සත් අවුරුදු යුද්ධය

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ප්‍රංශ විප්ලවකාරී යුද්ධවලට පෙර යුරෝපයේ ඇති වූ ප්‍රධාන යුද්ධයකි. තුර්කිය හැරුණු කොට සියලු ම බලගතු ජාතීහු එයට සම්බන්ධ වූහ. මෙයට ප්‍රංශයත් බ්‍රිතාන්‍යයත් හවුල්වීම සැලකෙනුයේ 1756ට පෙර උතුරු ඇමරිකාවේත් ඉන්දියාවේත් පැවැති යටත් විජිත අරගල තව දුරටත් ගෙන යෑමක් ලෙසිනි. සත් අවුරුදු යුද්ධයේ අවසානයත් සමඟ ම මෙම අරගලය ද නිමාවට පත් වූයේ යටත් විජිත ලෝකයේ නායකත්වය බ්‍රිතාන්‍යයට හිමි කොට දෙමිනි. එමෙන් ම ප්‍රසියාව යුරෝපයේ බලගතු රාජ්‍යක් බවට පත් විණි.

සැබවින් ම සත් අවුරුදු යුද්ධය ඔස්ට්‍රියාවත්, ප්‍රසියාවත් අතර ඇති වූවකි. සයිලේෂියාව නම් වූ සාරවත් ප්‍රදේශය ඔස්ට්‍රියාව විසින් යළිත් තම රාජ්‍යය සතු කොට ගැනීමට දැරූ ප්‍රයත්නයේ ප්‍රතිඵල එයට හේතු විය. 1740-48 අතර සිදු වූ ඔස්ට්‍රියානු රාජ්‍යානුප්‍රාප්තිය පිළිබඳ යුද්ධයේ දී ප්‍රසියාවේ II වන ෆෙඩ්රික් රජු විසින් සයිලේෂියාව ඔස්ට්‍රියාවෙන් උදුරා ගන්නා ලදී. ඔස්ට්‍රියාව රාජ්‍යෝපායක් ලෙස ප්‍රසියාවට විරුද්ධ ව සැක්සනිය, ස්වීඩනය, රුසියාව හා ප්‍රංශය සමඟ ගිවිසුම් ඇති කොට ගත්තේ ය. වර්ෂ 1754 සිට ප්‍රංශයට විරුද්ධ ව යුද්ධ කරමින් සිටි බ්‍රිතාන්‍ය ප්‍රසියාව සමඟ ගිවිසුමක් ඇති කොට ගත්තේ ය. ඔස්ට්‍රියාව, ප්‍රංශය සමඟ එක් වීමත් බ්‍රිතාන්‍යය, හැනෝවරය හා ප්‍රසියාව සමඟ එක් වීමත් එතෙක් එම දෙරට අනුගමනය කළ රාජ්‍ය සම්බන්ධතා ප්‍රතිපත්තියට සම්පුර්ණයෙන් විරුද්ධ වූ බැවින් මෙය රාජ්‍යෝපාය විප්ලවය ලෙස හඳුන්වනු ලැබේ.

ඔස්ට්‍රියාව ප්‍රමුඛ මිත්‍ර හවුලෙන් සැක්සනිය ඉවත් කොට ගැනීම සඳහා 70,000ක භට පිරිසක් සමඟ සැක්සනිය ආක්‍රමණය කළ ෆෙඩ්රික් රජු යුද්ධයට මුල පිරී ය. තුර්කිය රුසියාවට පහර දෙන්නේ නම් ප්‍රංශය රුසියාවේ ආධාරයට එන බවට වර්ෂ 1757 දී අත්සන් තැබූ ප්‍රථම වර්සේල්ස් ගිවිසුමෙන් ප්‍රංශය රුසියාවට පොරොන්දු විය. ඉන්පසු 1757 පෙබරවාරි 02 වන දා ප්‍රසියාවට විරුද්ධ ව ඔස්ට්‍රියාවත් රුසියාවත් ආක්‍රමණකාරී ගිවිසුමක් අත්සන් කළහ. 80,000ක භට පිරිසක් සමඟ සටන් බිමට වන් ඔවුන්ගේ අදහස වූයේ ප්‍රසියාව පරාජය කොට දෙරට අතර එය බෙදා ගැනීමයි. 1757 මැයි 01 වන දා ඔස්ට්‍රියාවත් ප්‍රංශයත් දෙවෙනි වර්සේල්ස් ගිවිසුමට අත්සන් තැබී ය. ඔස්ට්‍රියාව විසින් සයිලේෂියාව ආපසු ලබා ගැනීමත් ඔස්ට්‍රියානු නෙදර්ලන්තය XV ලුවී සහ ඔහුගේ ඥාති සහෝදර පිලිප් නම් වූ පාර්මාහි ආදිපාදවරයා අතර බෙදා ගැනීමත් එහි පර්මාරථය විය. ඔස්ට්‍රියානු හා ප්‍රංශ කතෝලික සංගමයට විරුද්ධ ව ද ප්‍රොතෙස්තන්තවාදයේ ආරක්‍ෂකයා ලෙස ද ජර්මන් ප්‍රොතෙස්තන්ත රාජ්‍යවල සහාය ලබා ගැනීමට ෆෙඩ්රික් රජු යත්න දැරූ නමුත් ප්‍රොතෙස්තන්ත රාජ්‍ය රැසක් ම ඔස්ට්‍රියාවට සහය දුන්හ. ප්‍රසියානු හමුදා 1757 ජනවාරි මස බොහීමියාව ආක්‍රමණය කළහ. ප්‍රාග් සටනින් ඔවුහු ඔස්ට්‍රියානු හමුදා පරාජය කළහ. එහෙත් කොලින් සටනින් ඔස්ට්‍රියානුවන් ප්‍රසියානු හමුදා පරාජය කළ බැවින් ඔවුන්ට බොහීමියාවෙන් පසු බැසීමට සිදුවිය. පසුබසින ප්‍රසියානු හමුදාවන්ට නොයෙක් දෙසින් එල්ල වුණු සතුරු හමුදාවන්ගේ පහරදීම්වලට මුහුණ දීමට සිදුවිය.

මුල දී ප්‍රසියාවටත් බ්‍රිතාන්‍යයටත් යුද්ධය අවාසි සහගත විය. බ්‍රිතාන්‍යයේ කාලයේ අවසාන වී යයි ද මුහුදේ පවා නායකත්වය ප්‍රංශයට හිමිවෙනු ඇතැයි ද පැවසෙන ලකුණු විද්‍යමාන විය. එහෙත් යුද්ධයේ අවසාන භාගයේ දී තත්වය මෙයට වඩා හාත්පසින් ම වෙනස් විය. මෙහිලා ෆෙඩ්රික් රජයේ වාසියට සිටියේ රුසියාවේ අධිරාජනිය වූ එලිසබත්ගේ මරණයයි. ඇයගේ මරණයෙන් පසුව සිංහාසනාරූඪ III පීටර් අධිරාජයා ෆෙඩ්රික් රජු සමඟ මිත්‍ර විය. පීටර් අධිරාජයාගේ මැදිහත් වීම නිසා ස්වීඩනයත් ප්‍රසියාවත් අතර ගිවිසුමක් ඇති විය. මේ අතර බ්‍රිතාන්‍යය විදේශයන්හි විස්මයජනක ජයග්‍රහණ අත්කර ගනිමින් සිටියේ ය. ඉන්දියාවේ සටන් කළ රොබට් ක්ලයිට්, ප්‍රංශ ජාතිකයන් පරදවමින් ප්ලැසේ සටනින් ජය ගත්තේ ය. ලාගෝස්හි දී ද ක්විබාරොන් බොක්කෙහි දී ද ප්‍රංශ නාවික හමුදාව පරාජය වූ අතර වුල්ස් ප්‍රංශයින්ගේ ක්විබෙක් අල්ලා ගත්තේ ය.

මින්ඩන්හි දී ප්‍රංශ හමුදාව විනාශ කොට දමන ලදි. ප්‍රසියානු විරෝධි හවුලෙන් රුසියාව ඉවත් වීම නිසා තව දුරටත් යුදධය දිග්ගැස්සීම නිෂ්ඵල බව ඔස්ට්‍රියාවට වැටහිණ. පැරිස් හා නියුබර්ට්ස්බර්ග් සාම ගිවිසුම්වලින් යුද්ධය නිමාවට පත්විය.

සැබැවින් ම ප්‍රසියාවේ ෆෙඩ්රික් රජුට හුදු පැවැත්ම සදහා මහත් සටනක් කළ යුතු විය. රුසියානු හමුදා විශේෂයෙන් බලවත් විය. 1756 නොවැම්බර් මස එංගලන්තයේ බලයට පැමිණි විලියම් පිට් ෆෙඩ්රික් සමඟ දැඩි සහයෝගයකින් කටයුතු කිරීම සටනේ ඉරණම පෙරළීමට මුල් වූ වැදගත් හේතුවකි. එහෙත් ෆෙඩ්රික් රජුගේ නොපසුබට ධෛර්යයත් යුද්ධ දක‍්ෂතාවත් නිසා නොවන්නට ප්‍රසියාව සතුරු හමුදා අතින් මහත් විනාශයකට පත්වන්නට ඉඩ තිබිණි. III වෙනි ජෝර්ජ් රජු බලයට පැමිණීමෙන් පසු බ්‍රිතාන්‍යයෝ ප්‍රසියානු හවුලෙන් ඉවත් වූහ. ප්‍රංශය බ්‍රිතාන්‍යය සමඟ ගිවිසුමකට එළඹුණේ ය. 1763 පෙබරවාරි 10 දා අත්සන් තැබූ පැරිස් ගිවිසුමෙන් ප්‍රංශය, ඉන්දියාවට හා උතුරු ඇමෙරිකාවට පැවසූ අයිතිය අත්හළේ ඒ තැන බ්‍රිතාන්‍යයට හිමිකර දෙමිනි. 1763 පෙබරවාරි 15 දා අත්සන් තැබූ හියුබර්ට්ස්බර්ග් සාමගිවිසුමෙන් ෆෙඩ්රික්, සයිලේසියාව තමා සතු කොට ගත් අතර ප්‍රථමවරට ප්‍රසියාව යුරෝපයේ සේනා බලයෙන් අනූන රාජ්‍යයක් බවට පත්විය.

ප්‍රසියාවේ පැවැත්මටත් අවසාන ජයග්‍රහණයටත් හේතු වූයේ ප්‍රසියානු විරෝධී හවුලේ ආවේණික දුර්වලකම් ද බ්‍රිතාන්‍ය අගමැති විලියම් පිට්ගේ සහයෝගය ප්‍රසියාවට හිමි වීම ද රුසියාව ප්‍රසියානු විරෝධීන්ගේ හවුලෙන් ඉවත් වීම ද යන කරුණු ය. එහෙත් ෆෙඩ්රික් රජුගේ නොපසුබට ධෛර්යයත් ඉවසීමත් නොවන්නට ප්‍රසියාවට යුද්ධයෙන් ජය ගත හැකි නොවන්නට තිබිණ. සයිලේෂියාව වැනි විශාල ප්‍රදේශයක් මුල්කොට ගත්තා වූත් මෙතරම් වර්ග හා ජාතීන් සංඛ්‍යාවකගේ ඉරණම හා බැඳී තිබුණා වූත් යුද්ධයක් යුරෝපා ඉතිහාසයේ එතෙක් සඳහන් වී නොමැත.

(කර්තෘ: කේ.බී. සෝමරත්න: 1976)

(සංස්කරණය නොකළ)