"අභයභූමි හා වනසත්ව ආරක්ෂාව" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
 
89 පේළිය: 89 පේළිය:
  
 
'''පොදු තහනම්:''' තහනම් පාරක හෝ ඒ ආශ්‍රිත ආරක්‍ෂිත ප්‍රදේශයක් ඇතුළත දී සතකු වෙඩි තබා දඩයම් කිරීම නීතිවිරෝධි වේ. වන පෙදෙස් ඔස්සේ වැටී ඇති පාරවලින් බොහොමයක දඩයම් කිරීම තහනම් කර තිබේ. නවතා ඇත්තාවූ හෝ ගමන් කරන්නාවූ වාහනයක් තුළ සිට වෙඩි තැබීම ද, කිසි ම සතකුට වෙඩි තැබීම සඳහා කෘත්‍රිම ආලෝක හෝ විදුලිපන්දම් භාවිතය ද, විශේෂ අවසර පත්‍රයක් නොමැති ව (ගොවිපළක හැර සෙසු තන්හි) සතුන්ට උගුල් ඇටවීම ද, අවසර පත්‍රයක් නොමැතිව සතුන්ගේ හම් ඇතුළට පුළුන් ආදිය දමා පිරවීම වෙළෙඳ ව්‍යාපාරයක් කොට ගැනීම ද මෙරටට විශේෂ වූ වනසතුන් හෝ ඔවුන්ගේ ශරීර කොටස් වෙළෙඳ ලාභයක් උදෙසා පිටරට යැවීම ද තහනම්ය.
 
'''පොදු තහනම්:''' තහනම් පාරක හෝ ඒ ආශ්‍රිත ආරක්‍ෂිත ප්‍රදේශයක් ඇතුළත දී සතකු වෙඩි තබා දඩයම් කිරීම නීතිවිරෝධි වේ. වන පෙදෙස් ඔස්සේ වැටී ඇති පාරවලින් බොහොමයක දඩයම් කිරීම තහනම් කර තිබේ. නවතා ඇත්තාවූ හෝ ගමන් කරන්නාවූ වාහනයක් තුළ සිට වෙඩි තැබීම ද, කිසි ම සතකුට වෙඩි තැබීම සඳහා කෘත්‍රිම ආලෝක හෝ විදුලිපන්දම් භාවිතය ද, විශේෂ අවසර පත්‍රයක් නොමැති ව (ගොවිපළක හැර සෙසු තන්හි) සතුන්ට උගුල් ඇටවීම ද, අවසර පත්‍රයක් නොමැතිව සතුන්ගේ හම් ඇතුළට පුළුන් ආදිය දමා පිරවීම වෙළෙඳ ව්‍යාපාරයක් කොට ගැනීම ද මෙරටට විශේෂ වූ වනසතුන් හෝ ඔවුන්ගේ ශරීර කොටස් වෙළෙඳ ලාභයක් උදෙසා පිටරට යැවීම ද තහනම්ය.
 
+
[[ගොනුව:593.jpg|800px|center]]
 
'''නීතිවිරෝධි ක්‍රියා:''' ආරක්ෂිත ප්‍රදේශයන්ගෙන් පිට බහුලව කෙරෙන නීතිවිරෝධී ක්‍රියාවක් නම් විශේෂයෙන් ම නියං කාලයේ දී වතුර වළවල්, ගංගා වැව් ආදිය අසබඩ ඉදිකරන ලද මැස්සක සිට හෝ සැඟවී සිට, රාත්‍රියේ දී දිය බීමට පැමිණෙන සතුන්ට විදුලි පන්දම් එළියේ ආධාරයෙන් වෙඩි තැබීමයි.
 
'''නීතිවිරෝධි ක්‍රියා:''' ආරක්ෂිත ප්‍රදේශයන්ගෙන් පිට බහුලව කෙරෙන නීතිවිරෝධී ක්‍රියාවක් නම් විශේෂයෙන් ම නියං කාලයේ දී වතුර වළවල්, ගංගා වැව් ආදිය අසබඩ ඉදිකරන ලද මැස්සක සිට හෝ සැඟවී සිට, රාත්‍රියේ දී දිය බීමට පැමිණෙන සතුන්ට විදුලි පන්දම් එළියේ ආධාරයෙන් වෙඩි තැබීමයි.
  

12:00, 2 ඔක්තෝබර් 2023 වන විට නවතම සංශෝධනය

584-2.jpg
584-1.jpg
ආදි මිනිසා දියුණුවී ගියේ ස්වභාව ධර්මය හා කළ නිරන්තර සටනක් මධ්‍යයේය.අවු වැසි සුළං යන මේවායින් ආරක්ෂා වීමට ගල්ගුහා ආදී වාසස්ථාන සෙවීමේදී ඔහුට වන සතුන් සමඟ නිතරම මහත් පොරයක යෙදෙන්ට සිදු විය. නිවාස තනා ගැනීමේ අවස්ථාවට පැමිණි විටත්, නොකඩවා ගලා එන වන ප්‍රවාහයට පටහැණිව ක්‍රියා කිරීමට ද ඔහුට සිදු වුවේය.

තමන් ස්වාභාවික බාධකයන් යටපත් කර ගන්නා ප්‍රමාණය ස්වකීය දියුණුව පිළිබඳ මිනුම් දණ්ඩක් සේ ඔහුට පෙනී යන්නට ඇත. අවි ආයුධ වශයෙන් ගල් ඊ හා උණ්ඩ පාවිච්චි කළ කාලය ඉක්මවා පරමාණු ආයුධ භාවිත කරන යුගයට පැමිණීමත්, පයින්ම ගමන් කළ යුගයේ සිට රෝද සහිත රථ වාහන හා ඊට ගැළපෙන්න වූ මංමාවත් සාදාගෙන ඇති යුගයට සම්ප්‍රාප්ත වීමත්, මුල් යුගයෙහි පැවති දඩයම් හා එ‍ඬේර දිවිපෙවෙත් වෙනුවට වර්තමාන ව්‍යාපාරික ,කෘෂිකාර්මික හා කාර්මික රැකියාවන්හි යෙදීමට හැකි වීමත් මිනිසා ලබා ඇති දියුණුවේ සලකුණු ලෙස ගිණිය හැකිය.

සතුන් වඳවී යාම: ස්වභාවධර්මය මැඬපවත්වා දියුණුවීමට මිනිසා දැරූ ප්‍රයත්නයන් නිසා බොහෝ ස්වාභාවික වස්තු විනාශයට පත්විය. තැනෙක කාන්තාර ඇතිවූයේත්, තැනෙක, වෘක්ෂලතාදිය හා සත්වයන් විනාශයට පත් වූයේත් එහෙයිනි.

මෑත කාලයේ දී බොහෝ සෙයින්ම ව්‍යාපාරික කටයුතු සඳහා දඩයම්කිරීම කරණකොටගෙන සමහර සත්ව විශේෂ මුළුමනින්ම පාහේ වඳවී ඇත.
585-1.jpg
නවසීලන්තයේ විසූ මොආ (moa) නම් පැස්බර වර්ගයේ පක්ෂියාද මුරිසි දිවයින්වල සිටි ඩෝඩෝ (dodo) නම් පක්ෂියාද, අප්‍රිකාවේ විසූ බ්ලෝබොක් (blaauwbok) නම් මුව වර්ගයේ සත්වයෙක්ද ක්වෑගා (quagga) නම් සීබ්‍රා වැනි සතෙක් ද දැනට සත්වෝද්‍යානයේ පමණක් දක්නට ලැබෙන යුරෝපීය බයිසන් නම් වූ මීමෙකු වැනි සතෙක් ද මීට අවුරුදු 80 පමණ පෙර ඇමරිකාවේ දසලක්ෂ ගණනින් වූ සංචාරක පරෙවියෝද මෙසේ වඳවී ඇති සත්තුය.
585-2.jpg

මීට පනස් හවුරුද්දකට පෙර ලංකාවේ බහුල වූ විල්මුවා හෙවත් ගෝණමුවා මෑතකදී වන සතෙකු වශයෙන් මෙහි කැළෑවල දක්නට ලැබී නැත. වගුරු වල හැසිරෙන අලියා ද (marsh elephant) දැන් දුර්ලභය. මීට අවුරුදු 100කට පමණ ඉහත ලංකාවේ විසූ අලි ඇතුන්ගේ සංඛ්‍යාවෙන් 1/7 පමණ දළ ඇතුන් වූ බව සාමාන්‍ය පිළිගැනීමයි. එහෙත් දැනට දිවයිනේ වෙසෙන දළ ඇතුන්ගේ සංක්‍යාව 40 කට 50 කට වැඩි නොවේ. බුද්ධිය නිසාත්, හීලෑ කරගැනීමේ පහසුව නිසාත් ලංකාවේ අලියා පිටරටවල දී ඉහළම මිලට විකිණිය හැකි වුවද දැන් ඌ වඳවීගෙන යයි. මරා දැමීම සහ අල්ලා ගැනීම නිසා ඇතුන් අඩු වී යන ප්‍රමාණය උන් බෝවන ප්‍රමාණයට වඩා අධිකය. ලංකාවේ ඇත් පරපුර මෙසේ පිරිහී යාම වැළැක්වීමට ඇති එකම පිළියම නම් ඉන්දියාවේ හා අප්‍රිකාවේ මෙන්ම මෙහිද, බෝග ආරක්ෂා කිරීම නොමිත්තෙන් අලින් මැරීම තහනම් කිරීමයි. අලින් නිසා විනාශ වූ බෝගයන් වෙනුවන් ආණ්ඩුවෙන් වන්දි ගෙවන ක්‍රමයක් ඇති කරලීම ආර්ථික කරුණු අතින් පවා නුවණට හුරුය. කිඳුරඟනන් පිළිබඳ කථාවන්ට මුල් වූවා යයි කියනු ලබන්නා වූ, වරක් අරාබි වෙරළෙහි ද මීගමුවේ සිට මන්නාරමින් ඔබ්බට ලංකාවේ වෙරළෙහි ද බහුල ලෙස විසුවා වූ, මූදු ඌරා (dugong) නමැති ජලචර ක්ෂීරපායි සත්වයා ද වඳවී යාමට ආසන්නය. අරාබි වෙරළේ නම් උන්ගෙන් එකෙක්වත් නැත.ලංකාවේ වෙරළාසන්නයෙහි ද උන්ගේ ගණන දැන් ශීඝ්‍රව අඩුවේගෙන යයි.

වඳ වී යා නොදී බේරාගත් සත්තු: විදේශයන්හි මෙන්ම මෙරටෙහි ද පිරිහී යන සතුන් අතුරින් යන්තමින් ඉතිරි වී ඇති සත්ව විශේෂයෝද වෙත්. පියෙර් ආමන්ඩ් ඩේවිඩ් නම් වූ ප්‍රංස ජාතික සත්ව විද්‍යාඥයා විසින් හඳුනා ගනු ලැබූ හෙයින් පියෙර් ඩේවිඩ්ගේ චීන ඌරා යන නමින් හැඳින්වෙන සත්ව විශේෂයෙන් දැනට ඉතිරි වී ඇත්තේ එකොළොස්වැනි බෙඩ්ෆඩ් අදිපාදිතුමන් විසින් වොබන් පාක්උද්‍යානයෙහි ඇතිකිරීමට පටන්ගත් සතුන් රංචුවක් පමණි. මුළුමනින්ම වඳවී නොගොස් මේ අන්දමින් ස්වල්ප වශයෙන් හෝ ඉතිරිව සිටින සතුන් අතර ඇමරිකාවේ මීමා (bison) ආසියාවේ කඟවේණා (rhinoceros) හා ඕස්ට්‍රේලියාවේ කෝලා බෙයාර් (koala bear) නම් සතා ද වැදගත්ය.

සංරක්ෂණය:
586.jpg
ස්වාභාවික වස්තූන් වශයෙන් හැඳින්වෙන ජලාශ, වනාන්තර, වනසතුන් පස යනාදිය ආරක්ෂා කරගැනීම හාත්පසින්ම හිතකරය යනු මිනිසාට වැටහී ගියේ මෑතකදීය. ලංකාවට බුද්ධාගම පැමිණීමෙන් පසු රජුන්ගේ අනුග්‍රහය හා මහජනයාගේ ආගමභක්තිය නිසා දියුණු වූ අවිහිංසාවාදී බෞද්ධ අදහස් හේතු කොටගෙන මෙරට වන සත්ව ආරක්ෂණ කටයුතු පිලිබඳව ශතවර්ෂ 22ක් පමණ වූ දීර්ඝ ඉතිහාසයක් ඇත. මෙවැනි ඉතිහාසයක් ඇති එකම රට ලංකාව යැයි කිව හැකිය. වනසතුන්ට ආරක්ෂාව සලසාදීම බොදු සමයට අනුකූල වූ සිංහල රජවරුන් සතු මූලික යුතුකමක් විය.මේ යුතුකම සිංහල රජවරුන් නොපිරිහෙළා ඉටු කළ බවට පැරණි වංශකථාවන්ගෙන් හා සෙල්ලිපිවලින් සාක්ෂ්‍ය ලබා ගත හැක. අනුරාධපුරය අවට සැතපුම් 25 ක පමණ ප්‍රදේශය රාජාඥා පිට වනසතුන්ගේ අභය භූමියක් වී තිබිණි. ඒ සීමාවෙන් පිටතදී සතුන් දඩයම් කිරීම මුළුමනින්ම තහනම් වී තිබුණු බවක් නොපෙනේ.මෙයින් පෙනී යනුයේ වන සතුන් ආරක්ෂා කිරීමට නම් ජීවිතයට හානි කෙරේ දෝ හිංසා කෙරේ‍ දෝ යන බියෙන් තොරව සතුන්ට නිදැල්ලේ හැසිරිය හැකි වූ “ අභයභූමි” වෙන් කළයුතු බවද ආදි කාලයේ පවා පිළිගත් බවයි.

මීට මෑත කාලයේ දී (ආගමික නොවන වෙනත් හේතූන් නිසා) වනසතුන්ට විශේෂ වූ ප්‍රදේශ වෙන් කළ යුතුය යන අදහස 1884 දී අප්‍රිකාවේ ක්රූගර්ජනාධිපතිතුමන් විසින් පළමුවරට ඉදිරිපත් කරන ලදි. මුලදී මේ සම්බන්ධයෙන් වැඩි උද්‍යෝගයක් ඇති නොවූ නමුත්, 1895 දී මේ සඳහා විශේෂ ප්‍රදේශයක් වෙන් කරනු ලැබ 1898 දී සෙබයි වනෝද්‍යානය පිහිටුවන ලදි. දකුණු අප්‍රිකානු යුද්ධය පවතී සමයේ එහි වැඩිපුර දියුණුවක් ඇති නොවූ නමුත් ක්‍රමයෙන් දියුණු වී ගොස් 1926 දී ක්රූගර් ජාතික උද්‍යානය යන නාමයෙන් සුප්‍රසිද්ධ වූයේ මෙම සෙබයි වනෝද්‍යානයයි.

ඈත අතීතයෙහි පවා පෙරදිග රටවල් පුෂ්පාරාම, ඵලාරාම, වනෝද්‍යාන ආදිය පැවති බවට සාක්ෂි තිබේ. අනුරාධපුර සමයෙහි දී මහමෙව්නා උයන ඒ නගරය හොබවමින් පැවති බව සඳහන් වේ.

ඇමරිකානු ජාතික උද්‍යාන ක්‍රමය යටතේ පිහිටුවන ලද ප්‍රථම ජාතික උද්‍යානය 1872 දී ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටුවනු ලැබූ යෙලෝස්ටෝන් ජාතික උද්‍යානයයි. මෙම උද්‍යානය පිහිට වූ ඇමරිකානු ආණ්ඩුව අනුගමනයෙන් කැනේඩියානු ආණ්ඩුව විසින්ද සිය ජනයාගේ විනෝදය, අධ්‍යාපනය හා යහපත උදෙසා බැම්ෆ් (Bamff)ජාතික උද්‍යානය පිහිටුවනු ලැබීය. මේ උද්‍යානයන් දෙක් හි ම දර්ශනීයත්වය කෙරෙහි තරමට ම වනසතුන්ගේ ජීවිතය කෙරෙහි ද සැලකිල්ලක් දක්වන ලදි. වඳ වී යන වනසතුන් රැක ගැනීමට විශේෂ ප්‍රයත්නයක් ද දරන ලදි.

අන්තර්ජාතික සම්මේලනය: වාණිජ ව්‍යාපාරත් හිතුමතේ වෙඩි තබා මරා දැමීමත් නිසා අප්‍රිකාවේ වනසතුන් ශීඝ්‍රව වඳවී යෑම ලෝකයේ නොයෙක් රටවල සැලකිල්ලට භාජනය වීම කරණකොටගෙන ඒ පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇතිවිය. වන සත්ව ආරක්ෂාව පිළිබඳ පළමු වැනි අන්තර්ජාතික සම්මේලනය 1900 මැයි මස 19 වන දින ලන්ඩන්හි දී පැවැත්විණ. අප්‍රිකාවේ සීමා කරන ලද්දා වූ ප්‍රදේශයක වනසතුන් ආරක්ෂා කිරීමට මහා බ්‍රිතාන්‍යය, ප්‍රංසය, ජර්මනිය, ඉතාලිය, පෘතුගාලය, ස්පාඤ්ඤය හා කොංගෝ නිදහස් රජය යන රටවල් අතර ගිවිසුමක් ඇති කරගන්නා ලදි. අවුරුදු 15 ක කාලයකට වලංගු වූ මේ ගිවිසුම ඉන්පසු අවුරුද්දෙන් අවුරුද්ද අලුත් කිරීමට ද සම්මත කරගන්නා ලදි. මෙම සම්මේලනයේදී සම්මත කරගත් තීරණ ලංකාවේ දඩ සත්වාරක්ෂක ආඥා පනත(නො.1-1909) කෙරෙහි බලපෑවේය.

587.jpg

වන සතුන් ආරක්ෂා කිරීම එක් එක් රටක් වෙන වෙනම නොව සියලු රටවල එක්වී ඒකාබද්ධ ක්‍රමයක් අනුව සංවිධානය කිරීමේ ඇති වැදගත්කම් වටහාගත් ස්විස් ජාතික පෝල් සැරසින්ගේ මෙහෙයීමෙන් 1913 දී බ’න් (Berne) නගරයේ දී අන්තර්ජාතික ගිවිසුමකට අත්සන් තබන ලදි.

පළමුවැනි ලෝක මහා සංග්‍රාමය (1914-1918) කාලයේ දී වන සත්වාරක්ෂක සංවිධානයක් කෙරෙහි බොහෝ රටවල සැලකිල්ල යොමු විය.

ස්වාභාවික වස්තූන් ආරක්ෂා කිරීම පිළිබඳ කරුණු ප්‍රචාරය කිරීම අරමුණු කරගත් සංගමයක් 1928 දී බ්‍රසල්ස් නුවර පිහිටුවීමෙන් පසුව ඉන් ප්‍රයෝජන ලත් ආයතන බොහෝ විය.1928 දී ම බෙල්ජියමේ ඇල්බට් රජු විසින් බෙල්ජියන් කොංගෝවෙහි ඇල්බට් ජාතික උද්‍යානය පිහිටුවන ලදි. ආරක්‍ෂිත ප්‍රදේශයක් වශයෙන් එය වෙන් කිරීම ජාතික කටයුතුවලට අවශ්‍ය වටිනා ඛනිජ වර්ග ආදී අමුද්‍රව්‍ය සපයා ගැනීම වැළැක්වීමකැයි උද්ඝෝෂණයක් ඒ විගසම බෙල්ජියමෙහි ඇති විය. 1946 දී හා 1947 දී ස්විස්ටර්ලන්තයේ බ්රූනන් (Brunnen) නුවර දී පැවැත්විණ. ස්වාභාවික වස්තූන් ආරක්ෂා කිරීම සඳහා 1948 දී රටවල් 33ක් සහභාගී වී අන්තර්ජාතික සංගමයක් ෆොන්ටෙන්බ්ලෝහි දී පවත්වනු ලැබීය.මෙම සංගමයේ පරමාර්ථය වූයේ ස්වාභාවික වස්තු සංරක්ෂණය විද්‍යානුකූලව සංවිධානය කිරීම හා මනුෂ්‍යයා ස්වාභාවික වස්තූන්ට පටහැණි නොවී ඒවා සමඟ ජීවත්විය යුතු බව ප්‍රචාරය කිරීමත්ය. පරිසර විද්‍යාව සඳහා ද අතුරුදහන් වී යන සත්ව විශේෂයන් ආරක්ෂා කිරීම සඳහා ද මෙම සංගමයෙහි විශේෂ කාරක සභා දෙකක් ඇත. බෙල්ජියානු ආණ්ඩුව මගින් කැඳවන ලද අන්තර්ජාතික සම්මේලනයක් 1953 ඔක්තෝබර් මාසයේ දී පැවැත්විණ. සතුන්ගේ ආරක්ෂාවට අදාළ වන ඇතැම් විස්තර තොරතුරු එහිදී ඉදිරිපත් කරන ලදි. තුවාල ලත් සතුන් අත්හැර නොදමා ඔවුන් සොයා බැලීම, ලොකු සතුන් වහා මැරිය නොහෙන කුඩා කානු ඇති තුවක්කු පාවිච්චිය තහනම් කිරීම හා දඩයම් කිරීම සඳහා ස්‌වයංක්‍රීය යුද්ධායුධ පාවිච්චිය තහනම් කිරීම යන මේ ආදී චිරාගත දඩයම් සිරිත් නීත්‍යනුකූල කිරීමට මෙම සම්මේලනයේ දී යත්නයක් දරන ලදි.

වනසත්ව සංරක්ෂණය: මුල දී ස්වාභාවික විද්‍යාඥයන් දඩකෙළියෙහි යන්නවුන් හා ස්වභාවධර්මයට ප්‍රිය කරන්නවුන් අතෙහි පැවති වනසත්ව සංරක්ෂණය පසු කාලයේ දී ආණ්ඩුව සතු විශේෂ යුතුකමක් බවට හැරිණ. රටක වෘක්ෂලතා හා සත්ව ජීවිතය එම රටේ අධ්‍යාපනික, විද්‍යාත්මක, ආර්ථික හා විනෝදාත්මක දායාදයන් ලෙස ක්‍රමයෙන් පිළිගැනී ගිය හෙයිනුත්,මතු පරම්පරාවන්ගේ යහපත උදෙසා එම වස්තු ආරක්ෂා කර ගැනීම ආණ්ඩුවේ යුතුකමක් වශයෙන් වැටහී ගිය හෙයිනුත් ලංකාණ්ඩුව විසින් ද මේ සඳහා නිසි පිළිවෙත් අනුගමනය කොට ඇත.

