගණිතය, තාරකා ශාස්ත්‍රය ආදිය මෙන්ම කෘෂිකර්මය අතින් ද සමකාලීන ඇමෙරිකානු ගෝත්‍රිකයන්ට වඩා උසස් තත්‍වයක ඔවුහු සිටියහ. ඔවුන්ගේ ගොඩනැගිලි, විශේෂයෙන්ම පූජස්ථාන, පූජකවරුන්ගේ හා පාලකයන්ගේ වාසස්ථාන ගලින් නිමවන ලද අතර බිත්ති කැටයම් හා විවිධ වර්ණ සිතුවමින් අලංකාර කරන ලදි. ඔවුන්ගේ පැරණිම හා විශාලම නගරය වූ (Tikal)හි එකිනෙකට සම්බන්ධ කරන ලද විශාල පූජනීය ස්ථාන අටක් වූ බව නටබුන්වලින් පෙනේ. මේවා තනන ලද්දේ පිරමිඩයක් මෙන් ශීඝ්‍ර බෑවුම් සහිත, එහෙත් තට්ටු කීපයකින් සමන්විත වන වේදිකාවක් මත ය. ඔවුන්ගේ ගොඩනැගිලි පිටතින් විශාල වූව ද ඇතුළත පටු අඳුරු කාමරවලින් යුක්ත විය.

ලෝහ ආයුධ පාවිච්චියක් මායාවරුන් අතර නොවුව ද ඔවුන්ට ගලින් හා ලීයෙන් සියුම් කැටයම් කිරීමේ දක්‍ෂතාවක් තිබුණු බව පෙනේ. රූප නෙලීම අතින් ඇමෙරිකානු ගෝත්‍රිකයන් අතර ප්‍රධාන තැන ලබන්නේ මායාවරුන් ය. රූප නෙලීම සම්බන්ධව වඩාත් ප්‍රසිද්ධියක් ඉසිලුවේ (Usumacinta) නදිය අසබඩ පිහිටි (Yaxchilan), (Piedras), (Negras) හා (Palenqne) යන නගරයි. නටබුන් වූ ගොඩනැගිලිවල දොරටුවලට ඉහළින් (zapote) ලීයෙන් තැනූ කැටයම් සහිත (lintels) ගලින් මෙන්ම ලීයෙන් ද කැටයම් කිරීමට මායාවරුන් තුළ තිබුණ දක්‍ෂතාව පෙන්වයි.

විවිධ වර්‍ණයෙන් යුතු සියුම් මැටි බඳුන් තැනීමෙහි ද මායාවරු මනා නිපුණත්‍වයක් ලබා තිබුණහ. ඔවුහු නොයෙක් හැඩයේ හා විවිධ සැරසිලිවලින් යුතු මැටි භාණ්ඩ නිපදවූහ. මේ අතරින් කැපී පෙනෙනුයේ විවිධ වර්‍ණයෙන් ස්වභාවධර්මය ආශ්‍රිත චිත්‍ර ඇඳි සිලින්ඩරාකාර කෝප්පයි.

මායාවරුන්ට ඉතා දියුණු ගණිත ඥානයක් ද විය. (Zero Concept) හා (The Position System) යුරෝපයේ භාවිතයට පැමිණෙන්නටත් පෙර සොයා ගත්තෝ ඔව්හු ය. එමෙන්ම නිවැරදි දින දර්ශනයක් නිර්මාණය කිරීම ඔවුන් කළ තවත් වැදගත් කාර්‍ය්‍යයක් විය.

මායාවරුන්ගේ ආගමික හා වෙනත් උත්සව පිළිබඳ තොරතුරු ඔවුන් විසින් ගොඩනැගිලිවල අදින ලද චිත්‍ර මඟින් දැනගැනීමට හැකි වේ. ඔවුහු දෙවිවරුන් කීපදෙනෙකු ඇදහූහ. දෙවිවරු අතර (Kukulcan), (Chac) (The God of Death) වැදගත් තැනක් ගත්හ. දේශගුණය හා බෝග වර්‍ගවලට සම්බන්ධ තවත් බොහෝ ගණනක් දෙවිවරුන් ද අදහන ලදි. බිලි පූජාවන්ට මායා ශිෂ්ඨාචාරයේ වැඩි වැදගත් තැනක් ලැබුනේ නැත. නමුත් (Chichen Itza) නගරයේ (Well of Sacrifice) නමින් ස්ථානයක් තිබුණ බව කියවේ. දෙවියන් සතුටු කිරීමට එයට නොයෙක් වටිනා දේ දමන ලද අතර ඇතැම් විට මිනිස් ජීවිත පවා පූජා කරන ලද බව සඳහන් වේ.

(කර්තෘ: ඩී.පී. ද සිල්වා)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=මායා&oldid=5866" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි