අන්වේෂණ

සිංහල විශ්වකෝෂය වෙතින්
16:05, 24 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සසුන් ගත පැවිද්දන් විසින් බුදුරදුන් විසින් න...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සසුන් ගත පැවිද්දන් විසින් බුදුරදුන් විසින් නොඅනුදන්නා ලද, නොකළ යුතු යයි තහනම් කළ, වෙදකම් ඈ මිථ්‍යාමාර්ගයෙකින් ප්‍රත්‍යය සෙවීම "අන්වේෂණ" නම් වේ. භික්ෂු භික්ෂුණීන් මිථ්‍යාජීවයෙන් වළකාලීම සඳහා පනවන ලද ශික්ෂාපද සයක් ඇත. එමෙන් ම, කුහකකම්, ලාභයක් දී ලාභයක් සෙවීම හා වෘත්තීය ක්‍රම යන මෙයින් ද මිථ්‍යාජීවයට වැටෙන ප්‍රත්‍යය උපදවා ලිය හැකි ය. මෙහි සඳහන් කරන අන්වේෂණයන් අතුරෙන් සමහරක් ලාභයක් දී ලාභයක් සෙවීම පිළිබඳ කොටසට ද සමහරක් වෘත්තීය කොටසට ද වැටේ. චතුපාරිශුද්ධිශීලයෙහි සංග්‍රහ කළ අංග සතරින් තෙවැනි අංගය නම් (මිථ්‍යාජීවයෙන් තොර වූ) සම්‍යක් ආජීවයයි. ආචාරගෝචරසම්පන්නතාවද එහි ම ඇතුළත් වේ. එය කායිකය, වාචසික ය, කායික-වාචසික යයි ප්‍රභේද කරන ලදී. ඒ අනාචාරයන් අතර මෙය මානසික අනාචාරයට වැටේ. සියලු දුසිල්බව අනාචාර යයි කියූ හෙයින් මේ අන්වේෂණ ද අනාචාරයෙහි ම සංගෘහිත ය. ආචාරවත්බව හා ගෝචරසම්පන්නතාව ද සුසිල්බවට වැටෙන හෙයින්, ඒ ආචාරශීලීබව නසාලන මානසික උත්සාහයන්ගෙන් සිවුපසය සෙවීම " මිථ්‍යාජීව" නමි. එහි ඇතුළත් වන අන්වේෂණ එක්විස්සකි: (1) වෙදකම, (2) දූතකර්මය, (3) පණිවුඩ පනත් ගෙනයාම, (4) ගෙඩි පැළීම, (5) ව්‍රණාලේපයන් දීම. (6) ළයවිරේක දීම (7) අධෝවිරේක දීම. (8) නස්‍ය සඳහා තෙල් පිසීම. (9) පානය සඳහා ‍තෙල් පිසීම (10) හුණුදඬු ඈ ඳීම (11) තලපත්, තළපත් ඈ පත්‍ර දීම. (12) සපු, කණේරු ඈ මල්වර්ග දීම, (13) පනස (කොස්) ඵල ඈ ඵලවර්ග දීම (14) මහරීසුනු ඈ ඇඟ ගල්වන සුනුවර්ග දීම. (15) දැහැටි දඬු ඈ දීම. (16) මුව දෝනා දිය දීම. (17) වත්සුනු ඈ සුනු වර්ග දීම. (18) සිරුරෙහි උළන මැටි වර්ග දීම, (19) චාටුකර්මය හෙවත් තමා හෙළා පියා ප්‍රියතාව කැමැත්තෙන් මෙරමා හුවා බිණීම. (20) මුසාවෙන් පිරුණු සත්‍යයෙන් අඩු වූ වචන කථා කිරීම හෙවත් මුග්ගසුප්පතාව හා දායකාදීන්ගේ දරුවන් වඩා ගැනීම හෙවත් පාරිහට්ටතාව, (21) ගිහීන් සඳහා ගම් අතර, නගර අතර ලියුම්කියුම් හුවමාරු පිණිස පා මෙහෙවරෙහි යෙදීම යන මේ එක්විස්සයි.

මජ්ඣිම නිකාය අටුවාවෙහි දැක්වෙන මේ එක්විසි අන්වේෂණයෙන් ලද ප්‍රත්‍යයෙන් දිවි පැවැත්වීම මිථ්‍යාජීවයයි. ඉහත කී එක්විසි අන්‍වේෂණයන්ට මඳක් වෙනස් ලෙසකින් ද සිඛ වළඳ විනිසෙහි අන්වේෂණ දක්වා ඇත. "මෙහි එක්විසි අනෙසුන් නම්, වෙළුදානං, පත්තදානං, පුප්ඵඵල-දන්තකට්ඨ-මුඛොදක-සිනාන චුණ්ණ-මත් තිකාදානං, චාටුකම්‍යතා, මුග්ගසුප්පතා, පාරිභට්ටකතා, ජංඝපෙසනියකම්මං, වෙජ්ජකම්මං, දූතකම්මං, පභෙණගමනං, පිණ්ඩපතිපිණ්ඩදානං, දානානුප්පදානං, වත්ථුවිජ්ජා, නක්ඛත්තවිජ්ජා, අංගවිජ්ජා යන මේ එක්විසි අනෙසුනි." භික්ෂු ශීලය අතින් අන්වේෂණයන්ගේ ඇති වැදගත්කම ඉතා මහත් ය. උසස්තම පැවිදි ශීලය වූ චතුපාරි ශුද්ධි ශීලයෙහි එක් අංගයකි ආජීවපාරිශුද්ධි ශීලය. යම්කිසි භික්ෂුවකගේ හෝ භික්ෂුණියකගේ ආජීවය ප්‍රකෝප වූයේ අශුද්ධ වූයේ නම් එයින් ම ඔහුගේ හෝ ඇගේ සියල් දිවි පෙවෙත මැ සදොස් විය හැකිය.

එහෙයින් ම ඔවුන් ඉදිරියෙහි සපුරාලිය යුතු සසුන් බඹසර මගට අන්තරායක් ද වන්නේ ය. මිථ්‍යාජීවයෙන් යුක්ත වුව හොත් සම්‍යක් ආජීව‍ය නොරැකේ. එනිසා ම මැඳුම් පිළිවෙතෙහි සෙසු අංගයන් ද සපුරාලිය නොහැක්කේ ය. එය සපුරාලීමෙන් කළ යුතු අධිශීලශික්ෂාදිය මැනවින් නොවැඩේ. මෙලෙසින් ශීල, සමාධි, ප්‍රඥා වශයෙන් අනුක්‍රමයෙන් අනුගමනය කළ යුතු ත්‍රිවිධ ශික්ෂාව පුරාලිය නොහැකි වීමෙන් ඒ මහණ සියල් බඹසර මගින් ගිළිහී ගියේ වේ. මේ නිසාය පෙර ලංකාශාසනය පිළිබඳ අර්බුද අවස්ථාවන්හි භික්ෂු ආජීවිකාව ප්‍රකෝප කරවන දැය කවරේදැයි සොයා බලා ධර්මවිනයධර මහතෙරුන් විසින් ශාසනමාමක මහරජුන්ගේ උපකාරත් ඇතිව සම්පාදනය කළ පොළොන්නරු, දඹදෙණි ඈ කතිකාවත්හි පැවිද්දන් විසින් වෙදකම, නැකත් කීම ඈ ගර්හිත දැය නොකළ යුතු යයි ව්‍යවස්ථා පනවන ලද්දේ.

තවත් මෙහි ලා කිවයුත්තක් ඇත. සිවුපිරිසුදු ශීලයෙහි අන්තර්ගත සතරවැනි අංගය වන ප්‍රත්‍යය සන්නිඃශ්‍රිතශීලය ද තෙවැනි ආජීවපාරිශුද්ධිශීලය හා නිතර ම ඒකාබද්ධව පවත්නා බවයි. දැහැමෙන් සෙමෙන් ප්‍රත්‍යයන් සෙවීම මෙන් ම, එලෙසින් සපයා ගත් ප්‍රත්‍යයන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කොට පරිභෝග කිරීම ද අවශ්‍යය. අදහමින් ලද ප්‍රත්‍යයන් නුවණින් ප්‍රත්‍යවේක්ෂා නොකළ හැක්කේය. දැහැමින් ලද්දක් නම් නුවණින් ප්‍රත්‍යවේක්ෂා කළ හැකිය. මේ නිසා එහි දෙවැනි අංගය වන ඉන්ද්‍රිය සංවරයට ද අදහමින් ප්‍රත්‍යයන් සෙවීම ශික්ෂාපද ව්‍යතික්‍රමයට හේතුවන හෙයින් ප්‍රාතිමෝක්ෂසංවරශීලයට ද බාධක වේ. මෙලෙසින් මිථ්‍යාජීවය සියල් බඹසර මග අවුරාලීමට හේතු වන්නකි.

මිථ්‍යාජීවය බුද්ධප්‍රඥප්ත ශික්ෂාපද සයක් බිඳලීමට හේතුවන්නේය. එහෙත් මෙහි සඳහන් අන්වේෂණයන්හි ඇතුළත් කළ වෙදකම, නක්ෂත්‍ර විද්‍යාව හා දූත ගමනාදිය වැනි කරුණු භික්ෂූන් විසින් ඒකදේශයකින් කළ හැකි බවක් ද විනයෙහි එන කරුණුවලින් හෙළි වෙයි. ඒ නිසා මේ අන්වේෂණයන් මගින් උපයනු ලබන ප්‍රත්‍යය පරිභෝගයෙන් දුකුළා නම් දේශනාගාමිනී ඇවත සිදුවන බව සැලකිය යුතුය. ඒ බව සිඛවලඳ විනිසෙහි මෙසේ දැක්විණි. "බුදුන් වැරූ තාක් පස වළඳා නම් දුකුළා වේ. වැරූ පස නම් කවරයත්: එක්විසි අනෙසුන් ආදියෙන් උපන් පසයි" යනු විසිනි.

ආචාරවත්බව, ගෝචරසම්පන්නතාව සුසිල් බවෙහි ලක්ෂණ හෙයින් සුසිල්බව, නිරවද්‍ය දිවි පෙවෙත, නීරෝගිතාව, සුඛවිහරණය, අධිකුශල ධර්මයෙහි අභිරතිය, විඥයන් විසින් කරන ගර්හාවෙන් දුරුවීම, කාමසුඛල්ලිකානුයෝගයෙන් හා අත්තකිලමථානුයෝගයෙන් දුරුවීම හා මධ්‍යම ප්‍රතිපදා පූරණය යනාදි නොයෙක් අනුසස් මෙහි ඇත.

කර්තෘ:කුරුප්පුමුල්ලේ චන්දවිමල ස්ථවිර

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අන්වේෂණ&oldid=1994" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි