ජෝන් ඩෝල්ටන්

සිංහල විශ්වකෝෂය වෙතින්
15:16, 20 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Dalton, John) ඉංග්‍රීසි ජාතික රසායන විද්‍යාඥයෙකි. වර්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Dalton, John) ඉංග්‍රීසි ජාතික රසායන විද්‍යාඥයෙකි. වර්ෂ 1766 සැප්තැම්බර් මස 6 දින එංගලන්තයේ ඊගල්ස්ෆීල්ඩ් නම් නගරයේ ඉපදී, 1844 ජූලි 27 දින මැන්චෙස්ටර්හි දී අභාවප්‍රාප්ත විය. ඩෝල්ටන්ට රසායන විද්‍යාව පමණක් නොව භෞතික විද්‍යාව ගැන ද හොඳ දැනුමක් තිබිණ. පදාර්ථවල පරමාණුක සිද්ධාන්තය (Atomic Theory) ලොවට හෙළිකළ හෙයින් ඩෝල්ටන් භෞතික විද්‍යාවේ එක් පීතෘවරයෙක් ලෙස සලකනු ලැබේ.

ජෝන් ඩෝල්ටන් සිය මුළු ජීවිතයේ වැඩි කාලයක් ගත කළේ මැන්චෙස්ටර් නුවරයි. වයස අවුරුදු 12 දී හේ ගුරුවරයෙක් ලෙස වෘත්තීය ඇරඹී ය. වර්ෂ 1787 දී කාලගුණ විද්‍යාව (Meteorology) හැදෑරීම ඇරඹියේ ය. ඉන් ලද දැනුම ආශ්‍රයෙන් උතුරු එලි හදාරා ඉතා වැදගත් දත්ත ගණනාවක් ම ඉදිරිපත් කෙළේ ය. කාලගුණයට බලපාන වෙළෙඳ සුළං හමන දිශාව ආදිය ආශ්‍රයෙන් අනාවැකි පළකිරීම නිසා මුහුදු යාත්‍රා ගමනට මහත් සේවයක් ඔහුගෙන් සිදු විණි. ජලයේ උපරිම ඝනත්වය ශතාංශක බිංදුවේ නොව ශතාංශක 4ට ආසන්නව ඇති වන බව පෙන්වා දෙන ලද්දේ ඩෝල්ටන් විසිනි. ඔහු විසින් ලියන ලද, 'කාලගුණ විද්‍යා නිරීක්ෂණ සහ රචනා' ('Meteorological Observation and Essays') ග්‍රන්ථය කාලගුණ විද්‍යාව පිළිබඳ ප්‍රථම විද්‍යාත්මක කෘතිය ලෙස සැලකේ. ජෝන් ඩෝල්ටන්ගේ වැදගත් ම දායකත්වයක් රසායන විද්‍යාවේ වෙයි.

ඩෝල්ටන්ගේ 'අර්ධ පීඩන නීතිය' ('Law of Partial Pressure') අද දක්වා ම විද්‍යාත්මක සත්‍යයක් ලෙස පිළිගැනේ. විවෘත හෝ වසාලන ලද භාජනයක් තුළ වායු වර්ග කිහිපයක් ඇත්නම්, ඒ තුළ බලපාන වායු පීඩනය ඒ ඒ වායුවල ඇති ප්‍රමාණය හා අනුපාත වේ. උදාහරණයක් වශයෙන් 'අ' යන්නෙන් හඳුන්වන වායුව දෙගුණයක් සහ 'ආ' යන වායුව එක ගුණයක් ඇත්නම් 'අ' බලපාන පීඩනය 'ආ'වල මෙන් දෙගුණයකි. ජලවාෂ්ප මඟින් බොහෝ වාෂ්පශීලී තෙල් වර්ග වෙන් කරගත හැක්කේ මෙම සිද්ධාන්තය උපකාරයෙනි. උෂ්ණත්වය වැඩි වන විට වායු ප්‍රසාරණය වන බවත් ඩෝල්ටන් විසින් සොයාගන්නා ලද කරුණකි. තව දුරටත් අධ්‍යනය කිරීමෙන් වායු වර්ග ජලයේ දියවීම, වායු යමක් තුළින් කාන්දු වන වේගය සහ අප අවට වාතයේ සංයුතිය ද සොයා ගැනීමට ඩෝල්ටන් සමත් විය.

මේ සියල්ලට ම වඩා ඩෝල්ටන්ගේ නම ප්‍රසිද්ධියක් දරන්නේ 'බහුගුණ අනුපාත නීතිය' (Law of Multiple Proportion) සොයා ගැනීම නිසා ය. සියලු පදාර්ථ තව දුරටත් බෙදිය නො හැකි අංශුවලින් සෑදී ඇති බව ඩෝල්ටන් විශ්වාස කළේ ය. මෙම ඉතා කුඩා අංශුවලට පරමාණු (Atoms) යන නම යොදන ලදී. 'ඇටම්' යන නම පුරාතන ග්‍රීක දාර්ශනිකයෙක් වූ ඩොමොක්‍රිටස් යොදන ලද නමකි. ඉතා කුඩා අංශුවලට ග්‍රීක භාෂාවෙන් 'ඇටමෝස්' යන නම යෙදේ.

'සෑම මූලද්‍රව්‍යයක ම පරමාණු එක සමාන ය. විවිධ මූලද්‍රව්‍යවල පරමාණු වෙනස් වන්නේ එහි ස්කන්ධය වෙනස් වීම නිසා පමණකි' යන්න ඩෝල්ටන් ඉදිරිපත් කළ මතයයි. එක එක මූලද්‍රව්‍යවල පරමාණුවල සමානුපාතික ස්කන්ධය සෙවීමට ඩෝල්ටන් සමත් විය. යම් සංයෝගයක් සෑදෙන විට එය සෑදී ඇති මූලද්‍රව්‍යවල පරමාණු සරල අංක ගණිතමය අනුපාතයකට එකතු වන බව ඔහු පෙන්වා දුන්නේ ය. මෙය වර්ෂ 1808 දී පරමාණුක සිද්ධාන්තය (Atomic Theory) ලෙස ඩෝල්ටන් ඉදිරිපත් කළේ ය. ස්වකීය සොයා ගැනීම් ඇතුළත් කර ඔහු කාණ්ඩ දෙකකින් යුත් ග්‍රන්ථයක් පළ කර තිබේ. එනම් New System of Chemical Philosophy I (1808) සහ II (1810) යනුවෙනි.

මැන්චෙස්ටර් නගරයට පැමිණ නොබෝ කලකින් ඩෝල්ටන් නගරයේ සාහිත්‍ය හා දාර්ශනික සංගමයට තෝරා ගැනුණේ ය. ඔහු සංගමය ඉදිරියේ කළ පළමු දේශනය 'වර්ණ අන්ධභාවය' (Colour Blindness) ගැන වූයේ ය. එම දුබලතාව තමන්ට ඇති බව සොයා ගැනීමෙන් පසු ඒ පිළිබඳ විද්‍යාත්මක විග්‍රහයක් සිදු වූයේ ඔහු අතිනි.

ජෝන් ඩෝල්ටන්ගේ විද්‍යාත්මක සොයා ගැනීම් අගයමින් ලන්ඩනයේ රාජකීය සමිතියේ සාමාජිකත්වය ද ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ සම්මාන උපාධියක් ද ඔහුට පිරිනැමුණි. ප්‍රංශයේ විද්‍යා ඇකඩමිය පිටරැටියන්ට ප්‍රදානය කරන සාමාජිකත්ව අටෙන් එකක් ඩෝල්ටන්ට පිරිනැමීම ඔහුගේ විද්‍යා විෂයක දායකත්වය ඉහළින් ඇගයුණු අවස්ථාවක් විය.

(කර්තෘ: උපාලි එම්. සේනානායක)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ජෝන්_ඩෝල්ටන්&oldid=4744" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි