ස්වප්න ශාස්ත්‍රය
නින්දේ දී දර්ශනය වන ඉෂ්ටා’නිෂ්ට ස්වප්න (සිහින) හා ඵල, ඒවා විපාක දෙන කාල, නිශ්ඵල ස්වප්න ආදී කරුණු ඇතුළත් ශාස්ත්‍ර විශේෂය ස්වප්න ශාස්ත්‍රය නමින් හැඳින්වේ. ස්වප්න යනු නිද්‍රාවට නමෙකි. මනුෂ්‍යයන්ගේ කුසලා’කුසල කර්ම පිළිබඳ විපාකාවස්ථාව එළඹ සිටි සඳ නින්දේදී නොයෙක් ආකාර ඉෂ්ටානිෂ්ට රූපාදී වශයෙන් ඒ විපාක විශේෂය මනසට ඇතුල්වීම හෙවත් සිහිනෙන් දැකීම ස්වප්න දර්ශනය නම් වේ. කුසලකර්ම පිළිබඳ විපාක දර්ශනයට ශුභ ස්වප්න යයි ද අකුසලකර්ම පිළිබඳ විපාක දර්ශනයට අශුභ ස්වප්න යයි ද ව්‍යවහාර කරනු ලැබේ.
මේ ශාස්ත්‍රයෙහි ප්‍රභවය කවර කලෙක වී දැයි කිව නොහැකි වුව ද ශිෂ්ට මනුෂ්‍ය සම්භවය යම් කලෙක වී නම් ස්වප්න ශාස්ත්‍රය ද මීට සමකාලීන ව ඇති වූවකැ’යි සිතිය හැක. වේද සමයෙහි පවා මෙය ව්‍යවහාරයෙහි පැවති බව සාමවේද පුණ්‍ය කාණ්ඩයෙහි මේ ශාස්ත්‍රය ඇතුළත් වීමෙන් පැහැදිලි වේ. මෙය බුදුරජාණන් වහන්සේට පවා අනභිමත නොවූවකි. උන්වහන්සේ ද ස්වප්නයෙහි ඉෂ්ට විපාක ලැබූ බව බෞද්ධ සාහිත්‍යයෙහි දැක්වේ. මේ ශාස්ත්‍රය එක ම ආගමකට හෝ ජනසන්තතියකට සීමා නොවී ලෝකයේ සියලු ම මනුෂ්‍යයන් විසින් ම විශ්වාසයෙන් භාවිත කරන ලද්දකි. දුරාතීතයෙහි ස්වප්න ශාස්ත්‍රයෙහි දෘඪාභ්‍යාස ඇති ස්වප්න විසඳීමෙහි දක්ෂ අය මහා ප්‍රාඥයන් වශයෙන් සලකා ඊජිප්තුව, බැබිලෝනියාව ආදී රටවල රජදරුවන් විසින් තනතුරු පවා දෙන ලද්දාහු ය.
ජම්බුද්වීපයෙහි රජ දරුවන් අතර ද ස්වප්න පරීක්ෂක පුරෝහිතයන් සිටි බව පෙනේ. බෝසතුන් මව්කුස පිළිසිඳ ගන්නා දවස මායාදේවී දුටු මඞ්ගල ස්වප්නය ද බුදුවීමට පෙර දින රාත්‍රියෙහි දුටු පඤ්චමහා මඞ්ගල ස්වප්නය ද කොසොල් රජතුමා දුටු සොළොස්මහා ස්වප්න හා අඞ්ගම් මාල උපදනා දිනයෙහි දුටු ස්වප්නය ද මහෞෂධ පණ්ඩිතයන් මව්කුස පිළිසිඳ ගන්නා දවස වේදේහ රජු දුටු ස්වප්නය ද ආදී වශයෙන් බෞද්ධ සාහිත්‍යයෙහි ද මාණභරණ රජු හා රත්නාවලී බිසව දුටු ස්වප්න මහාවංසයෙහි ද හංස රජ දුටු ස්වප්න බ්‍රහ්ම වෛවර්ත පුරාණයෙහි ද සඳහන් වේ. රාමායණයෙහි සුකුර කාණ්ඩයේ සීතා දුටු ස්වප්නය ද රාවණා කුම්භකර්ණවධ නිමිත්තෙන් දුටු ස්වප්න ද එහි ම අයෝධ්‍යා කාණ්ඩයෙහි භරත දුටු ස්වප්න ද ඇතුළත් ය. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ඉංග්‍රීසීන්ට අසුවන්නට ප්‍රථම දින රාත්‍රියෙහි දුටු ස්වප්න ද නයිනන්කඩදී මාදින්නෙකු විසින් මරනු ලැබූ මහාකප්පින මුදලිතුමාගේ මරණය සිදුවන්නට පෙර ඔහුගේ බිරිඳ දුටු ස්වප්නය ද බොහෝ දෙනා අතර ප්‍රකට ය. හෙක්ටර්ගේ භාර්‍යාව වූ ඇන්ඩ්‍රොමැච් කුමරිය, සිව්වැනි හෙන්රි රජතුමා, නැපෝලියන් බොනපාට් රජතුමා, සංගීතාචාරී මාර්ටිනි, රිචර්ඩ් කුවර්ස්ලයන්, ජිසූට් මැල්ඩොනට් ආදීන් විසින් ද දක්නා ලද ස්වප්නවල ද ඉෂ්ටා’නිෂ්ට විපාක ලැබූ බව 'Dreams & Their Interpretations' ආදි ග්‍රන්ථවල සදහන් වේ.
මිනිස් සිතට පහළ වන ස්වප්නාරම්මණ වෙනත් නොයෙක් දේ මෙන් පසුපස්සේ එලවා ගොස් නොබලයි. ඒ නිමිති ම සිත කරා පැමිණ වැළඳගන්නේ ය. දහවල් කාලයෙහි සිත නොයෙක් අරමුණු කරා යන බැවින් සිහින නොදක්නේ ය. නොනිදා සිටි කල්හි ද සිහින නොදක්නේ ය. තද නින්දෙහි සිටින විට ද සිත භවාංගත වන බැවින් සිහින නොදක්නේ ය. පුබුදුවූයේ ද නොදැක්ක හැකි බැවින් සිහින නොදකින්නේ ය. සිහින දකින්නේ නම් සිත භවාංගගත වීමට පෙර කපි (වානර) නිද්‍රාවෙන් සිටි තැනැත්තෝ වෙති. කපි නිද්‍රාව නම් ගස් අතුවල නිදන වානරයෝ බිම වැටේ ය යන බියෙන් උනුන් ඇඟ ගැටී මද නින්දෙන් පහන් කෙරෙති. එමෙන් ම සම්පූර්ණයෙන් නොනිදි සම්පූර්ණයෙන් නොපුබුදු තැනැත්තේ සිහින දක්නේ වෙයි. සුව දුක් ආදියෙහි සිත බලපැවැත්විය හැකි කල්හි ම සිහින දක්නේ ය. භවාංග වූ සිත තුඹසකට වන් සර්පයෙකු සේ ද කැදැල්ලකට වන් පක්ෂියෙකු සේ ද මීදුමින් වැසුණු සූර්යයා සේ ද සැපදුක් ජානනයෙන් තොර ව පවත්නේ ය. එබැවින් තද නින්දෙහි හොත් තැනැත්තේ සිහින නොදකී.
බෞද්ධ සාහිත්‍යයෙහි ධාතුක්ෂෝභය, අනුභූතපූර්වය, දේවතෝපසංහාරය, පූර්වනිමිති යන කරුණු සතරෙහි ස්වප්න දක්නා බැව් සඳහන් වේ. මිලින්දප්‍රශ්නයෙහි ද: "මහරජ, වාතප්‍රකෘති වූ පුද්ගල තෙම සිහින දකින්නේ ය. පිත්ත ප්‍රකෘති වූ පුද්ගලතෙම ද ස්වප්න දක්නේ ය. සෙම් කිපුණාවූ පුද්ගලයා ද ස්වප්න දක්නේ ය. දේවකෝප සංහාරයෙන් ද සිහින දක්නේ ය. මේ සදෙන ම සිහින දක්නාහු ය. අනුභූත පූර්ව ද ස්වප්න දක්නේ ය. පූර්ව නිමිති වශයෙන් ද සිහින දක්නේ ය. මේ සදෙන ම සිහින දක්නාහු ය. මේ සවැදෑරුම් ස්වප්නයන්ගෙන් පූර්ව නිමිති වශයෙන් දක්නා ස්වප්න සැබෑ වන්නේ ය. සෙස්ස බොරු වන්නේ ය ආදී වශයෙන් දැක්වේ. ධාතුක්ෂෝභය නම් වා-පිත්-සෙම් කිපීම හෙවත් උත්සන්න වීමය. ඒ හේතු කොට ගෙන දක්නා ස්වප්න ධාතු ක්ෂෝභයෙන් වේ. වාතය කිපුණ කල පර්වත ශිඛරාදියට හා අහසට නඟින්නාක් මෙන් ද අහසින්යන පවන් සමඟ ධාවනය කරන්නාක් මෙන් ද දකිත්. පිත කිපුණ කල රුධිර, ගිනිසිලු, සූර්යයා හා රක්ත වර්ණ වස්තු ආදිය ද සෙම කිපිණ කල ජල ක්‍රීඩා, ජලධාරා, ශුභවර්ණ දේ. නාරජතාදිය ද තුන් සෙ ම කිපුණ කල පූර්වෝක්ත දේ මිශ්‍රව ද දක්නාහු ය. අනුභූත පූර්ව නම් නිද්‍රාවට පෙර කිසිවකු සමඟ කිසියම් කාර්යයක් කියමින් හුන්නේ ද ස්වප්නයෙන් එය ම දැකීම ය. මෙවන් වස්තුවක් වුව මැනව, මෙනම් සිද්ධස්ථානයක් වඳින්නට වුව මැනව ආදි වශයෙන් සිතා හුන්කල එලෙස ම ස්වප්නයෙන් දැකීම ද කිසියම් ශාස්ත්‍රයක් දහවල් කාලයෙහි හදාළේ ද එලෙස ම ස්වප්නයෙන් හැදෑරීම ද පෙර පුරුදු කථා සල්ලාප ක්‍රියාදිය ද අනුභූත පූර්ව ස්වප්න ගණයට ඇතුළත් වේ. දේවකෝප සංහාරය නම්; කිසිවක්හු කෙරෙහි දේවතාවන් ප්‍රසන්නව ද අප්‍රසන්නව ද වැඩ අවැඩ දෙක කරෙනු කැමැති ව දක්වන අනේකප්‍රකාර ස්වප්නයන් ය. යමෙකුට දෙවියන් ප්‍රසන්න ව අවුරුද්දක් ඇවෑමෙන් ලක්ෂයක් වස්තු හෝ රාජ්‍ය සම්පත්තියක් හෝ ලැබෙන්නේ නම් රුධිරපානය හා සමඟ අලුත් මිනීමස් අනුභව කරන්නාක් මේ දක්වති. යමක් දේවකෝප සංහාරයෙන් දකී ද එය සත්‍ය වූයේ ද ඇතැම් විට අසත්‍ය වූයේ ද වෙති. කිපියාවූ දේවතාවෝ උපායයෙන් විනාශ කරනු කැමැත්තාහු විපරීත කොට ස්වප්න දක්වති. ඊට මෙබඳු නිදර්ශනයක් සාරසංග්‍රවෙහි සහ සද්ධර්මරත්නාකරයේ දැක්වේ. පෙර ලක්දිව රුහුණු ජනපදයෙහි ක්ෂීරනාග නම් විහාරයෙහි