මුල්ක් රාජ් ආනන්ද
(1905–2004). භාරත දේශීය ලේඛකයෙකි. කලා විචාරකයකු හා නවකථාකරුවකු වශයෙන් විශේෂයෙන් ප්‍රසිද්ධය. යුද්ධ භටයකුගේ පුතකු වූ මොහු පෙෂවාර්හි දී උපන්නේය. ජීවිතයේ මුල් කාලය යුද කඳවුරුවල ගත කළ හෙතෙම පන්ජාබ් විශ්වවිද්‍යාලයෙන් උපාධි ලබා පර්යේෂණ ශිෂ්‍යත්වයක් ද දිනාගෙන 1925 දී එංගලන්තය බලා ගොස් ලන්ඩන්, කේම්බ්‍රිජ් යන විශ්වවිද්‍යාලයන්හි දී දර්ශනය හැදෑරීය. අනතුරුව හේ ලන්ඩන් කවුන්ට් කවුන්සලයෙහි සාහිත්‍යය හා දර්ශනය පිළිබඳ කථිකාචාර්ය තනතුරක් ඉසිලීය.
මුල්ක්රාජ් මුල් අවධියේ දී ම ලිවීමට පටන් ගත්තේය. ඔහුගේ සුප්‍රකට කෘතීන් වන 'කුලීකරුවා' (The Coolie)‚ 'හරිජන්' (The Untouchable)‚ 'කොළ දෙකක් සහ කැකුළක්' (Two Leaves and a Bud), 'ගම' (The Village) යනාදි නවකථාවලින් දුප්පත් පන්තියේ එදිනෙදා ජීවිතයෙහි දුක් කම්කටොලු හා කුලහීන ජනතාවගේ දුෂ්කරතා මැනැවින් පිළිබිඹු වේ. සෑම කලාවක් ගැන ම වාගේ විශේෂ උනන්දුවක් දක්වන මොහු ආචාර්ය්ය ආනන්ද කුමාරස්වාමිගේ 'ඉන්දියානු චිත්‍ර කලා ප්‍රවේශය' (Introduction to Indian Art) නමැති ග්රන්ථයෙහි 1956 සංස්කරණය හා 'පර්සියානු චිත්‍ර කලාව' (Persian Painting) යන ග්‍රන්ථය ද කළේය.
ආසියාතික ශාස්ත්‍රයන්ගේ පුනරුත්ථානය පිළිබඳව මහත් උද්යෝගයක් දක්වන මොහු එම පුනරුත්ථානයේ ප්‍රතිබිම්බයක් කොට ද ගිණිය හැකිය. 1952 දී සාහිත්‍යය පිළිබඳ ස්ටාලින් සාම ත්‍යාගය මොහුට හිමිවිය. ඉන්දියානු කලාශිල්පයන් පිළිබඳ වූ 'මාර්ග්' නමැති සඟරාවෙහි ප්‍රධාන සංස්කාරකවරයා ද මොහුය. ලේඛකයකු වශයෙන් මොහුගේ කීර්තිය බටහිර රටවල ද පැතිර ඇත්තේය. 1959 සැප්තැම්බර් මස ලංකාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුව මගින් පවත්වන ලද සාහිත්‍ය උලෙළට සහභාගිවීම සඳහා විශේෂයෙන් කැඳවන ලද අමුත්තා වූයේ මුල්ක් රාජ් ආනන්දය. මුල්ක් රාජ් දැනට (1963) පන්ජාබ් විශ්වවිද්‍යාලයේ කලා පිළිබඳ තාගෝර් මහාචාර්ය ධුරය දරයි.
(සංස්කරණය: 1965)