සර්වාඞ්ග වෙදකම
(Whole Body Treatment). 'සර්වාංග වෙදකම' යන වචනය ව්‍යවහාරයෙහි ප්‍රචලිත වූවක් විනා වෛද්‍ය ශාස්ත්‍රයෙහි භාවිත වූ වචනයක් නොවේ. ඒ නිසා මෙය ව්‍යවහාරයට පත්වූයේ කෙසේ දැයි සොයා බැලිය යුතු ව තිබේ.
ආයුර්වේද චිකිත්සාව, ශල්‍ය, ශාලාක්‍ය, කායචිකිත්සා, භූතවිද්‍යා, කෞමාර භෘත්‍ය, අගද, රසායන, වාජීකරණ යන අංග අටකින් යුක්ත ය. හෙවත් ශල්‍ය වෛද්‍යවරු ශාලාක්‍ය කායචිකිත්සක ආදි වශයෙන් වෛද්‍යවරු අට කොටසකට අයත් වූහ.
වෛද්‍ය සම්ප්‍රදාය දෙකකි. ශල්‍යාඞ්ගය ප්‍රධාන කොට ඇති ධන්වන්තරී පරම්පරාව සහ කාය චිකිත්සාඞ්ගය ප්‍රධාන කොට ඇති භරද්වාජ පරම්පරාව යනුවෙනි. ධන්වන්තරී පරම්පරාවට අයත් වෛද්‍යවරු ශල්‍යකර්මය ප්‍රධාන කොට ඇති ප්‍රතිකාර ක්‍රමවලින් රෝග නිවාරණය කළහ. භරද්වාජ පරම්පරාවට අයිති වෛද්‍යවරු කෂාය, චූර්ණ, ගුලි ආදී ඖෂධ සංයෝග යොදා දොස් පැසවීම, ශෝධනය කිරීම, ශමනය කිරීම ආදී ප්‍රතිකාර ක්‍රමවලින් රෝග නිවාරණය කළහ.
භරද්වාජ (ආත්‍රෙය) පරම්පරාවට අයිති අග්නිවේශ, හේල, ජාතුකර්ණ, පරාශර, හාරීත, ක්‍ෂාරපාණි යන පරමර්ෂීහූ සදෙන කාය චිකිත්සාඞ්ගයෙහි ආදිපුරුෂයෝ වූහ. දාක්‍ෂිණාත්‍ය අගස්ති මුනිහු ද එම අංගයෙහි අග්‍රේසර වූවෝ ය. ඔවුන් විසින් වෙන් වෙන් වශයෙන් රචනා කරන ලද සංහිතාවන්හි අනික් අංගවලට වඩා කායචිකිත්සාඞ්ගය ම උසස් තන්හි ලා සලකන ලද බව ප්‍රකට ය.
මෙම කායචිකිත්සාංගය 'කායචිකිත්සා' නමින් ද පළවේ. එම චිකිත්සාවෙහි නියුක්ත වූවෝ කාය චිකිත්සකයෝ වෙති. 'කාය' ශබ්දයෙහි ඉඳුරා පෙනෙන තේරුම 'ශරීරය' යනුයි. සියලු ම රෝග කය ආශ්‍රය කොට පවතී. එහෙයින් කය ඇසුරු කොට ඇති සියලු ම රෝගවලට කරන චිකිත්සාව 'කායචිකිත්සාව' යැයි කිය හැකි ය. නමුත් ඒ කියමන ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රයට අනුකූල නොවේ.
'කාය' ශබ්දයාගේ සාමාන්‍ය අර්ථය 'ශරීරය' බව සැබවි. එහෙත් වෛද්‍යශාස්ත්‍රානුකූල ව සම්පුර්ණ දෝෂ ධාතු මල සහිත ශරීරය ම කාය ශබ්දයෙන් ගත යුතු බව වාග්භටාචාර්ය මතයයි. ළදරු ශරීරය අසම්පූර්ණ ධාතු යුක්ත නිසා කාය ශබ්දයෙහි ලා පිළිගෙන නැත. බාලරෝග කාය චිකිත්සාවයෙන් බැහැර වූ වෙනත් අංගයනට ඇතුළත් වනුයේ එ් නිසායි.
ඉහත සඳහන් පරිදි ඒ සම්පූර්ණ ධාතු යුක්ත ශරිරයෙහි ආමාශය හා පක්වාශය මුල් කොට ගෙන හට ගන්නා වූ, සකල ශරීරය ම තවන සුලු වූ ජ්වර, රත්පිත්, අතීසාරාදී රෝගයක් සංසිඳවන ඖෂධ යෝග (ප්‍රතිකාර) ඇතුළත් චිකිත්සාවය ‘කායචිකිත්සා’ නාමයෙන් හැඳින්වේ ය යනු වාග්ගය මතයයි.
සුශ්‍රැතචාර්යයන්ගේ මතය අනුව සර්වාංග ඇසුරු කළ ජවර, පිත්ත, ශෝෂ, උන්මාද, අපස්මාර, කුෂ්ඨ, ප්‍රමේහ අතීසාරාදී රෝග සංසිඳවීම පිණිස සහය වන අංගය කාය චිකිත්සාවයි. සුශ්‍රැතයෙහි 'සර්වාංග' යනු 'කාය' ශබ්දයට ම පර්යාය ශබ්දයක් ලෙස යොදා තිබේ.
මේ ආචාර්ය මත අනුසාරයෙන් සම්පූර්ණ ධාතු යුක්ත වැඩිහිටියන්ගේ සර්වාංගයෙහි හටගන්නා ජ්වර, රක්තපිත්ත, අතීසාරාදී රෝග සුවකරන ක්‍ෂාය, චූර්ණ, ගුලි ආදී ඖෂධ සංයෝග සහ සංශෝධන, සංශමනාදී ප්‍රතිකාර ඇතුළත් චිකිත්සාව 'සර්වාංග වෙදකම' යයි නිගමනය කළ යුතු වේ. සර්වාංග වෙදකම යන ව්‍යවහාරය අප රටේ ප්‍රචලිත වන්නට ඇත්තේ මේ ශාස්ත්‍රීය නිගමනය අනුව විය යුතුයි.
