ජෝන් ඩොයිලි

සිංහල විශ්වකෝෂය වෙතින්
14:13, 9 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(John D'Oyly). ෆෙඩ්රික් නෝත් (බ.) ආණ්ඩුකාරතුමාගේ පාලන...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(John D'Oyly). ෆෙඩ්රික් නෝත් (බ.) ආණ්ඩුකාරතුමාගේ පාලන සමයෙහි ලිපිකාර සේවයට බැඳී අනුක්‍රමයෙන් උඩරට පළාත්වල රෙසිදන්ත පදවිය දක්වා උසස් කරනු ලැබූ ජෝන් ඩොයිලි මහතා විචක්ෂණ බුද්ධියකින් යුක්තවූ ද උපායෙහි දක්ෂවූ ද චාම් ගතිපැවතුම්වලින් සමන්විත වQ ද ත්‍යාගශීලී ඉංග්‍රිසි ජාතිකයෙකි. ඉංග්‍රීසීන් උඩරට රාජ්‍යය අත්පත් කර ගැනීමේ දී ඩොයිලි මහතා අතින් අද්විතීය සේවයක් ඉටු විය.

ඔහු උපන්නේ ක්‍රි.ව. 1774 ජුනි මස 11 වෙනි දා ය. සසෙක්ස් ප්‍රදේශයට අයත් ලුවිස් (Lewes)හි ආ’ච් ඩීකන් පදවිය දැරූ මෙතායස් ඩොයිලි ඔහු ගේ පියා විය. වෙස්ට්මිනිස්ටර් පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ ජෝන් ඩොයිලි කේම්බ්‍රිජ්හි කෝර්පුස් ක්‍රිස්ටි ශාස්ත්‍රාලයට ඇතුල් වී 1796 දී උපාධියක් ලබා ගත්තේ ය. කලක් යටත් විජිතභාර මහලේකම් පදවිය දැරූ ලිවර්පූල්හි ආදිපාදයන්ගේ අනුග්‍රහයෙන් ඔහුට ලිපිකරුවකු වශයෙන් සේවය කිරීමට ලංකාවට යාමට අවස්ථාව සැලසුණේ ය. 1801 මාර්තු මස 13 වෙනි දින ඩොයිලි මහතා සිවිල් නිලධාරියකු හැටියට පත් කරන ලදි. 1803 ජූලි මස 6 වෙනි දින මාතර ප්‍රදේශීය උසාවියේ විනිශ්චයකාරයෙකු හැටියට ද 1804 පෙබරවාරි මස 22 වන දින මාතර දිස්ත්‍රික්කයේ ද 1804 මැයි මස 2 වැනි දින මාතර දිස්ත්‍රික්කයත් සහිත ගාලු දිස්ත්‍රික්කයේ ද ආදායම් හා වෙළෙඳ කටයුතු පිළිබඳ ඒජන්ත (දිසාපති) හැටියට ද පත් කරන ලදුව පාලක පක්ෂයේ මෙන් ම රටවැසියාගේ ද සිත් දිනාගනිමින් තම සේවය ඉටු කළේ ය. ලංකාවට සම්ප්‍රාප්ත වූ දින සිට ම හෙතෙම සිංහල භාෂාව මැනවින් ඉගෙන ගැනීමට මහත් ආයාසයක් දැරී ය. මාතර විසූ කාලයේ දී වේරගම්පිට විසූ කරතොට ධම්මාරාම හිමියන් ඇසුරින් සිංහල භාෂාව පිළිබඳ විශිෂ්ඨ ඥානයක් ඇති කර ගත්හ. එකළ ඔහු ලබාගත් සිංහල දැනුම අන් කිසි යුරෝපීය ජාතිකයෙකුට ලබාගත හැකි වූයේ නම් ඒ කලාතුරකිනි. රටවැසියන් අතර ඇති වූ වාද විවාද, අවුල්, වියවුල්, නඩුහබ ආදිය ඉතා දක්ෂ ලෙසත් ඉතා අවංක ලෙසත් සමථයට පැමිණවීම හේතු කොට ගෙන රටවැසියෝ ඔහුට ඇලුම් කළහ. එබඳු නඩු විසඳුම්වල දී ඔහු දෙන තීන්දුව ද ඔවුහු ඉතා සතුටින් පිළිගත්හ. එකල මාතර විසූ කිවිවරියක වූ ගජමන් නෝනා විසින් ඇගේ අසරණභාවය ප්‍රකට කර රචිත කවි පන්තියක් ඩොයිලි මහතා අත පත් කරනු ලදුව ඒ දුක්ඛොත්පාදක නිබන්ධන කියවූ ත්‍යාගශීලී ඩොයිලි මහතාගේ කාරුණික අනුග්‍රහය ඇයට නොමඳව ලැබුණු බව කියති.

1805 ජූලි මස 13 වෙනි දින සමාදාන විනිශ්චයකාරවරුන්ගේ උසාවියෙහි සභාපති ධුරයට 1806 පෙබරවාරි මස 12 වෙනි දින කොළඹ දිස්ත්‍රික්කයේ ආදායම් භාර ඒජන්ත ධුරයට ද 1806 අප්‍රේල් මස 2 වෙනි දින මුලින් කී පදවියත් සමඟ කොළඹ පිස්කල් ධුරයට ද 1814 අගෝස්තු මස 12 වෙනි දා සිවිල් ඔඩිටර් ජෙනරල් පදවියට ද 1814 සැප්තැම්බර් 1 වෙනි දින ආණ්ඩුවේ ප්‍රධාන භාෂා පරිවර්තක ධුරයට ද 1814 දෙසැම්බර් මස 12 වෙනි දින මුලින් කී පදවිවලට අතිරේක ව මිලිටරි ඔඩිටර් ජෙනරාල් පදවියට ද පත් කරන ලදි. මේ කාලයේ දී ඩොයිලි මහතා පදිංචි ව සිටියේ මෝදර ප්‍රදේශයට අයත් ටැන්ක් සැල්ගඩෝ (Tanque Salgado) නමින් හැඳින්වුණු ලුණු පොකුණ පාරේ පිහිටි නිවසක ය. පසු කළෙක එය ජේ රීඩ් මහතාගේ වාසස්ථානය විය.

උඩරට රාජ්‍යය අත්පත් කර ගන්නට පෙර ඉන් පසු ද ඩොයිලි යටතේ චරපුරුෂ සේවයක් පැවතියේ ය. එමඟින් ඔහු රටේ නොයෙක් තොරතුරු හා වෙළෙඳ බඩුවල මිල ආදිය දැන ගත්තේ ය. රජු කෙරෙහි රටවැසියන් කලකිරවීම සඳහා ද එය මහෝපකාරී විය. ඇහැලේපොළ, පිළිමතලව්වේ, වාරිගම, ඇළපාත, එක්නැලිගොඩ ආදී නායකයන් සමඟ ලියුම් හා පණිවිඩ හුවමාරු කර ගැනීමෙන් ඔවුන්ගේ සිතුම් පැතුම් දැනගෙන උඩරට ආක්‍රමණයක දී ඔවුන්ගේ ආධාර ලබා ගැනීමට ද මං සලසා ගත්තේ ය. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ උපදෙස් පරිදි ඇහැළේපොළ නිලමේ සමඟ සාකච්ඡා පැවැත්වීමෙන් ශ්‍රී වික්‍රම රාජසිංහ රජුගේ යුදහමුදා තත්වය, භාණ්ඩාගාරය, වස්තුව සඟවන ස්ථාන, රට ආක්‍රමණයක දී රජු රැකවරණ පතා යන තැන්, යුද්ධයක දී හමුදාවට ආහාර සපයන ක්‍රමය, ආක්‍රමණයක දී හමුදා සංවිධානය කළ යුතු ආකාරය ආදී වැදගත් කරුණු හෙතෙම ඔහුගෙන් දැනගත්තේ ය. එකල සිරභාරයේ සිටි ඩේවිට අවශ්‍ය වයින්, තේ හා ඇඳුම් ආදිය යැවීමට ද හෙතෙම පුස්සැල්ල දිසාවගේ ආධාර ලබා ගත්තේ ය.

1815 පෙබරවාරි මාසයේ දී මහනුවර ආක්‍රමණය සඳහා හෙතෙම ඇහැළපොළ නිලමේ ද කැටුව හමුදාව සමඟ ගමන් කළේ ය. මේ ගමනේ දී බ්‍රිතාන්‍ය භටයන් පෙරමුණට යන්ට යන්ට රදළවරුන් එකිනෙකා බ්‍රිතාන්‍ය පක්ෂයට බැදුණේ ය. 1815 පෙබරවාරි මස 14 වෙනි දා මහනුවර අල්ලාගෙන එම මස 18 වෙනි දා රජු සිරභාරයට ගනු ලැබී ය. 1815 මාර්තු මස 2 වන දින ඩොයිලි මහතා මහනුවර තානාපති බවට පත්විය. එම පදවියට අයත් සේවා අතර උඩරට දේශපාලන හා රාජ්‍ය කටයුතුවල භාරකාරීත්වය, උඩරට ප්‍රදේශ පිළිබඳ කොමිෂන් සභාවේ සභාපති ධූරය, අවට පළාත්වල සුළු අධිපතීන් හා ගම්මුලාදෑනීන් පත් කිරීම, විටින් විට අධිකරණ උසාවි පැවැත්වීම, රජයේ නියෝජිතයා වශයෙන් සාමාන්‍ය මහේස්ත්‍රාත්වරයෙකුගේ බලය ක්‍රියාත්මක කිරීම යන කරුණු ප්‍රමුඛ ස්ථානයක් ගනී. 1816 ඔක්තෝම්බර් මස 1 වෙනි දින පටන් ඒ මහතා උඩරට ප්‍රදේශයේ රෙසිදන්තවරයා හැටියට ද මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු හැටියට ද එංගලන්තයේ මහරජානන්ගේ (කිරීටයට) යටත්විජිත භාර මන්ත්‍රණ සභාවේ සාමාජිකයෙකු ලෙස ද ජීවිතාන්තය දක්වා සේවය කළේ ය.

උඩරට මහ කැරැල්ල පැවති සමයේ ද රට පාලනය සම්බන්ධ නොයෙකුත් දුෂ්කර ප්‍රශ්නවල දී ද ඩොයිලිගෙන් උපදෙස් ලබාගැනීම බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාගේ සිරිත විය. ගැටළු ප්‍රශ්න විසදීමෙහිලා දක්ෂභාවය බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා ඉතා උසස් කොට සැලකී ය. යටත්විජිතභාර මහලේකම්තුමා වෙත බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයා යැවූ ලිපියක "ඩොයිලි වෙත මා ලිපියක් යැව්වේ මා තුළ ඇති වූ භීතිය ගැන ඔහු සිත්හි කාවද්දා, අවස්ථාවට උචිත පරිදි ධෛර්‍ය්‍ය ගැනීමෙහි සමර්ථ ඔහු උද්‍යෝගිමත් කිරීමට ය. මේ කරුණෙහි ලා හෙතෙම මගේ බලාපොරොත්තු ඉටු කරමින් ක්‍රියා කළේ" යැයි සඳහන් කර තිබේ. ලංකාවේ අත්පත් කර ගැනීමෙන් පසු බැරනට් නාමයකින් ගෞරව කරනු ලැබූ බ්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා “ සිය යුතුකම් නොපිරිහෙලා ඉටු කරන්නාවූද අතිශයින් කාර්යක්ෂමවූද මගේ මු`ඵ රාජ්‍ය සේවා කාලය තුළ හමුවූ එකම දක්ෂ නිලධාරියාවූද ගෞරව නාමයක් පිරිනැමීමට සර්වප්‍රකාරයෙන් සුදුස්සෙකුවූද ඩොයිලි මහතා විසින් කරන ලද උපකාරවලට මා ණයගැති බැවින් ඔහුට කෘතගුණ සැලකීමක් වශයෙන් මෙබඳු ගෞරව නාමයක් ඔහුටද පිරිනමන ලෙස යටත්විජිතභාර මහලේකම්තුමාට දන්වා යවන ලදී. එහෙත් එය ඉටුවීමට අවුරුදු 6ක් පමණ පමා විය.

උඩරට ආක්‍රමණයෙන් පසු භික්ෂූන් සමඟ සාකච්ඡා පවත්වා දන්ත ධාතූන් වහන්සේ නැවතත් දළදා මාලිගයට වැඩමවීම සම්බන්ධයෙන් ද ඩොයිලි ප්‍රමුඛ ස්ථානයක් ගෙන ක්‍රියා කළේ ය. දළදා වහන්සේ වැඩමවන පෙරහැරේ ද ගමන්කළ ඩොයිලි මහතා දේවාලවලට තම අතින් ම පඬුරු බෙදා දුන්නේ ය. සපත්තු ගලවා මාළිගයට ඇතුළු වූ ඩොයිලි මහතා අභිනව රජු වෙනුවෙන් පූජාවක් කරන්ට තිබෙන බව ප්‍රකාශ කළෙන් ශුද්ධ පැනින් අත් සෝදාගෙන සංගීතාත්මක ධ්වනියකින් වේලාව ප්‍රකට කෙරෙන ඔරලෝසුවක් (Musical Clock) ආණ්ඩුකාරයාගේ නාමයෙන් දළදා වහන්සේට පිදී ය. මේ ඔරලෝසුව මේට්ලන්ඩ් ආණ්ඩුකාරයා විසින් ශ්‍රී වික්‍රමසිංහ රාජසිංහ රජුට තෑගි කිරීම පිණිස ගෙන්වන ලද්දකි.

ඩොයිලි මහතා බෞද්ධ කටයුතුවලට නොයෙක් විට සහභාගී විය. වස් අවසානයේ දී භික්ෂූන්ට අටපිරිකර පිරිනැමීම ඔහු අතින් සිදු විය. කැරලි සමයේ දී ගිරිදුර්ග, වනදුර්ග ආදියෙන් සෑදුනු කොත්මලේ ආදී ප්‍රදේශ කරා ගොස් එහි වැසියනට අවිගැනීමෙන් තොරව සිටින ලෙසට අවවාද කර ඔවුන් ලඟ තිබුණ ආයුධ භාර දීමට ද පොරොන්දු කරවා ගත්තේ ය. ලංකාවට පැමිණියාට පසු ඔහු කිසිවිටෙකත් එංගලන්තයට ගියේ නැත. විවාහ ජීවිතයකට ඇතුළත් වූයේ ද නැත. ස්වකීය මව සහ සහෝදරයන් සමඟ නොයෙක් විට ලියුම් ගනුදෙනු කළේ ය. වරක් ඔහුගේ මව එවූ ලිපියක කොළඹ පදිංචි ඉංග්‍රිසි තරුණියක පාවාගැනීමට හෝ අවුරුද්දක නිවාඩුවක් ගෙන එංගලන්තයට පැමිණ විවාහයක් කරගෙන ආපසු එන ලෙස දන්වා එවා තිබුණු නමුත් ඔහු ඒ ගැන සැලකීමක් දැක්වූයේ නැත. මහනුවර වසන සමයෙහි ඔහුගේ වාසස්ථානය වූයේ පැරණි රජ මාළිගයයි. සිංහල නිලමෙවරුන් ඔහු කෙරෙහි තැබූ විශ්වාසය ඉමහත් ය. ඇළපාත නිලමේගේ මරණය සිදුවන්නට මත්තෙන් ඔහුගේ පුත්‍රයන් ඩොයිලිගේ භාරකාරත්වය යටතට පැමිණවී ය.‍

අතිගරු සර් ජේම්ස් මැකින්ටෝෂ් මහතාගේ ජීවන චරිතයෙහි "ප්‍රාචීන භාෂා ශාස්ත්‍රාදිය උගත් වෙනත් බොහෝ දෙනෙකු මෙන් ඩොයිලි ද ඔහුගේ දින චර්යාව අනුව ස්වදේශිකයකු වී සිටී. කෙසෙල් ගෙඩියක් කා ජීවත් වන හෙතෙම කිසිවකු ගෙදරට නොකැඳවයි. මසකට වරක්වත් ගෙදරින් පිට තැනකින් කෑම නොගනී. ජනාදරයට හා ගෞරවයට ලක්වූ ඔහු සාමාන්‍යයෙන් සම්මානයට පාත්‍ර වූ නොගැලපෙන ඇඳුමෙන් සැරසුණු තවුසෙකි. පෙනීමෙන් මා හා සම වයස් ඇති ඔහු වූඩ් මහතාගේ නිවසේ පැවැත්වුණු රාත්‍රී භෝජන සංග්‍රහයකට පැමිණෙනු දුටු විට කේම්බ්‍රිජ් ශිෂ්‍යයෙකු සිංහල තාපසයෙකු බවට වෙනස් වී සිටින අන්දම ගැන මම පුදුම වීමි" යයි සඳහන්වේ.

උඩරට නීති සම්බන්ධයෙන් ද යම් යම් සංශෝධන ඩොයිලි මහතා අතින් සිදුවිය. උඩරට රාජ්‍යයේ ආණුඩුක්‍රමය පිළිබඳ ලුහුඬු සටහන (Sketch of the Constitution of the Kandyan kingdom) ඔහු අතින් ලියැවුණු ග්‍රන්ථයකි. උඩරට ආණ්ඩුක්‍රමය හා නීති (Kandyan Constitution and Low) සම්බන්ධයෙන් ඔහු විසින් නිෂ්පාදිත ග්‍රන්ථය මේ දක්වා මුද්‍රණයට පමුණුවා නැත. ඩොයිලි මහතාගේ වැඩ පිළිබඳ අගනා වාර්තාවක් මහනුවර කච්චේරියේ තිබී සොයාගත් ඔහුගේ දිනපොතෙහි ඇතුළත්ය. එච්.ඩබ්ලිව්.කොඩ්රිංටන් මහතාගේ හැඳින්වීමක් (ප්‍රස්තාවනාවක්) හා සටහන් සහිත ව මේ දිනපොත 1917 දී මුද්‍රණයට පමුණුවා තිබේ. 1810 සැප්තැම්බර් මස 4 වෙනි දා පටන් 1815 අප්‍රේල් මස 23 වෙනි දා දක්වා සිදුවූ වැදගත් කරුණු මෙම දිනපොතට ඇතුළත් ය. 1821 අගෝස්තු මස 29 දින ඩොයිලිට බැරන් නාමයකින් ගෞරව කරන ලදි.

සත් කෝරළයේ නිල සංචාරයක යෙදුණු ඩොයිලි මහතාට මුර උණ රෝගයක් වැළඳුනෙන් මහනුවරට පැමිණ දක්ෂ වෛද්‍යවරුන් ලවා ප්‍රතිකාරගත් නමුත්ඉන් පිහිටක් නොලැබ 1824 මැයි මස 25 වැනි දින පරලෝ සැපත් විය. මැයි මස 26 වන දින උදේ 6ට පමණ පැරණි හමුදා සුසානභූමියේ දී අවමංගල්‍ය කෘත්‍ය ගෞරව සහිත ව සිදු කරන ලදි. මරණය සිදුවන විට ඔහුගේ වයස අවුරුදු 49 මාස 11 දින 14කි. ඔහු සිහිවීම පිණිස ඔහුගේ සොහොයුරන් තිදෙනෙකු විසින් මහනුවර පැරණි සුසානභූමියේ ස්මාරකයක් පිහිටුවන ලදි. එහි කිරිගරුඬ පුවරුවක කොටන ලද ලිපිය පහත දැක්වේ. "In memory of ............."

මීට සමාන ස්මාරකයක් කොළඹ ශාන්ත පීතර දේවස්ථානයට අයත් භූමියෙහි ද පිහිටුවා තිබේ. ඩොයිලි මහතා ජීවත් ව සිටි කාලයේ දී ඒ මහතාගෙන් මාස්පතා ආධාර ලැබූ ස්වදේශික අනාථයන්ගේ සංඛ්‍යාව 115 දෙනෙකු බව ද ඒ පිරිස විෂයෙහි මාස්පතා පරිත්‍යාග කළ මුදල රික්ස් ඩොලර් 163ක් වූ බව ද යථෝක්ත අනාථ පිරිස අතර ඩේවිට දාව උපන් පුත්‍රයෙකුත් සිටි බව ද ඔහුගේ මරණයෙන් පසු දැනගන්නට ලැබී තිබේ.

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජෝන්_ඩොයිලි&oldid=4704" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි