හර්බට් ක්ලාක් හූවර්
(Herbert Clark, Hoover) (1874.08.10 - 1964.10.20). ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යයේ 31 වැනි ජනාධිපතිවරයා (1929-1933) ය. විශාල ධනවතෙකු වූ හර්බර්ට් හූවර් දක්‍ෂ ව්‍යාපාරිකයෙක් ද ඉංජිනේරුවෙක් ද විය. හෙතෙම කලක් එක්සත් ජනපද රාජ්‍යයේ ආහාර පාලක නිලධාරී තනතුරද දැරී ය. 1928 දී රිපබ්ලිකන් පක්‍ෂයේ අපේක්‍ෂකයෙකු ලෙස ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වූ හෙතෙම ජනාධිපති ධූරාපේක්‍ෂකයෙකු විසින් එතෙක් ලබා තිබුණු විශාල ම ඡන්ද සංඛ්‍යාව ලබා ජයග්‍රහණය කළේ ය. ඉතා ඉක්මනින් ම හෙතෙම දක්‍ෂ පාලකයෙකු වශයෙන් පමණක් නොව යහපත් සමාජ හිතෛෂියෙකු වශයෙන් ද ඇමරිකානු ජනයා අතර ප්‍රසිද්ධියක් ලබා ගත්තේ ය. හූවර් ප්‍රගතිශීලී සමෘද්ධිමත්, ඇමරිකාවක් ගොඩනැඟීමෙහි විශේෂ ශක්තියක් ඇති ව සිටි පාලකයකු බව කාටත් වැටහී ගියේ ය. උසස් ගුණාංගයන්ගෙන් හා පාලන ශක්තියෙන් හෙබි මේ ජනාධිපතිවරයා විදේශ සම්බන්ධතා කටයුතු කෙරෙහි දැක් වූ දැඩි උනන්දුව නිසා ඔහුගේ දීප්තිය වඩ වඩාත් ඔප් නැගුණේ ය. එහෙත් පාලන යුගයේ අවසාන කාලය ළං වත් ම රටේ තත්වය අනතුරකට හැරුණේ ය. රට පරිහානි මුඛයට ගොදුරු විය. හෙතෙම 1932 දී ද ජනාධිපති ධූරය සදහා තරග කළේ ය. නමුත් එවර මුල්වාරයේ ලත් ඡන්ද සංඛ්‍යාවටත් වඩා විශාල ඡන්ද සංඛ්‍යාවකින් පරාජය විය.
හර්බර්ට් හූවර් 1874 අගෝස්තු 10 වන දා අයෝවා ප්‍රාන්තයේ වෙස්ට් බ්‍රාන්ච්හි දී උපන්නේ ය. ඔහුගේ පියා වූ ජෙසේ හූවර් ලෝකරුවෙකි. ඔහු ගොවි යන්ත්‍රෝපකරණ වෙළෙඳාම කළේ ය. හර්බට්ගේ සිව්වන වියේ දී පියා කළුරිය කළේ ය. මව මියයන විට ඔහුට වයස අවුරුදු නමයක් විය. තම දිස්ත්‍රික්කයේ පාඨශාලාවක ද රාත්‍රි පාසල්වල ද මූලික අධ්‍යාපනය ලැබූ හෙතෙම ස්ටැන්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට බැඳී ශාස්ත්‍රෝද්ග්‍රහණය කළේ ය. ඒ කාලය තුළ දී සුළු සුළු රැකියා කීරීමෙන් ජීවනෝපාය සොයා ගත්තේ ය. හෙතෙම එම විශ්වවිද්‍යාලයෙහි දී ඉංජීනේරු විද්‍යාව හා භූගර්භ විද්‍යාව හදාරා උපාධි ලබා ගත්තේ ය. එහෙත් උපාධි ලත් හූවර් රැකියාවේ යෙදුණේ භූගර්භ විද්‍යාඥයකු හෝ ඉංජිනේරුවරයෙකු වශයෙන් නොව දෛනික වැටුපක් ලැබූ පතල්කරුවෙකු වශයෙනි. පසුව කාර්මික විශේෂඥයකු වශයෙන් ද ඉංජිනේරුවරයෙකු වශයෙන් ද කටයුතු කළ කාලය ඉතා සාර්ථක විය. තෙවිසි වියේ දී හෙතෙම ඕස්ට්‍රේලියාවේ රන් ආකරයක භාරකරු වශයෙන් පත් කොට යවන ලදි. එහි දී ඔහුට චීන අධිරාජ්‍ය ආකර දෙපාර්තමේන්තුවේ (Chinese Imperial Bureau of Mines) ප්‍රධාන ඉංජිනේරු තනතුර ලැබුණේ ය. ඉන්පසු ලව් හෙන්රි (Lou Henry) සමඟ විවාහ වී චීනයට ගිය ඔහු එහි දී ආහාර පාලකයෙකු වශයෙන් පළපුරුද්දත් ලබා ගත්තේ ය.
ඊ ළඟ දොළොස් වස ඇතුළත රුසියාව, බුරුමය, ඉතාලිය ආදී විදේශවල සංචාරය කිරීමට ඔහුට අවස්ථාව ලැබුණි. පතල් කර්මාන්තයේ මූලධර්ම (Principles of Mining) නමැති ග්‍රන්ථයක් සම්පාදනය කළ හෙතෙම ඒ කර්මාන්තය ගැන ලතින් ග්‍රන්ථයක් ද පරිවර්තනය කළේ ය.
1914 දී ප්‍රථම ලෝක සංග්‍රාමය ආරම්භ වූ පසු බෙල්ජියමේ සහනදායක කොමිෂන් සභාවක් සංවිධානය කොට යුද්ධයෙන් පීඩිත වූ බෙල්ජියම් වැසියන්ට ආහාරාදිය සැපයීමෙන් විශාල සේවයක් ඉටු කළේ ය. එක්සත් ජනපද රාජ්‍ය යුද්ධයට සම්බන්ධ වූ අදියෙහි ද ඔහුගේ සම්පූර්ණ කාලය ආහාර සැපයීම හා බෙදා හැරීම සඳහා යෙදවී ය. එහි දී ඔහුට යුදෙව් ජාතීන්ගේ සහයෝගය ලබා ගැනීමට ද සිදු විය. මේ වගකිව යුතු කාර්යභාරය ඉසීලීමෙන් ජගත් කීර්තීයට පත් වූ නිසා ම යුරෝපීය රාජ්‍යයෝ ගෞරව වශයෙන් ඔහුට පුරවැසිකම් පිරිනමන්නට වූහ. යුද්ධයෙන් පසුව ද යුරෝපයට ගිය හූවර් මිත්‍රපාක්ෂික රටවල මෙන් ම විරුද්ධ රටවල ද කෝටි සංඛ්‍යාත ජනකායගේ ආහාර පාලක නිලධාරියා ලෙස කටයුතු කළේ ය. ඉන්පසු ඔහුට ජනාධිපතිවර හාසිංගේ අමාත්‍ය මණ්ඩලයේ වෙළෙඳ අමාත්‍ය ධූරය ලැබුණේ ය. හාසිංගේ මෙන් ම කැලිජ්ගේ පාලන යුගයෙහි ද ඔහු එම ධූරයෙහි සේවය කළේ ය. කෘතහස්ත වෙළෙඳ ව්‍යාපාරිකයකු වූ හූවර් එක්සත් ජනපදය් වෙළෙඳ කටයුතු නංවාලීමට හැකිතාක් මහන්සි ගත්තේ ය. ඇමරිකාවේ වැදගත් ආයතනයක් බවට පත් වූ ඇමරිකානූ ළමා සෞඛ්‍ය සංගමය පිහිටුවන ලද්දේ හූවර් විසිනි. ඔහු අවංක ලෙස රජයේ කටයුතු ගෙන ගිය අතර බාහිර වශයෙන් නොයෙක් මහජන කටයුතුවල ද යෙදුණේ ය.
1928 මැතිවරණයේ දී ඇල්ෆ්‍රඩ් ඊ. ස්මිත් පරදවා ජයගත් හර්බට් හූවර් ජනාධිපති ධූරයට පත්විය. ඔහුගේ පාලන සමයෙහි (1929-1933) මුල් අවධියේ දී සම්මත වූ කෘෂි ද්‍රව්‍ය අලෙවි කිරීමේ පනතත් එසේ ම බොහෝ මතභේදෙවලට භාජනය වූ කර්මාන්ත සහ කෘෂි ද්‍රව්‍යවල බදුමිල වැඩි කළ හෝලි-ස්මූට් පනතත් ඉතා සැලකිය යුතු ව්‍යවස්ථා ලෙස සැලකිය හැකි ය. හූවර් ජනාධිපති වී මාස 8කට පමණ පසු පරිහානි සමයක ආරම්භය විය. මෙය ඇමරිකාවට පමණක් ඇති වූ තත්ත්වයක් නොවේ. එකල මුළු ලෝකයේ ම ණය ගනුදෙනු ක්‍රමය ඉතාමත් අනතුරු තත්වයකට භාජන විය. මහජනයාට ද්‍රව්‍ය මිලදී ගැනීම නැවැත්වීමට සිදුවිය. ගෝවීන්ට ඔවුන්ගේ ගොවි පොළවල් අහිමි විය. මිනිසුන්ට රැකියා නැතිවිය. 1931 සහ 1932 යන වර්ෂවල ද වෙළෙඳ තත්වය ඉතා නරක අතට හැරුණේ ය. වෙළෙඳ කටයුතු සම්බන්ධයෙන් රජයේ ආධාරය අවශ්‍ය යැයි අදහස් කළ හූවර් ඒ පිළිබඳ තම වැඩ පිළිවෙළ සකස් කරගනු වස් 1931 විශේෂ සම්මේලනයක් ද කැදවීය. එ් සඳහා ඔහු ඉදිරිපත් කළ සෑම කෙටුම්පතක් ම කොන්ග්‍රස් සභාව විසින් අනුමත කරනු ලදි.
හූවර්ගේ පාලන යුගයේ දී එක්සත් ජනපද රාජ්‍යය යුරෝපීය කටයුතු සම්බන්ධයෙන් එතරම් සැලකිල්ලක් නොදැක්වුව ද ඇමරිකානු නියෝජිතයෝ විවිධ ලෝක ප්‍රශ්න විසදනු වස් පවත්වන ලද සාකච්ඡාවලට සහභාගී වූහ. යුද්ධ නෞකා ආදිය අඩු කිරිමේ ප්‍රශ්නය මින් එකකි. වෝෂින්ටන් සම්මේලනයත් 1930 දී ලන්ඩන් නුවර දි පවත්වන සම්මේලනයත් මේ සඳහා බොහෝ උපකාරී විය. ජපානය සමඟ කලබල ඇතිවූයේ යුද්ධ ප්‍රකාශ නොකොට ජපනුන් විසින් මැන්ඩූරියාව ආක්‍රමණය කළ හෙයිනි. හූවර්ගේ පාලන යුගයේ දී විදේශ සම්බන්ධතා කටයුතු ශීඝ්‍රයෙන් වැඩෙන්නට විය. යුරෝපීය දේශපාලඥයන් සමඟ සාකච්ඡා කරනු වස් රාජ්‍ය ලේකම් හෙන්රි ඇල්. ස්ටිම්සන් දෙවරක් ම යුරෝපයට ගියේ ය. ප්‍රංශ අගමැතිවරයා සහ ඉතාලි විදේශ අමාත්‍යවරයා වෙළෙඳ හා දේශපාලන ප්‍රතිපත්ති ගැන සකච්ඡා පැවැත්වීමට වොෂින්ටනයට පැමිණියහ.
1952 දී මැතිවරණයට ද හූවර් ඉදිරිපත් වූ නමුත් ෆ්‍රැන්ක්ලින් ඩී. රුස්වේල්ට් ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමෙන් ඩිමෝක්‍රැටික් පක්‍ෂයට ජය අත් විය. මේ දෙපක්ෂය ම ප්‍රතිපත්ති අතර එතරම් වෙනසක් දක්නට නොලැබුණේ ය. දෙපක්ෂය ම එකසේ ආර්ථිකය නඟාලීමටත් අයවැය සම ව තැබීමටත් පොරොන්දු වූහ. එහෙත් එවකට පැවැති බලවත් ආර්ථික පරිහානිය රිපබ්ලිකන් - ඩිමෝක්‍රැටික් පාක්ෂිකයෝ එකහෙලා කියා සිටියහ.
හර්බර්ට් හූවර් ජනාධිපති ධුරයෙන් ඉවත් ව කැලිෆෝනියාවේ ස්ථිර වාසයට ගියේ ය. එහි දී දේශ සංචාරයේ යෙදීමට ද පතපොත ලිවීමට ද ප්‍රසිද්ධ කථා පැවැත්වීමට ද කටයුතු කළේ ය. ජාතික කටයුතු සම්බන්ධයෙන් ඔහු විශාල සැලකිල්ලක් දක්වන්නට විය. 1947 දී හෙතෙම ආණ්ඩුවේ විධායක අංශය (Executive Branch) සංවිධානය කරනු සදහා පවත්වන ලද කොමිෂන් සභාවේ සභාපතිවරයා විය. එය පසුව ‘හූවර් කොමිසම’ (Hoover Commission) යනුවෙන් හදුන්වනු ලැබිණ.
(1956)
(සංස්කරණය නොකළ)