ජැක්සන්විල්1 (Jacksonville)

සිංහල විශ්වකෝෂය වෙතින්
23:45, 31 අගෝස්තු 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ඇ.එ.ජ.යේ ෆ්ලොරීඩා ප‍්‍රාන්තයේ ඊසානදිග ප‍්‍රදේශයේ ඩුවෝල් කෝරලයට අයත්, සාන්ත ජෝන්ස් ගංගාව අත්ලාන්තික් සාගරයට වැටෙන මුවදොරෙහි පිහිටි නගරයකි. මියාමියට කිමී. 547ක් උතුරින් ද ජෝර්ජියා ප‍්‍රාන්තයට කිමී. 40ක් දකුණින් ද ඇති ජැක්සන්විල් උ.අ. 30019. හා බ.දේ. 81040. හි පිහිටා ඇත. 1968 පැවැති ජනමත විචාරණයෙන් පසු ඩුවෝල් කෝරලයට අයත් බොහෝ ප‍්‍රදේශ මෙම නගරයට එක් වීමත් සමග මෙය ඇමෙරිකාවේ විශාල ම භූමි ප‍්‍රදේශයක් සහ වැඩි ම ජනගහනයක් සිටින නගරයක් බවට පත් විය. ඒ අනුව ව.කිමී. 2,178ක පමණ භූමි ප්‍රමාණයකින් යුත් මෙම නගරයේ ජනගහනය (2010) 821,784ක් විය. නගරයේ නිල වෙබ් අඩවිය (2012 දී) http://www.coj.net නමි.

 (වැදගත් ස්ථානයක් සහිත පින්තූරයක්)

ස්පාඤ්ඤයේ යටත් විජිතයක් වශයෙන් පැවැති ෆ්ලොරීඩා ප‍්‍රාන්තය 1821 දී නිදහස් කර ගැනීමෙන් අනතුරුව 1822 දී මෙම නගරය පිහිටුවනු ලැබී ය. ඇමෙරිකාවේ 7 වන ජනාධිපති වූ ෆ්ලොරීඩාවේ මුල් ම හමුදා නායකත්වය ඉසිලූ ඇන්ඩ‍්‍රෑ ජැක්සන් (බ.) සිහිපත් කරනු වස් නගරයට මෙම නම තබා ඇත.

1860 ගණන්වල පැවැති ඇමෙරිකානු සිවිල් යුද්ධයෙන් පසු මෙහි පිහිටි වරාය හේතුවෙන් ජැක්සන්විල් මහත් දියුණුවකට පත් විය. නමුත් 1888 දී කහඋණ වසංගතය ප‍්‍රදේශය වෙළාගත් අතර 1901 දී ඇති වූ මහා ගින්නක් හේතුවෙන් නගරයට බලවත් හානි සිදුවිය.

ෆ්ලොරීඩා ප‍්‍රාන්තයට අයත් ප‍්‍රධාන ම කාර්මික, ආර්ථික, රක්ෂණ, සංචාරක සහ භාණ්ඩ ප‍්‍රවාහන මධ්‍යස්ථානය වන ජැක්සන්විල් එහි ඇති නාවික හා ගුවන් සේවා හේතුවෙන් වඩාත් දියුණුවට පත් ව ඇත.

නාගරික ශ‍්‍රවණාගාරය, සාන්ත ජෝන්ස් ගංගා උද්‍යානය හා ඊට සම්බන්ධ බෝට්ටු වරාය, සත්ත්වෝද්‍යානය, කී‍්‍රඩා සංකීර්ණය, ජෝන්ස් විද්‍යාලය (1918), ජැක්සන්විල් විශ්වවිද්‍යාලය (1934), ෆ්ලොරීඩා කනිෂ්ඨ විද්‍යාලය (1966), උතුරු ෆ්ලොරීඩා විශ්වවිද්‍යාලය (1972), කියුමර් කලාභවන, ජැක්සන්විල් කලා කෞතුකාගාරය, හේඩන් බර්න්ස් පුස්තකාලය ඇතුළු අධ්‍යාපනික හා සංස්කෘතික ආයතන රැසක් මෙහි ඇත.


ජැක්සන්විල්2 (Jacksonville). ඇ.එ.ජ.යේ, ඉලිනොයි (Illinois) ප‍්‍රාන්තයේ බටහිර මධ්‍යම, මෝර්ගන් කෝරලයේ (Morgen County) අගනගරය මෙනමින් හැඳින්වේ. උ.අ. 39043'55" හා බ.දේ. 90014'4" හි පිහිටි ව.කිමී. 26ක භූමි ප‍්‍රමාණයකින් යුත් මෙහි ජනගහනය (2010) 19,446කි.

 (පින්තූරයක්)

1825 දී මෝර්ගන් කෝරලයේ ප‍්‍රධාන නගරය වශයෙන් මෙය නම් කරන ලද්දේ එරට 7වන ජනාධිපති වූ ඇන්ඩ‍්‍රෑ ජැක්සන්ගේ (බ.) නාමයට ගෞරව වශයෙනි. එතැන් පටන් ඉලිනොයි ප‍්‍රාන්තයේ ප‍්‍රධාන ආගමික හා අධ්‍යාපනික මධ්‍යස්ථානයක් වශයෙන් මෙය පවතී. ඉලිනෝයි ප‍්‍රාන්තයේ සෙසු නගරවලට වඩා පාසල් සහ රාජ්‍ය ආයතන මෙහි පිහිටා ඇත.

1829 දී ඇරැඹි ඉලිනොයි කොලීජිය ප‍්‍රාන්තයේ පළමු උපාධි ආයතනයයි. ජැක්සන්විල් කාන්තා ඇකඩමිය (1830) සහ 1864 දී ඇරැඹි පුස්තකාලය පසුව ඉලිනොයි කොලීජයේ ම කොටස් බවට පත් විය. 1846 දී ඉලිනොයි කාන්තා අධ්‍යාපන මධ්‍යස්ථානය (Illinois Conference Female Academy) මෙතෝදිස්ත බිෂොප් පාසල (Methodist Episcopel School) බවට උසස් කරනු ලැබී ය.

අංග විකල පුද්ගලයන් සඳහා පිහිටුවා ඇති රාජ්‍ය ආයතන කිහිපයක් ජැක්සන්විල්හි ඇත. ඒ අතර බිහිරි අය සඳහා 1839 දී ඇරැඹි ඉලිනොයි බිහිරි විද්‍යාලයත් (Illinois School for the Deaf), 1846 දී පිහිටවූ ජැක්සන්විල් මානසික සෞඛ්‍ය සංවර්ධන මධ්‍යස්ථානයත් (Jacksonville Mental Health and Development Centre), 1849 දී අන්ධ පුද්ගලයන් සඳහා පිහිටවූ ඉලිනොයි අන්ධ විද්‍යාලයත් (Illinois Braille and Sight Saving School) ප‍්‍රධාන ය.

දියුණු කෘෂිකාර්මික ප‍්‍රදේශයක් සඳහා වූ ප‍්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් ජැක්සන්විල් ප‍්‍රසිද්ධියක් උසුලයි. ආහාර සැකසීම, පොත්බැඳීම, කතුරු ඔන්චිල්ලා තැනීම සහ පොලිතීන් කොළ සෑදීම ආදි නිෂ්පාදන මෙහි සිදු කෙරේ.

නගරයේ නිල වෙබ් අඩවිය (2012 අපේ‍්‍රල්) www.jacksonvilleil.com නමි.


ජැක්සන්විල්3 (Jacksonville). ඇ.එ.ජ.යේ ආර්කන්සාස් (Arkansas) ප‍්‍රාන්ත මධ්‍යයෙහි ඇති, පුලාස්කි (Pulaski) කෝරලයට අයත් නගරයකි. උ.අ. 34052'13" හා බ.දේ. 92006'55" හි පිහිටි ව.කීමී. 28ක පමණ භූමි ප‍්‍රමාණයකින් යුත් ජැක්සන්විල්හි ජනගහනය (2010) 28,364කි.

 (පින්තූරය)

1860 දී කයිරෝ සහ ෆුල්ටන් දුම්රිය මාවත තැනීමේ දී ඊට අවශ්‍ය ඉඩම් පරිත්‍යාග කළ ඉඩම් හිමි නිකලස් ජැක්සන් (Nicholas Jackson) සිහිකරනු වස් 1870 දී මෙම නම යොදන ලදි. දුම්රිය ඩිපෝව තැනීමත් සමග අවට ප‍්‍රදේශය ජනාකීර්ණ වූ අතර 1941 දී නගරය සංස්ථාපිත කෙරිණ. මුල් වකවානුවෙහි මෙම නගරය කෘෂිකාර්මික ද්‍රව්‍ය බෙදාහරින මධ්‍යස්ථානයක් වශයෙන් පැවැතිණ.

දෙවන ලෝක මහා සංග‍්‍රාම සමයෙහි සිට අවි ආයුධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය කර්මාන්තශාලා ඉදිකිරීමත් සමග මෙය ක‍්‍රමයෙන් කාර්මික ප‍්‍රදේශයක් බවට පත් විය. 1950න් පසු උතුරු ප‍්‍රදේශයෙහි ඉදි කළ ලිට්ල් රොක් ගුවන් හමුදා මධ්‍යස්ථානය සහ මිසයිල සංකීර්ණ හේතුවෙන් නගරය තවදුරටත් දියුණුවට පත්විය.

ඓතිහාසික ස්ථාන පිළිබඳ ජාතික ලේඛනයෙහි සඳහන් වන ආර්කන්ස් යුද්ධෝපකරණ නිෂ්පාදනාගාරයේ මුරකුටිය ද යුද ඉතිහාසය පිළිබඳ කෞතුකාගාරය ද ජැක්සන්විල්හි පිහිටා ඇත.

වත්මනෙහි (2012 අපේ‍්‍රල්) මෙහි නිල වෙබ් අඩවිය www.cityofjacksonville.net නමි.


ජැක්සන්විල්4 (Jacksonville). ඇ.එ.ජ.යේ, උතුරු කැරොලිනා (North Carolina) ප‍්‍රාන්තයේ ගිනිකොන පිහිටි, ඔන්ස්ලෝ කෝරලයට (Onslow County) අයත් නිව් රිවර් (New River) අසබඩ නගරයකි. මුලින් එනම්, 1757 දී පමණ මෙහි නම වූයේ වොට්ලන්ඞ්ස් ෆෙරී ය (Watland's Ferry). පසුව එය කොර්ට්හවුස් නමින් ප‍්‍රකට විය. 1842 සිට ව්‍යවහාරයට පැමිණි ජැක්සන්විල් යන්න යොදන ලද්දේ ඇමෙරිකාවේ 7 වන ජනාධිපති ව සිටි ඇන්ඩ‍්‍රෑ ජැක්සන්ගේ (බ.) නාමයට ගරු කිරීමක් වශයෙනි.

 (පින්තූරයකි)

1942 වන තුරු මෙය පැවැතියේ සතුන් දඩයමට සහ ධීවර කර්මාන්තයට ප‍්‍රකට කුඩා නගරයක් වශයෙනි (1940 ජනගහනය 873කි). අනතුරුව නිව් රිවර් නාවික කඳවුර පිහිටුවීමත් සමග නගරයේ ආර්ථිකය සම්පූර්ණයෙන් වෙනස් විය. ජැක්සන්විල් වඩාත් ප‍්‍රසිද්ධියක් උසුලන්නේ නාවික සෙබළුන් පුහුණු කෙරෙන හා නාවික කදවුරු පිහිටි ප‍්‍රදේශයක් වශයෙනි. ප‍්‍රදේශය ජනාකීර්ණත්වයට පත් වූයේ නාවික භටයන් පදිංචියට පැමිණීම සහ විශ‍්‍රාම ගිය නාවික භටයන් පදිංචිවීම හේතුවෙනි.

1965 දී කෝස්ටල් කැරොලිනා කොමියුනිටි කොලීජිය ආරම්භ කෙරිණ. හෝෆ්මන් නමැති රක්ෂිත වනය නගරයට ඊසාන දිගින් පිහිටා ඇත.

උ.අ. 34045'35" හා බ.දේ. 77024'35" හි පිහිටි ව.කිමී. 117ක භූමි ප‍්‍රමාණයකින් යුත් ජැක්සන්විල්හි ජනගහනය (2012) 70,145කි. වත්මනෙහි (2012 අපේ‍්‍රල්) මෙහි නිල වෙබ් අඩවිය www.ci.jacksonville.nc.us නමි.


ජැක්සන්විල්5 (Jacksonville). ඇ.එ.ජ.යේ, ඔරිගන් (Oregon) ප‍්‍රාන්තයේ නිරිතදිග, ජැක්සන් කෝරලයේ නගරයකි. මෙඞ්ෆර්ඞ් නගරයට කිමී. කිහිපයක් බටහිරින් උ.අ. 42018'52" හා බ.දේ. 122058'2" අතර පිහිටි ජැක්සන්විල් භූමි ප‍්‍රමාණය ව.කිමී. 5ක් පමණ වේ. නගරය අසලින් ගලා බසින් කුඩා ජැක්සන් නදිය (Jackson Greek) හේතුවෙන් නගරයට මේ නම ලැබී ඇත. නදියට එම නම ලැබී ඇත්තේ එහි පැමිණි එනමින් යුත් දේශගවේශකයකු හේතුවෙනි. (වැදගත් ස්ථානයක් සහිත පින්තූරයක්)

1851-52 සමයෙහි දී ජැක්සන් ගංගාව දිගේ පිහිටි රන් නිධි ලබා ගැනීමට පැමිණි ජනයාගෙන් ඇරඹුණු මෙම නගරය 1884 සිට ජැක්සන් කෝරලයේ අගනගරය බවට පත් ව තිබී 1920 පමණ වන විට රන් කර්මාන්තය පහත වැටීම නිසා තම බලගතු බව හීන වූයෙන් 1927 සිට කෝරලයේ ප‍්‍රධාන නගරය බවට පත් වූයේ මෙඞ්ෆර්ඞ් ය.

ඔරිගන් ප‍්‍රාන්තයේ ඇති ඓතිහාසික ජනපදවලින් වැඩිපුර ම පුරාවස්තු ශේෂ ව පවත්නා ප‍්‍රදේශය වශයෙන් ජැක්සන්විල් ප‍්‍රසිද්ධියක් උසුලයි. රන් නිධි කැණීම් සඳහා භාවිත උපකරණ, සංරක්ෂිත කරත්ත ආදි පුරාවස්තු ජැක්සන්විල් කෞතුකාගරයෙහි තැන්පත් කොට ඇත. ප‍්‍රදේශයේ පැරණි උසාවි සංකීර්ණය 1884 සිට මෙලෙස කෞතුකාගාරය වශයෙන් භාවිත කෙරේ.

1850-1860 යන දශකයන්හි ඉදිකොට ඇති බීක්මන් හවුස් සහ බීක්මන් බැංකුව, මැක්කුලී හවුස් (දැනට බෝනික්කන් සඳහා වූ කෞතුකාගාරය), මෙතොදිස්ත සහ කතෝලික පල්ලි ආදි ඉපැරණි ගොඩනැගිලි සංරක්ෂණය කොට ඇත. 1880 දී ඉදිකොට ඇති ඇමෙරිකා එක්සත් ජනපද හෝටලය සහ හිල්සයිඞ් රඟහල වනාහි සංගීතය සහ කලා උත්සව සඳහා වෙන් ව පැවැති ස්ථාන වේ.

ජැක්සන්විල්හි රන්නිධි අවසන් වීමත් 1884 දී ඉදි කළ දුම්රිය මාර්ගය නගරය මගහැර යාමත් නිසා මෙහි ආර්ථික සංවර්ධනය මන්දගාමී විය. මෙමගින් සිදු වූ අනපේක්ෂිත වාසියක් වූයේ ප‍්‍රදේශයේ තිබූ පැරණි ගොඩනැගිලි ආරක්ෂා වීමයි. මෙබඳු ඉපැරණි ගොඩනැගිලි සියයක් පමණ ආවරණය වන පරිදි ඇමෙරිකාවේ ‘ජාතික ඓතිහාසික දිස්ති‍්‍රක්කයක්’ වශයෙන් ජැක්සන්විල් 1966 දී ප‍්‍රකාශයට පත් කෙරිණ.

කැලිෆෝනියා ප‍්‍රාන්තයේ සැන් ෆ්රැන්සිස්කෝ සිට පැමිණි චීන සංක‍්‍රමණිකයන් විසින් ආරම්භ කෙරුණු 1850-60 දශකවලට අයත් ප‍්‍රථම චීන නගරය (China Town) ජැක්සන්විල්හි කැණීම්වල දී 2004 දී හමු වී ඇත. ප‍්‍රදේශයේ කරන ලද කැණීම්වලින් චීන කාසි, කැඩුණු බඳුන්, තේ කෝප්ප, අතින් තැනූ බෝතල්, අබිං ශේෂ ආදිය සොයා ගෙන ඇත.

ජනගහනය 2,800ක් පමණ වන මෙහි නිල වෙබ් අඩවිය (2012 අපේ‍්‍රල්) www.cityofjacksonvilleoregon.com නමි.


උස්ගොඩ ධම්මගරු හිමි

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජැක්සන්විල්1_(Jacksonville)&oldid=869" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි