අමරාවතී-2

සිංහල විශ්වකෝෂය වෙතින්
10:51, 5 ජූලි 2023 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('බෞද්ධ පුරාවස්තුවලින් ගහන, සුප්‍රසිද්ධ ඉන්දිය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

බෞද්ධ පුරාවස්තුවලින් ගහන, සුප්‍රසිද්ධ ඉන්දියානු නගරයක් වූ මෙය මදුරාසියේ ගුන්තූර් දිස්ත්‍රික්කයේ කෘෂ්ණ නදියේ දකුණු තීරය අසබඩ පිහිටියේය. ගංමෝයේ සිට අමරාවතියට දුර සැතපුම් 60ක් පමණ වේ. වෙංගි නම් වූ පැරණි ආන්ධ්‍ර බෞද්ධ රාජ්‍යයේ ප්‍රධාන නගරය අමරාවතිය විය. විශාල මැටි පවුරකින් වට වූ පැරණි අමරාවති නගරය ධාන්‍යකටක (ධරණිකොට්) නමින් ද හැඳින්විණි. එය වර්තමාන අමරාවතී නගරයට සැතපුම් බාගයක් පමණ බටහිරින් පිහිටියේය. මෙහි පුරාවස්තු අතර ඉතා වැදගත් වන්නේ අමරාවතී ස්තූපයයි.

ක්‍රිස්තු පූර්ව 200 පමණේ සිට ම අමරාවතිය ඉන්දියාවේ ප්‍රධාන බෞද්ධ නගරයක් විය. එවක අමරාවතියෙහි ථෙරවාදී බුද්ධාගම ප්‍රචලිතව පැවැති බැව් පෙනේ. ක්‍රි.ව.දෙවන සියවස පමණේ දී ආන්ධ්‍ර දේශයෙහි වැඩවිසූ, මහායාන ධර්මයෙහි ආරම්භකයා වූ, නාගාර්ජුනයන් නිසා අමරාවතියේ මහායාන බුද්ධධර්මය පැතිරිණි. සත්වන සියවසේ මුල්භාගයේ දී හියුං සාං නැමති සුප්‍රසිද්ධ චීන දේශාටකයා මෙහි පැමිණෙන විට, අමරා‍වතියේ බුදුසමය බොහෝ සෙයින් පරිහාණියට පත්ව තිබුණ බැව් ඔහුගේ වාර්තාවන්ගෙන් පැහැදිලි වේ. එහෙත් එකල පවා මහායානික භික්ෂූන් දහස් ගණනක් විසූ විහාරාරාම විස්සක් පමණ තිබුණු බැව් සඳහන් වේ. එසේ වුව ද අමරාවතී ස්තූපය ගැන හියුං සාං වාර්තා නොකරයි. අමරාවතිය ශතවර්ෂ කිහිපයක් ම බෞද්ධ මධ්‍යස්ථානයක්ව පැවැති බැව් එහි තිබී සොයාගනු ලැබූ ‍ලෝකඩ හා සෙල්මුවා බුද්ධබෝධිසත්ව ප්‍රතිමාවලින් පෙනේ. මේවා සවන හා ‍එකොළොස් වන සියවස් අතර කාලයට අයත් සේ සැලකේ.

ස්තූපය ඇතුළු අනෙකුත් විහාරාරාම වරින් වර සැදැහැවතුන් විසින් ප්‍රතිසංස්කරණය කරන ලද බැව් ශිලා ලිපි අනුසාරයෙන් දත හැකිය. මහනුවර දිස්ත්‍රික්කයට අයත් ගඩලාදෙණියේ සද්ධර්මතිලක විහාරය කරවූ ධර්මකීර්ති නම් මහා ස්ථවිරපාදයන් විසින් ධාන්‍යකටක (අමරාවති) යෙහි පිහිටි දෙමහල් ගල් විහාරය ප්‍රකෘතිමත් කරවූ බව 1344 වර්ෂයට අයත් ගඩලාදෙණි සන්නසෙහි සඳහන්වේ.

තුදුස්වන සියවසේ පටන් අටළොස්වන සියවස දක්වා ප්‍රාදේශික ශිලා ලිපිවල ධාන්‍යකටකය ගැන සඳහන් වෙතත්, බෞද්ධ ගොඩනැඟිලි ගැන කිසි තොරතුරක් ඇතුළත් නොවේ.

අමරාවතිය කෙරේ නැවත ලෝකයාගේ සැලකිල්ල ‍‍යොමුවූයේ ක'නල් මැකෙන්සි මහතා විසින් 1816දී එහි පුරාවස්තු පරීක්ෂණ ආරම්භ කිරීමෙන් පසුය. මෙම පරීක්ෂණයේ ප්‍රතිඵලයක් වශයෙන් අමරාවතී ස්තූපයේ සැලැස්මක් සකස් කරගැනීමට ද කැටයම් පුවරු, ශිලා ලිපි, ස්තම්භ ආදි අගනා පුරාවස්තු රැසක් සොයා ගැනීමට ද හැකිවිය. අනතුරුව මෙහි පුරාවස්තු සෙවීමෙහි නිරත වූ සර් වොල්ටර් එලියට් මහතා විසින් "දාගැබ් ගොඩැල්ල" කැණීමෙන් විසිතුරු කැටයමින් හෙබි කිරිගරුඞ' පුවරු කැබලි සිය ගණනක් සොයා ගන්නා ලදි. මෙම පුවරු දැනට බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කොට තිබේ. නැවත 1877දී දාගැබ් ගොඩැල්ල කැණීමේ දී රොබට් සුවල් මහතා විසින් කැටයම් රාශියක් සොයාගනු ලැබීය.

මේ වකවානුවේ දී සොයා ගනු ලැබූ පුරාවස්තු මදුරාසියේ ආණ්ඩුවේ කෞතුකාගාරයෙහි තැන්පත් කරන ලදි. අනතුරුව මදුරාසියේ ආණඩුකාර ධූරය ඉසුලූ බකිංහැම්හි ආදිපාදතුමා විසින් "දාගැබ් ගොඩැල්ල" සම්පූර්ණයෙන් ම හාරවා දැමීම නිසා අමරාවතී ස්තූපය සහමුලින් ම විනාශයට පත් විය.

(සංස්කරණය:1963)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=අමරාවතී-2&oldid=2178" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි