"ජීවක කොමාරභච්ච" හි සංශෝධන අතර වෙනස්කම්

සිංහල විශ්වකෝෂය වෙතින්
වෙත පනින්න: සංචලනය, සොයන්න
('බුදුන් වහන්සේ දවස විසූ සුප‍්‍රසිද්ධ රාජවෛද්‍...' යොදමින් නව පිටුවක් තනන ලදි)
 
 
(නොපෙන්වන එම පරිශීලකයා මගින් එක් අතරමැදි සංස්කරණයක්)
20 පේළිය: 20 පේළිය:
  
 
බිම්බිසාර රජුගේ ඇවෑමෙන් රජ වූ, අජාසත්තගේ රාජ වෛද්‍යවරයා බවට පත් වූයේ ද ජීවක ය. පියා මැරූ ආනන්තරීය පාප කර්මයෙන් පීඩිත ව සිටි අජාසත් රජුහට ඉන් සහනයක් සලසනු වස් බුදුරදුන් වෙත කැඳවාගෙන යාමට මුල් වූයේ ජීවකයි. ජීවක  සෝතාපන්නභාවයට පත් විය. බුදුන් වහන්සේ ඔහුට තමන් වහන්සේ කෙරෙහි ප‍්‍රසන්න සිත් ඇත්තන් අතුරින් අගතනතුර ප‍්‍රදානය කළහ (අං.නි. I, බු.ජ.ති‍්‍ර. 26 පි.).
 
බිම්බිසාර රජුගේ ඇවෑමෙන් රජ වූ, අජාසත්තගේ රාජ වෛද්‍යවරයා බවට පත් වූයේ ද ජීවක ය. පියා මැරූ ආනන්තරීය පාප කර්මයෙන් පීඩිත ව සිටි අජාසත් රජුහට ඉන් සහනයක් සලසනු වස් බුදුරදුන් වෙත කැඳවාගෙන යාමට මුල් වූයේ ජීවකයි. ජීවක  සෝතාපන්නභාවයට පත් විය. බුදුන් වහන්සේ ඔහුට තමන් වහන්සේ කෙරෙහි ප‍්‍රසන්න සිත් ඇත්තන් අතුරින් අගතනතුර ප‍්‍රදානය කළහ (අං.නි. I, බු.ජ.ති‍්‍ර. 26 පි.).
 +
  
 
ආර්. පී. අයි. එල්. පියරත්න
 
ආර්. පී. අයි. එල්. පියරත්න
 +
 +
 +
<!--Categories-->
 +
<!--Interwiki-->
 +
[[ප්‍රවර්ගය: ජ-ජෞ]]

12:47, 1 සැප්තැම්බර් 2017 වන විට නවතම සංශෝධනය

බුදුන් වහන්සේ දවස විසූ සුප‍්‍රසිද්ධ රාජවෛද්‍යවරයෙකි. ළමා රෝග පිළිබඳව ද ඔහු ප‍්‍රසිද්ධියක් ඉසිලී ය. රජගහනුවර නගරශෝභිනියක වශයෙන් නම් දැරූ සාලවතිය මොහුගේ මවයි. එකල සම්ප‍්‍රදාය වූයේ නගරශෝභිනියක පිරිමි දරුවකු වැදූ කල නිවසින් බැහැර කිරීමයි. ජීවක බිහි වූ දිනයේ ළදරුවා දිරූ කුල්ලක බහා සේවිකාවක ලවා කසළ ගොඩක දමා ලූ බව කියැවේ. එවේලෙහි බිම්බිසාර රජුගේ පුතකු වූ අභය රාජකුමාරයා රාජකාරී සඳහා එතැනින් යන්නේ කවුඩන් වට කර ගත් යමක් කසළ ගොඩක තිබෙනු දැක තම සේවකයන්ගෙන් එය කුමක් දැයි විමසූ බවත් සේවකයන් ඒ ළදරුවෙකැයි කියූ විට, ළදරුවා ජීවත් වේ දැයි ඇසූ බවත් එවිට ජීවත් වේ යැයි සේවකයන් පිළිතුරු දුන් බවත් එතැන් පටන් ඒ ළදරුවා ‘ජීවත් වේ’ යන අරුතෙන් ජීවක නම් වූ බවත් සඳහන් වේ (ම.ව.පා. II බු.ජ.ත‍්‍රි. 674 පි). අනතුරුව ජීවක, අභය රාජකුමරුගේ අන්තඃපුරයේ කිරිමවුන් යටතේ ඇති දැඩි විය. අභය රාජකුමරු විසින් ජීවක තම පුත් කුමරකු වශයෙන් පෝෂණය කරන ලද බැවින් කොමාරභච්ච ලෙස හැඳින්විණි (කොමාර = කුමාර, භච්ච = පෝෂණය කරන ලද). ළමාරෝග (කෞමාරභ‍්‍රත්‍ය) පිළිබඳ විශේෂඥයකු වූ බැවින් කොමාරභච්ච නාමයෙන් හැඳින්වූ බවට ද මතයකි.

ජීවක කොමාරභච්ච වැඩිවිය පත් වූ පසු තමා පියා වශයෙන් සැලකූ අභය රාජකුමාරයාට නොදන්වා ම තක්සලා නුවර දිසාපාමොක් වෛද්‍යාචාර්යවරයකු වෙත ගොස් වෛද්‍ය-ශාස්ත‍්‍රය ඉගෙන ගත්තේ ය. ජීවකයන්ට වෛද්‍යශාස්ත‍්‍රය ඉගෙනීමට සිත් වූයේත් දක්ෂ වෛද්‍යවරයකු බවට පත් වූයේත් පෙර භවයක කරන ලද ප‍්‍රාර්ථනාවක් හේතුවෙන් බව ශ‍්‍රී සද්ධර්මකෝෂයේ සඳහන් වේ. එයට අනුව වෛද්‍යශාස්ත‍්‍රය සත්ත්වයන්ට වැඩදායක ශිල්පයක් බව වටහා ගත් ජීවක, මීට කල්ප ලක්ෂයකට පෙර ලොව පහළ වූ පියමතුරා බුදුන් ප‍්‍රධාන සංඝයාට සතියක් පුරා දන් දී උන්වහන්සේ ඉදිරියේ දී මතු බුදු කෙනකුට උපස්ථාන කරන වෛද්‍යවරයෙක් වෙම්වායි ප‍්‍රාර්ථනා කර ඇත.

හෙතෙම සොළොස් වසකින් ඉගෙනගත යුතු ශිල්පය සත් වසකින් සපුරා, මේ වෛද්‍ය ශාස්ත‍්‍රයේ කෙළවරක් නොපෙනෙන්නේ යැයි ආචාර්යවරයාට දැන් වූ බවත් මොහු බුදු කෙනකුන්ට පිළියම් කිරීමට ප‍්‍රාර්ථනා කරගෙන එන බැවින් සක්දෙව් රජ ආචාර්යවරයාට ආවේශ ව බිම කණින හුලක් ගෙන තක්සලා නුවර හාත්පස යොදුනක් පමණ ඇවිද බෙහෙත් නොවූ කිසිවක් දුටුවහොත් ගෙනෙව’යි ජීවකට කී බවත් සඳහන් වේ. එකල්හි ජීවක හාත්පස යොදුනක් පමණ ඇවිද බෙහෙත් නොවූ කිසිවක් නොදැක ඒ බව වෛද්‍යාචාර්යයන්ට දැන්වූ අතර එවිට ආචාර්යවරයා ජීවක වෛද්‍යශාස්ත‍්‍රය ඉගෙන ගෙන අවසන් බව දන්වා සුළු මග වියදමක් ද දී සිය නුවරට පිටත් කෙළේ ය (ම.ව.පා. II, 676 පි.). ආපසු රජගහ නුවර බලා පිටත් ව එන ගමනේ දී සාකේත නුවර සිටුතුමාගේ බිරිඳට ප‍්‍රතිකාර කිරීමේ අවස්ථාව ලැබුණි. වසර හතක් ඇය පෙළු හිසේ රුදාව ජීවක විසින් සුවපත් කරන ලද හෙයින් ඔහුට කහවනු සොළොස් දහසක් ද දාසයකු ද දාසියක ද අශ්වරථයක් ද පඬුරු වශයෙන් ලැබුණි. එය ජීවකගේ පළමු වෙදකම විය. ඔහු අභය රාජකුමාරයාගේ ද අවසර මත තමාට ලැබුණු ධනයෙන් රජගහ නුවර ගෘහයක් තැනවී ය.

එකල මගධ රට පාලනය කළ බිම්බිසාර රජු කලක පටන් දරුණු භගන්දරාබාධයෙන් පීඩා වින්දේ ය. ජීවක කොමාරභච්ච, රජුගේ එකී රෝගාබාධය එක ම ආලේපයකින් සුවපත් කළ අතර බිමිබිසාර රජු පන්සියයක් අඟනුන් සියලූ අබරණින් සරසවා නැවත ඒ අබරණ ගලවා පොට්ටනියක් කොට ඉන් ජීවක පිදුවා පමණක් නොව ජීවක කොමාරභච්ච රාජ වෛද්‍යවරයා වශයෙන් ද පත් කරනු ලැබී ය. රජුට ද අන්තඃපුරයට ද භික්ෂු සංඝයාට ද ප‍්‍රතිකාර කිරීම ඔහුට නියම වූ රාජකාරිය විය.

ජීවක මහත් කැපවීමෙන් බුදුරජාණන් වහන්සේට ප‍්‍රතිකාර කිරීමේ නිරත විය. දිනක් ශරීරයේ තුන්දොස් කිපීමෙන් පීඩිත වූ බුදුරදුන්ට ජීවක විසින් විරේක බෙහෙතක් නියම කරන ලදි. එහෙත් ක‍්‍රියාත්මක වන අවස්ථාවේ උණුසුම් ජලයෙන් ස්නානය කරන ලෙස උපදෙස් දීමට ජීවකට අමතක විය. පසුව හදිස්සියේ ම එය සිහිපත් වූ ජීවක වහා විහාරයට ගිය අතර ඒ වන විට බුදුන් වහන්සේ බුද්ධඥානයෙන් ජීවකගේ සිත විමසා බලා ඒ අනුව උණුසුම් ජලය ස්නානය කර සුවය ලබා සිටියහ (ම.ව.පා. II, බු.ජ.ති‍්‍ර. 694 පි.). තවත් වරෙක දේවදත්ත විසින් පෙරළනු ලැබූ ගල් කුට්ටියේ පතුරක් බුද්ධපාදයේ වැදීමෙන් හටගත් තුවාලයට ජීවක ප‍්‍රතිකාර කොට සුවපත් කෙළේ ය. බුදුන් වහන්සේ මද්දකුච්චි නම් ගල පෙරළනු ලැබූ තැන සිට ජීවක අඹවනයට රැගෙන එනු ලැබූහ. එහි දී ජීවක බුද්ධපාදයේ සිදු ව තිබූ තුවාලයට කසට ඖෂධයක් තබා ලේ ගැලීම නවතා වෙළුමක් දැමී ය. පසුව වෙළුම ඉවත් කිරීම සඳහා නැවත පැමිණෙන අදහසින් ජීවක නුවරින් නික්ම ගියේ ය. නමුත් ආපසු එන විට නුවර වාසල දොරටුව වසා තිබූ නිසා ඇතුළු විමට නොහැකි වූ බවත් වෙළුම් පටි ඉවත් නොකළ හොත් මුළු රාත‍්‍රී කාලය ම බුදු රදුන්ට දැඩි වේදනාවක් විඳීමට සිදුවන බවත් දැන ජීවක බෙහෙවින් කණගාටුවට පත් විය. එහෙත් බුදු රදුන් ඔහුගේ සිතිවිලි බුද්ධඥානයෙන් දැන වෙළුම්පටි ඉවත් කරගත් හෙයින් පීඩාවට පත් නොවූ බව ධම්මපදට්ඨකථාවේ ජීවකස්ස වත්ථුවෙහි සඳහන් වේ.

ජීවක දක්ෂ ශල්‍යවෛද්‍යවරයෙක් ද විය. ඔහු පෙරදිග පළමු ශල්‍ය වෛද්‍යවරයා ලෙස ද මතයක් පවතී. ඔහු රජගහ නුවර සිටුතුමාගේ සත්වසක් පුරා පැවැති හිසේරුදාව, හිසේ සිවිය පළා කබොල ගලවා ශල්‍යකර්මයක් කොට සුවපත් කෙළේ ය. බරණැස් සිටුපුතු කරණම් ශිල්පය ප‍්‍රගුණ කිරීමේ දී බඩවැල් ගැටගැසීමෙන් හටගත් ආබාධය, උදරයේ සිවිය උපුටා ගැටය බැහැර කොට නැවත අතුණු ඇතුළු කොට උදර සිවිය මසා ආලේපයක් දී නොබෝ කලකින් ම සුවපත් කෙළේ ය (ම.ව.පා. II, බු.ජ.ති‍්‍ර. 689 පි.).

එකල මගධ රට කුෂ්ඨ - ගණ්ඩ - කිලාස (ඇදුම) - ක්ෂය - අපස්මාරය යන පංචාබාධයන්ගෙන් පීඩිත වූ මහජනයා තමන්ට ප‍්‍රතිකාර කරන ලෙස ජීවකගෙන් මහත්සේ ඉල්ලීම් කළහ. එහෙත් බිම්බිසාර රජුට ද රජුගේ අන්තඃපුරයට ද බුදු රදුන් ප‍්‍රමුඛ භික්ෂු සංඝයාට ද ප‍්‍රතිකාර කළ යුතු වූ බැවින් අවශේෂ මහජනයාට වෙදකම් කිරීම ඔහු අතින් ඉටු නොවුණි. එයට උපක‍්‍රමයක් වශයෙන් සාමාන්‍ය ජනයා බුදුරදුන් වෙත ගොස් පැවිදි වී ජීවකගෙන් වෙදකම් ද භික්ෂූන්ගෙන් හෙදකම් ද ලැබ රෝගාබාධ සුව වූ කල්හි සිවුරු හළහ. මෙකරුණ හේතු කොට ගෙන සංඝසමාජය තුළ අර්බුද හටගැනුණි. එහෙයින්, පංචාබාධයන්ගෙන් පෙළුණකු පැවිද නොකළ යුතු යැයි ජීවක බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියේ ය. බුදු රජාණන් වහන්සේ එය අනුමත කොට එතැන් පටන් ඒ කරුණ විනය නීතියක් ලෙස පැනවූහ (ම.ව.පා. II).

භාග්‍යවතුන් වහන්සේ ජීවක විසින් පූජා කරන ලද අඹවනයේ වැඩ වෙසෙමින් ජීවක උදෙසා කළ සූත‍්‍ර දේශනා යුගලයක් සඳහන් වේ. ඒවා ජීවක සූත‍්‍ර වශයෙන් සූත‍්‍ර පිටකයේ සඳහන් ව ඇත (ම.නි. II හා අං.නි. V).

බුදුරදුන්ගේ පරිභෝජනය සඳහා ම සතකු මරවන ලද්දේ නම් එය පාපකර්මයක් දැයි ජීවක විසින් අසන ලද පැනයට පිළිතුරු වශයෙන් උන් වහන්සේ එක් ජීවක සූත‍්‍රයක් දේශනා කර ඇත. කෙනකු තමන් සඳහා ම සතකු මරවන ලද බව සැක කළේ නම් හෝ කනෙන් ඇසුවේ නම් හෝ ඇසින් දුටුවේ නම් හෝ ඒ මාංශය අනුභව නොකළ යුතු යැයි බුදුරදුන් විසින් මෙහි දී වදාරණ ලදි. එසේ නොදුටු, නොඇසූ, නොසැක මාංසය ත‍්‍රිකෝටික පාරිශුද්ධ මාංසයයි. එකී අනුභවයෙන් අකුසලයක් සිදු නොවන බව එහි දැක්වේ. තව ද කිසිවකු විසින් භික්ෂූන්ගේ පරිභෝජනය සඳහා ම සතකු මරවා භික්ෂු සංඝයාට දානය පිණිස දෙන ලද්දේ නම් එය අකුසලයක් වශයෙන් ද දක්වා ඇත. (ම.නි. II, බු.ජ.ති‍්‍ර. 54, 56, 58 පිටු).

කිනම් කරුණු හේතුවෙන් යමෙක් උපාසකයෙක් වේදැයි ජීවක විසින් අසන ලද පැනයට පිළිතුරු වශයෙන් අනෙක් ජීවක සූත‍්‍රය දේශනා කොට ඇත. එනම්, යම් දිනෙක පටන් බුදුන්, දහම්, සඟුන් සරණ ගියා වේ ද මෙපමණකින් ම උපාසකයෙක් වේ. යම් දිනක පටන් ප‍්‍රාණඝාතයෙන් වැළකුණේ ද රහමෙර පානයෙන් වැළකුණේ ද මෙපමණකින් ම උපාසක සිල් ඇත්තෙක් වේ. යම් දිනක පටන් උපාසකයකු තමා ම ශ‍්‍රද්ධාවෙන් යුතු වේ ද, අරුත් දැන දහම් දැන තමා ම ධර්මයට ප‍්‍රවිෂ්ට වූයේ ද මෙපමණකින් ම හෙතෙම තමනට හිතසුව පිණිස කටයුතු කරයි. යම් දිනෙක පටන් උපාසකයකු ශ‍්‍රද්ධා, ශීල, ත්‍යාග, මහණුන් දැකීම, සදහම් ඇසීම, ධර්මය දැරීම, අරුත් දැන ධර්මයට පිවිසීම යන පුරුෂාර්ථවල තමා මෙන් ම අනුනුත් යොදවයි නම් හෙතෙම තමනට හිතසුව පිණිසත් අනුනට හිතසුව පිණිසත් කටයුතු කරයි යනුවෙන් ජීවක සූත‍්‍රයේ වැඩිදුරටත් සඳහන් වේ (අංගුත්තර නිකාය ඪල 122, 124 පි.).

බිම්බිසාර රජුගේ ඇවෑමෙන් රජ වූ, අජාසත්තගේ රාජ වෛද්‍යවරයා බවට පත් වූයේ ද ජීවක ය. පියා මැරූ ආනන්තරීය පාප කර්මයෙන් පීඩිත ව සිටි අජාසත් රජුහට ඉන් සහනයක් සලසනු වස් බුදුරදුන් වෙත කැඳවාගෙන යාමට මුල් වූයේ ජීවකයි. ජීවක සෝතාපන්නභාවයට පත් විය. බුදුන් වහන්සේ ඔහුට තමන් වහන්සේ කෙරෙහි ප‍්‍රසන්න සිත් ඇත්තන් අතුරින් අගතනතුර ප‍්‍රදානය කළහ (අං.නි. I, බු.ජ.ති‍්‍ර. 26 පි.).


ආර්. පී. අයි. එල්. පියරත්න

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජීවක_කොමාරභච්ච&oldid=954" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි