අනුව්‍යඤ්ජන

සිංහල විශ්වකෝෂය වෙතින්
18:55, 11 ජූනි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් මහා පුරුෂ සංකල්පය ව...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බෞද්ධ ග්‍රන්ථයන්හි සඳහන් මහා පුරුෂ සංකල්පය වූකලි ඈත අතීතයෙහි පටන් මනුෂ්‍ය වර්ගයා අතර පැවැති ජගත්පුරුෂයකු පිළිබඳ ඇදහීමෙහි විකාසනයෙන් ඇති වූවක් බව රීස් ඩේවිඩ්ස් පඬිතුමා කල්පනා කරයි. ඒ සංකල්පය ඍග්වේදයෙහි ආදි ඛණ්ඩයක් වන පුරුෂ සූක්තයට ඇතුළත්ව ඇත. එසේ ම මේ සංකල්පයෙහි තවත් අවස්ථාවන් අථර්වවේදයෙහි (X.2) ද උපනිෂද් ග්‍රන්ථයන්හි ද දක්නා ලැබේ. මහාපුරුෂ ලක්ෂණ හා අනුව්‍යඤ්ජන ද මිනිසුන් අතර පහළ වන ඒ ජගත් පුරුෂයා හඳුනා ගැනීමේ සලකුණු වශයෙන් බුද්ධකාලයට පෙරටුව ප්‍රකටව පැවැති බව පිළිගත හැකිය. බ්‍රාහ්මණ ආචාර්යවරයන් ස්වකීය ශිෂ්‍යයන්ට මේ ලක්ෂණ හා ව්‍යඤ්ජන ගැන කියා දුන් බව නොයෙක් සූත්‍රයන්හි සඳහන් වී තිබේ. සුත්තනිපාතයෙහි පාරායන වග්ගයෙහි සඳහන් බාවරී බ්‍රාහ්මණයා පිළිබඳ ප්‍රසිද්ධ කථාවෙහි “බුදුන් හඳුනා ගන්නේ කෙසේ ද” යි ඇසූ ශිෂ්‍යයන්ට ආචාර්ය බ්‍රාහ්මණයා උත්තර දී ඇත්තේ මහාපුරුෂ ලක්ෂණයන්ගේ අනුසාරයෙන් බුදුන් හඳුනාගත යුතුය කියායි. බ්‍රහ්මායු සූත්‍රය වැනි තවත් සූත්‍ර ගණනක ම මේ බව සඳහන්ව ඇත. ජගත් පුරුෂයා පිළිබඳ මේ විශ්වාසය කොටස් දෙකකින් යුතුව පැවැත්තේය. එයින් පළමුවැන්න වශයෙන් සූත්‍රයන්හි සඳහන් වන්නේ විමුක්තිදායක ශාස්තෘවරයකුගේ පහළ වීමය. දෙවැන්න නම් ධාර්මික ජගත් පාලකයකුගේ හෙවත් චක්‍රවර්ති කෙනකුන්ගේ පහළ වීමය. සූත්‍රයන්හි ප්‍රමුඛ ස්ථානය දී ඇත්තේ පළමුවැන්නට වුව ද ඓතිහාසික වශයෙන් සැලකීමේ දී වඩා පැරැණි විය හැක්කේ ජගත් පාලකයකුගේ පහළ වීම පිළිබඳ විශ්වාසය විය යුතුය. ජගත් පාලකයාගේ පහළවීම පිළිබඳ විශ්වාසය ම ජගත් ශාස්තෘවරයකුගේ පහළවීම පිළිබඳ විශ්වාසයක් බවට පහසුවෙන් ම පරිවර්තනය වීයයි සිතිය හැකිය. එබඳු පහළවීමක පෙරනිමිති නැකැත් මගින් දැන ගත හැකිය යන විශ්වාසයක් එකල නොපැවති හෙයින්දෝ ඒ වෙනුවට ප්‍රධාන හා අප්‍රධාන ශරීර ලක්ෂණයන්ගේ මාර්ගයෙන් ජගත් පුරුෂයා හැඳින ගැනීමට ශ්‍රමණ හා බ්‍රාහ්මණ කණ්ඩායම් සූදානම් වූ බව කිව හැකිය. දීඝනිකායෙහි බ්‍රහ්මජාල සූත්‍රයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් භාවිත වූ එබඳු විද්‍යා රාශියක් ගැන සඳහන් වේ. අංග විද්‍යාව ද එයින් එකකි.

ශරීරයෙහි අවයව පිළිබඳ ප්‍රධාන සලකුණු “ලක්ෂණ” නමින් ද, අප්‍රධාන සලකුණු “ව්‍යඤ්ජන” නමින් ද හැඳින්විය හැකිය. ඒ දෙකොටස වෙන්කර ගැනීම සඳහා පළමුවැන්න මහාපුරුෂ ලක්ෂණ වශයෙන් හා දෙවැන්න අනුව්‍යඤ්ජන වශයෙන් ද හැඳින්වෙයි. දීඝනිකායෙහි ඇතුළත් ලක්ඛණ සූත්‍රයෙහි පැරැණි ලක්ෂණ මන්ත්‍රයන්ට අයත් යයි සැලැකිය හැකි ගාථා සමූහයක් දක්නා ලැබේ. මේ මහාපුරුෂ ලක්ෂණ පෙර අත්බැව්හි කරන ලද පින්වල විපාක වශයෙන් පිහිටන බව එම සූත්‍රයෙහි සඳහන් වේ. එකී පින්කම් චක්‍රවර්ති රජුන්ගේ අනුශාසනාවන්හි හා අශෝක රජුගේ ධර්මයෙහි ද සඳහන් වන ආචාර ධර්මයන්ට ද සර්වප්‍රකාරයෙන් ම සමානය. සූත්‍රයෙහි ලක්ෂණ පිළිබඳ ගාථා පන්ති ඇත්තේ විස්සක් පමණකි. එහෙයින් මුල දී ලක්ෂණ දෙතිසක් ම සපුරා නොපැවැති බවත්, පසුව ජනප්‍රිය සංඛ්‍යාවක් වූ දෙතිස දක්වා ඒවා වැඩිවී ගිය බවත් සිතිය හැකිය. එයටත් පසුව නැවත නැවතත් එකතු වූ විවිධ ලක්ෂණ අනුව්‍යඤ්ජන වශයෙන් සංගෘහීත විය. මුල දී මහාපුරුෂ ලක්ෂණ වශයෙන් සඳහන් කළ අංග ප්‍රත්‍යංගයන්ගේ ලක්ෂණ ම නැවතත් අනුව්‍යඤ්ජන වශයෙන් ද සවිස්තරව දක්වා ඇති බව පෙනේ. දීඝංගුලි වශයෙන් ඇඟිලි පිළිබඳව එක මහාපුරුෂ ලක්ෂණයක් දක්වා ඇතත් ඇඟිලි හා නිය පිළිබඳව අනුව්‍යඤ්ජන සයක් පසුව දක්වා ඇත. බ්‍රහ්මුජ්ජුගත්ත වශයෙන් දක්වා ඇති මහාපුරුෂ ලක්ෂණය ම නැවත අනුව්‍යඤ්ජන තුදුසකට නන් අයුරින් බෙදා වෙන් කොට දක්වා තිබීමෙන් මේ බව වඩාත් පැහැදිලි වේ. මෙ පරිද්දෙන් මහාපුරුෂ ලක්ෂණයන්ගේ ගණන වැඩි වී යෑමෙන් අනුව්‍යඤ්ජන සංඛ්‍යාව ක්‍රමයෙන් ලියලාගිය බව පිළිගත හැකිය. අනුව්‍යඤ්ජනයන්ගේ පහළවීමෙන් මේ ලියලා යෑම නැවතී නැත. අනුව්‍යඤ්ජනයන්ගේ අන්තර් ප්‍රභේද වශයෙන් මංගල ලක්ෂණ (මගුල් ලකුණු) පහළ වී දියුණු වී ඇත. “පාදතලෙසු චක්කානි ජාතානි” යයි සඳහන් වන මහාපුරුෂ ලක්ෂණය අනුව්‍යඤ්ජනයන් අතර “ශ්‍රී වත්ස මුක්තික නන්ද්‍යාවර්ත ලක්ෂිතපාණි පාදතලතා” යයි දැක්වූ අතර, “ශ්‍රී වත්සස්වස්තික නන්ද්‍යාවර්ත වර්ධමාන සංස්ථාන කෙශඃ” යනුවෙන් තවත් අනුව්‍යඤ්ජනයක් ද ධර්ම සංග්‍රහයෙහි හා ලලිත විස්තරයෙහි දක්වා ඇත. මේ විස්තරයෙන් අලුත් සලකුණු සංඛ්‍යාවක් අනුව්‍යඤ්ජනයන් ඇතුළත වැඩුණු බව පෙනේ. පපංචසූදනී මජ්ඣිමනිකාය අටුවාවෙහි චක්‍රලක්ෂණය පිරිවර කොට ඇති මඟුල් ලකුණු දෙතිසක් දක්වා තිබේ. මේ මඟුල් ලකුණු දෙතිස සූසැටක් වන සේ පසුව වැඩී ගිය පරිදි ධර්මප්‍රදීපිකාවෙහි සඳහන් වන මඟුල් ලකුණු පිළිබඳ විස්තරයෙන් පෙනී යයි. මහනුවර කාලයට අයත් මඟුල් ලකුණ නම් ග්‍රන්ථයෙහි එක් ශ්‍රී පාදයක 108 ක් මඟුල් ලකුණු ඇති බවත් ශ්‍රීපාද යුගලයෙහි 216 ක් ඇති බවත් විස්තර වෙයි. (මෙහි නම් වශයෙන් දක්වා ඇත්තේ 67ක් පමණකි.)

බෞද්ධ ප්‍රතිමා ශිල්පයෙහි දී මහාපුරුෂ ලක්ෂණ හා අනුව්‍යඤ්ජන ද පිළිබඳව විශේෂ සැලකිල්ලක් දක්වා තිබේ. බුද්ධ ප්‍රතිමාවල මේ අනුව්‍යඤ්ජනයන්ගෙන් සෑහෙන සංඛ්‍යාවක් දක්නට ලැබේ. අනුපුබ්බඞ්ගුලිතා, වට්ටඞ්ගුලිතා, සමපාදතා, මට්ටගත්තතා, තුඞ්ගනාසතා, ආයතවිසාලනෙත්තතා, පරිපුණ්ණලලාටතා, පරිපුණ්ණසීසතා ඡත්තනිභචාරුසීසතා, ආයතරුචිරකණ්ණතා ආදි අනුව්‍යඤ්ජනයන්ගෙන් ප්‍රකාශ වන ශාරීරික පිහිටීම් ප්‍රතිමාවල දක්නට ඇත. ආනන්ද කුමාරස්වාමි පඬිතුමා ඇතුළු උගතුන් රාශියක් ම මේ ප්‍රතිමා ලක්ෂණ පිළිබඳව කරුණු සවිස්තරව දක්වා ඇත.

අනුව්‍යඤ්ජන පිළිබඳ නාමමාලාවක් පාලි පෙළ අටුවා පොත්වල දක්නට නැත. ඒ පිළිබඳව සඳහන් වන පැරණි ම පාලිග්‍රන්ථය ජිනාලඞ්කාර වර්ණනාවයි. එය පොළොන්නරු යුගයට අයත් ග්‍රන්ථයකි. බෞද්ධ සංස්කෘත ග්‍රන්ථවල දක්නට ලැබෙන අනුව්‍යඤ්ජන පිළිබඳ විස්තර පාලිග්‍රන්ථයන්හි සඳහන් ඒවාට වඩා පැරණිය. ලලිත විස්තරය, මහාව්‍යුත්පත්තිය යන ග්‍රන්ථ දෙකෙහි ද ධර්මසංග්‍රහ නම් ග්‍රන්ථයෙහි ද අනුව්‍යඤ්ජන නාමමාලා දක්නට ලැබේ. තිබ්බතීය හා නේපාලීය බෞද්ධ සම්ප්‍රදායට අයත් නාමමාලාවක් බී. එච්. හොජ්සන් මහතා දක්වා තිබේ. ධර්මප්‍රදීපිකාවෙහි සඳහන් නාමමාලාව කෙළින් ම ජිනාලඞ්කාර වර්ණනාවෙන් උපුටා ගෙන ඇත. මේ නාමමාලා පරීක්ෂා කිරීමේ දී ඒවා එකිනෙකට වෙනස් සම්ප්‍රදාය තුනකට අයත් වූ බව පෙනී යයි. 1. ලලිත විස්තර, ධර්මසංග්‍රහ යන ග්‍රන්ථවලින් එක සම්ප්‍රදායක් ද 2. මහාව්‍යුත්පත්ති හා තිබ්බත-නේපාලීය නාමමාලාවලින් තවත් සම්ප්‍රදායක් ද 3. ජිනාලඞ්කාරවණ්ණනා, ධර්මප්‍රදීපිකා යන ග්‍රන්ථ වලින් තවත් සම්ප්‍රදායක් ද හෙළි වෙයි. මෙහි දැක්වුණු සම්ප්‍රදාය තුනෙන් ථෙරවාදී (3) සම්ප්‍රදාය අනෙක් දෙකට වඩා බෙහෙවින් වෙනස් බව පෙනී යයි. ලලිත විස්තර ධර්මසංග්‍රහ සම්ප්‍රදාය ථෙරවාදී සම්ප්‍රදායන් සමඟ ස්ථාන 33 ක දී සැසැඳෙයි. මහාව්‍යුත්පත්ති-තිබ්බතීය සම්ප්‍රදාය ථෙරවාදී සම්ප්‍රදාය සමඟ ස්ථාන 40 ක දී ගැළැපෙයි. එහෙත් අනුව්‍යඤ්ජන දැක්වීමේ දී මේ සම්ප්‍රදාය තුන ම එක් පොදු ප්‍රතිපත්තියක පිහිටා ඇති බැව් පෙනේ. එනම් ශරීරයෙහි කුඩා කොටස් පිළිබඳ පිහිටීම් සවිස්තර වශයෙන් විභාග කොට දැක්වීමයි. ඇඟිලි, නිය, දත්, ඇස්, බැම, හිස, හිසකෙස් යනාදියෙහි විස්තර විභාග ඒවායේ දක්නට ඇත. ගමන, කටහඬ වැනි දේ ද අනුව්‍යඤ්ජන වශයෙන් දක්වා ඇතත් ඒවා ශරීර ලක්ෂණ වශයෙන් ගණන් ගැනීම කෙතෙක් දුරට ගැළැපේ දැයි විමසිය යුතුය.

ජිනාලඞ්කාර වණ්ණනා සම්ප්‍රදාය අනුව අනුව්‍යඤ්ජන පහත පළවේ:-

1. චිතඞ්ගුලිතා - පිරී තිබෙන ඇඟිලි ඇති බව.

2. අනුපුබ්බඞ්ගුලිතා - ක්‍රමයෙන් (සිහින්ව) ගිය ඇඟිලි ඇති බව.

3. වට්ටඞ්ගුලිතා - වට වූ ඇඟිලි ඇති බව.

4. තම්බනඛතා - තඹවන් නිය ඇති බව.

5. තුඞ්ගනඛතා - උස්ව පෙනෙන නිය ඇති බව.

6. සිනිද්ධනඛතා - සිනිඳු නිය ඇති බව.

7. නිගූළ්හගොප්ඵකතා - සැඟැවී ගිය ගොප් ඇට අති බව.

8. සමපාදතා - සම වූ පාද ඇති බව.

9. ගජසමානක්කමතා - ඇතකුට බඳු වූ ගමන් ඇති බව.

10. සීහසමානක්කමතා - සිංහයකුට බඳු වූ ගමන් ඇති බව.

11. හංසසමානක්කමතා - හංසයකුට බඳු වූ ගමන් ඇති බව.

12. උසභසමානක්කමතා - වෘෂභයකුට බඳු වූ ගමන් ඇති බව.

13. දක්ඛිණාවත්තගතිතා - දක්ෂිණාවර්ත වූ ගමන් ඇති බව.

14. සමන්තතොචාරුජානුමණ්ඩලතා - හාත්පසින් මනහර වූ දණ මඬල ඇති බව.

15. පරිපුණ්ණපුරිසව්‍යඤ්ජනතා - පරිපූර්ණ වූ පුරුෂව්‍යඤ්ජනය ඇති බව.

16. අච්ඡිද්දනාභිතා - සිදුරෙන් තොර නැබ ඇති බව.

17. ගම්භීරනාභිතා - ගැඹුරු නැබ ඇති බව.

18. දක්ඛිණාවත්තනාභිතා - දකුණට කරකැවුණු නැබ ඇති බව.

19. ද්විරදකරසදිසඌරුභුජතා - ඇත් සොඬකට බඳු වූ කළවා හා අත් ඇති බව.

20. සුවිභත්තගත්තතා - මනාව බෙදුණු අඟ පසඟ ඇති බව.

21. අනුපුබ්බගත්තතා - ක්‍රමයෙන් මනහරව පිහිටි ශරීර ඇති බව.

22. මට්ටගත්තතා - මට සිලුටු ශරීර ඇති බව.

23. අනුස්සන්නානනුස්සන්නසබ්බගත්තතා - ඉතා නූස් නොමිටි ශරීර ඇති බව.

24. අලීනගත්තතා - නොහැකුළුණු ශරීර ඇති බව.

25. තිලකාදිරහිතගත්තතා - තල කැළැල් ආදියෙන් තොර ශරීර ඇති බව.

26. අනුපුබ්බරුචිරගත්තතා - ක්‍රමයෙන් මනහරව පිහිටි ශරීර ඇති බව.

27. විසුද්ධගත්තතා - විශුද්ධ වූ ශරීර ඇති බව.

28. කොටිසහස්සහත්ථිබලධාරණතා - කෙළදහසක් ඇතුන්ට බල ඇති බව.

29. තුඞ්ගනාසතා - උස් වූ නැහැය ඇති බව.

30. සුරත්තදිජමංසතා - ඉතා රතු වූ විදුරුමස් ඇති බව.

31. සුද්ධදන්තතා - සුදු දත් ඇති බව.

32. සිනිද්ධදන්තතා - සිනිඳු දත් ඇති බව.

33. විසුද්ධින්ද්‍රියතා - පිරිසිදු ඉඳුරන් ඇති බව.

34. වට්ටදාඨතා - වට වූ දත් ඇති බව.

35. රත්තොට්ඨතා - රතු වූ දෙතොල ඇති බව.

36. ආයතවදනතා - දිගු වූ මුහුණක් ඇති බව.

37. ගම්භීරපාණිලෙඛතා - අත්ලෙහි ගැඹුරු වූ රේඛා ඇති බව.

38. ආයතලෙඛතා - දික් වූ රේඛා ඇති බව.

39. උජුකලෙඛතා - ඍජු රේඛා ඇති බව.

40. සුරුචිරසණ්ඨානලෙඛතා - මනහර සටහනින් යුත් රේඛා ඇති බව.

41. පරිමණ්ඩලකායප්පභාවන්තතා - පරිමණ්ඩල වූ කාය ප්‍රභා ඇති බව.

42. පරිපුණ්ණකපොලතා - පිරිපුන් දෙකපොල ඇති බව.

43. ආයතවිසාලනෙත්තතා - දිගු පුළුල් ඇස් ඇති බව.

44. පංචප්පසාදවන්තනෙත්තතා - පස් පෑ දිස්නා ඇස් ඇති බව.

45. ආකුඤ්චිතග්ගපඛුමතා - අගින් මදක් නැමුණු ඇසිපිය ඇති බව.

46. මුදුතනුකරත්තජිව්හතා - මොළොක් වූ දික් වූ රතු දිවක් ඇති බව.

47. ආයතරුචිරකණ්ණතා - දික් වූ මනහර කන් ඇති බව.

48. නිග්ගණ්ඨසිරසතා - ගැට නැති හිසක් ඇති බව.

49. නිග්ගූළ්හසිරසතා - නොහැකුළුණු හිසක් ඇති බව.

50. ඡත්තනිභචාරුසීසතා - ඡත්‍රාකාර වූ මනහර හිසක් ඇති බව.

51. ආයතපුථුලලලාටසොභතා - දිගු වූ පුළුල් වූ ලලාට ඇති බව.

52. සුසණ්ඨානභමුකතා - මනා සටහනින් යුත් බැම ඇති බව.

53. සණ්හභමුකතා - සිලුටු බැම ඇති බව.

54. අනුලොමභමුකතා - අනුලෝමව පිහිටි බැම ඇති බව.

55. මහන්තභමුකතා - මහත් වූ බැම අති බව.

56. ආයතභමුකතා - දික් වූ බැම ඇති බව.

57. සුඛුමාලගත්තතා - සිවුමැලි වූ සිරුරු ඇති බව.

58. අතිවියසොම්මගත්තතා - ඉතා සෞම්‍ය වූ සිරුරු ඇති බව.

59. අතිවියඋජ්ජලිතගත්තතා - ඉතා බබළන සිරුරු ඇති බව.

60. විමලගත්තතා - නිර්මල වූ සිරුරු ඇති බව.

61. කොමලගත්තතා - කෝමල වූ සිරුරු ඇති බව.

62. සිනිද්ධගත්තතා - සිනිඳු වූ සිරුරු ඇති බව.

63. සුගන්ධතනුතා - සුවඳ සිරුරු ඇති බව.

64. සමලොමතා - සම වූ රෝම ඇති බව.

65. කොමලලොමතා - කෝමල වූ රෝම ඇති බව.

66. දක්ඛිණාවත්තලොමතා - දක්ෂිණාවර්ත වූ රෝම ඇති බව.

67. භින්නාඤ්ජනසදිසනීලලොමතා - කඩාගත් අඳුන් කැබලිවල වර්ණයට සමාන වූ නීලවර්ණවත් රෝම ඇති බව.

68. සිනිද්ධලොමතා - සිනිඳු වූ රෝම ඇති බව.

69. අතිසුඛුමඅස්සාසපස්සාසධාරණතා - ඉතා සියුම් ආශ්වාස ප්‍රශ්වාස ඇති බව.

70. සුගන්ධමුඛතා - සුවඳ වූ මුව ඇති බව.

71. සුගන්ධමුද්ධනතා - සුවඳ වූ මස්තකය ඇති බව.

72. සුනීලකෙසතා - ඉතා නිල්වන් කෙස් ඇති බව.

73. දක්ඛිණාවත්තකෙසතා - දක්ෂිණාවර්ත වූ කෙස් ඇති බව.

74. සුසණ්ඨානකෙසතා - මනා කොට පිහිටි කෙස් ඇති බව.

75. සිනිද්ධකෙසතා - සිනිඳු කෙස් ඇති බව.

76. සණ්හකෙසතා - සිලුටු කෙස් ඇති බව.

77. අලුලිතකෙසතා - අනාකූල වූ කෙස් ඇති බව.

78. සමකෙසතා - සම වූ කෙස් ඇති බව.

79. කොමලකෙසතා - කෝමල වූ කෙස් ඇති බව.

80. කෙතුමාලාරතනරඤ්ජිතතා - කේතුමාලා රත්නයෙන් රැඳුණු ශරීර ඇති බව.

කර්තෘ:හේන්පිටගෙදර ඤාණවාස ස්ථවිර

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අනුව්‍යඤ්ජන&oldid=1865" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි