හෙළටුවා

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

තුන්වැනි මහාධර්මසඞ්ගායනාව නිම වූ පසු මහාක්ෂීණාශ්‍රව මොග්ගලීපුත්තතිස්ස තෙරුන් වහන්සේ ඒ ඒ ජනපදවල ධර්ම ප්‍රචාරය සඳහා භික්ෂූන් නියම කොට ලඞ්කාද්වීපයෙහි බුද්ධශාසනප්‍රතිෂ්ඨාපනය ස්වකීය අතවැසි වූ ක්ෂීණාශ්‍රව මහාමහේන්ද්‍ර ස්ථවිරයන් ප්‍රමුඛ පඤ්චවර්ගික භික්ෂූන් නියම කළහ. ඒ මහාමහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේ ද සඞ්ගායනාත්‍රයට නැඟී ගිය අටුවා සහිත වූ ත්‍රිපිටකධර්මය ද සියලු ආචාර්යවාදයන් ද සිය ගුරුමුඛයෙන් ම මැනැවින් ඉගෙන ධාරණය කළහ. උන්වහන්සේ බුදුන් පිරිනිවූ දෙසීයසතිස්වන වර්ෂයෙහි පොසොන්මස පුනු පොහෝ දවස් ලක්දිවට පැමිණ අඹතලාගල්හි වැඩ හිඳ ලඞ්කාධීශ්වර දෙවනපෑතිස් මහරජාණන්ට දහම් දෙසා තිසරණ ගන්වා නොබෝ කලකින් සියලු සිංහල ජනතාවට ම බුදුසමය පිළිගැන්වූහ. එසේ ම නොයෙක් දහස් ගණන් සිංහල ජනයා පැවිදි-උපසපන් කරවා, ඔවුන්ට වාග්ද්වාරයෙන් ම අට්ඨකථා (අර්ථකථා) සහිත ත්‍රිපිටක ධර්මය ඉගැන්වූහ.

මහාමහේන්ද්‍ර ස්ථවිරයන් වහන්සේගේ අතැවැසි වූ මහාඅරිට්ඨ තෙරුන් ප්‍රමුඛ සිංහල භික්ෂූහු ද ත්‍රිපිටක පාලිය හා ආචාර්යවාද සහිත වූ අට්ඨකථා ද පෙළ බසින් ම ඉගෙන ධාරණය කළහ. මේ අර්ථකථාමාර්ගයත් ත්‍රිපිටකපාලිය සෙයින් ම මහාසඞ්ගායනාත්‍රයට නැඟී ආයේ ය. ඒ බව “ධම්මසඞ්ගාහකත්ථෙරෙහි පඨමං තීනිපිටකානි සඞ්ගායිත්වා තස්ස අත්ථසංවණ්ණා රූපෙනෙව වාචනාමග්ගං ආරොපිතත්තා තිස්සෝ සඞ්ගීතියො ආරූළ්හෙයෙව බුද්ධවචනස්ස අත්ථසංවණ්ණනා භූතො කථාමග්ගො” (සාරත්ථදීපනී, 1914 මුද්‍රණය 16 පිට) යනුවෙන් දක්වන ලද්දේ ය. මෙසේ සඞ්ගායනා තුනට ම නැඟී ආ අත්ථකථාමාර්ගය මහමිහිඳු තෙරුන් විසින් හෙළදිවට ගෙන එන ලදු ව පසු කලෙක ලක්දිව “සිංහල මහතෙරවරු නිකායන්තරලබ්ධින් හා සංකරවීම වළකනු සඳහා හෙළ බසින් පරිවර්තන කොට ලියා තැබූහ” (සාරත්ථදීපනී 1914 මුද්‍රණය 16 පිට) යි යනුවෙන් දක්වන ලද්දේ ය. මෙසේ සඞ්ගායනා තුනට ම නැඟී ආ අත්ථකථාමාර්ගය මහමිහිඳු තෙරුන් විසින් හෙළදිවට ගෙන එන ලදුව පසුකලෙක ලක්දිව සිංහල මහතෙරවරුන් විසින් නිකායන්තරලබ්ධන් හා සංකර වීම වළකනු සඳහා හෙළබසින් පරිවර්තනය කොට ලියා තැබූහ (සාරත්ථදීපනියෙහි ම 16 පිට). “සොයෙව ච මහාමහින්දත්ථෙරෙන තම්බපණ්ණිදීපං ආභතො පච්ඡා තම්බපණ්ණියෙහි මහාථෙරෙහි නිකායන්තරලඞ්සංකරපරිහාරත්ථං සීභළභාසාය ඨපිතො” යි කියන ලද්දේ ය.

මහානාම රජු දවස (බු.ව.953) අත්ථකථාචාර්ය බුද්ධඝෝෂ මහතෙරුන් හෙළටුවා පරිවර්තනයෙන් පාලි අටුවා ලියන අවධිය වන විට මෙසේ වරින්වර ලියැවුණු වෙන වෙන ම අටුවා පසක් විය.

1.මහඅටුවා, 2.මහපසුරු (මහාපච්චරිය) අටුවා, 3.කුරුදු (කුරුන්දි) අටුවා, 4. අන්ධක අටුවා (අන්ධකට්ඨකථා), 5. සංඛේප අටුවා (සඞ්ඛෙපට්ඨකථා) යනුවෙනි. මෙයින් මහා අටුවා, පසුරු අටුවා, කුරුඳු අටුවා යන සිංහලයෙන් ලියන ලදුයේ හෙළටුවා ගණයෙහි ම ගැණෙයි.

1. ‘මහඅටුවාව’ වූ කලි අනුරාධපුර මහාවිහාරීය භික්ෂූන් විසින් ලියන ලද හෙයින් ‘මහාවිහාර අටුවා’ යයි ද කියනු ලැබේ.

2. පසුරෙක්හි සිට ලියන ලද අටුවාව ‘මහාපච්චරියට්ඨකථා’ හෙවත් ‘’පසුරු අටුවා නමින් හැඳින්වෙයි. ඒ මෙසේ අසනු ලැබේ. වළගම්බා මහරජ බු.ව.439 වැන්නෙහි පළමුවරට රජ විය. එකල ‘තිස්ස’ නම් බමුණෙක් රජුට විරුද්ධ ව දාමරික ව හැසිරෙන්නට විය. හෙතෙම මහජනයා විසින් ‘තීය සොරා’ යයි හඳුන්වනු ලැබී ය. පුලහත්ථාදි ද්‍රවිඩයන්ගේ පැමිණීම සිදු වූයේ මෙකල්හි ය. රජ තෙමේ සිංහාසනය හැරපියා වල් වැදුණේ ය. මේ සොර බිය හා පරසතුරු බිය ද පවත්නා කල්හි මහත් නියඟයකින් ශස්‍ය විනාශ වන්නට විය. මේ නියඟය පුරා දොළොස් වසක් පැවැත්තේ ය. මෙකල නොයෙක් ලක්ෂ ගණන් මහජනයා ද දහස් ගණන් භික්ෂූහු ද දුර්භික්ෂයෙන් මළහ. මේ දුර්භික්ෂය ‘බ්‍රාහ්මණතීයසාය’ හෙවත් ‘බැමිණිතියාසාය’ යන නමින් ඉතිහාසගත වූයේ මෙකල පවා ව්‍යවහාරයෙහි එයි. ලඞ්කා ඉතිහාසයෙහි මෙපමණ අඳුරු කාලයක් දැක්විය නොහැකි තරම් ය. එසමයෙහි සිංහල භික්ෂූහු මුඛ පාඨයෙන් ම ගෙනා ත්‍රිපිටක පාලිය නොනැසීය දී ආරක්ෂා කරගැනීම ස්වකීය ජීවිතයට ද වඩා උසස් කොට සැලකූහ. එහෙයින් ඇතැම් භික්ෂූහු විදේශයට ගියහ. ඇතැම්හු පළාකොළ කමින් තැන්තැන්වල ජීවත්වූ මිනිසුන් අතර ඉතා දුකසේ ජීවත් වූහ. ඇතැම් කෙනෙක් ශක්‍ර දේවේන්ද්‍රයාගේ අනුදැනුම පරිදි දඹකොළපටුන සමීප සාගරයෙහි පසුරක් කොටගෙන එහි විසූහ. මේ සියල්ලන්ගේ ම පරමාධ්‍යාශය වූයේ එතෙක් ග්‍රන්ථාරූඪ නොවූ ත්‍රිපිටකපර්යාප්තිය ආරක්ෂා කර ගැනීම ය. එහෙයින් පසුරෙහි විසූ භික්ෂූහු ත්‍රිපිටකය සිත්හි ලා දරමින් සිංහලයෙන් ත්‍රිපිටකයට අටුවා ලියූහ. මෙසේ ලියන ලද අටුවාව ‘මහපසුරු අටුවා’ නම් විය.

3. කුරුඳුවැලි නම් විහාරයක හිඳ ලියූ අටුවාව ‘කුරුන්දියට්ඨකථා’ හෙවත් ‘කුරුඳු අටුවා’ නම් විය. මේ කියන කුරුඳුවැලි විහාරය අටුවාකථාවල ‘කුරුන්දවෙල්ලි’ යයි ද මහාවංසයෙහි ‘කුරුන්දපාසක’ යයි ද ආයේ ය. එය කරවන ලදුයේ බල්ලාටනාග (බු.ව.433) නම් රජු විසිනි. මේ විහාරයෙහි වැඩහුන් භික්ෂූන් විසින් හෙළ බසින් ම ලියන ලද අටුවාව ‘කුරුඳුවැලි අටුවා’ නම් විය. මේ අටුවාව ලිවීමට හේතු වූයේත් යට කී බැමිණිතියාසාය නිසා හටගත් ජනපද විනාශය ම විය යුතු ය. මෙසේ සොරබිය, පරසතුරුබිය හා දුක්බියෙන් රට වැනසෙද්දී මහාවිහාරයෙහි රැඳුණු භික්ෂූහු කලින් ලියැවී තුබූ මහාවිහාර අටුවා පොත් කෙසේ නමුත් රැකගත් අතර පසුරෙහි රැකවරණ ගත් භික්ෂූහු පසුරුඅටුවාව ද කුරුඳුවැලි වෙහෙර විසූ භික්ෂූහු කුරුඳු අටුවාව ද ලියන ලදැයි පිළිගත යුතු ය. මේ තුන් අටුවාවම සිංහලෙන් ලියැවුණු හෙයින් ‘හෙළටුවා’ නම් විය.

සමන්තපාසාදිකා නිගමනයෙහි:

“මහාඅට්ඨකථඤ්චෙව - මහාපච්චරියමෙව ච,

කුරුන්දිඤ්චාති තිස්සොපි සීහලට්ඨකථා ඉමා.” යි දක්වන ලදි. බුධඝොෂාචාර්යයන් විසින් අට්ඨකථා පරිවර්තනයෙහි දී මහා අට්ඨකථාව ශරීර කොටගෙන මහාපච්චරිය, කුරුන්දිය යන ප්‍රසිද්ධ වූ අටුවාවල කියන ලද විනිශ්චය හා ථෙරවාදය ද සුදුසු අර්ථ ද අත් නොහැර අටුවා පෙළ බසට නඟන බව දක්වන ලද්දේ ය. සමන්තපාසාදිකා ග්‍රන්ථාරම්භයෙහි හා අන්තයෙහි මෙසේ දක්වා ඇති නමුදු කිසි තැනක අන්ධකට්ඨකථාවෙහි හා සඞ්ඛේපට්ඨකථාවෙහි දැක්වූ විනිශ්චය ගැන ද සඳහන් කොට ඇත.

4. අන්ධකට්ඨකථාවෙහි දකුණු ඉන්දියාවේ ද්‍රවිඩ ප්‍රදේශවල බුද්ධධර්මය ව්‍යාප්ත ව පැවැති කාලයෙහි ‘අන්ධ්‍ර’ හෙවත් ‘ආඬි’ යයි ප්‍රසිද්ධ වූ ද්‍රවිඩභාෂා විශේෂයෙන් එරට ආචාර්යවරයෙකු විසින් ලියන ලද්දක් විය හැකි ය. සොලි, ආන්ධ්‍ර ආදී දේශවල භික්‍ෂූහු කලින් කල ලක්දිව ද විසූ බව පෙනෙන හෙයින් ආන්ධ්‍ර ඇදුරෙකු විසින් සිංහලයෙන් ලියන ලද්දක් නොවිය හැකි ද නොවේ.

5. ත්‍රිපිටක පාලියට සැකෙවින් අර්ථ දැක්වීම සඳහා ලියන ලද අටුවාව ‘සඞ්ඛෙපට්ඨකථා’ නම් විය. මෙය පෙළ බසින් හෝ හෙළ බසින් ලියන ලද දැයි නිශ්චය කිරීමට ප්‍රබල සාධකයක් නැත. මේ අටුවා පස අතුරෙන් මහා අටුවාව මහින්දාගමනයෙන් (බු.ව.236) පසුව වළගම්බා රාජ්‍යෝදයට (බු.ව.439) පෙර දෙසියවස තුළ ලියැවුණු බව හා පසුරු, කුරුඳු යන අටුවා දෙක වළගම්බා රාජ්‍ය සමයෙහි ලියන ලද බව ද සිතිය හැකි ය. අන්ධක - සඞ්ඛෙප යන අටුවා දෙක ද බුදුගොස් හිමියන්ට හමුවූ හෙයින් මහානාම රාජ්‍යෝදයෙන් (බු.ව.953) පෙර ලියවුණු බව පමණක් කිය හැකි ය. බුදුවසින් දසවැනි සියවසෙහි බුදුගොස් හිමියන් විසින් හෙළටුවා සසඳමින් මාගධ භාෂාවෙන් පරිවර්තනය කළ පසු ඒ මාගධී අටුවාවලට මහාගණ්ඨිපද, මජ්ඣිම ගණ්ඨිපද, චූලගණ්ඨිපද යයි සිංහලයෙන් ලියූ ගැටපද ග්‍රන්ථ සමූහයක් ද විය. හෙද පොළොන්නරු සමයෙහි ශ්‍රී ශාරිපුත්‍ර සංඝරාජයන් විසින් ටිකා නිපදවීමෙන් පසු බෙහෙවින් අභාවයට ගිය බව පෙනේ. ශේෂ ව පවත්නා පස්වැනි කාශ්‍යප (බු.ව.1473) රජුගේ දම්පියා අටුවා ගැටපදය, රාජමුරාරීන්ගේ ජාතක ගැටපදය, වෙසතුරුදා සන්නය ආදියෙන් ඒ ගණ්ඨිපදයන්ගේ ස්වරූපය තරමක් දුරට සිතා ගත හැකි ය.

“බුද්ධඝෝෂාචාරීන්ගේ මාගධී පරිවර්තන හේතු කොටගෙන හෙළටුවා විනාශ වී යැ”යි කෙනෙක් කියති. එහෙත් දම්පියා අටුවා ගැටපදය, පැරකුම්බාවන්ගේ විසුද්ධිමග්ග සන්නය ආදියෙහි ඇතුළු වැ පවත්නා හෙළටුවා පාඨයෝ ඒ මතය සාවද්‍ය බවට දෙස් කියති. බුද්ධඝෝෂ කාලයෙන් පසුව ද ශතවර්ෂ බොහෝ ගණනක් සුරක්ෂිත ව පැවති හෙළටුවා පමණක් නොව අනර්ඝ වූ වෙනස් සිංහල ග්‍රන්ථ ද සමඟ බොහෝ පාලි, සංස්කෘත ග්‍රන්ථ ද විනාශ වූයේ මාඝ, රාජසිංහාදීන්ගේ සාහසික ක්‍රියාමාර්ගය නිසා යයි කියතොත් එය නිරවද්‍ය වේ. එසේ ම මේ තාක් සැඟවී ඇති ග්‍රන්ථ අතුරෙහි යම් යම් හෙළටුවා ග්‍රන්ථයක් නැත්තේ මැ යයි කවරෙකුට කිව හැකි ද? දැනට මුද්‍රණය වී පවත්නා දම්පියා අටුවා ගැටපදයෙහි ඇතුළු වැ ව්‍යාකූල ව දක්නට ලැබෙන පාඨ කිහිපයෙන් හෙළටුවාබස කෙබඳු වී දැයි දැනගැනීමට කදෝපැණි එළියක් ලැබේ.

යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම ස්ථවිරයන් වහන්සේ විසින් මජ්ඣිමනිකාය සමන්නේසනායෙන් කළ සංස්කරණය සමඟ ජයතිලක ශ්‍රීමතුන්ගේ සංස්කරණයෙහි එන ඒ පාඨ කිහිපය මෙසේය:

1. හෙළටුවායෙහි “අප්‍රමාදම්හි පණ්ඩිතා භජෙථ යුහු” (79 පිට) (‘අප්පමාදෙහි පණ්ඩිතාහ ජෙන’ හෝ ‘අප්‍රමාදහි පණ්ඩිතහ ජෙනෙ’)

2. “යෝගෙ සොහෙවදානකි උපද්දාව හිඳිමි” මහා අටුවාහි කී බැවින් (7933 පිට) (‘යොගෙ වදානකි උපද්දාවහි නම්’)

3. “සාමවතියා වත්ථු නාම පඨමං” යි මහඅටුවාහි ආ බැවින් (801 පිට) (‘සාමවතියා වත්ථුනාම පඨමකි’)

4. “හෙළටුවායෙහි ‘ප’ යනු හැරැ ‘ඡෙත්වාන මාරස්ස පුප්ථකානි’යි පාඨ ගත්හු, ‘මාරස්ස පුප්ඵකානීති සබ්බ අකුසලා’ යි පුප්ඵක ශබ්දයෙන් අකුසල් කියූහු” (10522 පිට). (‘මාරස්ස පුප්ඵෙ වදානකි. පුප්ථ අකුසල යි’)

5. “සාලිත්ථකසිප්පෙ, පයත් හකුරු ලන සිප්හි හෙළටුවායෙහි සා(ළි)න් තහක් කරන ලනක සිපැයි යෙත්” (13616 පිට) (‘යන්ත හක්කරක ලනක සි ප’)

6. “ලකුණ්ඨකොවදානි කිරස්ස නැමි” යනු හෙළටුවා යි (14816 පිට) (‘ලකුණිකො වදානකි රස්ස නැමි’)

7. “රහදො වදාන කිද ආවාටහි නම් හෙළු අටුවායෙහි” (14913 පිට) (‘රහදො වදානකි ආවාටහ නම්’)

මෙසේ මේ හෙළු අටුවා පාඨවල යෙදුණු ශබ්දරූප හා තත්කාලීන සෙල්ලිපි පාඨ ද සසඳා බැලිය යුතු ය.

(කර්තෘ: ලබුගම ලංකානන්ද හිමි: 1956)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=හෙළටුවා&oldid=4532" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි