ජින්ජෝ (Gingo)

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න

ජින්ජෝ (Gingo). ජපානයේ අර්ධ පුරාවෘත්ත-වල සඳහන් වන දෙවන හෝ තුන්වන සියවසේ විසූ බවට සැලකෙන අගරැුජිනකි. කොරියාවට පවා ඇගේ පාලනය පැතිරුණු බවට විශ්වාස කෙරේ. පැරණි ජපානයේ සාම්ප‍්‍රදායික වාර්තා අනුව එහි රජ කළ රජවරුන් අතරින් 14 වැනියා වූ චූඅයිගේ බිරිඳ වූයේ ජින්ජෝ ය. මුහුදේ වඩදිය බාදිය පාලනය කළ හැකි දේව බලය ඇති මැණික් යුගලක සහාය ඇති ව ඇය ක‍්‍රි.ව. 200 දී පමණ කොරියාව සටනකින් තොරව යටත් කර ගැනීමට යෙදුණා ය. ඇගේ ස්වාමියා එම වර්ෂයේ දී මිය ගියේ ය.

පුරාවෘත්ත වාර්තා අනුව, කොරියාව යටත් කර ගැනීමට පිටත්වුණු කාලයේ සිට ඇය ආපසු තම රටට පැමිණීම දක්වා වසර තුනක කාලයක් ඇගේ පුත් ඕජින් ඇගේ කුස තුළ සිටි බව කියැවේ. ඉපදුණු පසු දේවත්වයෙන් පුදනු ලැබූ ඕජින් යුද්ධයට අධිපති දෙවියා වූ හැඞ්මන් යන නම ලැබී ය. ගතානුගතික කාල නිර්ණය සම්පූර්ණයෙන් විශ්වාස කිරීමට නොහැකි බැවින් ජින්ජෝගේ ඇතැම් ක‍්‍රියා මිථ්‍යා ලෙස සැලකේ. එහෙත් 4 වන සියවස වන විට දකුණු කොරියාව යටත් කරගෙන ජියොංයෑන්ං දක්වා උතුරට බලය පතුරුවා ගත් බව විශ්වාස ය.

ජින්ජෝ රැජිනගේ පැවැත්ම ගැන ස්ථිර වශයෙන් ම දැන ගැනීමට තරම් මූලාශ‍්‍ර නැත. එම කාලය තුළ දී බටහිර ජපානයේ රාජ බලය මවු පක්ෂයේ අයට උරුම වන සේ සකස් වූ පාලන ක‍්‍රමයක් පැවති බවට විශ්වාස කෙරේ. චීන සහ කොරියානු වාර්තාවල එම කාලය තුළ දී වා යන ජපන් පළාතක් ගැන සඳහන් වේ. වා යනු රැජිනගේ භූමියයි. එම පළාත චීනය සහ කොරියාව සමග කිට්ටු සම්බන්ධතාවක් පවත්වා ගත් බව ද සඳහන් ය.


එස්මි ජී. ද සිල්වා

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජින්ජෝ_(Gingo)&oldid=908" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි