අද නැකත (ආර්ද්‍රා)

සිංහල විශ්වකෝෂය වෙතින්
13:14, 5 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('සත්විසි නැකැත් අතුරෙහි සවැන්න වූයේ "අද" නැකතයි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සත්විසි නැකැත් අතුරෙහි සවැන්න වූයේ "අද" නැකතයි. පියුමකට බඳු සටහන් ඇති එක ම තාරකාවකින් යුත් මේ නැකතට හිමි ගණ යෝනි ආදිය නක්ෂත්‍රචූඩාමණි ආදි ජ්‍යෝතිෂ ග්‍රන්ථවල සඳහන් වෙයි. වරුණමණ්ඩලයට අයත් වූ මෙම නැකතට අහසේ උතුරු මාර්ගය වූ අජවීථියෙන් කොටසක් ද අසුවේ. අද නැකත උදාවී ඝටිකා එකොළොසක් ඉක්ම ගිය තැන සතර ඝටිකාවක් ම "විෂ" සහිත බැවින් ගමන් ආදිය ආරම්භ කිරීම සුදුසු නැතැයි කියන ලද්දේය. ඒ ඒ දිනවල අද නැකත යෙදුණු කල ඇතිවන අවාදියෝග ගුණදෝෂ සංග්‍රහය ආදි ග්‍රන්ථවලින් දත යුතුය. අද නැකතෙන් උත්පාතදර්ශන, මල්වරවීම් ආදිය ඇති කල්හි සිදුවිය හැකි පලාපල ආදිය ද නක්ෂත්‍රචූඩාමණියෙහි දක්වන ලද්දේය. ඇතුන් හා අසුන් පිට නැඟීමෙහි ද, සූපශාස්ත්‍ර, මල්ල පොර, ගණිත, බඞ්ගවිද්‍යා, අවිශිල්ප යන මේවා ඉගෙනීමෙහි ද සොරකමෙහි ද අද නැකත ශුභ යයි සම්මතයි. අද නැකතින් උපන්නහුට රාහුගේ නක්ෂත්‍ර මහ දශාව පළමුවෙන් ඇති වේ. නැකතේ පාද සතරට පිළිවෙළින් කු, ඝ, ඞ, ඡ යන අකුරු හිමිවෙයි. මේ නැකතින් සර්පයන් දෂ්ට කළහොත් අසාධ්‍ය යයි කියනු ලැබේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අද_නැකත_(ආර්ද්‍රා)&oldid=1519" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි