අධිකරණ

සිංහල විශ්වකෝෂය වෙතින්
13:42, 5 ජූනි 2023 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) ('භික්ඛු භික්ඛුනී සාමණේර සාමණේරී සික්ඛමානා යන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

භික්ඛු භික්ඛුනී සාමණේර සාමණේරී සික්ඛමානා යන පස්සහධැමියන්ගේ පා-සිවුරු ආදිය පිළිබඳව පවත්නා විනිශ්චය ව්‍යවහාර‍ය බෞද්ධ සමයාගත අධිකරණ නමි. විනයට පැමිණ ගිහීන්ගේ නඩු විනිශ්චය පිළිබඳ ව්‍යවහාරය "අට්ටකම්ම" නම් වෙයි. විනයෙහි භික්ෂූන් පිළිබඳව පවත්නා අධිකරණ සතරෙකි. 1. විවාදාධිකරණ 2. අනුවාදාධිකරණ 3. ආපත්තාධිකරණ 4. කිච්චාධිකරණ කියායි. සම්මුඛාවිනය ආදි සත්වැදෑරුම් සමථයන් ගෙන් සන්හිඳුවිය යුතුය යන අර්ථයෙන් විවාදාදිය අධිකරණ නම් වෙයි.

1. "අදහම් දහමැ"යි දැක්වීම ආදි අට‍ළොස් වැදෑරුම් භේදකර වස්තූන් හේතුකොටගෙන විවාද කරන මහණුන්ගේ යම් විවාදයෙක් වේ නම් එය විවාදාධිකරණයයි.

2. සීලවිපත්ති, ආචාරවිපත්ති, දිට්ඨිවිපත්ති, ආජීවවිපත්ති යන සතර වැදෑරුම් විපත්තීන් අතුරෙන් එකෙකින් පරිභව කොට කථා කරන භික්ෂූන්ගේ ගැරැහීම ද චෝදනා ද අනුවාදාධිකරණ නම් වෙයි.

3. පාරාජික සඞ්ඝාදිසේස පාචිත්තිය පාටිදේසනීය දුක්කට යන මාතිකා (ප්‍රාතිමෝක්ෂ) යෙහි ආපස් ආපත්තිස්කන්ධය ද, විභඞ්ගයෙහි ආ ථුල්ලච්චය දුබ්භාසිත යන ආපත්තිස්කන්ධ දෙක දැයි සප්තාපත්ති ස්කන්ධයන් (ඇවැත් කොටස් සත) ආපත්තාධිකරණ නම් වෙයි.

4. සඞ්ඝයා පිළිබඳ වූ අපලෝකනකම්ම ඤත්තිකම්ම ඤත්තිදුතියකම්ම ඤත්තිචතුත්ථකම්ම යන සතර වැදෑරුම් කර්මයන් (කර්මාකර්ම විනිශ්චය බ.) සිදුකිරීම කිච්චාධිකරණ නම් වේ. මෙකී චතුර්විධ අධිකරණයන් සඳහා සර්වඥයන් වහන්සේ විසින් සප්තවිධ අධිකරණසම‍ථයෝ (බ.) වදාරන ලද්දාහුය.

එහි විවාදාධිකරණය සම්මුඛාවිනය යෙභුය්‍යසිකා යන සමථ දෙකින් ද අනුවාදාධිකරණය සම්මුඛා විනය සතිවිනය අමුළ්හවිනය තස්සපාපිය්‍යසිකා යන සතරසමථයෙන් ද ආපත්තාධිකරණය සම්මුඛා විනය පටිඤ්ඤාතකරණ තිණවත්ථාරක යන තුන් සමථයෙන් ද කිච්චාධිකරණය එක් මැ සම්මුඛා විනයෙන් ද සන්හිඳීමට පැමිණේ.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අධිකරණ&oldid=1533" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි