සුනන්දාරාම මහා විහාරය-අම්බලන්ගොඩ
සුනන්දාරාම මහා විහාරය (මහ පන්සල) - අම්බලන්ගොඩ. ජාකොවිස් ද සිල්වා අභයවීර ගුණවර්ධන මහාවිදාන රාළහාමි (හීන්රාළහාමි) ගේ දායකත්වයෙන් දහඅටවන සියවසේ මැද භාගයේ පමණ ආරම්භ කරන ලද දකුණු ලක ගාලු දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පිහිටි බෞද්ධ විහාරස්ථානයකි. කොළඹ-ගාල්ල ප්‍රධාන (ගාලු) පාරට සමීප ව අම්බලන්ගොඩ නගරාසන්නයේ පිහිටි සුනන්දාරාම මහා විහාරය සියලු විහාරාංගයන්ගෙන් සමන්විත මනරම් ඓතිහාසික පූජ්‍යස්ථානයකි. විහාර භූමියේ ඉහළ කොටසෙහි චෛත්‍යය, බෝධිය සහ බුද්ධ මන්දිරය පිහිටා ඇති අතර පහළ කොටසෙහි ධර්මශාලාව, ආවාසගෙය, දානශාලාව හා උපෝසථාගාරය (පොහොයගෙය) ඉදිකර තිබේ. අක්කර පහක පමණ භූමි භාගයක් සහිත මෙම විහාරස්ථානය විලේගොඩ, මහඅම්බලන්ගොඩ, නම්බිමුල්ල, පනියන්ඩුව යන සතර පේරුවෙන් යුක්ත ය. මෙම විහාරස්ථානය ලක්දිවැ වඩාත් ප්‍රකට වීමට බලපා ඇති ප්‍රධාන සාධක වන්නේ විහාරස්ථානය ඉදිරිපස ඇති පිවිසුම් දොරටුව හා විහාරස්ථානයේ ගොඩනැඟිලි අභ්‍යන්තරයේ ඇඳ තිබෙන අලංකාර සිතුවම් ය. මෙය මකරතොරණ සහිත පිවිසුම් දොරටුව, චෛත්‍යය (1843), බෝධි වෘක්ෂය, උඩමළුවේ ප්‍රධාන පිළිමගෙය (1913), ඊට දකුණපසින් ඇති කුඩා පිළිමගෙය (1886), ධර්මශාලාව(1846), ආවාසගෙය, සීමාමාලකය යනාංගයන්ගෙන් සමන්විත ය.
සියවස් දෙකකට පමණ පෙර ෂඩ්භාෂා පරමේශ්වර තොටගමුවේ ශ්‍රි රාහුල සංඝරාජයන් වහන්සේ වැඩ විසූ රත්පත් විහාරය නමින් හඳුන්වන තොටගමු රජමහා විහාරයේ දී මහා උපසම්පදාව ලැබ අමරපුර නිකාය ආරම්භ කිරීමේ ආදි කර්තෘවරයෙක් ව විසූ විලේගොඩ පුඤ්ඤාසාර නායක මාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් මෙම විහාරස්ථානය ආරම්භ කෙරිණ. (අමරපුර නිකාය බ.)
උන්වහන්සේගේ අපවත්වීමෙන් පසු එතුමන්ගේ කනිෂ්ඨ ශිෂ්‍ය විලේගොඩ අභයතිස්ස මාහිමියන් වහන්සේ මෙහි ප්‍රධානත්වය ලබන ලදි. උන්වහන්සේගේ අභාවයෙන් පසු ප්‍රධානත්වය දරන ලද්දේ විලේගොඩ ශ්‍රී ශෝභිත මාහිමිපාණෝ ය. පසු කලෙක මෙහි ආධිපත්‍යය අමරපුර නිකායේ අධිකරණ නායක ශ්‍රී සධර්මාභාරතීත්වර ධර්මකීර්ති ශ්‍රී විලේගොඩ ධම්මානන්දාභිධාන විද්‍යාලෝක විශ්ව විද්යාලාධිපතීන් වහන්සේ විසින් ද උසුලනු ලැබී ය.
විහාරස්ථානයේ වඩාත් සිත්ගන්නාසුලු විහාරාංගය වන්නේ අඩි 30ක් උස, අඩි 18ක් පළල ඝණ්ඨාර කුලුන සහිත සුවිශාල ප්රවේශද්වාරයයයි. මෙය මහල් හතරකින් යුක්ත ව නිර්මාණය කර ඇති මුරකුටි, මකර තොරණ, ඝණ්ඨාර කුටිය, සිරිපා සලකුණ අනුරුව සහිත විචිත්‍රවත් ගෘහයක් බඳු නිර්මාණයකි. එහි තෙවන මහළෙහි කි.ග්රෑ. 250ක් පමණ බරැ'ති ඝණ්ඨාරය ද සිව්වන මහළෙහි සිරිපා සලකුණ ද පිහිටුවා තිබේ. 1876 දී ජුවාන්වන්වඩු එන්දෝරිස් ද සිල්වාගේ මූලිකත්වයෙන් වැඩ අරඹන ලද මෙහි වැඩ නිම කිරීමට වසර 40ක් පමණ ගත වූ බව පැවැසේ. මෙය මෙම වර්ගයේ ලංකාවේ පවතින එකම නිර්මාණය බව ද කියැවේ.
ඝණ්ඨාකාරයෙන් යුතු චෛත්‍යය නිමවා ඇත්තේ 1843 දී වන අතර එහි නිධන් කිරීම සඳහා සර්වඥ ධාතූන් වහන්සේලා ලබා ගෙන ඇත්තේ අළුත්වල නන්දාරාම විහාරස්ථානයෙනි.
අෂ්ටඵල බෝධියක් ලෙස සැලකෙන මෙම විහාරස්ථානයේ වැඩ වෙසෙන බෝධීන් වහන්සේ 1750 දී පමණ ගණින්නාන්සේලා විසින් රෝපණය කරන ලද්දකි. ඊට පසු කලෙක සුනන්දාරාම මහා විහාරය ආරම්භ කොට ඇත්තේ 1790 දී පමණ ය. එනම් විලේගොඩ පුඤ්ඤසාර මාහිමියන් අළුත්වල නන්දාරාම විහාරස්ථානයෙන් ඉවත් ව මෙම විහාරස්ථානයට පැමිණීමත් සමඟ ය. උන්වහන්සේට පැවිදි ශිෂ්‍යයන් එකොළොස් දෙනෙකු සිටි බව කියැවේ.
විහාරස්ථානයේ බුද්ධ මන්දිරයේ සැතැපෙන හා හිටි පිළිම වහන්සේලා වැඩ සිටිති. එහි සිවිලිම හා ඇතුළත බිත්ති සිතුවම් කොට ඇත්තේ ගාලු ප්‍රදේශයේ විසූ පී.ඇන්. ජාකොලිස් නැමැත්තෙකු හා ඔහුගේ සහායක ශිල්පීන් දෙදෙනකු විසින් 1913 බව කියැවේ. විහාරස්ථානයේ චිත්‍ර බොහොමයක් මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රදායට අයත් ඒවායි. පුඤ්ඤසාර මාහිමියන් හා තොටගමු රජමහා විහාරය අතර තිබූ සම්බන්ධය හේතුවෙන් මෙහි චිත්‍ර ශිල්පියා තොටගමු විහාරයේ චිත්‍ර නිර්මාණය කළ ශිල්පියාට සම්බන්ධ වූවෙකැ'යි අනුමාන කෙරේ. වෙස්සන්තර, මන්ධාතු, සච්චංකර යන ජාතක මෙහි සිතුවම් කොට තිබේ. මංජුශ්‍රී කලා විචාරකයාගේ අදහස මෙම සිතුවම් අතිවිශිෂ්ට නිර්මාණ බවයි. මෙම සිතුවම් ලංකා චිත්රකලා ඉතිහාසය හදාරන්නවුන්ට බෙහෙවින් වැදගත් වේ.
විහාරස්ථානයේ ධර්මශාලාව 1846 දී නිමකරන ලද බව ධර්මශාලාවේ නැගෙනහිර දොරටුව අසල පිහිටුවා ඇති ටැම් ලිපියෙහි දැක්වේ. මෙම ධර්මශාලාවේ දැනට දක්නට ලැබෙන අලංකාර ධර්මාසනය මාලාකර්ම, ලතාකර්මාදියෙන් සමලංකෘතව නිර්මාණය කොට ඇත්තේ අම්බලන්ගොඩ නබ්බිමුල්ලේ විසූ ජුවාන්වඩු ඔන්දිරිස් ද සිල්වා විජේසුරිය වඩුආරච්චි විසිනි.
විශාල ජනකායකින් යුත් අම්බලන්ගොඩ නගරයට මුදුන්මල්කඩක් වන් මේ ස්ථානය මගින් ජාතික වූ ද ආගමික වූ ද වටිනා සේවාවක් සිදු වේ. අවුරුදු පතා සිදු කෙරෙන අමරපුර නිකායේ උපසම්පදා විනය කර්මය ද මේ ස්ථානය මුල් කර ගෙන සිදු කරනු ලැබේ. විලේගොඩ පුඤ්ඤසාර මාහිමියන් දැරූ නායකත්වය, කතළුවේ ගුණරතනතිස්සාභිධාන වහන්සේ මුල් වූ සිව්පනස් නමක් විසින් 1815 දී දොඩන්දූව කුමාර මහා විහාරයේ දී අත්සන් තබා සන්නස් පත්‍රයක් පිළිගැන්වීමෙන් දෙන ලද්දකි. එම නායක ධුරය දෙවනි වරට දෙන ලද්දේ සිරිමුනිවංශපාල මිරිස්සේ ධම්මානන්ද නායක හිමිපාණන්ට ය. උන් වහන්සේගේ අභාවයෙන් එම නායකත්වය අම්බලන්ගොඩ සුන්දරාරාම විහාරස්ථානයේ දී අරියවංශාලංකාර ශාසනධජ දොඩන්දූවේ පියරතන තිස්සාභිධාන මාහිමියන් වහන්සේට ද ශාසන වංශාලංකාර කවිධජ විනායාචාර්ය වැලිගම ශ්‍රී සුමංගල හිමිපාණන්ට ද සමබල ඇතිව පවරා දෙන ලද්දකි. ආරම්භයේ සිට මේ දක්වා මේ ස්ථානය මුල් කරගෙන මහත් වූ ශාසන සේවයක් සිදු වේ.
සකල විහාරාංගයන්ගෙන් සැදුම් ලද මේ ස්ථානයට ඇතුළු වන විට ම ඇති මහා ඝණ්ඨාර තොරණ සැදැහැවත් කාගේත් සිත් ප්‍රබෝධ කරවනසුලු ය. දකුණු ලක රුහුණේ කලා කරුවන්ගේ දක්ෂකම් හා මූර්ති ශිල්පය පිළිබඳ දක්ෂකම් මෙමඟින් මොනවට පිළිබිඹු වේ. අම්බලන්ගොඩ නගරවාසීන්ගේ දක්ෂකම් මවාපාන මෙම දර්ශනීය මහා ඝණ්ඨාර තොරණ මේ වර්ගයට අයත් පළමු වැන්නයි. මෙම සුනන්දාරාම මහා විහාරයට පැමිණි කෙනෙකුට මෙම දර්ශනීය මහා තොරණ ලෙහෙසියෙන් අමතක කළ නොහැක්කේ එහි පිළිබිඹු වී ඇති මහා කලා කෞශල්‍යය නිසා ය.
පුඤ්ඤසාර නායක මාහිමි, විලේගොඩ: 19 වන සියවල අවසාන කාලයේ ලක්දිව කීර්තිමත් බුද්ධියෙන් යුතුව වැජඹුනා වු මුන් වහන්සේ වනාහි අමරපුර නිකාය ආරම්භයෙ හි ආදි කර්තෘන් වහන්සේලාගෙන් කෙනෙකි. මුන්වහන්සේ මහණ මහලු පැවිදිකම් ආදිය ෂඩ්භාෂා පරමේශ්වර ශ්‍රී රාහුල සංඝරාජයන් වහන්සේ වැඩ සිටි රත්පත් විහාරය මූලික ව පවතී. එහි අධිපති ව වැඩ විසූ කහවේ ඉන්දසාර තෙරුන් වහන්සේ මුන්වහන්සේගේ ආචාර්යවරයා ය.
සුනන්දරාම මහා විහාරය නිත්‍ය වාසස්ථාන කොට ගෙන බොහෝ ගම් නියම් ගම්වල ආරාම ඇති කොට කුල පුත්‍රයන් ද මහණ, උපසපන් බැව්හි පිහිටුවා බලවත් ලෝක සංග්‍රහයක් කළ වදාළ මුන් වහන්සේගෙන් පැවත එන භික්ෂු පරම්පරාව අදත් අමරපුර නිකාය නමින් ශාසන කෘත්‍යයෙහි යෙදි සිටිති. විස්තර කථාව ශ්‍රී ලංකා සඟරාවේ 1963 අප්‍රේල් - මැයි - කලාපයෙහි පළ වි තිබේ.
(සුනන්දාරාම මහා විහාරය - ලිපිය බලනු)
(සංස්කරණය නොකළ)