අඩව්ව

සිංහල විශ්වකෝෂය වෙතින්
09:03, 14 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

සිංහල නැටුමෙහි ශාස්ත්‍රීය පදනමට උපයෝගී කරගත් නර්තන විශේෂයකි. මෙය විශේෂයෙන් උඩ පහත දෙරට නැටුම්වලටත් සබරගමු නාට්‍ය විලාසයටත් ද්‍රවිඩ වර්ණම් හෙවත් වන්නම් ඇසුරෙන් ලැබිණැයි සිතිය හැකිය. අඩව් හෙවත් ආඩ යනුවෙන් පරිසමාප්ත අර්ථයෙන් ම වාච්‍ය වන නාට්‍ය විශේෂය ප්‍රචලිතව පවතින්නේ දක්ෂිණ භාරතීය භරත නැටුමෙහිය.

කෙසේ හෝ ද්‍රවිඩ (කර්ණාටක) නාට්‍යයේ අඩව්වල තිබෙන "ත්‍රිකාල" ආදි භේදයන්ගෙන් ද එම නැටුමෙහි අංග වන ස්ථාවක, චාරි හා නෘත්‍යහස්ත යනාදි ශාස්ත්‍රීය අංශයන්ගෙන් ද අපේ උඩරට නැටුම බොහෝ දුරට ඈත්වී ඇත.

උඩරට නාට්‍ය ‍ලක්ෂණයන්ගේ විවිධ අංශ ගෙන හැර පෑමේ දී තානම (ගායනය; ස්වර හැඳින්වීමක්) හා මාත්‍රය (නැටීම; "වාර") යන විග්‍රහ මෙය පදනම් කොට ගනු ලැබේ. මාත්‍රයට උදාහරණයක්:

1 2

දොංදොංකඩදොන් ජින්ගතකිටිතක

3 4

තෙයිජිංතන් ජින්

ද්‍රවිඩ නාට්‍ය අභ්‍යාසයේ දී අඩව් වශයෙන් හැඳින්වෙන්නේ අපේ නැටුමේ මාත්‍ර නමින් දැක්වෙන ඉහත සඳහන් කොටසය. මෙතැනින් පසුව උඩරට වන්නම් නැටුමේ ක්‍රමවත් "මුදුන් කිරීමක්" වශයෙන් වන්නමේ එක එක පදයට මාත්‍රා නැටීමෙන් පසුව "තීරුමානම" හෙවත් "සීරුමානම" නැටීම සිරිතක්ය. මෙය හැඳින්වෙන්නේ අවසාන වශයෙන් නාට්‍යයේ උසස් ම අවස්ථාවත් නැට්ටුවන්ගේ උසස් භාවප්‍රකාශනයත් තාලඥනයත් පෙන්නුම් කරලීමට චාරිත්‍රයක් වශයෙන් නටා පෙන්වන අඩව්වලට සූදානමක් වශයෙන්ය.

භරත නැටුම අවසන් කරන්නේ "පද විග්‍රහයකින්" හා "ස්වර අලංකාරයකින්" පෙන්වන තීරුමානමකිනි. භරත නැටුමේත් උඩරට නැටුමේත් කිට්ටු සම්බන්ධතාවක් තවදුරටත් පහදාලීමට මෙයින් ඉඩ ලැබේ.

උඩරට නැටුමට මැදි කරගත් අඩව් පෙන්වීමේ දී අංගචලනයත්, පා ගමනත්, පද අක්ෂරවලින් ද අර්ථ සහිත වචන යොදා ගැනීමෙන් ද සිද්ධවන්නකි.

වන්දේ මුනිඳුට වැන්දේ මහබඹු තොඟතත්

වන්දාමි වන්දේ ගදඹය වැන්දේ යමදිග වන්දිත

වන්දිත වන්දාම් ජෙන්ගා ජෙන්ග ජෙන්ගත් ජිමිතක

තදකින් වන්ද වන්ද මුනි වන්දාමි.

යන කවිය නිදසුන් වශයෙන් පෙන්වා දිය හැකියි.

තවද උඩරට නැටුමෙහි වන්නම් පොහොසත් වීමට හේතු වූ ශාස්ත්‍රීය වූත් ඓතිහාසික වූත් කරුණුවලින් හා පද මාලාවන්ගෙන් ගෙතුණු කොහොඹා කංකාරියෙහිත් එහි පවතින නානාවිධ අංශවලත් කෝල්පාඩුවේ වට්ටම්වලත් නාට්‍යයේ මුඛ පද සතර වන "තත් ජිත් තොං නං" යන සතර අක්ෂර මුල් කර අඩව් යොදාගෙන ඇත.

තාල ශාස්ත්‍රය සම්බන්ධව ඇති නොයෙක් ග්‍රන්ථවල අපේ නැටුමට එක්වුණු දියුණු තාල පද්ධතියක් ගැන සඳහන් වේ. විශේෂයෙන් අඩව් හැඳින්වීමේ දී "ෂෙම්බඩ" තාල ආදීන්ගේ ලඝු, ගුරු සම්බන්ධතාවෙන් ද "ත්‍රිකාල පූරණයෙන් ද" "දස ප්‍රාණ" නමින් හැඳින්වෙන තාල, මාර්ග, ක්‍රියා, අංග, ග්‍රාණ, ජති, ලය සහ ප්‍රස්තාර යනාදි අංගයන්ගෙන් ද සම්පූර්ණ වූ නාට්‍ය ශෛලීන් තිබුණු බවත් පැහැදිලි වෙයි. දැනට මෙයින් වෙන්වී ගිය "අඩව්" සතලිස් අටක් මෙරට නැටුමෙහි ඇත.

"මණ්ඩිය" වශයෙන් ගණ නාට්‍ය විලාසයක් පෙන්නුම් කරන එක්තරා "කාරණ අඩව්" වර්ගයක් ඇත. එම අඩව්වක් ආරම්භ කිරීමේ දී අඩක් බරව ඉණෙන් දෙපැත්තට විහිදෙන සේ දණිස් දෙක හෝ දෙපය තබා දෙඅත් විහිදුවා තබා ගැනීම මණ්ඩියේ පරමාර්ථය පෙන්නුම් කරයි. අපේ උඩරට නැටුමෙහි මණ්ඩි යන්නෙන් පෙන්නුම් කරන්නේ අඩව්වක් නොව නැටුම ආරම්භ කිරීමට වාඩි වෙන ආකාරයය.

මේ අන්දමින් විස්තර වූයේ අ‍පේ නැටුමට භරත නැටුමෙන් හා සංගීතයෙන් මිශ්‍ර කරගත් අඩව් දෙරට නළුවන් ප්‍රයෝජනයට ගත් අන්දමය. අඩව්වක පද විග්‍රහය පෙන්නුම් කර දීමට පහත පෙන්වන උදාහරණය ප්‍රමාණවත් වේ යැයි හැ‍ඟේ.

"අඩව්" තනි තිතට

1 2

1. ජෙන් තරිකිට කුංදන්

2. රංජන් ජිංකුද

3. ජික්තුද තා

4. තිත්, තිත්, තිත් තෙයි

        -                                     -

1 2

තරිකිට කුං දන්දොං

තා -

                                    	   -

තිත්, තිත්, තිත්, තිත් තෙයි

තිත්, තිත්, තිත්, තිත් තෙයි

තෙයිකිට තජ්, ජිත් තොම් නං තා

කර්තෘ:වසන්ත කුමාර


අඩව් වර්ග:

කොහොඹා කංකාරියෙහි වූ ආවැන්දුම් නම් නැටුම් කොටසෙහි උඩරට නැටුමේ ඉතා උසස් චමත්කාරජනක අඩව් රාශියක් දක්නා බව ඉහත සඳහන් විය. ඒවාට වට්ටම් අඩව් යයි කියති. අනිත් අඩව් පිටවට්ටම් අඩව් යන නමින් හැඳින්වේ. වන්නම්, පන්තේරු, උඩැක්කි, දවුල්, තම්මැට්ටම් වාදනයේ දී සහ ඒ ආශ්‍රිත නැටුම්වල දී පිටවට්ටම් අඩව් නටනු ලැබේ.

තනිවට්ටම් අඩව්, දෙවට්ටම් (හෙවත් දෑත පෑහීමේ) අඩව්, සතර වට්ටම් අඩව් යයි කොටස් තුනකට අඩව් සියල්ල බෙදනු ලැබේ.

1. තනිවට්ටම් අඩව් දෙපසට සමබරව නැටීමට ඉඩක් නැත. ඒවා බෙහෙවින් එක් ස්වර (බීජාක්ෂර) යක් මුල්ව ප්‍රබන්ධ කොට තිබේ. තනිවට්ටම් අඩව්වකට නිදසුනක්:

තාජ්ජින්ගත-කුන්තක ජිංගත ගජ්ජික් කුංතක ජිංගත කුංදං-රුන්තකජිත්, තකුතකජින්,රුදන්ගජිත්තා

කඩතක දැහිගත කිටිතක ගජ්ජිත්තං කඩතක ගජිගත කුද කුදතාග් ගජින්තක තරිකිට කුංදං ගජ්ජික් කුංතක තරිකිට කුන්දත්තා.

වමට සහ දකුණට එක සේ නටා මුදුන් කොට අවසන් කරන අඩව්වලට දෑතපෑහීමේ අඩව් හෙවත් දෙවට්ටම් අඩව් යයි කියති.

දෙවට්ටම් අඩව්වකට නිදසුනක් (ආවැන්දුමෙන්):

තාක්ජික් කුංදං-ජිංගත ගත ගොගො තරිකිට ගත ගොගොදං

ගජ්ජික් තක් කුංදං-ජිජිගත ‍ගත ගොගො තරිකිට ගත‍ ගෙගොදං

තාක් ජිංකුං දං-ගජ්ජික්තක්කුං දං

දෝං දොංතක ජිජි දැහීං කුංදං

සතර වට්ටම් අඩව්වකට නිදසුනක්:

සතර බීජාක්ෂර මුල්ව යෙදෙන සමබර පද මාලා සතරක් එක් කොට මුදුන් කිරීමෙන් සෑදී ඇති අඩව්වලට මෙනම යොදනු ලැබේ.

තක්කඩතකතකුද, තාක්තකුද, තජ්ජිත් තොංනන් දෝං-දෝංදෝං රොන්තකජිත්

ජික්කඩතක තකුද, තාත්තකුද, තජ්ජිත් තොංනන් දෝංදෝංදෝං රොන්තකජිත්

දොං කඩතක තකුද තාත්තකුද, තජ්ජිත් තොන්

නන් දෝං දෝංදෝං රොන්තකජිත්

නංගඩතක තකුද තාත්තකුද තජ්ජිත් තොන්නන්

දෝංදෝංදෝං රොන්තකජිත්

තක් කඩ තක තකුද තාත්තකුද තජ්ජිත් තොන්නන්

ජික්කඩතක තකුද තාත්තකුද තජ්ජිත් තොන් නන්

දොංගඩතක තකුද තාත්තකුද තජ්ජිත් තොන්නන්

නංගඩ තක තකුද තාත්තකුද තජ්ජිත් තොන්නන්

තක්කඩතක තකුද තාත්තකුද

ජික්කඩතක තකුද තාක් තකුද

දොංගඩ තක තකුද තාක්තකුද

නංගඩ තකු තකුද තාක්තකුද

තක් කඩ තක තකුද

ජික් කඩ තක තකුද

දොංගඩ තක තකුද

නං ගඩ තක තකුද

තක් කඩ තක

ජික් කඩ තක

දොං ගඩ තක

නං ගඩ තක

තත් ජින් තොං

නන්

තා.

ඉහත දක්වා ඇති අඩව් තුන වර්ග කිරීමට මඟ පෙන්නීමකි. මේ හැර "තා" බීජාක්ෂරය බෙහෙවින් මූර්තිමත් වන අඩව්, තා වට්ටම් අඩව් යයි ද "ජි" බීජාක්ෂරය විස්තර කරන අඩව් ජි වට්ටම් අඩව් යයි ද "තොං" බීජාක්ෂරය විස්තර වන අඩව් තොං වට්ටම් අඩව් යයි ද "නං" බීජාක්ෂරය විස්තර වන අඩව් නං වට්ටම් අඩව් යයි ද හැඳින්වේ. සතර බීජාක්ෂරය ම සමබරව යෙදෙන අඩව්වලට සතර වට්ටම් අඩව් යයි ද කියනු ලැබේ.

1. "තා" බීජය බෙහෙවින් යෙදෙන අඩව්වක්: තාන් දොමිත ගත ද්‍රෙමිකිත කඩතක තරිකිට කිතක

දොමිත ගත කිත් කත් ජෙ‍ජ් ජෙ' තා.

2. "ජි" බීජය බෙහෙවින් යෙදෙන අඩව්වක්: ජිං කුද ගජිජිත් ද්‍රෙහොකට තහකට ගජිජිත් ගජින්ත ගජිජිත්.

රුද ගජිජිත්- ජිජිකුද ගජිජිත් දොහොකඩ තහතඩ ගජිජිත්

ගජින්ත ගජිජිත් රුද ගජිජිත්

ජිංකුද ගජිජිත් දොහොකඩ තහතඩ ගජිජිත්

ජිං කුද ගජිජිත්

ජිජි කුද ගජිජිත්

ගජින්ත ගජිජිත් රුද ගජිජිත්,

3. "තොං" බීජය මුල් කොට ගෙන එය ම මූර්තිමත් කරන අඩව්වක්:

දොං දොං දොං තක ජිත්///ජික්කුංදන් ගජ්ජිත්

දොං දොං දොං තකජිත්///

ගත කුංදං ගජිජිත්///දොං දොං දොං තකජිත් ජික්කුංද ගජ්ජිත්

දොං දොං දොං තකජිත්-ගන කුංද ගජ්ජිත් දොං දොං දොං තකජිත්///

දැහිං කුංදං- තොං" ශබ්දය ‍දොං" යන්නට ආදේශව යෙදේ.

4. "නං" බීජය මුල‍්කොට යෙදෙන අඩව්වක්:

නං කිනං කිත-කිනං කිටිතක නහින නදිගින කිටි කිනං

නකර නනගින තක්‍ර තදිගිනි දිගින දිමිතක නං කිනං කිට නං කිනං.

අඩව් කස්තිරම්වලින් වෙන් කිරීම අමාරු දෙයකි. එහෙත් ශාස්ත්‍රීය කරුණුවලින් අඩව් කස්තිරම්වලට වඩා මුදුන්ව ද, මාත්‍රා ද්‍රැතව ද සරල ලෙස ද යෙදී තිබෙන බැවින් අඩව්ව නැටුමේ ඉතා උසස් උජ්ජ්වල තැන සේ ගණන් ගැනීම නිවැරදි බව පෙන්.

කර්තෘ:ජේ.ඊ. සේදරමන්

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අඩව්ව&oldid=2807" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි