අදවුලා, සිරිල් (Adoula, Cyrille)

සිංහල විශ්වකෝෂය වෙතින්
13:16, 5 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('කොංගෝවේ අගමැතිවරයෙකි. කොංගෝ ජාතික ව්‍යාපාරයේ...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

කොංගෝවේ අගමැතිවරයෙකි. කොංගෝ ජාතික ව්‍යාපාරයේ (Mouvement Nationale Congolaise) ආරම්භක සාමාජිකයකු වූ මෙතෙමේ කොංගෝවේ අගමැතිවරුන්ව සිටි පැට්‍රිස් ලුමුම්බා, ජෝසප් ඉලියෝ ආදින් හා සමඟ එකට දේශපාලන කටයුතුවල නියුක්තව සිටියේය.

ඉක්වේටර් පළාතෙහි ඉපිද ලියෝපෝල්ඩ්විල්හි අධ්‍යාපනය ලැබූ සිරිල් අදවුලා බොහෝ දුක් කම්කටොලු මැඩගෙන දියුණු වූ පුද්ගලයෙකි. ඔහු ක්‍රමයෙන් කොංගෝවේ සමාජ ජීවිතයේත් දේශපාලන ජීවිතයේත් වැදගත් ස්ථානයකට එළඹියේය. ප්‍රමුඛ කම්කරු සංගමයක් ආරම්භ කළ හේ එය 1960 දී තවත් සංවිධාන දෙකක් සමඟ ඒකාබද්ධ වනතුරු ම එහි ප්‍රධාන ලේකම් වශයෙන් කටයුතු කෙළේය. නිදහස් වෙළඳ සමිති පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ කොංගෝ නියෝජිතයා වූයේ ද ඔහුය. 1959 දී ජාතික ව්‍යාපාරයෙන් (M.N.C.) ඉවත් වූ අදවුලා 1960 දී වාමාංශික පූනා පක්ෂයට බැඳී සෙනෙට් සභික ධුරයක් ලබාගත්තේය. කොංගෝවට නිදහස ලබා ගැනීම සඳහා බ්‍රසල්ස්හි පවත්වන ලද වට මේස සාකච්ඡාවලට සහභාගි වූ හේ නිදහස ලැබීමෙන් පසු කොංගෝව එක්සත් රාජ්‍යයක් බවට පත් කරනු වස් ගෙන ගිය ව්‍යාපාරයේ ප්‍රමුඛව ක්‍රියා කෙළේය. පසුව ඉලියෝගේ තාවකාලික ආණ්ඩුවෙහි දේශීය කටයුතු පිළිබඳ අමාත්‍යවරයා වශයෙන් ද ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ද සේවය කෙළේය.

කොං‍ගෝවේ අගමැති ධුරයට මොහු පත්වූයේ 1961 අගෝස්තු 1 වැනිදාය. අදවුලාගේ ආණ්ඩුවට පක්ෂව එක් ඡන්දයක් හැර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් සෙනෙට් සභාවේත් අනික් ඡන්ද සියල්ල ම ලැබුණේය.

(සංස්කරණය:1963)