විවිධ සර්වාංග රෝග
නම් වශයෙන් රෝගයන්ගේ සීමාවක් නැතැයි ද සංඛ්‍යා නියාමනයන් නොකළ හැකි තරම් වාත රෝග අතුරින් මේ තාක් සොයාගත් වාත රෝග අසූවකුත් පිත්රෝග සතළියකුත් සෙම් රෝග විස්සකුත් විස්තර කරනු ලදැ'යි ද චරෙකසංහිතාවේ සඳහන් වේ. පරමාර්ෂීන්ට පවා රෝග මෙතැකැ'යි සීමා කරන්නට නොහැකි හෙයින් සර්වාංග රෝග ගණයට අයත් රෝග මෙපමණ යයි වෙන් කොට දැක්වීම දුෂ්කර කාර්යයකි. එහෙත් නම් වශයෙන් සොයාගෙන තිබෙන රෝග අතුරින් කිසියම් කොටසක් වෙන් කර ගත හැකි සිද්ධාන්ත ද නැත්තේ නොවේ.
සුශ්‍රැත සංහිතාව, ශල්‍ය තන්ත්‍රය හා උත්තර තන්ත්‍රය වශයෙන් කොටස් දෙකකින් යුක්ත ය. කාය චිකිත්සාවේ ශේෂභාගය උත්තරතන්ත්‍රයෙහි ඇතුළත් බව සුශ්‍රැතයෙහි ම සඳහන් වේ. ශේෂ ශබ්දය යෙදීමෙන් අනික් කොටස ශල්‍ය තන්ත්‍රයට ඇතුළත් බව නිශ්චය වේ. සූත්‍ර, නිදාන, ශාරීර, චිකිත්සා, කල්ප යන ස්ථාන පස ශල්‍ය තන්ත්‍රයට අයත් ය. මේ ස්ථාන පසට ඇතුළත් රෝග අතුරෙන් ද කිසියම් කොටසක් සර්වාංග ගණයට එකතු කර ගත යුතු ය.
ඉහතින් සදහන් කළ පරිදි එසේ රෝග වෙන් කර ගතහැකි සිද්ධාන්ත කිහිපයකි. හාරිත සංහිතාවේ 'කෝෂ්ඨාමය ශමන ක්‍රියා' ද කාය චිකිත්සා වශයෙන් සලකා තිබේ. චරක සංහීතාවේ නාභි, හෘදය, ක්ලෝම, යකෘත්, පලීහා, වෘක්ත, වසති, පුරිෂාධාර, ආමාශය, පක්වාශය, උත්තරගුද, අධරගුද, ක‍්ෂුද්‍රාන්ත්‍ර, ස්ථූලාන්ත්‍ර, වපා යන මේ පසළොස කෝෂ්ඨ බව සඳහන් ය. මේ පසළොස් වැදෑරුම් කෝෂ්ඨගත රෝග ද සුශ්‍රැතයෙහි කෝෂ්ඨ සංඛ්‍යාවට ම ඇතුළත් කර තිබෙන පෙණහළු දෙක සම්බන්ධ රෝග ද සර්වාංග රෝග බව විනිශ්චය වේ. කෝෂඨ නම් මුත්‍රා, ලේ, සෙම් ආදී පදාර්ථ රඳා සිටින ගුහාවල් වැනි ස්ථාන වේ. වැළඳූ අමු ආහාරය රඳා පවතින ස්ථානය ආමාශයයි. පැසවන ලද නොහොත් දිරූ ආහාර රඳා සිටින ස්ථානය පක්වාශයයි. මල රඳා පවතින ස්ථානය මලාශයයි. මුත්‍ර පවතින ස්ථානය මුත්‍රාශයයි. ලේ රැස් ව පවතින ස්ථාන යකෘත් (අක්මාව) සහ පලීහා (පිලාව) යනාදී වශයෙනි. මේ කෝෂ්ඨ හෙවත් ආශයගත රෝගයෝ සර්වාංග සංඛ්‍යාවට අයත් වෙති. තවද 'කාය' ශබ්දය ජඨරාග්නිය යන අර්ථයෙහි ද ව්‍යවහාරයි. ඒ නිසා ජඨරාග්නි විකාර ද සර්වාංග රෝග ගණයට අයත් වේ.
චක්‍රදත්තය භාවප්‍රකාශය සහ භෛෂජ්‍යරත්නාවලිය ඉතාමත් උසස් වශයෙන් සළකනු ලබන කාය චිකිත්සා ග්‍රන්ථයෝ වෙත්. චරක සුශ්‍රැත වාග්භටාදී සංහිතාවලට ඇතුළත් වූ ද මෑත අතීතයේ දී සොයා ගන්නා ලද්දා වූ ද රෝග මේ පොත්වලට ඇතුළත් වි තිබේ. 'ආයුර්වේද විඥානය' ද වඩාත් මෑත දී යම් යම් රෝග ඇතුළත් කර ගත් පොතකි. ඒ නිසා මේවාට ඇතුළත් රෝග අතුරෙන් ශාස්ත්‍ර යුක්ති අනුව වෙන් කරගත හැකි සර්වාංග රෝග පහත පළවේ.
1. ජ්වර 2. අතීසාර 3. ශෝෂ
4. ගුල්ම 5. හෘද්‍රොග 6. පාණ්ඩු
7. රක්තපිත්ත 8. මුර්ඡා 9. පානජ මදාත්‍ය
10. තෘෂ්ණ 11. ජරදී 12. හික්කා
13. ශ්වාස 14. කාස 15. ස්වරභේද
16. කෘමි 17. උදාවර්ත 18. විසූචිකා
19. අරෝචක 20. මුත්‍රාඝාත 21. මුත්‍රාකෘච්ඡ
22. ජ්වරාතිසාර 23. ග්‍රහණි 24. අර්ශස්
25. ජඨරාග්නිවිකාර (අග්නිමානද්‍යාදි) 26. අම්ලපිත්ත 27. දාහ
28. උන්මාද 29. අපස්මාර 30. වාතව්‍යාෂි 80 ප්‍රභේද
31. පිත්තව්‍යාධි 40 ප්‍රභේද 32. ශලේෂ්මා ව්‍යාධි 20 ප්‍රභේද 33. වාකරක්ත
34. ඌරුස්තම්භ 35. ආමවාත 36. ශලරෝග
37. ප්‍රමෙරිරෝග 20 ප්‍රභේද 38. ස්ථෞල්‍ය 39. කාර්ශ්‍ය
40. උදර 41. පලීහාරෝග 42. යකෘත් රෝග
43. ශොථ 44. වෘද්ධි 45. භගන්දර
46. කුෂ්ඨ 18 ප්‍රභේද 47. ශීත, පිත්ත, උදර්ද කොඨ 48. විසර්ප
49. විස්ඵොට 50. ආමාශ රෝග 51. උරස්තොය
52. ක්ලෝම (අග්න්‍යාශය රෝග) 53. වෘක්ත රෝග 54. මසූරිකා
55. ලඝු මසූරිකා 56. රෝමාග්නිකා 57. ශ්ලීපද
58. කාණ්ඩව රෝග 59. ස්නායුරෝග 60. මුඛරෝග
61. දන්තරෝග 62. ජිහ්වාරෝග 63. ගලරෝග
64. ක්‍ෂද්‍ර රෝග
මෙහි සඳහන් මුල් රෝග 21 සුශ්‍රැත උත්තර තන්ත්‍රයට ඇතුළත් සර්වාංගරෝගයෝ වෙති.
ක්‍ෂද්‍ර රෝග 44 අතුරෙන් ඇතැම් රෝග ද සුශ්‍රැතාදි නොයෙකුත් සංහිතා සංග්‍රහවලට ඇතුළත් සර්වාංග රෝගයෝ වෙත්.
සර්වාංග වෙදකම. සර්වාංග වෙදකමට අයත් රෝග අතුරින් වාත රෝගය ද විශේෂයෙන් සදහන් කළ යුතු තවත් රෝගයකි. ප්‍රභේද විසින් වාතරෝගය අසූ වෑදෑරුම් ය. සිරුරේ අධඃ අර්ධාඩ්ගය, ඌර්ධ්ව අර්ධාඬ්ගය සහ පාර්ශ්ව අර්ධාඬ්ග දෙක ද එක් අතක් එක් පයක් ආදී විසින් එක් එක් අවයවයක් හෝ අවයවයකින් කොටසක් ආදී සිරුරේ කුමන කොටසක් හෝ අප්‍රාණික වන පක‍්ෂගාත රෝගය ද වාත රෝග සංඛ්‍යාවට ම අයත් ය. මුහුණේ අර්ධයක් අප්‍රාණික වන අර්දිත රෝගය ද වාත රෝග අසූවෙන් එකකි. වලිප්පුව මෙන් හදිසියෙන් හට ගන්නා අත්පා ගැස්සීම, තදවීම, සිරුර වෙව්ලීම, ඇතුල්පසට හෝ පිටුපසට හෝ සිරුර වකුටු වීම (පිටගැස්ම මෙන්), අත්පා දරදඬු වීම, කුඳු ගැසීම, ගොත ගැසීම ආදී ඉතාමත් දුක්සහගත රෝග එම අසූ වෑදෑරුම් වාත රෝගයෙහි ප්‍රභේදයෝ වෙති.
වාත රෝග ප්‍රභේද විසින් බොහෝ පුළුල් මෙන් ම ඒ සඳහා යොදන ප්‍රතිකාර ක්‍රම ද බොහෝ පුළුල් වෙති. සිරුර ඇතුළට යෙදීමෙන් දෝෂ සංශෝධනය සංශමනය කරන වමන විරේචන ආදී අන්තඃ පරිමාර්ජනය ද තැවිම, තෙල් ගැල්වීම, වේදූ ඇල්ලිම්, බෙහෙත් ඔරුවල නිදිකරවීම (බෙහෙත් ඔරුවල සිරුර ගල්වා තැබීම) ආදී විසින් කෙරෙණ බහීඃ පරිමාරජනය ද නිල ඇල්ලීම, නහර විදීම, සිරා විද ලේ හෑරීම, පිළිස්සීම ආදී ශල්‍ය කර්ම විධි ද වාත රෝග චිකිත්සාවට උපයෝගි කරගනී. වාත රෝගයන්ගෙන් පෙළෙන්නවුන්ට මිහිරි, ඇඹුල්, ලුනු යන රස සංයුක්ත ආහාර වර්ග ද තලතෙල්, ගිතෙල් ආදී තෛල වර්ග ද මාංස රස ද හිතවත් ය. නහර ශක්තිය වඩන සිරුරේ බල වඩන ආහාරපාන ඖෂධ නියමිත දෑ වෙති. උඳු, අමුක්කරා, බැබිල, හාතාවාරිය, කොල්ලු, වඳුරුමෑ ඇට, කටුකරඬු, සශමූල, අරත්ත තෙල්, එඬරු, දේවදාර සුදුලූනු, නික, ප්‍රසාරීණි ආදිය වාත රෝගය නසන යෝගවල බොහෙවින් ම සංයෝග වී ඇත. එළුමස්, කුකුළු මස්, මුවමස්, ගෝන මස් ආදී මස් ජාති මිශ්‍ර තෛල වර්ග ද බෙහෙවින් ම ව්‍යවහාර ය. සිද්ධාර්ථ, මහානාරායන, බලා, සුද්ධ බලා, බලකොරණව, මහාමාෂ, සප්තප්‍රස්ථ මහාමාෂ, ප්‍රසාරිණි, කුබ්ජ ප්‍රසාරිණී ආදී මහා බලශාලී තෛල වර්ග මහත් රැසක් සර්වාංග වෙදකමෙහි වාත රෝගීන් සඳහා නියමිත ය. පක්‍ෂාඝාතාදි ඉතාමත් අමරු වාත රෝගයන්ගෙන් පීඩිතයන්ට වෘහත් ජාගලාද්‍ය, වෘහත් අශ්වගාන්ධාදී වැනි ඝෘත වර්ග ද ගුගුල් මිශ්‍ර කොට සාදනු ලබන ගුග්ගුලු වර්ග ද ඉතා ගුණදායක සංයෝගයෝ වෙති.
ඉහත සඳහන් සර්වාංග රෝග අතුරෙන් ජ්වර (උණ) රෝගය සියල්ලන්ට ම වඩා ප්‍රධාන ය. භිෂශ්වර දේවර්ෂි ධන්වන්තරී 'ස රොගානීකරාට්' ජ්වර රෝගය තෙමේ රෝග සමූහයාගේ රජ යැ'යි කීහ. දේවර්ෂින්ගේ මතය අනුව උන රෝගය දෙවියන් හා මනුෂ්‍යයන් හැර අන් කිසිවෙකු විසින් නොඉවසිය හැකි තරම් දරුණු රෝගයකි. උප්පතිතියේහිදීත් මරණයේ දීත් ජ්වරය මිනිසා ආක්‍රමණය කරන හෙයින් සියලු රෝගයන්ගේ රජ යැයි කියති. එහෙයින් ඒමර රෝගය සම්බන්ධ සුළු විවරණයක් කළ යුතු ය.
ආයුර්වේදයෙහි ජ්වරය අට වෑදෑරුම් වේ. වාත, පිත සහ සෙම යන තිදොස් කීපීමෙන් ද වාපිත්, වාසෙම්, පිත් සෙම් විසින් දොස් දෙකක් බැගින් කෝප වීමෙන් ද වා, පිත්, සෙම් යන තිදොස ම එක්වන්ව කෝප වීමෙන් හෙවත් සන්නිපාත වීමෙන් ද ආගන්තුකය ද මෙසේ ජ්වරය අට වෑදෑරුම් ය. අට වෑදෑරුම් ජ්වරය තුළ වෙනත් සියුම් ප්‍රභේදයෝ ද ඇත්තාහ. දහතුන් වෑදෑරුම් උනසන්නිපාතය (ත්‍රයෝදශ සන්නිපාත) පස් වෑදෑරුම් විසම ජ්වරය ආදිය මෙනි. කාම - ශෝක - භය වැනි මානසික හේතූන්ගෙන් හට ගන්නා උණ රෝග ද පෙන්වා දී ඇත. එම හේතූන්ගෙන් වුව ද ජ්වරය හට ගන්නේ වාතාදි දෝෂ කෝප වීමෙන් ය. කාම, ශෝක, භය යන තෙකරුණේ ම සිදුවන්නේ වාත කෝපයයි. එහෙයින් එබඳු රෝගයන්හි ද දොස් (පැසවීම්) සමනය කිරීම් වැනි චිකිත්සා නියමයන් සමඟ කාම, ශෝක, භය වැනි මානසික කරුණු සංසිඳුවීම ද කළ යුතු ය.
ආයුර්වේදයේ රෝග පහළ වීමත් රෝගීන්ට ප්‍රතිකාර කීරීමත් වාතය, පිත සහ සෙම යන ත්‍රිදෝෂය පදනම් කොට ඇත්තේ ය. වැඩි තරමක් රෝගයන්ගේ ආම අවස්ථාව හා පක්ව අවස්ථාව යැ'යි අවස්ථා දෙකකි. ප්‍රතිකාර යෙදීමේ දී මෙම අම - ආපක්ව අවස්ථා දෙක මැනවින් තෝරා බේරා ගෙන ම ප්‍රතිකාර යෙදිය යුතු ය. එසේ නොවුවහොත් රෝගයක් සුවකළ නොහැකි තරම් නරක තත්වයට පත් වෙයි. උණ අතීසාර වැනි තියුණු රෝගයන්හි ප්‍රතිකාර යෙදීමේ දී මේ නියමය බලවත් ලෙස ම අනුගමනය කළ යුතු ය.
ආම සහිත උණෙහි උණ බස්වන තදබල බෙහෙත් නොයෙදිය යුතු ය යනු ශාස්ත්‍ර නියමය වේ. එබඳු උණෙහි පළමුකොට ම ලඬ්ඝනය කරවිය යුතු ය. ලඬ්ඝනය නම් පහසුවෙන් දිරවිය හැකි ලඝු (සැහැල්ලු) ආහාර දීම ය. ඒ සමඟ ම ඉඟුරු, කොත්තමල්ලි, තිප්පිලි, වී, පොරි වැනි ගින්න (ජඨරාග්නිය) දල්වන දොස් පැසවන ද්‍රව්‍යයන්ගෙන් සිදුකරන ලද පෙයා කැඳ, පානීය වර්ග ආදිය යෙදිය යුතු ය.
ආයුර්වේද ප්‍රතිකාරයෙහි චිකිත්සා සූත්‍ර අනුගමනය කිරිම බෙහෙතකටත් වඩා උසස් කොට සැළකිය යුත්තකි. සන්නිපාත ජ්වරයෙහි "ලඬ්ඝනය වාලුකාස්වේදය, නස්‍යය, නිෂ්ධීවනය, අවලේහය, අඤ්ජනය, යන මේවා පළමු කොට යොදන්නේ ය. සන්නිපාත උණෙහි පළමුකොට ආමය සහ සෙම පහ කිරීම කරන්නේ ය. සෙම හීන වූ කල්හි පිත සහ වාතය ශමනය කරන්නේ ය" (චක්‍රදත්ත) යන මේ නියමය චිකිත්සා සුත්‍ර පිළිබඳ නිදර්ශනයකි. ආයුර්වේදයේ සෑම රෝගයකට ම ප්‍රතිකාර යෙදීම සම්බන්ධයෙන් චිකිත්සා සූත්‍ර පෙන්වා දී ඇත්තේ ය. එම සූත්‍ර අනුගමනය නොකොට ප්‍රතිකාර යෙදීමෙන් ආයුර්වේදයේ මුළුමුනින් ම තහනම් විය. චිකිත්සා සූත්‍ර අනුගමනයෙන් ප්‍රතිකාර යෙදු විට ආශානූරූප ව රෝග මුක්තිය සිදු වීමත් ප්‍රතිකාර දෝසයෙන් වෙනත් රෝගයක් පහළ නොවීමත් රෝගියා ඉක්මනින් දුබල බවෙන් නිදහස් වීමත් මැනවින් සිදු වන්නේ ය.
උණ රෝගය මෙන් ම කායග්නිය දුෂණයෙන් හට ගන්නා, අජීර්ණ, අතීසාර, ප්‍රවාහීකා, විසූචිකා (කොළරා, කාලාතීසාර), ග්‍රහණි යන මෙ රෝගයෝ ද විශේෂයෙන් සඳහන් කරුණු සුදුසු ය. කායග්නි ධාත්වග්නි'යි ආයුර්වේදයේ ගින්න දෙවෑදෑරුම් කොට පෙන්වා දෙයි. කායග්නිය නම් අප ආහාර කොට ගන්නා, ලෙහ්‍ය, පෙයඛාද්‍ය, භොජ්‍ය යන සිව් වෑදෑරුම් ආහාරය දිරවීමට උපකාරවන ජඨරාග්නිය වේ. ධාත්වග්නිය නම් ආහාර දිරවීමෙන් පසු ඇතිවන රස ධාතුව රක්ත ධාතුව බවටත් රක්ත ධාතුව මාංස ධාතුව බවටත් යන පිළිවෙළින් එක් ධාතුවක් පැසවා ඊළඟ ධාතුව නිපදවීමට උපකාරීභූත වන ධාතුගත අග්නිය වේ. අජීර්ණ, අතීසාරාදී රෝග හටගන්නේ කුමන හේතූන්ගෙන් හෝ කායාග්නිය දුෂිත වීමෙන් ය. එහෙයින් එම රෝග කිහිපයෙහි ප්‍රතිකාර යෙදීමේ දී උණ රෝගයේ මෙන් ම ආමය පැසවන ප්‍රතිකාර යෙදීම සහ ආමය පැසවීමෙන් පසු දොස් සමනය වන ප්‍රතිකාර යෙදීමත් ශාස්ත්‍ර නියමය වේ. "අතීසාර රෝගයෙහි ආම අවස්ථාව (මල නොපැසුණු අවස්ථාව), පක්ව අවස්ථාව (මල පැසුණු අවස්ථාව ) යන දෙක නොවිසඳා කිසිම ප්‍රතිකාරයක් නොයෙදිය හැකි ය. සියලු අතීසාර රෝගයන්හි දී ම මල පිළිබඳ ආම-පක්ව අවස්ථාව යන ලකෂණ දෙක දැන ගත යුතු ය. (චක්‍රදත්ත) මෙය අතීසාර චිකිත්සාවේ දී අනුගමනය කළ යුතු ප්‍රධාන නියමය වේ.
අතීසාර රෝගයේ ආම අවස්ථාවේහි පළමු කොට ලඬ්ඝනය ද ඉන්පසු දොස් පැසවන (පාචන) ඖෂධ යෙදීම ද ප්‍රශස්ත ය. ඉන්පසු මණ්ඩ, පෙයාදී ශාස්ත්‍රයෙහි නියමිත ආහාර වර්ග යොදන්නේ ය. දුබල නොවූ හෙවත් කාය ශක්තිය ඇති අතීසාර රෝගීයාගේ පක‍්ෂයේ ලඬ්ඝනය ශ්‍රේෂ්ඨ ඖෂධය වේ. ලඬ්ඝනයෙන් වැඩුණු දොස් සියල්ල පැසවන අතර ශමනය ද සැලසෙන හෙයිනි. මෙය අතීසාර ප්‍රතිකාරයෙහි චිකිත්සා සූත්‍රය වේ. මෙම චික්තිසා සූත්‍රය උල්ලංඝනය කොට ප්‍රතිකාර කිරීමෙන් රෝගය සුව කළ නොහැකි තත්වයට අසාද්‍ය විය හැකි ය. එම නිසා සර්වාංග වෙදකමෙහි චිකිත්සා සූත්‍ර අනුගමනයෙන් ම ප්‍රතිකාර කිරීම ශාස්ත්‍ර යුක්තිය බව මෙනෙහි කළ යුතු ය.
සර්වාංග රෝග අතුරෙහි ක‍්ෂය රෝගය ද විශේෂයෙන් සඳහන් කළ යුත්තකි. ශොෂ, ක්‍ෂය, රාජයක්‍ෂම යන මේවා ක්‍ෂය රෝග පර්යාය නාමයෝ වෙති. රස, රක්ත ආදී ධාතූන් වියලවන හෙයින් හෙවත් සංශෝෂණය කරන හෙයින් ශොෂ රෝගයයි ද කායික, වාචසික, මානසික, (කාය,වාග්,මනස්) ක්‍රියා හීන (ක්‍ෂය) කරන හෙයින් ක්‍ෂය රෝගයි ද රෝගයන්ගේ රජු යන අර්ථයෙන් රාජයක්‍ෂමා රෝග යයි ද යෙති. ආයුර්වේදයේ ක්‍ෂය රෝගය හැර සෙසු රෝගයන්හි වාතජ, පිත්තජ, කඵජ වශයෙන් ප්‍රභේද ඇතත් ක්‍ෂය රෝගයෙහි එබඳු ප්‍රභේදයක් නැත. මෙය මුළුමුනින් ම සන්නිපාතජ රෝගයකි. එයින් ක්‍ෂය රෝගයාගේ මහාබලත්වය පැහැදිලි වෙයි (ශෙෂො ව්‍යාධීරීමහාබලඃ සුශ්‍රැත).
ක්‍ෂය රෝගයෙහි වමන විරේවන දෙක තහනම් ය. එහෙත් සෙම හා පිත අධික ව ඇති කල්හි රෝගියාගේ ශරීර ශක්තියට හානියක් නොවන අයුරු ඉතා මෘදු ලෙස වමනය හා විරේචනය කළ යුතු ය. එසේ කිරීමට පෙර තෙල් ගැල්වීමෙන් සහ තැවීමෙන් රෝගියා ස්නිග්ධ කළ යුතු ය. එම වමන - විරෙචනවලින් කොෂ්ඨ පිරිසිදු වූ කල්හි සිරුර බල වඩන, සිරුර තරකරන යව, ගොධූම, ඇල්සහල් ආදී ආහාර ද මාංස රස ද ආහාර වශයෙන් දිය යුතු ය. මනුුෂ්‍යයාගේ කාය බලය ශුක්‍ර ධාතුවට ද ජීවනය මල පදාර්ථයන්ට ද අයත් ය. එහෙයින් ශුක්‍රධාතුම සහ මල ආරක්‍ෂා කරගත යුතුය. මල බුරුල් නොවන, ශුක්‍ර ධාතුව ආරක්‍ෂා වන, වර්ධනය වන, සිරුර තරකරන (වෘංහණ) ඖෂධ සහ ආහාරපාන ව්‍යවස්ථා කරන්නේ ය. මේවා ක්‍ෂය රෝගායෙහි චිකිත්සා සූත්‍ර වෙති.
ක්‍ෂය රෝගයෙහි උණ බැස්සවීම පිණිස, වෙනත් ප්‍රතිකාර අතර ජයමංගලරස, වෘහත්ජයමංගලරස, වෘහත්මහාලක්‍ෂ්මීරස, වෘහත් කස්තුරිභෛරවරස, මහා මෘගාඬිකරස ආදී ඖෂධ ප්‍රයෝග කරන්නේ ය. මේ සෑම වටිකාවක් ම රත්තරන් මුතු කොරල් (ප්‍රවාල) ලෝහ කස්තුරි ආදීය අන්තරගත ඖෂධයෝ වෙති. සර්වාංග වෙදකමෙහි කෂය රෝගයට රත්තරන් ඉතාමත් ගුණදායක උසස් ඖෂධයක් ලෙස සලකති. මුතු ප්‍රවාල වැනි චූර්ණකර ධාතුව අන්තර්ගත ද්‍රව්‍ය ද බොහෙවින් ම අගය කොට සලකති. වනෞෂධ අතුරෙන් අමුක්කරා, බැවිල මුල්, දශමුල, සුවඳකොට්ටම්, සිරිතේක්කු, ආඩතෝඩා, හාතාවාරිය, වැල්මී, කිරිබදුඅල, තිප්පිලි ආදීය නොයෙකුත් යෝගයන්හි බොහෙවින් ම සංයෝග ව ඇත්තාහ.
එළුකිරි, එළගිතෙල්, එළුමස් ආදී එළුවාගේ සියලු ශාරීරික ද්‍රව්‍ය ද එළුවන් සමඟ උන් අතර ගැවීම ද ක්ෂය රෝගයට විශේෂයෙන් ම පථ්‍ය ය. එළුමස් දශමූල, අමුක්කරා, අෂ්ඨවර්ග, එළකිරි, ගිතෙල් ආදී ද්‍රව්‍ය රැසක් සංයෝග කොට සාදනු ලබන වෘහත්ජාගලාද්‍ය ඝෘතය, ච්‍යවනප්‍රාශාව ලේහය, අමෘතප්‍රාශ්‍යය, මහාද්‍රාක‍්ෂාරිෂ්ට, කස්තුරිමිශ්‍ර දශමූලාරිෂ්ට ආදීය ද ක්ෂය රෝගයට උත්කෘෂ්ට ඖෂධයෝ වෙති. ආහාර දිරවීමේ ශක්තිය දියුණු කරන සිරුර තරකරන ඖෂධ සංයෝගඔවලින් සම්පාදිත සුරාසාර යුක්ත ඖෂධ කෂයරෝගයෙහි ඉතාමත් අවශ්‍ය වේ. ශාස්ත්‍රයෙහි නියමිත ය. සෑම අයුරකින් ම ක‍්ෂය රෝගයෙහි ශරීරශක්තිය වඩන ගින්න වැඩිදියුණු කරන සිරුර තර කරන මල බුරුල් නොවන ශුක්‍රධාතුව වැඩිදියුණු කරන ඖෂධ ආහාරපාන යෙදිය යුතු ය යනු ආයුර්වේද නියමය වේ. ආහාර වශයෙන් මස් බුදින සතුන්ගේ මස් දීම වීශේෂ නියමයකි. ගිජුලිහිණියන් වැනි මස් බුදින පක‍්‍ෂීන්ගේ මස් දීමෙන් ක‍්ෂය රෝගියා අතිශයින් ම තරවෙන බව සුශ්‍රැත ටීකාවේ පෙන්වා දෙයි.
සර්වාංග රෝගයෙහි එන සෑම රෝගයක් ම සම්බන්ධ රෝග ලක‍්ෂණ සහ ප්‍රතිකාර පෙන්වා දීම අවස්ථානූකූල නොවේ. ලංකාවේ ව්‍යවහාර සර්වාංග වෙදකමේ ඉතිහාසය සැකෙවින් වුව ද සදහන් කළ යුතු ය.
ලංකාවේ සර්වාංග වෙදකමත් දඹදිව සර්වාංග වෙදකමත් දෙකක් වශයෙන් සැළකීමට අවකාශයක් නැත. මේ දෙක ම අවුරුදු තුන් හාරදහසක් ම ඒකාබද්ධ ව ගමන් කරන බවට සිද්ධාන්ත ය. ආයුර්වේදෝත්පත්ති කථාව ඊට අගනා නිදසුනකි.
ඈත අතීතයෙහි හිමවත් පාර්ශ්වයෙහි මහර්ෂින්ගේ සම්මේලනයක් විය. එම සාකච්ජා සම්මේලනයෙහි සාකච්ජාවට විෂය වූයේ ලෝක සත්වයා රෝග පීඩාවලින් දුක් විඳින හෙයින් ඔවුන් එම දුකින් නිදහස් කර ගන්නේ කෙසේද ? යනුයි. ධර්ම - අර්ථ - කාම - මොක්ෂ යන චතුර්වර්ග සම්පත්තීන්ට ආරෝග්‍යය ම ප්‍රධාන කාරණය වේ. රෝගීයෝ ධර්මාදී චතුර්වර්ගප්‍රාපක ශ්‍රෙයස්කර ආරොග්‍යාය හා ජීවිතය ද පැහැර ගන්නාහු ය. මේ රෝගයන්ගේ පහළ වීම මනුෂ්‍යයන්ට මහත් අන්තරායකි. ඒ රෝග සංසිඳුවන උපාය කුමක්දැ’යි කියා සියලු ම මහර්ෂීහු ධ්‍යානයට සමවැදුණාහ යනු එම මහර්ෂී සම්මේලනයේ කෙටි වාර්තාවයි.
එම සකච්ඡා සම්මේලනයට දඹදිව නොයෙකුත් ප්‍රදේශවලින්, අඬ්ගීර, ජමදග්නි, වශිෂ්ට, කාශ්‍යප, ආත්‍රෙය, ගෞතම, නාරද ආදී මහර්ෂීහූ පැමිණියාහූ ය. දක්‍ෂිණ භාරතයෙන් අගස්ත්‍ය මහර්ෂීහූ ද ලංකාද්වීපයෙහි පුලස්ථ්‍ය මහර්ෂීහූ ද සහභාගි වූහ. (තුන්වේ ඇඳුරු පුලතිසි කුල මිණි මිණි මිතුරු ය, සිරි රහල් මාහිමියන්, රාවණයන් සහ විභීෂණයන් පුලස්ති මහර්ෂීන්ගේ කුලයෙහි වූවන් බව කියන ලදි.) එම සම්මේලනයෙන් ලෝක සත්වයා රෝග පීඩාවන්ගෙන් නිදහස් කර ගැනීමේ උපාය ඉන්ද්‍රයා වෙතින් දැන ගැනීම පිණිස භරද්වාජ මහර්ෂීන් නියෝජිතයෙකු වශයෙන් (සෘෂීභඃ සඃ නියෝජිතඃ) වූහ. එම භරද්වාජ මහර්ෂී, ඉන්ද්‍රයා වෙතින් අසා දැනගත් ආයුර්වේදය යි, අද දක්වා ම දඹදිව සහ ලංකාද්වීපයෙහි අවිච්ඡින්න ව පැවත එන්නේ.
දඹදිව සහ ලංකාවේ ආයුර්වේදයෙහි යම් යම් සුළු වෙනස්කම් ඇත ද මේ දෙරටෙහි ම වෛද්‍ය ශාස්ත්‍රයේ පදනම එකක් ම ය. මහර්ෂී භාරද්වාජ ඉන්ද්‍රයා වෙත පැමිණ සැළකරන ලද්දේ "පින්වත් වූ ඉන්ද්‍ර දේවය, පෘථිවි ලෝකයෙහි සියලු ම ප්‍රාණින්ට භය ජනක වූ රෝගයෝ පහළ වූවාහු ය. එහෙයින් එ් රෝග සංසිඳුවන උපාය විධි වූ පරිදි මට කිනු මැනව" යනු වේ. එම ඉල්ලීමට පිළිතුරු වශයෙන් ඉන්ද්‍ර දේවයා සමස්ත අයුර්වේදය ම භරද්වාජයන්ට හකුළුවා ප්‍රකාශ කළහු ය.
"හේතුලිඬ්ගෞධඥානං ස්වස්ථාතුරපරායණම්,
ත්‍රිසූත්‍රං ශාශ්වතං පුණ්‍යං බුබුධෙ යං පීතාමහඃ." (චරක)
රෝග හට ගැනිමේ හේතු, රෝගයන්ගේ ලක්‍ෂ රෝගයන්ට යෙදිය යුතු ඖෂධ යන මේ ත්‍රිවිධ ඥානය පෙරරටුකොට ඇති නීරෝගීන්ට සෞඛ්‍යය ආරක්‍ෂා කර ගැනීමටත් රෝගීන්ට රෝග සුවකර ගැනීමටත් පරම ප්‍රතිෂ්ඨාව වූ පිතාමහ (බ්‍රහ්මයා) විසින් අවබෝධ කරගත් ඒ හේතුලිඬ්ගෞෂධඥාන යන ත්‍රිසූත්‍රයක් ඇති නිත්‍ය වූ පුණ්‍ය වූ ආයුර්වේදය ඉන්ද්‍රයා විසින් භරද්වාජයන්ට අවබෝධ කරන ලද්දේ ය. දඹදිවත් ලංකාවෙහිත් පවතින සර්වාංග වෙදකම මෙම ත්‍රිසූත්‍රය පදනම් කොට ඇති ආයුර්වේදයෙන් පැවත එන එක ම ක්‍රමයක් විනා කිසියම් ම ක්‍රමයකින් වෙනස් වූවක් නොවේ.
ශ්‍රීමත් බුද්ධදාස නරදේවයා, ඒ පුලස්ති මහර්ෂීන් විසින් ලංකාවේ ස්ථාපනය කරන ලද අෂ්ටාංග ආයුර්වේදයෙහි කායචිකිත්සාංගයට අයත් සර්වාංග වෙදකමෙහි පමණක් නොව ශල්‍යංගයෙහි ද විශේෂඥ වූ ඉතිහාසගත ආදිපුරුෂයෙකු වශයෙන් සැළකිය හැකි ය. එතුමාගේ අසිරිමත් ප්‍රතිකාර රැසක් ම මහාවංසය පෙන්වා දෙයි. බුද්ධදාස නරනිඳුන් විසින් ආයුර්වේදයේ සාරවත් වූ අර්ථ සංග්‍රහ කොට වෛද්‍ය ග්‍රන්ථයක් රචනා කරන ලද බව ද මහාවංසයෙහි සදහන් ය. එතුමා මෙන් ම පළමුවැනි මහපැරකුම්බා නරනිඳු ද දක‍්ෂ වෛද්‍යවරයෙකු වූ බව ද පොළොන්නරුවේ ආයුර්වේද මහාරොග්‍ය ශාලාවේ දී එතුමා බොහෝ අවස්ථාවන්හි වෛද්‍යවරයන්ට පවා වෛද්‍ය ශාස්ත්‍රීය උපදෙස් දුන් බව ද මහාවංසයෙහි සදහන් ව ඇත.
දඹදිව ඍෂිවරයන් මෙන් ම ලංකාවේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා ද සර්වාංග වෙදකමෙහි අතිදක‍්ෂයෝ වූහ. අතීතයේ දී උන් වහන්සේලා ඍෂිවරුන් මෙන් ම ලෝක සත්වානුකම්පාවෙන් ම සර්වාංග වෙදකමෙහි නියුක්ත වූවාහු ය. මෑත අතීතයේ වැඩසිටි ප්‍රයෝග රත්නාවලිය, යෝගාර්ණවය යන වෙදපොත් රචනා කළ මයුරපාද පරිවේණාධිපතීන් වහන්සේ සිංහල යෝගරත්නකාරය රචනා කළ මෝරගම්මන මහාස්ථවිරපාදයන් වහන්සේ, භෙසජ්ජමඤ්ජුසාව රචනා කළ පඤ්චමූල පරිවේණාධිපතීන් වහන්සේ වැනි ශික්ෂාකාමී මහතෙරවරු ලෝක සත්වයා රෝග පීඩාවන්ගෙන් සුවපත් කිරීමේ පුණ්‍යචේතනාවෙන් ම මෙම සර්වාංග වෙදකම කළ බව පිළිගත හැකි ය. මේල්පිටිය, අත්තරගම, සපුවිද, තල්ගමුව, හිඟුල, පොතුවිල, බළල්ල ආදි මහස්ථවිරයන් වහන්සේලා ඉතා නුදුරු අතීතයේ වැඩිහිටි සර්වාංග වෙදකම සමඟ ඊට අදාළ විදුම් පිළිස්සුම් වැනි ශල්‍ය වෙදකමෙහි ද නියුක්ත ව සිටි භික්ෂූන් වහන්සේලා වෙති.
වෛද්‍ය ශාස්ත්‍රයෙහි සම්ප්‍රදාය ශබ්දයේ පැහැදිලි තේරුම පරම්පරා යනු ය. ධන්වන්තරී සම්ප්‍රදාය ආත්‍රෙය සම්ප්‍රදාය යන දෙක එම මහර්ෂීවරුන්ගේ පරපුරවලට අයත් ප්‍රතිකාර ක්‍රමයයි. ලංකාවේ ද එවැනි පරපුරවල් පැවති බව විශ්වාස කළ හැකි ය. ඈත අතීතයේ වෙද පරපුරවල් සම්බන්ධ ඓතිහාසික සාධක පෙන්වීමට පහසුකමක් නැත. එහෙත් ළඟ අතීතයේ සහ වර්තමානයේ ප්‍රසිද්ධ වෙද පරපුරවල් බෙහෝ ඇත්තාහ. වල්මෝරුව, ඇවරිවත්ත, නැදුන්ගමුව, කිරිනැලිය, ඉබ්බාගල, ලුණුකඩවැල්ල ආදිය ඉන් සමහරෙකි. මේ පරපුරවලට විශේෂ වූ රහස් බෙහෙත් වට්ටෝරු සහ යම් යම් වෙනස් වෙනස් ප්‍රතිකාර ක්‍රම ඇත්තාහ. සමහර පරපුරවල් වාත රෝග සමබන්ධව ද සමහර පරපුරවල් අතීසාර උණ රෝග ආදියට ද ඇතැම් පරපුරක් පීනස් රෝගයට ද ආදී වශයෙනි. එබඳු සුළු වෙනස්කම් ඇතත් සර්වාංග වෙදකමට අයත් මූලධර්මවල කිසිදු වෙනස්කමක් නැත්තේ ය. දඹදිව වේවා ලංකාවේ වේවා කොහි වුව ද ත්‍රිදෝෂතත්ව ඥානය පදනම් කොට ගෙන හේතුලිඬ්ගෞෂධඥාන සංඛ්‍යාත ත්‍රිසූත්‍රයට අනූරූප ව ම විනා ඊට වෙනස් අයුරකින් කෙරෙන සර්වාංග වෙදකමක් නැත්තේ ය.
"ස්වාභාවිකාගන්තුකකායිකාන්තරා - රෝගා භවෙයුඃ කිලකර්ම දොෂජාඃ, තච්ඡේදනාර්ථං දූරිතාපහාරිණඃ - ශ්‍රෙයොමයාන්යොගවරාන්නියෝජයෙත්." (ශාරඬ්ගධාරාචාර්ය)
"ස්වාභාවික, අගන්තුක,කායික, මානසික යන සිව් වෑදෑරුම් රෝගයෝ තුමු කර්මජ, දෝෂජ, කර්මදෝෂජ, යයි තුන් වෑදෑරුම් වෙත් ම ය.එම රෝගයන් සිඳ දැමීම පිණිස රෝග නසන්නා වූ රෝග දුරුකරන්නා වූ පුණ්‍යස්වරූප වූ උතුම් වූ ඖෂධ සංයෝග යොදන්නේ ය."
(කර්තෘ: ඩී.ඇම්. ජයසිංහ: 1956)
(සංස්කරණය නොකළ)