විලියම් හෝල්මන් හන්ට්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Hunt, William Holman) (1827.04.02-1910.09.07). 19 වන සියවසේ ජීවත් වූ ඉංග්‍රීසි ජාතික ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ මොහු වඩාත් කීර්තියක් දැරුවේ ආගමික චිත්‍ර නිර්මාණය කිරීමෙහි ය. විලියම් හෝල්මන් හන්ට් ‘Pre-Raphaelite Brotherhood’ නම් ඉංග්‍රීසි චිත්‍රශිල්පී කණ්ඩායමේ පුරෝගාමියකු වශයෙන් ද සැලකේ.

Sarah Holman, William Hunt යන මව්පියන්ට දාව ලන්ඩනයේ දී උපන් හන්ට් මුල් අවධියේ යෙදී සිටියේ වෙළෙඳ ව්‍යාපාරික කටයුතුවල ය. 1845 දී ඔහු රාජකීය ඇකඩමියේ චිත්‍ර ශිල්පය හැදෑරීම සදහා බැඳෙන විට ඔහුගේ වයස අවුරුදු දහහතකි. ඊළඟ අවුරුද්දේ හන්ට් ‘Hark’ නම් වූ තමාගේ පළමු චිත්‍රය ප්‍රදර්ශනයට තැබී ය. 1848 දී ප්‍රාග් රපෙල් සහෝදර සමාජය නම් වූ තරුණ කලාකාරයන්ගේ හා සිත්තතරුන්ගේ කලා සංවිධානය ආරම්භ වූයේ හන්ට් සහ ඩාන්ටේ, ග්‍රේබියල්, රෝසෙට් අදීන්ගේ සංවිධායකත්වයෙනි. මෙම සංගමිකයන් අදහස් කළේ එවක පිළිගෙන තිබු චිත්‍ර සම්ප්‍රදාය වෙනස් කොට අලුත් ක්‍රමයක් ඇති කිරීමයි. අත්‍යන්තයෙන් ම ස්වභාව ධර්මයට සමීප වූ ද ඓතිහාසික සිදුවීම් නිවැරදි ම එසේ ම ඉදිරිපත් කරන සුලු වූ ද ගැඹුරු අරමුණුවලින් සමන්විත වූ ද ශෛලියක් පදනම් කරගත් අලුත් ක්‍රමයක් නිපදවීම ඔවුන්ගේ පරමාර්ථය විය. පිළිගත් ආයතන නීතීවලට ඔවුහු කැමති නොවූහ. හන්ට් මුළු ජීවිත කාලය මුළුල්ලේ ම මෙම මතයේ දැඩි සේ එල්බ ගෙන සිටියේ ය.

හන්ට්ගේ චිත්‍රයන්හි වට ඉරි දැඩි ය. වර්ණය දළ ය. එමෙන් ම හැමතින් ම පරිපූර්ණ ය. අර්ථවත් ය. බලවත් ය. එහෙත් ළගැන්මෙන් හීන ය. සිතියම් ඇදිමෙහි යෙදි සිටිය දී ම ඔහු Germ නම් සගරාවට ලිපි සැපයීමෙහි යෙදි සිටියේ ය. ලී කැටයම්වලට මෝස්තර ඇද දුන්නේය. බයිබල් චිත්‍ර සඳහා දේශීය වර්ණ යෙදිය යුතු අයුරු විමසා දැන ගැනීමට හන්ට් 1854-55 පලස්තීනයට ගියේ ය. 1905 දී රජය විසින් හන්ට්ට සම්මාන පුදනු ලැබීය. ක්‍රිස්තුන් වහන්සේ ලන්තෑරුමක් දරා සිටින අයුරු සිතියමට තනා තිබෙන ‘ලෝකාලෝකය’ (Light Of The World) නම් චිත්‍රය ඔහුගේ විශිෂ්ඨතම කෘතිය සේ ප්‍රකට ය. මෙම චිත්‍රය දැනට ලන්ඩන් නුවර ශාන්ත පෝල් නම් දේවස්ථානයේ තැන්පත් කර තිබේ.

Fanny Waugh (1865–1866) සමඟ විවාහ වී සිටි හන්ට්ට Gladys Mulock, Hilary Lushington Holman-Hunt, Cyril Benoni Holman Hunt යනුවෙන් දරුවන් තිදෙනෙක් වූහ. මරණයේ සෙවනැල්ල (The Shadow Of The Death) නසාරාත් (Nazareth) අහිංසක ජයග්‍රහණය (Triumph Of The Innocents) යනාදි චිත්‍ර හන්ට්ගේ නිර්මාණයන් අතර උසස් කොට අගය කෙරේ. හන්ට්ගේ අත්සන යනුවෙන් සටහන් ව තිබේ. බ්‍රිතාන්‍ය චිත්‍ර ශිල්පයට ප්‍රකට නිර්මාණ රැසක් දායාද කොට අසූතුන්වැනි වියේ දී හන්ට් එංගලන්තයේ ලන්ඩන්හි දී මිය ගියේ ය.

(කර්තෘ: විමල් අබේසුන්දර: 1956)

(සංස්කරණය නොකළ)