එක් තෙර නමක් විහාර සමීපයෙහි වූ දේවතාධිගෘහීතනාගසක් සිඳ දැමුවේ ය. එකල නාගසෙහි වසන දේවතාවා කිපී ඔහට ශුභ ස්වප්න දක්වමින් තමා කෙරෙහි පහදවාගෙන පසුව එක්දිනෙක ඒ තෙරනමට චතුර්විධ ප්‍රත්‍යයෙන් උපස්ථාන කරන රජ සත් දවසකින් මිය යන බැවින් එ බව රාජපුරුෂයන්ට දන්වා තබන්ට යයි කීය. තෙරුන් වහන්සේ ද ඒ බව රාජ පුරුෂයන්ට ප්‍රකාශ කළහ. ඇමතියන්ගෙන් ඒ පුවත දැන ගත් නරවාසීහු හඬා වැළපෙන්නට වූහ. නුවරවාසීන්ගේ රොදන ශබ්දයන් ඇසූ රජ ඇමතියන් අතින් සියලු පවත් අසා "තෙරුන් වහන්සේ කී බස සැබෑ වී නම් තෙපි හැම ඊට උපකාර කරව. බොරු වී නම් මම ඊට නියම දන්නෙම් වේදැ'යි කියා සත්දවස ඉක්මුණු කල්හි තමන්හට කිසි පීඩාවක් නොදැක ඒ තෙර නම මෙබඳු බොරුවක් කීවේ තමා කෙරෙහි සතුරුව නුවරින් වෙන් කරනු පිණිස යයි වරදවා සිතා ගෙන අටවන දවස් තෙරුන්ගේ හස්තපාද ඡේදනය කරවී ය". කිපියා වූ දේවතාවෝ පළිගැනීම සඳහා දක්වන ස්වප්න මෙබඳු ය.
පූර්ව නිමිති වශයෙන් දක්නා ස්වප්න නම් තමන්ට හෝ අනුන්ට අනාගතයෙහි වන්නා වූ යහපතකට හෝ අයහපතකට පෙර නිමිති වශයෙන් ස්වභාව ධර්ම ශක්තියෙන් දක්නා ස්වප්නයි. ඒ වනාහි බෝසතුන්ගේ ප්‍රතිසන්ධි ග්‍රහණයට පූර්ව භාගයෙහි මායා දේවීන් දුටු ස්වප්න ද බුදුන්ට පෙර දුටු පඤ්ච මහා ස්වප්න ද පසේනදී කොසොල් මහරජහට මතු කලියුග ප්‍රවෘත්තිය මේ යයි පෙර නිමිති වශයෙන් දැක් වූ සොළොස් මහා ස්වප්නයන් මේ ගණයට අයත් වේ.
පාරාශර ඍෂිවරයා සියලු ස්වප්න අපාර්ථකය, යථාර්ථය, අන්වාර්ථ යයි තුනකට බෙදා තිබේ. හාස්‍ය, කෝප, ශෝක, මද,ඊර්ෂ්‍යාදියෙන් කැළඹුණා වූ හෝ කිලිටි වූසිත් ඇතිවීමෙන් ද දෘෂ්ට (දුටු), ශ්‍රැත (ඇසූ), භූත (සිදු වූ) භාවිතායෙන් හා ධාතු දෝෂයෙන් ද ප්‍රතාප, ප්‍රකෝප, ප්‍රත්‍ය ඉන්ද්‍රියයන්ගෙන් හා ව්‍යාකුලිත දිවාව්‍රත ඇති වීමෙන් ද දක්නා අර්ථශූන්‍ය ස්වප්න අපාර්ථක නම් වේ. කාය, වාක්, මනඃ යන ත්‍රිවිධ ද්වාරය පිරිසිදු අයට ද උතුමන්ට ද දේවතාවරුන් ප්‍රත්‍යක්ෂ වශයෙන් මේ දක්වන ඵලදායී ස්වප්න යථාර්ථ නම් වේ. යම් ආකාරයකින් දක්නා ලද ස්වප්නය එපරිද්දෙන් ඵල දානය නොකොට අන්‍ය ඵලයක් දේ ද එබඳු ස්වප්න අන්‍යාර්ථ නම් වේ. ස්වප්න ශාස්ත්‍රය පිළිබඳ ලියැවුණු ඇතැම් සංස්කෘත ග්‍රන්ථයන්හි 1.දෘෂ්ට, 2.ශ්‍රැත, 3.අනුභූත, 4.ප්‍රාර්ථිත, 5.කල්පිත, 6.භාවිත 7.දෝෂජ යයි ස්වප්න සත් වැදෑරුම් වශයෙන් දක්වා තිබේ. දහවල් කාලයෙහි දුටු දේ රාත්‍රියෙහි සිහිනෙන් දැකීම දෘෂ්ට ස්වප්න නම් වේ. පළමුව අසන ලද දේ සිහිනෙන් දැකීම ශ්‍රැතයි. පළමුවෙන් ඇසූ, දුටු, කළ, කී, සිතූ දේ එපරිද්දෙන් හෝ ඊට මදක් වෙනස් ව සිහිනෙන් දැකීම අනුභූතයි. අසවල් දේ ලැබිය යුතු ය ආදි වශයෙන් පතන ලද දේ සිහිනෙන් දැකීම ප්‍රාර්ථිතයි. සිතන ලද්දක් සිහිනෙන් දැකීම කල්පිතයි. ශුභාශුභ සූචන ස්වප්න භාවිත නම් වේ. වාතාදි දෝෂ හේතුවෙන් දක්නා ස්වප්න දෝෂජ නම් වේ. යථෝක්ත ස්වප්න අතුරින් දෘෂ්ට ස්වප්නයේ පටන් කල්පිතාන්තය දක්වා ඇති දෘෂ්ට,ශ්‍රැත, අනුභූත, පාර්ථිත, කල්පිත යන පඤ්චවිධ ස්වප්නයෝ නිෂ්ඵල වෙති. භාවික, දෝෂජ ස්වප්නයෝ සඵල වෙති. එයින් භාජක සංඛ්‍යාවට අයත් ස්වප්න ශුභාශුභ ස්වරූප අනුව ඵල ගෙන දෙන්නාහු ය. දෝෂජ ස්වප්නයෝ වූ කලි තද්තද් දෝෂ ප්‍රකෝප හේතුවෙන් ඇතිවන ව්‍යාධි රූපඵල සූචක හෙයින් සඵල නම් වෙති. රුධිර පානය, අමු මිනීමස් අනුභවය, රජුන් දැකීම, පර්වත - ප්‍රාසාද - ඇත් - අස් - ගෙරින් මතනැඟීම, සුදුමල් ඇති තුරුවලට නැඟීම, බොහෝ වූ අත් - හිස් - නෙත් ආදීන්ගේ පහළවීම රුධිර ස්නානය, දෙනුන්ගේ කිරි මුවින් දෙවීම, වෘහස්පති වෘක්ෂාරෝහණය, වර්චස් වෙර තැවරීම, ඵල පුෂ්ප භරිත වෘක්ෂ, ව්‍රණයන්ගේ පණුවන් හටගැනීම, මුත්‍රයෙන්ඉසින ලද ශුක්‍ර පානය කිරීම, කන්‍යා - පුන්කලස් - පුෂ්ප - බුලත් - කිරි - ගිතෙල් දැකීම, ඡත්‍රයක් හෝ මිරිවැඩි සඟලක් ලැබ දුරගමනක් යාම දකුණතෙහි සර්පයකු දෂ්ටකිරීම, විල් තෙරක හෝ ගං තෙරක හිඳ විහිදුණු නෙළුම්පතක දී ආහාර හෝ කිරිබත් අනුභව කිරීම, දියමස් - ගොඩමස් -මුතු - සක් - සඳුන් දැකීම ආදිය ශුභස්වප්නයන්ගෙන් සමහරකි. සිනාසීම - ආවාහවිවාහ මංගල්‍ය පෙරහැර - නෘත්‍ය - ගීත - සුණු කරන ලද දේ, හෝපළු, කනේරු හා ජවා පුෂ්ඵ, තෙල්, ලුනු, නාභිය හැර සෙසු යොනි තෘඪවෘක්ෂ සංජාතය, කෙස් සුනුවීම, හිස අඩුවීම, නග්නත්වය, සැඩොල්, සුකර, ඔටු, කොටළුවන් මත නැඟීම, යථෝක්ත සතෙකු පිට නැඟී දකුණු දෙසට යාම, දත්වැටීම, කළුවස්ත්‍ර හැඳගත් ස්ත්‍රියක විසින් වැළඳ ගනු ලැබීම, ගල්වැසි, බොල්වැසි, කරකැතිවැසි, දිලිසෙන අඟුරුවැසි හා අළුවැසි දැකීම ආදිය අශුභ ස්වප්නයන්ගෙන් සමහරකි.
ස්වප්නයන්ගේ විපාකදීම පිළිබඳ කාලනියමයක් ද වේ. රාත්‍රිය යාම සතරකට බෙදා එයින් ප්‍රථම යාමයෙහි දක්නා ලද ස්වප්නය අවුරුද්දකින් ද දෙවන යාමයෙහි දක්නා ලද ස්වප්නය අටමසකින් ද තෙවන සමයෙහි දක්නා ලද ස්වප්නය තෙමසකින් ද සතරවන සමයෙහි අඩමසකින් ද උදෑසන යාමයෙහි දක්නා ලද ස්වප්නය දසදිනකින් ද උදෑසන ස්වප්නය දුටු කෙණෙහි ම පිබිදියේ නම් එදින ම ද ස්වප්නයක් දැකීමෙන් පසු නිඳි වර්ජිත ව ම පහන් වූයේ නම් තෙදිනක් ඇතුළත ද විපාක දෙන්නේ ය. යමෙක් දුෂ්ට ස්වප්නයක් දැක නැවත නිද්‍රෝපගත වීමෙන් එකෙණෙහි ම ශුභ ස්වප්නයක් දකී නම් දුෂ්ට ස්වප්නයෙහි ඵල නොදෙන බව සඳහන් වේ. බොහෝ කොට සිතන නිතර නිෂ්ඵල සිතිවිල්ලෙන් පසුවන තැනැත්තිය ද කෙළතොලු තැනැත්තේ ද නිතර බියෙන් පසුවන අස්ථානයෙහි බිය වන තැනැත්තේ ද ස්වප්නය දැක දැක නිඳීමට යන නිඳිබහුල තැනැත්තේ ද තමා දුටු ස්වප්නය කීමට අපොහොසත් තැනැත්තේ ද ස්වප්න විපාක නොලබයි. ආයුෂය පිළිබඳ තෘතීය භාගයෙහි දක්නා ස්වප්න ද අතිශයින් හාස්‍ය, ශොක, කෝප, උත්සාහ, නින්දා, භය ආදියෙන් යුක්ත වූවන් විසින් දක්නා ලද ස්වප්න ද ක්ෂුධා, පිපාසා, මල මුත්‍ර වේගධාරණය යන මේවායින් යුක්ත වූවන් විසින් දක්නා ලද ස්වප්න ද නිෂ්ඵල යයි කියනු ලැබේ. මතක නැත්තා වූ සිහිනය ද කෙටි සිහිනය ද ඉතා පෙරය ම දුටු සිහිනය ද බොහෝ කලකින් විපාක දෙන්නේ ය.
ඉෂ්ට ස්වප්නයක් දුටු කල බ්‍රාහ්මන්, පිතෘ, ආචාර්ය, මිත්‍ර යන මොවුන්ගෙන් කිසිවෙකුහට ප්‍රකාශ කළ යුතු බවත් දුගී, මුර්ඛ, අදක්ෂ, අශිෂ්ට යන මොවුන් ඉදිරියෙහි ප්‍රකාශ නොකළ යුතු බවත් දුඃඛොත්පාදක ස්වප්නයක් දුටු කල කිසිවෙකුටත් නොකියා උදෑසන ස්නානය කොට දන්දීම් ආදි යහපත් ක්‍රියා කිරීමෙන් එහි දුෂ්ටඵල වැළැක්විය හැකි බවත් කියැවේ.
යම් ස්වප්නයක් දොස් කිපීමට අනුව දුටු ප්‍රකෘති ස්වප්නයක් වේ ද යම් ස්වප්නයක් මුළා සහිත වේ ද පළමු දුටු ස්වප්නයක් පසුව දුටු විශේෂ ස්වප්නයකින් නසන ලද්දේ වේ ද යම් ස්වප්නයක් සිතිවිල්ලෙන් හට ගත්තේ ද යම් ස්වප්නයක් දහවල් දක්නා ලද්දේ ද ඒ ස්වප්නයෝ වනාහි විපාක නොදෙන්නාහු වෙත්. යම් ස්වප්නයක් ප්‍රත්‍යක්ෂ වශයෙන් දක්නා ලද්දක් මෙන් වේ ද බැබලීම් සහිත ද පැහැදිලි ලෙස අවසානය දක්වා පෙනේ ද එය නියම වශයෙන් ඉෂ්ටානිෂ්ටඵල දෙන්නේ වෙයි. ඊට වෙනස් වූ අවුල් ආදියෙන් ආකුල වූ නොපැහැදිලි වශයෙන් දක්නා ස්වප්නයන්ගේ විපාකදානයක් නැත. මෙතෙක් දැක්වූයේ පුරාතනයන්ගේ මත සමූහයකි.
සාමවේදය, හාරීතසංහිතා, සුශ්‍රැත, දෛවඥකාමධෙනු, වෘහද්ධාත්‍රාදි ග්‍රන්ථවල දුෂ්ට ස්වප්නයන්ගෙන් ඇතිවන දොස් වැළැක්වීමට කළ යුතු ශාන්තිකර්මාදිය සඳහන් වේ. ජන්ම ලග්න නවාංශයන්ට ගිය ග්‍රහයන් විසින් දක්වනු ලබන ස්වප්න විශේෂයක් ගැන තාජිකනීලක්ෂී ආදි ග්‍රන්ථවල දැක්වේ. ලක්දිව මේ ශාස්ත්‍රය පිළිබඳ කරුණු ඇතුළත් ග්‍රන්ථයන්ගෙන් සමහරක් නම් ස්වප්නමාලය, දෛවඥකාමධෙනු හා යොගරත්නාකරයත්ය.
ආශ්‍රිත ග්‍රන්ථ
සාමවේද පුණ්‍ය කාණ්ඩය
මත්ස්‍ය පුරාණ
විෂ්ණු ධර්මෝත්තර පුරාණ
වෘහද්ධාත්‍රා
නාරද සංහිතා
පරාශර සංහිතා
අද්භූත සාගර
විෂ්ණු පුරාණ
දෛවඥකාමධෙනු
ස්වප්නමාලය
අෂ්ටාඞ්ග හෘදය
අග්නි පුරාණ
රාමායණ සුන්දර, අයොධන කාණ්ඩ
මාර්කණ්ඩෙය පුරාණ
කාලාවලි
වායුපුරාණ
ආදිත්‍ය පුරාණ
ලිඞ්ග පුරාණ
චරක සංහිතා
සුශ්‍රැත සංහිතා
තාජිතෙතීලකංයි
මනොරථපූරණිය
උම්මග්ග ජාතකය
බුද්ධ චරිත
සුපින ජාතකය
මහාවංසය
කවිසඟරාව
Dreams and their Interpretations
Egyptian dream book
මිලින්ද ප්‍රශ්නය
සද්ධර්මරත්නාකරය
සාරසඞ්ග්‍රහය
ඥානාදර්ශය
යොගරත්නාකරය
දේවීපුරාණය
කාලිකා පුරාණය
(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න: 1958)
(සංස්කරණය: උස්ගොඩ ධම්මගරු හිමි: 2023)