හෙර්මාන් ඕල්ඩන්බ’ග්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

(1854-1920). භාරතීය හා බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයෙහි පතළ කීර්තියක් ඇතිව සිටි ජර්මන් පඬිවරයෙකි. 1854 ඔක්තෝබර 31 වැනි දින හැම්බර්ග් නගරයෙහි දී උපන් හෙතෙම ගොටිංගන් විශ්වවිද්‍යාලයෙහිත් බර්ලින් විශ්වවිද්‍යාලයෙහිත් අධ්‍යාපනය ලැබීය. ඉන් පසු හෙතෙම 1878 දී බර්ලින් විශ්වවිද්‍යාලයෙහි සංස්කෘත වාග්විද්‍යාව පිළිබඳ පාඨකාචාර්ය තනතුරට ද 1889 දී කිල් විශ්වවිද්‍යාලයෙහි භාරතීය අධ්‍යයනයන් පිළිබඳ මහාචාර්ය තනතුරට ද පත්විය. 1908 දී ගොටිංගන් විශ්වවිද්‍යාලයෙහි භාරතීය අධ්‍යයනයන් පිළිබඳ මහාචාර්ය තනතුර පිළිගත් ඕල්ඩන්බ’ග් ජීවිතාන්තය දක්වා එහි වාසය කෙළේය. එහි සිටිය දී හෙතෙම ගොටිංගන් ශාස්ත්‍ර පිඨයෙහි ඉතා උද්‍යෝගිමත් සාමාජිකයෙක් විය. ඔහුගේ ශාස්ත්‍රීය කෘතීන් අතුරෙන් වැඩි කොටසක් මුද්‍රණයෙන් ප්‍රකාශයට පමුණුවන ලද්දේ ද එම ශාස්ත්‍ර පීඨය මගිනි.

ඕල්ඩන්බ’ග් විසින් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත් කරන ලද මුල් ම කෘතිය වූකලි ප්ලේටෝගේ අපෝහවාදය පිළිබඳ අධ්‍යයනයකි. භාරතීය හා බෞද්ධ අධ්‍යයන ක්ෂේත්‍රයෙහි ඔහුගේ ප්‍රථම වැදගත් කෘතිය වූයේ දීපවංස සංස්කරණය හා පරිවර්තනයයි (1879). ශ්‍රී ලංකාව පිළිබඳ අධ්‍යයනයෙහි ලා විශේෂයෙන් වැදගත් වූ එය යුරෝපයේ භාරතීය හා බෞද්ධ අධ්‍යයන ග්‍රන්ථයන් අතුරෙන් පුරෝගාමී කෘතියක් විය. 1879-1883 අතර කාලයෙහි දී ඔහුගේ සුප්‍රකට විනය පිටක සංස්කරණය පළකරවන ලදි. මෙසේ එය පළ කැරැවීමෙන් පාලි භාෂාවෙන් වූ විශාල බෞද්ධ පිටක ග්‍රන්ථයක් පළමු වරට ලෝකයේ විවිධ රටවල පඬිවරයන් අතට පත් විය. 1881-1885 අතර කාලයෙහි දී හෙතෙම විනය පිටකයෙහි ග්‍රන්ථ තුනක් ද පරිවර්තනය කෙළේය. ඔහුගේ ථෙරගාථා සංස්කරණයෙහි ප්‍රථම මුද්‍රණය 1883 දී පළ විය. ඔහුගේ වෛදික ගෘහ්‍යසූත්‍ර පරිවර්තනයෙහි කාණ්ඩ දෙක පිළිවෙළින් 1886 දී හා 1892 දී පළ කරවන ලදි. 1888 සිට 1912 දක්වා කාලය තුළ දී ඔහු විසින් පළ කරවන ලද ඍග්වේදය පිළිබඳ විශිෂ්ට කෘති රැස පසු කාලයෙහි එම විෂය සම්බන්ධයෙන් කරන ලද සෑම පර්යේෂණයකට ම ප්‍රතිෂ්ඨා විය. බෞද්ධ සාහිත්‍යයෙහි ඉතිහාසය පිළිබඳ පර්යේෂණයන්ගේ දියුණුවට පාලි ත්‍රිපිටකයත් බෞද්ධ සංස්කෘත ධර්මග්‍රන්ථයනුත් ගැන ඕල්ඩන්බ’ග් විසින් කරන ලද තුලනාත්මක අධ්‍යයන විශේෂයෙන් ඉවහල් විය.

