ජීවවාදය (Animism)

සිංහල විශ්වකෝෂය වෙතින්
13:37, 1 සැප්තැම්බර් 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සෑම ස්වාභාවික වස්තුවක් ම ජීවයකින් යුක්තය යන දාර්ශනික මතය දැක්වීමට භාවිත වන නාමයයි. මානසික ජීවිතයේ පමණක් නොව කායික පැවැත්මේත් මූලාශ‍්‍රය කයින් නිදහස්ව පවත්නා ශක්තියකැයි එම මතයෙන් පිළිගැනේ. ජීවවිද්‍යාවේ දී හා මනෝවිද්‍යාවේ දී ජීවවාදය යනුවෙන් හැඳින්වෙන්නේ මනස වූ කලි මොළය හා ස්නායු පද්ධතිය මාර්ගයෙන් ශරීරය හා සම්බන්ධතා පවත්වන මූලධාතුවකි යන මතයයි. ඒ හැරුණු විට ජීවවාදය යන පදය ලිහිල් අරුතකින් ද භාවිත වනු පෙනේ. එම අරුතින් දැක්වෙන අන්දමට භූතාත්ම පිළිබඳ විශ්වාසය ජීවවාදයයි.

භූතාත්ම යන වචනය යටතේ මනුෂ්‍ය පෞරුෂය හා සම්බන්ධ ආත්ම (Souls) පමණක් නොව පෞරුෂය හා එවැනි සම්බන්ධතාවක් නොමැති (Spirits) භූතයන් ද අදහස් වේ.

ලිහිල් අරුතින් ගත්විට ජීවවාදයේ ප‍්‍රධාන ස්වරූප තුනක් දැක්විය හැකි ය. එනම් :

  1. මළවුන් වැඳීම (Necrolatry)
  2. භූත වන්දනාව (Spiritism)
  3. ස්වභාව වන්දනාව (Naturism)
1. මළවුන් වැඳීම 
ආත්මය පිළිබඳ විශ්වාසය මනුෂ්‍යයින් අතර ඉතා පුරාණයේ සිට පවතින්නකි. ආත්මය යනු ශරීරයේ ම මූර්තියකි යන විශ්වාසය එක් කලෙක පැවතුණි. එය ශරීරයේ සෙවණැල්ල යැයි තවත් පිළිගැනීමක් විය. ඒ හැරුණු විට ආත්මය යනු හුස්ම ය යන විශ්වාසය ද කුරුල්ලකු හෝ සර්පයකු වැනි සතකුගේ හැඩය ගත්තකි යන විශ්වාසය ද පැවතුණි.
ආත්මය පිළිබඳ විශ්වාසයේ අනෙක් වැදගත් අංගයක් නම්, මරණයෙන් පසුවත් ආත්මය විනාශ නොවී පවතී ය යන පිළිගැනීමයි. මරණයෙන් පසුව ආත්මය සොහොන ආසන්නයේ ගැවසෙන බව සමහරු විශ්වාස කරති. තවත් සමහර ගෝත‍්‍රිකයන් අතර පවතින විශ්වාසය වන්නේ යමකුගේ ආත්මය ඔහුගේ මරණයෙන් පසු අනෙක් ලොවකට ගමන් කරන බවයි. යම ලොව, මුහුදින් එතෙර හෝ පොළොව යට හෝ තාරකාවක හෝ පිහිටි එකක් ලෙස විස්තර කෙරේ.
ආත්මය අනෙක් ලොවකට ගමන් කළත් එය මෙලොව ජීවිත කෙරෙහි බලපෑම් කරන බව පිළිගැනේ. මුතුන්මිත්තන් ඇදහීම (Ancestor worship) ඇති වී තිබෙන්නේ මෙම පිළිගැනීම පදනම් කරගෙන ය. එසේ පුද පූජා පැවැත්වීමෙන් මුතුන් මිත්තන් සතුටු කරන ගමන් ඔවුන්ගෙන් ආරක්‍ෂාව ද අපේක්‍ෂා කෙරේ. මුතුන්මිත්තන් ඇදහීම දීර්ඝ කාලයක් චීන ජන ආගම් අතර ඉතා වැදගත් තැනක් ඉසිලූවේ ය.
2. භූත වන්දනාව 
ස්වාභාවික හේතු මගින් තේරුම් කළ නොහැකි වූ සංසිද්ධීන් තේරුම් කිරීමට භූතයන් වැනි අධිභෞතික සංකල්ප යොදා ගැනුණු බව චින්තන ඉතිහාසය පෙන්නුම් කරයි. අනපේක්ෂිතව සිදුවන අසාමාන්‍ය සංසිද්ධීන් අදෘශ්‍යමාන බලවේගයන්ගෙන් සිදුවන ඒවා ලෙස සලකනු ලැබිණ. එම බලවේග නැතහොත් භූතයන් භෞතික වස්තු සමග අවශ්‍යයෙන් සම්බන්ධ නොවේ.
සමහර අවස්ථාවන්හි දී එම භූතයන් මනුෂ්‍ය ශරීරයට ආවේශ වන බවත් පෞරුෂ ආබාධ හා රෝග ඇතිවන්නේ එවැනි ආවේශ වීම් නිසා බවත් ප‍්‍රාථමික ජනයා අතර විශ්වාසයක් ඇත. භෞතික වස්තුවකටත් භූතයන් ආරූඪ විය හැකි ය කියා පිළිගැනීමක් ද තිබේ. පූජා ලාංඡන (Fetish) වශයෙන් සැලකෙන්නේ එසේ භූතයන් ආරූඨ වූ භෞතික වස්තු ය.
3. ස්වභාව වන්දනාව 
ගංගා, කඳු, ගස් ආදි ස්වාභාවික වස්තු හා සම්බන්ධ භූතයන් වන්දනා කිරීම ප‍්‍රාථමික මනුෂ්‍යයින් අතර දක්නට ලැබේ. සෑම ස්වභාව වන්දනාවක් ම ජීවවාදී යැයි සැලකිය නොහැකි ය. මන්දයත් සමහර ස්වාභාවික වස්තූන්හි ඇති ශුද්ධත්වය සලකා සමහර විටෙක ඒවා වන්දනා කිරීම සිදුවන නිසා ය.


එඞ්වඞ් බී. ටයිලර් (Edward B. Tylor) නම් මානව විද්‍යාඥයා ඉදිරිපත් කළ මතයකින් දැක්වුණේ ප‍්‍රාථමික ආගම්වල සාරය ජීවවාදය වන බවයි. ඔහු දැක්වූ සිහින, භ‍්‍රාන්ති (Hallucinatims) හා අනෙක් එවැනි දර්ශන ආත්මයක් පිළිබඳ විශ්වාසය ප‍්‍රාථමික මිනිසා තුළ ඇති කෙළේ ය. මිය ගියවුන් සිහිනයෙන් පෙනෙන්නේත් ඔවුන් පිළිබඳ ස්මෘතිය පවතින්නේත් ඔවුන්ගේ භූතාත්ම පවතින නිසා ය යන නිගමනයට ප‍්‍රාථමික දාර්ශනිකයන් එළඹි බව ටයිලර්ගේ පිළිගැනීම විය. තව ද තමාට ආත්මයක් ඇති නිසා අනෙක් සත්ත්වයන්ට හා ගස්වැල්වලටත් ආත්මයක් තිබිය යුතු යැයි ප‍්‍රාථමික දාර්ශනිකයා සිතූ බව ටයිලර් දක්වයි. එහි දී එම දාර්ශනිකයා තර්ක කෙළේ තමා ක‍්‍රියා කරන්නේ තමාට ආත්මයක් ඇති නිසා නම්, අනෙක් සතුන් ක‍්‍රියා කරන්නේ උන්ටත් ආත්මයක් තිබෙන නිසා විය යුතු ය කියායි. ටයිලර් පෙන්වා දුන් අන්දමට ප‍්‍රාථමික දාර්ශනිකයා පෙර දැක්වුණු ආකාරයේ නිගමනවලට එළඹීමේ දී යොදා ගත්තේ නිරීක්‍ෂණය (Observation) හා තර්කනයයි (Reasoning). ජීවවාදය පිළිබඳ ටයිලර්ගේ මතය මානව විද්‍යාඥයන්ගේ විශේෂ සැලකිල්ලට පාත‍්‍ර වුව ද එයට විරුද්ධ ව විවේචන කීපයක් ම එල්ල විය. එක් විවේචනයක් එල්ල වුණේ ක්ෂේත‍්‍ර අධ්‍යයනයෙහි නිරත ව සිටි සමහර මානව විද්‍යාඥයන්ගෙනි. එම මානව විද්‍යාඥයන්ට පෙනී ගොස් තිබුණේ ප‍්‍රාථමික මනුෂ්‍යයා ඔහු දකින සිහින, භ‍්‍රාන්ති ආදිය තේරුම් කරමින් සිටීම නොව දඩයම් කිරීම, ගෙවතු සකස් කිරීම හා ගෝත‍්‍රීය උත්සවවලට සහභාගි වීම වැනි දේ කෙරෙහි අවධානය යොමු කළ බවයි.

ප‍්‍රාථමික මනුෂ්‍යයන් අතර දක්නට ලැබෙන ආගම්වල විවිධ ලක්ෂණ හුදෙක් ජීවවාදයක ලක්‍ෂණ ලෙස හැඳින්විය නොහැකි ය යනු ටයිලර්ගේ මතයට විරුද්ධව එල්ල කොට ඇති අනෙක් විවේචනයකි. ජේම්ස් ෆේ‍්‍රසර් (James Frazer) තර්ක කොට ඇති ආකාරයට මුල් මිනිසා ස්වකීය ප‍්‍රායෝගික නිෂ්ඨාවන් ලබාගැනීම් වස් ස්වභාව ධර්මය පාලනය කිරීමට උත්සාහ ගති. ඒ සඳහා යොදා ගනු ලබන්නේ ව්‍යාභිචාරි විධීන් ය. ඔහු භූතයන් හෝ දෙවිවරුන්ගේ උපකාර යදින්නේ පසු කලෙක දී ය. ඒ, ව්‍යාභිවාරී ක‍්‍රම ප‍්‍රායෝගික නිෂ්ඨාවන් ලබා ගැනුමට නොසෑහෙන බව ඔහු තේරුම් ගත් මොහොතේ දී ය. ඒ අන්දමට ෆේ‍්‍රසර් ව්‍යාභිවාරී විධි යොදාගැනීම සහ ආගම් අතර ඇති වෙනස දක්වමින් ජීවවාදය ප‍්‍රාථමික ජනයා අතර දක්නා එක ම විශ්වාසය නොවන බව පෙන්වා දෙයි.

මහාචාර්ය එමිල් ඩුර්කයිම් ප‍්‍රාථමික මනුෂ්‍යයින්ගේ ආගම් පිළිබඳ ව ඉදිරිපත් කරන විග‍්‍රහයේ දී තෝටමානය :ඔදඑැපසිපි* කෙරෙහි විශේෂ අවධානයක් යොමුකොට ඇත. තෝටමානය යනු එක් අතෙකින් එක ම සමූහයකට අයත් මිනිසුන් හා අනෙක් අතින් එම සමූහයේ තෝටමාන :ඔදඑැපි* ලෙස හැඳින්වෙන කෘත‍්‍රිම හෝ ස්වාභාවික වස්තූන් අතර තිබේ යයි සිතනු ලබන සම්බන්ධයයි. තෝටමානය ආගමක් ලෙස සලකන විට එයින් පෙන්නුම් කෙරෙන්නේ ස්වාභාවික පරිසරයේ වස්තූන්ගෙන් මිනිසාට ඇති ප‍්‍රායෝගික වැදගත්කමයි. ටයිලර් සිතූ ලෙසට දාර්ශනික තර්කනයක් එයින් පෙන්නුම් නොකෙරේ.


ජී. ඩබ්. කොඩිතුවක්කු

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජීවවාදය_(Animism)&oldid=967" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි