ජැස්පර්ස්, කාල් (Jaspers, Karl) (1883-1969)

සිංහල විශ්වකෝෂය වෙතින්
16:54, 30 අගෝස්තු 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

සමකාලීන සාංදෘෂ්ටිකවාදයේ නිර්මාපකයෙකි. සාංදෘෂ්ටිකවාදියා (Existentialist) නමැති වචනය මුලින් ම භාවිතයට ගත් තැනැත්තා ය. අතිදක්ෂ ලේඛකයකු වූ ජැස්පර්ස් අතිශයෝක්ති ස්වරූපයකින් ග‍්‍රන්ථ රචනා කළ ද මහත් අවධාරණයෙන් පොත පත කියවා වගකීම් සහගතව හා ඉතා දැඩිව චින්තනයෙහි යෙදුණු අයෙකි. මෙතෙම සාංදෘෂ්ටිකවාදී දාර්ශනිකයන් අතරින් ඉතා ක‍්‍රමානුකූල ලෙස දර්ශනය හැදෑරූ තැනැත්තා ලෙස ප‍්‍රකට ය.

(ඡායාරූපය)

ජැස්පර්ස්ගේ දර්ශනය හුදෙක් භාෂා විශ්ලේෂණ ක‍්‍රමයක් (Linguistic Analysiss) හෝ අධිභෞතික විමර්ශන ඇතුළත් වූවක් නොවේ. එය මනුෂ්‍ය පැවැත්ම පිළිබඳ ක‍්‍රමානුකූල හා විවේචනාත්මක විග‍්‍රහයක් කරන දර්ශනයක් වශයෙන් සැලකීම වඩා උචිත ය. මෙහි දී මනුෂ්‍ය පැවැත්මේ අංග වන කාලය, අවකාශය හා සවිඥානය (Conciousness) පිළිබඳ එතෙක් කරන ලද විමර්ශනවලින් සොයා දැනගත නොහැකි වූ සීමාවන් හා ‘සහනයක් නොලත් නිදහස’ (Unmitigated Freedom) පිළිබඳ කරුණු රාශියක් හෙළි කිරීමට සමත් වූ බව පිළිගැනීමයි.

ඕල්ඩන්බර්ග්හි නැගෙනහිර ෆ‍්‍රීසියන් නගරයේ (East Frisian) 1804 දී උපන් ජැස්පර්ස් හෙයිඞ්ල්බර්ග් (Heidelberg), මියුනිච් (Munich) හා බර්ලින් ගොටින්ගන් (Gottinggen) යන සරසවිවල නීතිය සහ වෛද්‍ය විද්‍යාව හැදෑරී ය. උපාධිය ලැබීමෙන් පසු හෙයිඞ්ල්බර්ග් විශ්වවිද්‍යාලයේ මනෝවෛද්‍ය අංශයේ සහායකයකු වශයෙන් ස්වේච්ඡාවෙන් සේවයේ යෙදුණු මෙතෙමේ 1913 දී Allgemine Psychologie (General Psychopathalogy) නමැති කෘතිය ප‍්‍රසිද්ධියට පත් කළේ ය. මෙම කෘතියේ විවිධාකාර මනෝවිද්‍යාත්මක ක‍්‍රම, ඒවාහි සීමාවන් හා වටිනාකම් මෙන් ම ඒ පිළිබඳ පැහැදිලි කිරීම් ද ඉදිරිපත් කැරුණු අතර එය මනෝවිද්‍යාත්මක විධි ශාස්ත‍්‍රය පිළිබඳ ග‍්‍රන්ථයක් ලෙස පිළිගැනෙන්නට විය. 1916 දී ජැස්පර්ස්ට හෙයිඞ්ල්බර්ග් සරසවියෙන් මනෝවිද්‍යාව පිළිබඳ මහාචාර්ය තනතුර ලැබිණි.

ඩිල්තිගේ (Dilthy) Typologicder Wellanschuunger නම් ග‍්‍රන්ථය පදනම් කරගෙන 1919 දී ජීවිතය පිළිබඳ කරුණු රාශියක් එළිදරව් කෙරුණු General Psychologic der Wellanschuungen (Psychology of World Views) කෘතිය ජැස්පර්ස් ප‍්‍රසිද්ධියට පත් කෙළේ ය. මෙම කෘතියෙන් ජැස්පර්ස් මනෝවිද්‍යාව තුළින් දර්ශනය වෙතට පිවිසි බව සැලකේ. මෙම කෘති දෙක ම මොහු සම්පාදනය කර ඇත්තේ වෛද්‍ය විද්‍යාවෙන් ලැබගත් අත්දැකීම් පදනම් කර ගෙන ය.

1921 දී ජැස්පර්ස්ට හෙයිඞ්ල්බර්ග් විශ්වවිද්‍යාලයේ දර්ශනය පිළිබඳ මහාචාර්ය පදවිය පිරිනැමිණි. 1932 දී Magnum Opus නම් දර්ශනය පිළිබඳ කෘතිය ප‍්‍රසිද්ධියට පත් කළ ඔහු එමගින් අනුභූති කාරණා පිළිබඳ මත (Notions of Transcendence) සහ සත්තාව හෙවත් නියම පැවැත්ම (Existing) පිළිබඳ විස්තර කෙළේ ය. 1946 දී ජැස්පර්ස් හෙයිඞ්ල්බර්ග් සරසවියේ සෙනෙට් සභාවේ සම්භාවනීය සාමාජිකයකු ලෙස නම් කැරිණි. 1948 දක්වා ස්විට්සර්ලන්තයේ බාසෙල් (Basel) විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමෙහි නිරත වූ ජැස්පර්ස් 1958 දී ෆ‍්‍රැන්ක්ෆර්ට්හි පවත්වන ලද පොත් ප‍්‍රදර්ශනයකට ග‍්‍රන්ථ ඉදිරිපත් කොට ජර්මන් සාම ත්‍යාගය ද දිනා ගත්තේ ය. ඔහු දාර්ශනික තර්ක ශාස්ත‍්‍රය (Philosophic Logic) නමැති කෘතියේ පළමු වෙළුම 1947 දී එළි දැක්වී ය.

ජැස්පර්ස් ඔහුගේ ජීවිත කාලය මුළුල්ලේ විවිධ තරාතිරම්වල අය ඇසුරු කළ නිසා ඔවුන්ගෙන් සිය දර්ශනය පෘථුල කරගැනීමට හැකියාව ලැබී ඇත. විශේෂයෙන් ම ජැස්පර්ස්ගේ ගුරුවරයකු වූ මැක්ස් වේබර් (Max Weber) ඔහුගේ මිත‍්‍ර අර්නස්ට් මෙයර් (Ernst Meyer) හා බිරිඳ ගර්ට්රූඞ් මැක්ස් වේබර් (Gertrud Max Weber) (ඇය මෙයර්ගේ සහෝදරියකි) යන අයගේ බලපෑම කැපී පෙනෙයි. යුදෙව් කාන්තාවක වූ සිය බිරිඳ නිසා යුදෙව් ජනයාට දෙවන ලෝක යුද්ධ සමයේ මුහුණ පෑමට සිදු වූ ගැටලූ පිළිබඳ ජැස්පර්ස්ට අද්දැකීම් රාශියක් ලබා ගැනීමට හැකි විය. මේ නිසා යුදෙව් ජනතාව පිළිබඳ ප‍්‍රශ්නය 1946 දී ජැස්පර්ස් විසින් රචනා කරන ලද Die Scheuldfragee ein Beitragzur deculochen Frage කෘතිය මගින් පුළුල් ලෙස එළිදැක්වූ බව පෙනෙන්නට තිබේ.

ප‍්‍රාථමික අද්දැකීම් පිළිබඳ අර්ථකථන, විශ්ලේෂණ හා පැහැදිලි කිරීම්වලින් යුක්ත ජැස්පර්ගේ දාර්ශනික ක‍්‍රමය සාමාන්‍යයෙන් සංශයවාදී ය. තවත් අතකින් ජැස්පර්ස් විශ්වාස කැර ඇත්තේ විද්‍යාවේ නිගමන අවසාන වශයෙන් සත්‍ය නිගමනයන් ම නොවන බව ය. විද්‍යාව අපට ලබා දෙන්නේ සීමා කළ ඥානයක් යැයි කී ජැස්පර්ස් ආගම, දර්ශනය හා දේශපාලනය සම්බන්ධයෙන් විද්‍යාත්මක ඇසකින් බැලීමෙන් දැනගත හැක්කේ සීමිත කරුණු සමූහයක් පමණක් බව ද පවසයි.

ජැස්පර්ස් උත්සාහ කර තිබුණේ දේශපාලන වාතාවරණයට උචිත ලෙස දාර්ශනිකයාගේ පොදු ජීවන ක‍්‍රමය සම්බන්ධ කිරීමට ය. 20 වන ශතවර්ෂයේ සමාජීය, ආර්ථික හා දේශපාලන සංස්ථා නිසා මිනිසාගේ සරල හා ස්ථාවරභාවය නැති භංග වන බව විශ්වාස කළ ජැස්පර්ස් දාර්ශනික නොවන මනසකින් ජීවිතයේ ප‍්‍රායෝගික ගැටලූ ගැන කල්පනා කෙළේ ය. මේ සඳහා ජැස්පර්ට අවකාශ ලැබුණේ වෛද්‍ය ශාස්ත‍්‍රය හා මනෝ විද්‍යාව පිළිබඳ ඔහුට තිබුණු දැනුම නිසා ය.

ජැස්පර්ස් විද්‍යාව කෙරෙහි පමණට වඩා විශ්වාසය නොතැබූ කෙනෙකි. ඔහු කීවේ විද්‍යාව හුදෙක් මිනිසා තුළ පවත්නා අවිද්‍යාව නැති කිරීමට ඉවහල් වන්නක් පමණක් බව ය. එහෙත් දර්ශනය සත්තාවේ අවස්ථාවක් හෝ කරුණු ගොන්නක් පමණක් නොවේ යැයි කී ජැස්පර්ස් දර්ශනය ආරම්භක ක‍්‍රියාකාරකමක් බව දක්වයි (Philosophy is philosophizing) දාර්ශනිකයා කළ යුත්තේ ඍජු වශයෙන් ම ගැටලූවලින් පිට පැන සාංදෘෂ්ටික හා ඓතිහාසික තත්ත්වයන්ට සම්මුඛ කර ගැටලූ දෙස බැලීම ය. සාමාන්‍ය ගැටලූ හුදෙක් යමෙකින් පැණනැගුණු ඒවා පමණි. දර්ශනයට අධිභෞතිකවාදයෙන් වැඩක් නැත. දර්ශනයෙන් සොයා බැලිය යුත්තේ පුද්ගල පැවැත්ම, නිදහස, අමරණීය ව පවත්නා පැවැත්ම (An existence that is ineffable) සහ ඒකත්වය යයි ජැස්පර්ස් පැවසී ය.

ජැස්පර්ස් ආභාසය ලබා ගත්තන්වුන් අතරින් කාන්ට් (බ.), කේකර් ගෝර් (බ.) හා නිට්ෂේ (බ.) වැදගත් තැනක් ගනිති. මීට අමතරව සංසිද්ධිවාදයේ (Phenomenology) නිර්මාතෘ හුෂර්ග්ගේ (Husserl) බලපෑම ද මොහුගේ දර්ශනය තුළ දක්නට ඇත. විශේෂයෙන් ම හුෂර්ල්ගේ සංසිද්ධි පැහැදිලි කිරීමේ ක‍්‍රමය (Method of Descriptive Phenomenology) භාවිතයට ගත් මෙතෙමේ පුද්ගලත්වයේ කේන්ද්‍රීය ක‍්‍රියාකාරීත්වය වශයෙන් හුෂර්ල්ගේ සංඥාභිනිරෝපණ සංකල්පය (Concept of Intentionality) පිළිගත් බවක් පෙනෙන්නට ඇත. එපමණක් නොව හුෂර්ල්ගේ අනුභූති උත්තර අහංභාවය කාරණ ආත්මය (Transcendental ego), අනුභූති-උත්තර විඥානය (Transcendental Consciousness), පැවැත්ම (Existing) හෙවත් අන්තරස්ත ආත්මය (Inner self) පිළිබඳ අදහස් ජැස්පර් පිළිගනී. එමෙන්ම ලෝකයේ අත්‍යධික සීමාවන් (Das un grelfende) පිළිබඳ අදහස ද ජැස්පර්ස් පිළිගත්තේ ය. මේ අතර ජැස්පර්ස් ඇරිස්ටෝලියානුවාදය හා ස්කොලස්ට්කානුවාදය නොතකා හැරිය බවක් ද පෙනෙන්නට තිබේ.

සිය දාර්ශනික සාකච්ඡාවන්හි දී මිනිසා ගැන සඳහන් කරන ජැස්පර්ස් මිනිසා ඔහු ජීවත්වන ලෝකයෙන් හිමිකම් ලැබූවකු බව සඳහන් කරමින් අඳුරු අතීතයක් තුළින් වර්තමානයක් වෙතට පිවිසි මිනිසා අනියමින් අනාගතයක් දෙසට ගමන් කරන බව පවසයි. මිනිසාගේ පැවැත්ම ශූඨ විසංවාදයන්ගෙන් යුක්ත ය. නිදහස යටහත්භාවය සමග ද හුදකලා භාවය සමාජාශ‍්‍රය සමග ද සතුට අසතුට සමග ද ජීවිතය මරණය සමග ද දියුණුව විනාශය සමග ද පවත්නා බව ජැස්පර්ස් පෙන්වා දෙයි. සත්‍ය පැවැත්ම (Authentic Existence) විචාර බුද්ධිය තුළින් (Vernunft)අනාවරණය කරන බවත් ඥාන ශක්තියේ (Intellect Verstand) පැවැත්ම, උපයෝගීතාව පදනම් කරගෙන පාලනය වන බවත් ප‍්‍රායෝගික ප‍්‍රතිඵලවලින් සෑහීමකට පත්වන්නේ විචාර බුද්ධිය හා සම්බන්ධ වී කෙළවරක් නැති ව කරුණු සොයා බලන හෙයින් බවත් ජැස්පර්ස් පෙන්වා දුන්නේ ය.

පැවැත්ම ගැන සඳහන් කරන ජැස්පර්ස් එය ඉතා දැඩි සීමාවන්ගෙන් (Grenzsituationess) යුක්ත බව පවසයි. මෙහි අද්දැකීම් හා පැවැත්ම යනු එකකි. මෙය බලාපොරොත්තු සහගතභාවයක් වීමට ද පුළුවන. අවසාන විශ්ලේෂණයේ දී එය සජාතීය (Cognative)හෝ උත්කර්ෂක ආවේගයක් (Elevating Emotions) හෝ වීමට ද පුළුවන. මිනිසාගේ ප‍්‍රතිවිරෝධී චරිත ලක්ෂණ ඔහුගේ පරිමිතය (Finitiude) වෙයි. එය පැවැත්ම පිළිබඳ අද්දැකීම් හෙළි කරන අවස්ථාවකි. සත්‍ය පැවැත්මට මෙම සීමාවන් සියල්ල පසුබෑමට පුළුවන. මරණය බාධක අතරින් ඉතා ම විස්මිත අවස්ථාවකි. එය කාංසාවට (Anxiety) මූලාශ‍්‍ර වෙයි. එහෙත් එය ජීවය උසස් කරන අවස්ථාවකි. මිනිසා මරණයට මුහුණ දෙන අවස්ථාවේ කිසිවකුට ඔහු මුදාගැනීමට නොහැකි ය.

වරදකාරීත්වය (Guilty) ගැන සඳහන් කරන ජැස්පර්ස් එය තවත් වැදගත් සීමා තත්ත්වයක් ලෙස දක්වයි. මිනිසාට වරදකාරීත්වය භුක්ති විඳීමට සිදුවනවා පමණක් නොව ඔහුගේ සම්පූර්ණ නිදහස ද වරදක් ම විය හැකි ය. පර්යන්ත (ආවසානික) වරද (Ultimate Guilty) බැහැර කළ නොහැකි ය. එය අපගේ නිදහසට අපගේ ඉරණම ද නිශ්චය කළ හැකි බව ප‍්‍රකාශ කිරීමකි.

ආචාර ධර්මය ගැන සඳහන් කරන ජැස්පර්ස්ගේ අද්දැකීම් පිළිබඳ පර්යේෂණයක් ස්වච්ඡන්දතාවක් විය හැකි තත්ත්වයකි. නිදහස තෝරා ගැනීම පිළිබඳ සංකල්පය සමග ද දැනුවත්කම (Awareness) හා ස්වාත්මය (Selfhood) හා සමග ඒකීයත්වයෙන් සැලකිය හැකි ය. තෝරා ගැනීම යනු නිදහස් ලෙස කටයුතු කිරීමයි. මිනිසාගේ නිදහස ඔහුගේ සත්තාවයි. පුද්ගලයාගේ නියම තෝරා ගැනිම පුද්ගල පැවැත්ම හා සම්බන්ධ දෙයකි. මේ අන්දමට ආචාර ධර්මයේ දී පෙන්නුම් කරන්නේ ද මනුෂ්‍යයාට ඇති සීමාවන්ගෙන් ඔහුට පිටපැනීමට අවකාශ නොමැති බව ය.

අධිභෞතික හා දේවධාර්මික මත සම්බන්ධ අදහස් දක්වන ජැස්පර්ස් දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ ව ඉදිරිපත් කර ඇති තර්කවල කාන්ට්ගේ ආභාසය පෙන්නුම් කරයි. ඔහු දේවඊශ්වරවාදය (Theism) හා සර්වේශ්වරවාදය (Pantheism) ප‍්‍රතික්ෂේප කර ආගම් හා අදේවවාදය දෙසට නැඹුරු විය. මේ අනුව අධිභෞතික හා දේවධාර්මික ගැටලූ පිළිබඳව නිරවුල් වැටහීමක් ලබා ගත හැක්කේ හුදෙක් ප‍්‍රපංචවාදී විමර්ශනයකින් පමණක් බව හෝ පෙන්වා දෙයි. මේ අනුව ජැස්පර්ස්ගේ ආගමික මතවාද දැක්වෙන්නේ දාර්ශනික ඇදහීමක් (Philosopical Faith - Philosophesche Glaube) වශයෙනි. මේ නිසා ජැස්පර්ස් දර්ශන විෂයයට අයත් සෑම ක්ෂේත‍්‍රයක් ම අවධාරණයෙන් විමසුමට ලක් කළ දාර්ශනිකයකු වශයෙන් අගය කළ හැක.

1968 දී ශරීර සෞඛ්‍යයෙන් පිරිහී ගිය හේ 1969 පෙබරවාරි මාසයේ දී මිය ගියේ ය.

ඩී. පී. බිබිලෙ