ස්වකීය සංස්කරණ හා පරිවර්තනත් බෞද්ධ හා වෛදික ග්‍රන්ථ පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනත් සමඟ පුරාණ ඉන්දියාවේ ආගමික ඉතිහාසය හැදෑරීමට මහෝපකාරී වූ සම්භාවනීය කෘති කිහිපයක් ද ඕල්ඩන්බ’ග් විසින් ලියන ලදි. ඔහු විසින් ලියන ලදුව නැවත නැවතත් අලුත් සංස්කරණවලට භාජන වූ බුදුන්වහන්සේගේ ජීවිතය හා ඉගැන්වීම් පිළිබඳ ග්‍රන්ථය අදත් ඒ සම්බන්ධයෙන් ජර්මන් භාෂාවෙන් දක්නට ලැබෙන ඉතා විශිෂ්ට කෘතිය වෙයි. වේද ආගම (1894) ගැනත් උපනිෂද්වල එන ඉගැන්වීම් හා ඒවා ද පැරණි බුද්ධාගම ද අතර ඇති සම්බන්ධය (1915) ගැනත් බ්‍රාහ්මණ ග්‍රන්ථ (1919) ගැනත් ඔහු ලියා පළ කර ඇති ග්‍රන්ථ ද ඔහුගේ අභාවයෙන් පසු (1922) පළ කරවන ලද මහාභාරතය පිළිබඳ කෘතිය ද යථෝක්ත ග්‍රන්ථයට දෙවැනි නොවූ වැදගත් කෘති සමහරකි. මේ ශ්‍රේෂ්ඨ කෘතිවලට අතිරේක වශයෙන් වේදයත් පැරණි බුද්ධාගමත් සංස්කෘත සාහිත්‍යයත් පිළිබඳ දැනුම දියුණු කරනු වස් ඔහු විසින් ලියන ලද වෙනත් නිබන්ධ මහත් රාශියක් ඇත.

තමා හා සමකාලීනව බටහිර දිග විසූ භාරතවිද්‍යා විශේෂඥයන් අතුරෙහි ඕල්ඩන්බ’ග් සැබැවින් ම ශ්‍රේෂ්ඨතමයා විය. පැරණි ඉන්දියානු ආගමත් සාහිත්‍යයත් සංස්කෘතියත් පිළිබඳ අපේ වර්තමාන දැනුම ගැන අපි ඔහුට බෙහෙවින් ණයගැති වමු. එපමණක් නොව, ඔහුගේ කෘතිවලින් බටහිර දිග භාරතවිද්‍යාව පිළිබඳ විධිමත් අධ්‍යයන ක්‍රමයක් එවක් පටන් ස්ථිර ලෙස හැඩගැසිණ. ඔහුගේ කෘතිවල ඇති විශේෂ ලක්ෂණය නම් පර්යේෂණයට භාජන වූ කරුණු හුදෙක් විෂයගත දෘෂ්ටියෙන් අගති විරහිත ලෙස සලකා බැලීමයි. හෙතෙම එක් වරක් පමණක් (ක්‍රි.ව. 1912-1913) ඉන්දියාවට පැමිණියේය. ඔහු වාග්විද්‍යාත්මක විස්තරවිභාග අධ්‍යයනයෙහි විශාරදයකු වුව ද ඔහුගේ විශිෂ්ට කෘති ජනප්‍රිය වූ සරල හා කමනීය ජර්මන් ශෛලියකින් ලියා ඇත. මෙසේ ඕල්ඩන්බ’ග් බටහිර රටවල පෙරදිග සංස්කෘතිය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ඇති කිරීම සඳහා ද විශාල සේවයක් කෙළේය.

(කර්තෘ: හයින්ට්ස් බෙෂර්ට්)

(සංස්කරණය: 1974)