588.jpg

ලංකාවේ වෙසෙන වනසතුන් වෙළඳ කටයුතු සඳහාත් නිකරුණේත් මරා දැමීමේ වරද කෙරෙහි මහජනයාගේ සැලකිල්ල යොමු කෙරෙමින් ජේ. පී. ලුවිස්, සර් සැමුවෙල් බේකර්, ඇල්ෆඩ් ක්ලාක්, ඒ. එෆ්. බ්‍රවුන්, ආර්. ඩබ්ලිව් අයිවර්ස් වැනි උසස් නිලධාරීන් විසින් 1872 පටන් කලින් කල නොයෙක් ප්‍රකාශ කරන ලදි. ඒ ප්‍රකාශයන්ගේ ප්‍රතිඵල වශයෙන් ද පසුව දඩසත්වාරක්ෂක සංගමය මගින් තරයේ කරුණු කියාපෑම කරණකොටගෙන ද වනසතුන් ආරක්ෂා කිරීම උදෙසා වැඩදායක නීති රාශියක් පනවන ලදි. මේ නීති අනුව අං හා සම් වර්ග පිටරට යැවීම, වියළි මස් විකිණීම හා මසුන් මැරීමට ඩයිනමයිට් පාවිච්චි කිරීම සීමා කරන ලදි. සාමාන්‍යයෙන් සතුන් පැටවු ගහන කාලය ඇතුළත් වන පරිදි සතුන් මැරීම තහනම් කාලයක් නියම කිරීමෙන් ද සතුන් බෝවීමට රුකුල් දීමක් මෙන්ම වනසතුන් ආරක්ෂා කිරීමේ වැදගත්කම කෙරෙහි මහජනයාගේ සැලකිල්ල යොමු කිරීමක්ද විය.

ප්‍රථම ජගත් සංග්‍රාම කාලයේදීත් ඊට අනතුරුවත් පහසු මිලට ලබාගත හැකි වූ තනිකානුවේ තුවක්කු ද බෙහෙවින් භාවිතයට පත් විදුලිපන්දම් හා මෝටර් රථවල ලාම්පු ද නිසා වනසත්ව ඝාතනය විනාශකාරී අන්දමින් වැඩි විය. දවල් කාලයේ සැඟවී සිටීමටත් රාත්‍රියෙහි ආහාර සොයා යාමටත් පුරුදු වී සිටි සතුන්ට අන්ධකාරයෙන් පවා ආරක්ෂාවක් නොසැලසිණ. රෑ දවල් දෙකෙහිම පාරවල් අසළින් ඈත්ව සිටීමට පුරුදුවීමට වනසතුන්ට කාලයක් ගත විය. වර්ෂාකාලයෙහි දී පාරෙන් කොතෙක් ඈත්වී සිටිය ද ඉඩෝර කාලයේ දී දිය බීමට යා යුතු වූ දියකඩිතිවල දී සත්තු වෙඩි පහරට ලක්වූහ. හම්, අං හා වියළි මස් වෙළෙන්දන්ට දී පතොරම් හා වෙඩිබෙහෙත් ලබාගැනීමට පහසුකම් ඇතිවීම විනාශකාරී දඩයක්කාරයන්ට තවත් පහසුවක් විය.

1933 දී පැවැත්වුණු ලන්ඩන් සම්මේලනය හා ඊට පෙරාතුව ඇති වූ අන්තර්ජාතික සාකච්ඡාවන් නිසාත් ලංකාවේ වනසත්ව සංරක්ෂණයට උපයෝගී නීති සකස් කිරීමට මණ්ඩලයක් එවක කෘෂිකර්ම හා ඉඩම් පිළිබඳ ඇමතිතුමන් විසින් පත්කරන ලදි. ඔවුන්ගේ වාර්තාව 1934 අංක 19 දරණ සැසි වාර්තාව වශයෙන් පළ විය. එහි ප්‍රතිඵලයක් වශයෙන් වනසතුන් හා වෘක්ෂලතා සංරක්ෂණ පනත 1938 මාර්තු 01 දින ප්‍රකාශ කරන ලදි. මෙම ආඥාපනත අනුව වන ජීවී සංරක්ෂණය ස්ථිර වශයෙන් ම ආණ්ඩුව සතු යුතුකමක් වූ බව පිළිගැනුණ හෙයින්, වනසත්ව දෙපාර්තමේන්තුවක් ඇති කොට ආරක්ෂකවරයෙක්ද පත්කරන ලදි. ස්ථිර වනසත්ව පාලකවරයෙකු පළමුවරට පත්කරන ලද්දේ 1950 දෙසම්බර් 01 වැනිදාය. එම ධුරයට පත් වූයේ සී.ඩබ්ලිව් නිකලස් මහතාය. ඒ මහතාගේ සේවා කාලය වූ පස් අවුරුද්ද ඇතුළත විපුලඵලදායී කටයුතු රාශියක් කරන ලදි. සත්වාරක්ෂක අදහස් ශීඝ්‍රයෙන් දියුණු වී යෑම කරණකොටගෙන ගෙන 1958 වන විට මුල් අණපනත් අවශ්‍යයෙන්ම සංශෝධනය කළ යුතුවිය. එහෙයින් ඉඩම් හා ඉඩම් සංවර්ධනය පිළිබඳ ඇමතිතුමන් විසින් පහත සඳහන් පරමාර්ථයන් උදෙසා විශේෂ මණ්ඩලයක් පත් කෙරිණ.

(1) වර්තමාන ජාතික රක්ෂිත ප්‍රදේශයන්හි ද අභයභූමිවල ද තතු විමසා ඒ සම්බන්ධයෙන් කළයුතු වෙනස්කම් පරීක්ෂා කොට බැලීම; සතුන්ට (විශේෂයෙන් ම අලින්ට) එක් වනපෙදෙසක සිට තවත් වනපෙදෙසකට යෑමට කැළෑ ආර වෙන්කිරීම,

(2) වනසත්ව සංරක්ෂණයටත්, විශේෂයෙන් ම වල් අලින් ආරක්ෂා කරගැනීමටත් කළ යුතු දෑ සොයාබැලීම හා වත්මන් වනසත්ව ආරක්ෂක නීති සංශෝධනය පිළිබඳ යෝජනා ඉදිරිපත් කිරීම,


(3) වනෝද්‍යාන හා අභයභූමි බැලීමට යන්නවුන්ගේ සිත් ඒවා කෙරෙහි වැඩියෙන් ඇදී යන අයුරින් ඒවා තබා ගැනීමට කළයුතු සංවිධාන හා ඒවායේ අධ්‍යාපනික අගය වැඩිකිරීමට කළයුතු විධිවිධාන යෝජනා කිරීම හා

(4) වර්තමාන වනසත්ව දෙපාර්තමේන්තුවේ සංවිධානය පරික්ෂා කොට බලා එය තවදුරටත් දියුණු කළ හැකි අයුරු යෝජනා කිරීම යන මේයි.

සංචාරක මෙහෙය සම්බන්ධයෙන් වග කියන වාණිජ හා වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයට ම 1959 පටන් වනසත්ව ආරක්ෂක කටයුතු ද පැවරී තිබේ. 1958 දී පත් කරනු ලැබූ විශේෂ මණ්ඩලයේ වාර්තාව 1960 දී ලංකාණ්ඩුවේ විමසිල්ලට භාජන විය.

වනෝද්‍යාන: ලංකාවේ වනාන්තර ආඥාපනතින් ආරක්ෂිත ප්‍රදේශ වශයෙන් වෙන් කර ඇති ප්‍රධාන පෙදෙස් තුනකි.එනම් යාල (රුහුණු), විල්පත්තුව හා (පොළොන්නරුවටත් ත්‍රිකුණාමලයටත් අතර පිහිටි) වෙට්ටිකච්චි නමින් හැඳින්වෙන වන පෙදෙස ද වේ.

අණපනත් පැනවීම: 1909 අංක 1 දරන දඩසත්වාරක්ෂක පනතෙහි ඊට කලින් ඒ සම්බන්ධයෙන් පැවැති අණපනත් සංගෘහිත විය. අන්තර්ජාතික සම්මේලනාදියෙන් බිහිවුණ නව අදහස් කරණ කොටගෙන 1938 මාර්තු මස 1 වැනි දින වනසතුන් හා වෘක්ෂලතා ආරක්ෂක පනත (1937, අංක 2) ව්‍යවස්ථාගත විය. රජයේ ඉඩම් අතුරෙන් නියමිත ඇතැම් ඒවා ජාතික ආරක්ෂිත ප්‍රදේශ වශයෙන් වෙන් කිරීමේත්, රජයේ හෝ පෞද්ගලික වූ ඇතැම් ප්‍රදේශ අභයභූමි වශයෙන් වෙන්කිරීමේත් බලය මුල දී ආණ්ඩුකාරතුමාට ද පසුව ඒ පිළිබඳ අමාත්‍යවරයාට ද ලැබිණ. ජාතික ආරක්ෂිත ප්‍රදේශ වශයෙන් වෙන් කොට ඇත්තාවූ වර්ග සැතැපුම් 1,122ක් වූ රජයේ කැළෑ ඉඩම් පහත සඳහන් භූමීන්ගෙන් සමන්විත වේ. අත්‍යාරක්ෂිත ජාතික ප්‍රදේශ සතරෙකි. ඒවායේ විශාලත්වය වර්ග සැතැපුම් 234කි. පර්යේෂණ කටයුතුවල නියුක්ත වූ විද්‍යාඥයන්ට හැර සෙසු අයට මේවාට ඇතුළුවීම තහනම් කොට තිබේ. විශාලත්වය වර්ග සැතපුම් 401ක් පමණ වූ ජාතික වනෝද්‍යාන තුනක් වේ. මේවායේ වනසතුන් හා වෘක්ෂලතාදිය පරීක්ෂා කිරීම සඳහා හෝ අධ්‍යයන කටයුතු උදෙසා හෝ සත 50ක් ගෙවා ඕනෑ ම කෙනකුට යා හැක. ඒ ස්ථානයන්හි කීප දිනක් නැවතීමට ඉඳුම් හිටුම් පහසුකම් ද මුදල් ගෙවා ලබා ගත හැකිය. ආරක්ෂිත පෙදෙස් හා ආරක්ෂිත නොවන පෙදෙස් අතර විශාලත්වයෙන් වර්ග සැතැපුම් 487ක් පමණ වූ අන්තර් කලාප 6ක් ද වේ. තහනම් නැති කාලවල දී (නොවැම්බර් 1-අප්‍රියෙල් 30) සීමාසහිතව මේවායේ දඩයම් කිරීමට අවසර ලැබේ. මේ කලාපයන්ට ඇතුළුවී දඩයම් කිරීමට රුපියල් 10ක් ගෙවිය යුතුය. ඇතැම් සතුන් දඩයම් කිරීම සඳහා ලබාගත යුතු අවසර පත්‍රවලට වැඩිපුර මුදලක් ගෙවිය යුතු වේ. වනසත්ව ජීවිතය නිරීක්ෂණය කිරීම, අධ්‍යයන කටයුතු කිරීම හා ඡායාරූප ගැනීම සඳහා තහනම් කාලයේ දී වුව ද ඒ කලාපවලට ඇතුළුවිය හැකිය.

ජලසම්පාදන කටයුතු පැතිරීයාම නිසා වෙට්ටිකච්චි අන්තර්කලාපය ද වස්ගමුවේ අත්‍යාරක්ෂිත වන ප්‍රදේශය හා අන්තර්කලාපය ද විල්පත්තු නැගෙනහිර අන්තර්කලාපය ද බෙහෙවින් කුඩා වී ඇත.

අභයභූමි ජාතික වනෝද්‍යාන නොවේ. අභයභූමි සීමාවන් තුළ බොහෝ විට රජයේ ඉඩම් මෙන් ම පෞද්ගලික ඉඩම් ද තිබේ. වනසතුන් දඩයම් කිරීම හැර වෙන සෑම කටයුතු ම මේ ඉඩම්වල කළ හැක. මේවාට ඇතුළු වීමට ගාස්තු අය කිරීමක් නැත. ඒවායේ සැරිසැරීමට තහනමක් ද නැත.

ලංකාවේ අභයභූමි වෙන්කිරීමේ දී ආගමික හේතු බොහෝදුරට බලපා තිබේ. බෞද්ධ සිද්ධස්ථාන අසල දඩයම් කිරීම සිද්ධස්ථානයන්ට අගෞරව කිරීමක් හා ඒවා කෙලෙසීමක් වන හෙයින්, ඒ ප්‍රදේශ වනසතුන්ට අභයභූමි කොට සලකන ලදි. අභයභූමි සියලු සතුන්ට ක්ෂේම ස්ථාන වතුදු ප්‍රධාන වශයෙන් පක්ෂීන්ගේ ආරක්ෂාව සඳහා වෙන්කරන ලද්දේ වෙයි. ආරක්ෂිත ප්‍රදේශයන්ගේ රැකවරණය පිණිස අන්තර කලාප වශයෙන් උපයෝගී කරගැනීම ද අභයභූමිවලින් අභිප්‍රේත කාර්යයකි.

590.jpg

අත්‍යාරක්ෂිත ජාතික භුමි: අත්‍යාරක්ෂිත ජාතික භුමි පිළිබඳ අන්තර්ජාතික අදහස් බොහෝ දුරට වෙනස් වී ඇත. සියලු සතුන් මිනිසාගෙන් පැමිණිය හැකි උවදුරුවලින් බේරා ආරක්ෂා කිරීම වනසතුන් සඳහා කැප වූ මෙම පෙදෙස් පිහිටුවීමේ මූලික අදහස විය. සතුන්ගේ ස්වාභාවික ගතිපැවතුම් ආදි විද්‍යාත්මක කරුණු හැදෑරීමට මෙම පෙදෙස් උපයෝගී කරගැනීම ද පරමාර්ථයක් විය. අප්‍රිකාවේ වෙසෙන ගෝරිල්ලා වැනි දැනට වඳවී යන සත්ව විශේෂයන් ආරක්ෂා කිරීම සඳහා ඒ සතුන්ගේ ස්වාභාවික පරිසරය වටා උන්ගේ දිවිපැවැත්මට හා බෝවීමට අනුකූල වූ විශාල භුමි භාගයක් සම්පුර්ණයෙන්ම මිනිසාගෙන්ම ඈත්කොට තැබීම අත්‍යාරක්ෂිත ප්‍රදේශයන්ගේ පරමාර්ථයයි.

ජාතික වනෝද්‍යාන: රටක සතුන් හා වෘක්ෂ ලතාදිය එම රටේ අධ්‍යාපනික ආර්ථික හා විනෝදාත්මක දායාදයෝයි. වනෝද්‍යාන පිහිටු වූ කල, එම රටේ ජනයාට මෙම දායාදයන්ගෙන් නිදැල්ලේ ප්‍රීතියක් ලබාගැනීම සීමා කරතහොත් එසේ කළයුතුවන්නේ ප්‍රබල හේතු ඇතොත් පමණි. හොරෙන් ඇතුළු වී ස්වාභාවික වස්තූන් කෙලෙසන්නවුන්ගෙන් වනෝද්‍යාන බේරා ගත යුතුය. ඒ සඳහා ශීඝ්‍රව ඔබමොබ යාහැකි ගමනාගමන පහසුකම් ද තිබිය යුතුය.

ලංකාවේ ප්‍රධාන වනෝද්‍යාන තුන ස්වාභාවික ලක්ෂණයන්ගෙන් එකිනෙකට වෙනස් වුව ද, තුනම එක සේ සුන්දරය. මෑතදී පිහිටුවන ලද ගල්ඔයේ ජාතික වනෝද්‍යානය තව ම දියුණු වී නැත. රුහුණු හා විල්පත්තු වනෝද්‍යාන පිහිටුවා අවුරුදු 50කට වැඩි වේ. එක් පසෙකින් වැලි කඳු සහිත වෙරළබඩ තැන්නක් මායිම් කොට ඇති රුහුණු වනෝද්‍යානය ඓතිහාසික වැදගත්කමින් යුත් තැනින් තැන පිහිටි කඳුගැටවලින් සමන්විත වන පෙදෙසින් හා ලඳු කැළයෙන් සැදුණේ වේ. විල්පත්තුවෙහි ගල්කුළු හා කඳුගැට අඩුය. මීට අවුරුදු පනස් ලක්ෂයකට පමණ ඉහත දී මුහුදු පතුලෙන් මතුවූ වැලි පර මෙහි බහුලය. විල්පත්තුවෙහි “විල්ලු” නම් වූ වගුරු 26ක් ඇත. ඉන් දෙකක කරදිය තිබේ. රුහුණු උද්‍යානයෙහි තරම් විල්පත්තුවෙහි අලි නැත. එහෙත් එහි වලස්සු බහුලය.

ලංකාවේ වනෝද්‍යාන ප්‍රමාණයෙන් විශාල නොවුව ද වනසතුන් නැරඹීමට ඇති පහසුකම් ගැන සලකා බලන කල වනසත්ව ජීවිතය සපුරා දැක ගැනීමට පෙරදිග අන්‍ය කිසි ම රටක මෙහි තරම් ඉඩප්‍රස්තා සලසා නොමැති බැව් කිවමනායි.

ලංකාවේ වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත අනුව වනෝද්‍යානයන්හි දඩයම්කිරීම, වෙඩි තැබීම හෝ පණ පිටින් සතුන් අල්ලාගැනීම, බිත්තර, කුරුලු කූඩු හෝපැළෑටි විනාශ කිරීම, වෙඩිතැබීම, ඉඩම් එළිකිරීම, ගින්දර ගෙනයෑම හෝ ගිනි තැබීම, උගුල් ඇටවීම හෝ පුපුරන ද්‍රව්‍ය යනාදිය පාවිච්චි කිරීම, හීලෑ සතුන් වන වැද්දීම යන මේ දෑ තහනම්ය. වන සත්ව පාලක තැනගේ නියෝගය අනුව එම දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු සමඟ මිස අමුත්තන් තනිව පිවිසීම ද රාත්‍රියෙහි මේවායේ සැරිසැරීම ද අවසර රහිතව සතුන්ගේ ශරීර කොටස් හෝ විද්‍යාත්මක අගයක් ඇති වස්තු හෝ ඉවත් කිරීම ද තහනම්ය. සංගීතභාණ්ඩ වාදනය, ගී කීම හා කෑකෝ ගැසීම ද එළිමහනේ ලැගුම් ගැනීම ද තහනම්ය. වනෝද්‍යාන නරඹන්නවුන් එහි වූ පාරවලම යෑමත් රථවාහන තුළ ම සිටීමත් ඔවුන්ට මෙන් ම සතුන්ට ද හිතකර බව අත්දැකීමෙන් හෙළි වී තිබේ.

වනෝද්‍යාන ප්‍රධාන වශයෙන් ම සත්වාරක්ෂක ස්ථාන වේ. ඒ අතර ම ඒවා නරඹන්නන්ගේ සිත් ගන්නා අයුරින් දගමනාගමන පහසුකම් හා ඉඳුම් හිටුම් සම්බන්ධයෙන් නවීන පහසුකම් සැලසෙන අයුරින් ද අධික වියදම් නොදරා දුප්පත් පොහොසත් කාටත් යන්නට පුළුවන් වී ජනප්‍රිය වන අයුරින් ද සංවිධානය කළයුතුය. එහෙත් වන පරිසරය මැනැවින් රැකගන්නට ද වග බලාගත යුතුය.

සත්වෝද්‍යානයන්හි මුල දී කරන ලද්දේ සතුන් කූඩුවල සිරකොට තැබීමය. එහෙත් එසේ නො කොට ඔවුන්ට නිදහස් ජීවිතයක් ගත කළ හැකි ආරක්ෂා සහිත වනෝද්‍යාන දියුණු කරලීම පරිසර විද්‍යානුකූලව සතුන් නිරීක්ෂණය කරන්නන්ගේ මෙන් ම සතුන්ගේ ද වැඩි යහපතට හිතකර වේ. වනසතුන් බහුලව ගැවසෙන්නේ ඝන වනය හා මුඩුබිම් අතර ද, මහා කඳු හා තැනිතලා අතර ද ඇති අන්තරකලාපයන්හිය. වනසතුන්ට ආහාර හා ජලය පහසුවෙන් ලබාගත හැකි ස්වාභාවික භූමි ඔවුන්ගේ වාසභූමි වන හෙයින් එම පෙදෙස් වනෝද්‍යාන වශයෙන් වෙන් කළ යුතු වේ.

ආරක්ෂිත ප්‍රදේශවලින් හා අභයභූමිවලින් පිටත සත්ව ආරක්ෂාව: වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක පනත අනුව සමහර සතුන් ට හා ශාකයන්ට මුළුමනින් ම හෝ එක්තරා නියමිත ප්‍රමාණයකට හෝ ආරක්ෂාව සැලසේ. නම නියම කොට ඇති සතුන් රාශියක ආරක්ෂාව උදෙසා පහත සඳහන් දෑ තහනම් කොට තිබේ:-

දැන දැන ම සතුන් මැරීම හෝ උන්ට තුවාළ කිරීම හෝ උන් අල්ලාගැනීම, ඒ සතුන්ගේ බිජු හෝ කූඩු හැර ගැනීම හෝ විනාශ කොට දැමීම, එම සතුන් ඇල්ලීමට හෝ මැරීමට උගුල් හෝ මළපුඩු ඇටවීම හා ඔරු බිළී පිති ආදිය පාවිච්චි කිරීම, අලුතෙන් මැරූ සතුන් හෝ ඒ සතුන්ගේ බිත්තර, හම් හෝ පිහාටු ළඟ තබාගැනීම, එම සතුන් හෝ උන්ගේ සම් ආදී ශරීර කොටස් විකිණීමට තැබීම යන මේයි. මුළුමනින් ම ආරක්ෂා කරනු ලබන සමහර සතුන්ගෙන් කිහිප දෙනෙකුන් කූඩු වල ඇති කිරීමට විශේෂ අවසර දී තිබේ. දඞුලේනා, හම්බාවා, ඌරුමුවා, කෑරලා, කොට්ටෝරුවා, කොකා, බකමූණා, පොල්කිච්චා, රෙදිහොරා, ලේන්සුහොරා, ගිනිහොරා, ගිනිකුරුල්ලා, දුම්බොන්නා (දුම් කවුළුවා), උකුස්සා, රාජාලියා හා වැව් රාජාලියා ආදී සතුන් මැරීම සම්පුර්ණයෙන්ම තහනම්ය. මැරීමට තහනම් එක ම උරගයා නම් කුඹුරුවල වෙසෙන කුඩා කකුළුවන් හා වෙනත් එවැනි සතුන් නැති කිරීමට උපකාරවන කබරගොයාය.

පැළෑටි හා වෘක්ෂ ආරක්ෂාව: ඕනෑ ම පොදු තැනක හෝ පෞද්ගලික ඉඩමක හෝ වැඩෙන ඇතැම් පැළෑටි උදුරා දැමීම, හැර ගැනීම හෝ විනාශ කිරීම නීතිවිරෝධී වේ. සමහර පැළෑටි තමන්ට අයත් වුව ද කපාදැමීමට හෝ ඉදිරීමට අවසරපත්‍ර ලබාගත යුතුය. එවැනි සමහර පැළෑටි විකිණීමට ද විශේෂ අවසර පත්‍රයක් අවශ්‍ය වේ.

සමහර වෘක්ෂ ඓතිහාසික හේතුන් නිසා ආරක්ෂා කරනු ලැබේ. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මුත්තූර් පිහිටි නොක්ස්ගේ ගසත්, මාතලේ දිස්ත්‍රික්කයේ ඇළහැර පිහිටි සියඹලා ගසත් මෙවැනි ගස්ය. සමහර වෘක්ෂ වඳවී යතැයි බියෙන්ද විශේෂයෙන් දැඩි ලෙස ආරක්ෂා කරනු ලැබේ. මන්නාරම් දිස්ත්‍රික්කයෙහි බේඔබැබ් (baobab) ගස් හා රත්නපුර දිස්ත්‍රික්කයෙහි කල්තොට අසල දක්නා මදාරා ගස ද එවැනි වෘක්ෂයෝයි. මෙම මදාරා ගසින් අතු කෑල්ලක් ළඟ තබාගන්නා මිනිසුන් ළඟට වල්අලි නොඑන බව සාමාන්‍ය විශ්වාසය වේ.

වෙසක් මල්, ලේන වල්ගා ඕකිඩ් ( fox-tail orchid ) ප්‍රිම්රෝස් ඕකිඩ්, නඟා මැරූ අල (daffodil orchid) හා අනුරාධපුරේ ඕකිඩ් (Vanda tessellata roxburghii) යන ඕකිඩ් පැළෑටි වෙළඳාම පිණිස සැපයීම නිසා වඳවීයෑමට ඉඩ ඇති හෙයින්, ඒවා ද දැඩි ලෙස ආරක්ෂා කරනු ලැබේ.

එක්තරා ප්‍රමාණයකට ආරක්ෂා කිරීම යනුවෙන් අදහස් කෙරෙන්නේ නියමිත කාලසීමාවක් තුළ සතුන් දඩයම් කිරීම තහනම් බවය. සාමාන්‍යයෙන් මේ තහනම් කාලය පැටවුන් බිහිකරන කාලයයි. තහනම් කාලයේ දී, මුළුමනින් ම ආරක්ෂා කිරීමේ දී යෙදෙන නීති ම පිළිපදිනු ලැබේ. එහෙත් තහනම නැති කාලයෙහි නම් එක්තරා ප්‍රමාණයකට ආරක්ෂා කරන සත්වයන් ඇල්ලීමට හෝ මැරීමට අවසර ඇත. එසේ කිරීමට වුව ද, නියමිත ගාස්තුවක් ගෙවා අවසරපත්‍ර ලබාගත යුතුය. එක්තරා ප්‍රමාණයකට ආරක්ෂා කරනු ලබන සතුන් හා පක්ෂීන් අතර ගෝනා, තිත් මුවා, මොනරා, හබන් කුකුළා, උස වටුවා, වලි කුකුළා, බෝල වටුවා, රන් ඔලෙයියා, කැස්වටුවා, සේරුවා හා මල් සේරුවා යනාදීහු වෙත්.

ස්වාභාවධර්මයේ තුලිතතාවක් ඇති කිරීමෙහි ලා සියලු ම ප්‍රාණී විශේෂයන්ගෙන් කිසියම් කාර්යයක් ඉටුවෙතැයි යන අදහස තහවුරු වී යත් ම, කෘමීහූ හානිකරය යන හැඟීම ගොවිතැන් කරන ප්‍රදේශයන්ගෙන් පිටත දී ඒසා බලනොපායි.

අවුරුද්දේ කවර කාලයක වුව ද (ජාතික ආරක්‍ෂිත ප්‍රදේශ, අභයභූමි හා වෙන්කළ කැළෑ යන මේවායින්, පිටත දී) අවසර පත්‍රයක් නොමැතිව වෙඩි තැබිය හැකි සතුන් හා පක්ෂීන් අතර වලසා, කොටියා, ඌරා, කිඹුලා, හාවා, ඉත්තෑවාද පරෙවියා හා කොබෙයියා ද වෙත්.

වගා කළ බෝගයකට වැවිල්ලකට හෝ ඉඩමකට හෝ වෙනත් දේපළකට විය හැකි හානි වැළැක්වීම සඳහා, එසේ හානි කිරීමට පැමිණි සතකු මැරීම හෝ මිනිසකු හෝ ගෙදර දොරේ සතකු අනතුරකින් හෝ තුවාල කරනු ලැබීමෙන් බේරා ගැනීම සඳහා එවැන්නකුට පහරදීමට සැරසෙන වනසතකු මැරීම හෝ, මිනිස් සමීපයෙහි දී විසකුරු සර්පයකු, කොටියකු, වලසකු, වල්ඌරකු හෝ කිඹුලකු මැරීම හෝ නීතිවිරෝධි ක්‍රියාවක් ලෙස සලකනු නොලැබේ.

පොදු තහනම්: තහනම් පාරක හෝ ඒ ආශ්‍රිත ආරක්‍ෂිත ප්‍රදේශයක් ඇතුළත දී සතකු වෙඩි තබා දඩයම් කිරීම නීතිවිරෝධි වේ. වන පෙදෙස් ඔස්සේ වැටී ඇති පාරවලින් බොහොමයක දඩයම් කිරීම තහනම් කර තිබේ. නවතා ඇත්තාවූ හෝ ගමන් කරන්නාවූ වාහනයක් තුළ සිට වෙඩි තැබීම ද, කිසි ම සතකුට වෙඩි තැබීම සඳහා කෘත්‍රිම ආලෝක හෝ විදුලිපන්දම් භාවිතය ද, විශේෂ අවසර පත්‍රයක් නොමැති ව (ගොවිපළක හැර සෙසු තන්හි) සතුන්ට උගුල් ඇටවීම ද, අවසර පත්‍රයක් නොමැතිව සතුන්ගේ හම් ඇතුළට පුළුන් ආදිය දමා පිරවීම වෙළෙඳ ව්‍යාපාරයක් කොට ගැනීම ද මෙරටට විශේෂ වූ වනසතුන් හෝ ඔවුන්ගේ ශරීර කොටස් වෙළෙඳ ලාභයක් උදෙසා පිටරට යැවීම ද තහනම්ය.

593.jpg

නීතිවිරෝධි ක්‍රියා: ආරක්ෂිත ප්‍රදේශයන්ගෙන් පිට බහුලව කෙරෙන නීතිවිරෝධී ක්‍රියාවක් නම් විශේෂයෙන් ම නියං කාලයේ දී වතුර වළවල්, ගංගා වැව් ආදිය අසබඩ ඉදිකරන ලද මැස්සක සිට හෝ සැඟවී සිට, රාත්‍රියේ දී දිය බීමට පැමිණෙන සතුන්ට විදුලි පන්දම් එළියේ ආධාරයෙන් වෙඩි තැබීමයි.

වැටුණු අං හා ඇටකටු ආදිය එකතු කර ගැනීමේ අයිතිය අවුරුදු පතා වෙන්දේසි කිරීම නවතාලීම ද, වියළි මස් විකිණීම පාලනය කිරීම ද වෙළඳ ව්‍යාපාරයක් හැටියට වනසතුන් පිටරට යැවීම තහනම් කිරීම ද වනසතුන්ගේ ආරක්ෂාවට තරමක් දුරට හේතුවී තිබේ.

වනසතුන් මැරීම බහුල නොවූ කාලයන්හි දී උන්ගේ බෝවීම ද අධික වූ හෙයින් ඇතැම් අවස්ථාවන්හි දී වනසත්තු වසංගත මෙන් හිරිහැරකාරී වූහ. එහෙයින් වනසතුන් මරණ අයට තෑගි පවා දෙන ලදි. අවුරුදු සියයකට පමණ පෙර ලංකාවේ අලින් මැරීමට රුකුල් දීම් වශයෙන් ලොකු තෑගි බෝග දෙන්නට පටන් ගත් හෙයින් ඇතැම් අය රැකිරක්ෂාවන් පවා අතහැර දමා තෑගි ලැබීමටත් දඩයමෙන් ලැබෙන විනෝදය සඳහාත් අලි දඩයම් කරන්නට පටන් ගත්හ. කල්යාමේදී ජනගහනය වැඩි වීමත් සතුන් මැරීමේ ආයුධ සංඛ්‍යාව වැඩි දියුණු වීමත් නිසා මරනු ලබන සතුන්ගේ ප්‍රමාණය බෝවීම ප්‍රමාණයට වඩා අධික වූ හෙයින් සතුන් වඳවී යා නොදී ආරක්ෂා කරලීම අවශ්‍ය විය.

ගම්මානයක් වශයෙන් ප්‍රකාශ කොට ඇති ප්‍රදේශයක ස්ථිර පදිංචියක් ඇති කෙනෙකුට තමන්ගේ හෝ සිය පවුලේ ආහාරය පිණිස (නොතහනම් කාලය වන නොවැම්බර් 01 වන දා සිට අප්‍රේල් 30 වන දා තෙක්) අවසරයක් නොමැතිව ඕනෑම මුවකු දඩයම් කිරීමට පුළුවන. වනසත්ව ජීවිතය ගැන සැලකීමේදී, අවාසනාවකට මෙන් මෙම නීතිය පනවන ලද්දේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ නිලනොලත් විරුද්ධ පාක්ෂික මන්ත්‍රීන් එක්සත්ව, ගැමි ජනයගේ යහපතට කරුණු වෙතැයි සිතු කවරෙක් වුවත් යටත් විජිත ආණ්ඩුවෙන් උදුරා ගැනීමට නැඹුරු වී සිටි කාලයක දීය. එකල ජාතික ආරක්ෂිත භූමින් ගෙන් පිටත පිහිටි වියළි කාලපීය සියලු වනපෙදෙස් ම ගම් හෝ ගම්මාන වශයෙන් නම් කරන ලදි. එහෙයින් අයුතු ප්‍රයෝජන ගන්නවුන්ට නීතියට පිටුපා දඩයම් කිරීමට බොහෝ අවකාශ ලැබිණි. දියුණු සමාජ මධ්‍යස්ථානයන්ගෙන් ඈත්වූ හුදකලා වන මැද වැසි ගැමි ජනයාගේ ආර්ථික සැලැස්මට ආවරණය දීම යථෝක්ත නීතියේ අදහස යැයි සිතාගත හැකි වුවද පහසු මිලට ලබාගත හැකි තුවක්කු හා විදුලි පන්දම් ද දියුණු ගමනාගමන ක්‍රම හා ව්‍යාපාරික ආර්ථික ක්‍රමයන් ද ඇත්තාවූත් ආහාර ද්‍රව්‍යයන්ගේ අධික මිල බල පවත්වන්නා වුත් මෙවැනි කාලයක එවැනි නිදහසක් කවුරුන් හට වුවද පැවරීමෙන් සිදුවනුයේ වන සත්ව විනාශයක් පමණි.

ගොවිපළකට වදින සතුන් මැරීමේ නිදහස: ජාතික ආරක්ෂිත ප්‍රදේශයකින් පිටත ගොවිපලකට පැන සිටින හෝ පැනීමට තැත් කරන දළ ඇතකු, අලියකු, කුළු මීමකු, මුවකු හෝ පක්ෂියකු වෙඩි තබා මැරීම නීති විරෝධී නොවේ. ගොවිපළවල වැට බැඳිය යුතු යැයි නීතියක් නොමැති හෙයින් ද, "පැනීමට තැත් කිරීම" යන්නෙන් වෙඩි තබන්නාට නිතරම ආවරණය සැලසෙන හෙයින්ද, මෙම නීතියෙන් බොහෝවිට යුතු ප්‍රයෝජන ගනු ලැබේ.

ගොවිපළවල් රැකීමේ මුවාවෙන් මරනු ලබන අලින්ගේ සංඛ්‍යාව අන් ක්‍රමවලින් මැරෙන සංඛ්‍යාවට වඩා අධිකය. ලංකාවේ වල් අලි ආරක්ෂා කරගැනීමට නම්, ගොවිපළවලට පනින අලින් වෙඩි තබා මරා දැමීම නැවැත්විය යුතුය. ගොවිපළවලට පැනීමට පෙර අලින් පන්නා හැරීම වඩා පහසුය.

අනාගතය: සතුන්ගේ ගතිපැවතුම් ආදිය හා පරිසර විද්‍යාව පිළිබඳව මෙතෙක් ප්‍රමාණවත් පර්යේෂණ පවත්වා නැත. 1950 දී වනසත්ව දෙපර්තුමේන්තුවක් පිහිටුවීමෙන් පසු අරණ්‍ය පාලකයන්ගේ මාර්ගයෙන් වැදගත් කරුණු රැස් කොට තිබේ. එහෙත් මේ අතින් තවදුරටත් වර්තමාන විද්‍යානුකුල පර්යේෂණ පවත්වාගෙන යාම මෙරටට අත්‍යවශ්‍ය වේ.

මෙරට ශීඝ්‍ර ලෙස වැඩි වන ජනගහනය නිසා විශාල වී යන කෘෂිකාර්මික හා ඉඩම් සංවර්ධන කටයුතු වනසතුන්ගේ වාසභූමිවලට තර්ජනයක් නොවන පරිදි කළ යුතු වේ.

ලංකාවට ලැබෙන වර්ෂාපතනය අනුව වගා කළ හැකි බිම් ප්‍රදේශය සීමාසහිත නිසාත්, රටේ යහපත් දේශගුණික හා වෙනත් ස්වාභාවික සාධකයන්ගේ පැවැත්ම උදෙසා දිවයිනේ විශාලත්වයෙන් 25%ත් 30%ත් අතර ප්‍රමාණයක් වන පෙදෙස් වශයෙන් පැවතිය යුතු නිසාත්, ලංකාවේ වන සතුන්ට වුවමනාවටත් වඩා වන පෙදෙස් ඉතිරි වේ යැයි සිතිය හැක.

කර්තෘ:ආර්.ඇස්.වී. පොලියර්

(සංස්කරණය:1963)