ජෝන් රොඩ්රිගෝ ඩොස් පැසොස්

සිංහල විශ්වකෝෂය වෙතින්
13:56, 9 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Jhon Rodrigo Dos Passos). (1896.01.14-1970.09.28). විසි වන සියවසේ ඇමරිකා එක්ස...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Jhon Rodrigo Dos Passos). (1896.01.14-1970.09.28). විසි වන සියවසේ ඇමරිකා එක්සත් ජනපදයෙහි විසූ නවකථාකරුවෙකි. සමකාලීන සමාජය දෙස විවේචනාත්මකව බැලීම ඔහුගේ කෘතීන්හි විශේෂතාව වේ. නවකථා ශිල්පය පිළිබඳ විවිධ අත්හදාබැලීම් කළ රචකයෙකු ලෙස ඔහු වැදගත් වන්නේ ය.

පෘතුගීසි ප්‍රභවයක් ඇති ධනවත් නීතීඥයෙකුගේ පුත්‍රයා ලෙස චිකාගෝ නුවර උපන් ඩොස් පැසොස් 1916 දී හාවඩ් විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා, පළමු ලෝක සංග්‍රාමයෙහි දී ගිලන් රථ රියදුරෙකු ලෙස සේවය කළේ ය. කුරිරු ලෝකයක් හමුවේ කලාකරුවෙකුගේ මනස කම්පනය වූ ආකාරය ඔහු මුලින් ලියූ නවකථාවල පිළිබිඹු වේ. යුද්ධයට එරෙහි වූ එබඳු කෘති අතර 'වන් මෑන්ස් ඉනිෂියේෂන්' (One man's Initiation, 1917) සහ 'ත්‍රී සෝල්ජර්ස්' (Three Soldiers, 1921) සඳහන් කළ හැකි ය. යුද්ධයට පසු යුගයෙහි දී ස්පාඤ්ඤ හා වෙනත් රටවල් කිහිපයක පුවත්පත් වාර්තාකරුවෙකු ලෙස සංචාරය කිරීමෙන් ඔහුගේ සමාජ විඥානය මුවහත් විය. ඒ සමඟ ම ඉතිහාසයේ ගමන් මඟ පිළිබඳ ව වටහා ගැනීමේ දී සමාජ ප්‍රවණතා දෙස විවේචනාත්මක ව බැලීමේ අවශ්‍යතාව ඔහු ඒත්තු ගත් බව පෙනේ. 1925 දී පළ වූ 'මැන්හැටන් ට්‍රාන්ස්ෆර් (Manhattan Transfer) නවකථාවෙහි යුද්ධයෙන් පසු ඇමෙරිකාවේ නාගරික සමාජයෙහි පැනනැඟුණු ප්‍රවණතා ගැන ඔහුගේ කළකිරීම පිළිබිඹුව ඇත. නවකථාව ගොඩනැගී ඇත්තේ චරිත කිහිපයක් වෙත මාරුවෙන් මාරුවට කෙටි ක්ෂණික අවධානය යොමු කරවන ආකාරයෙනි.

වර්ෂ 1927 දී සිදු වූ නිකොලා සක්කෝ සහ බර්තොලොමියෝ වන්සෙත්ති යන අරාජකවාදීන් ඇමෙරිකානු අධිකරණයෙන් මරණීය දණ්ඩනයට නියම කළ අවස්ථාවේ ඔවුන්ට සමාව ලබාදීම සඳහා පැනනැගුණු උද්ඝෝෂණ ව්‍යාපාරයේ තදින් නිරත වූ ඩොස් පැසොස් එය ව්‍යර්ථ වූ හෙයින් ඉමහත් කළකිරීමට පත් වූ බව පෙනේ. මිනීමැරුම් චෝදනාවක් නිසා ඔවුන් මරණ දණ්ඩනයට නියම කළත් ඔවුන් එයට අසම්බන්ධ යැයි තොරතුරු ලැබී තිබුණත් ඒවා නොසලකා හරින ලද්දේ ඔවුන්ගේ දේශපාලන දෘෂ්ඨිය නිසා බවත් දුප්පතුන්ට යුක්තිය ඉෂ්ඨවීම ඇතැම් විට සිදු නොවන බවත් මෙහි දී පෙනී ගියේ ය. ඇමෙරිකානු සමාජය 'ධනවත් හා වරප්‍රසාද හිමි' අයත් 'දුප්පත් හා වරප්‍රසාද අහිමි' අයත් යනුවෙන් මිනිසුන් 'ජාතීන්' දෙකකට බෙදී ඇති බව මෙහි දී පසක් කර ගත් ඩොස් පැසොස් එම නිරීක්ෂණය පිළිබිඹු කරමින් යූ.එස්.ඒ. (U.S.A.), නම් තුන් ඈඳුතු නවකථාව නිර්මාණය කෙළේ ය. එහි කොටස් වන්නේ The Forty Second Parallel (1930), Nineteen Nineteen (1932) සහ The Big Money (1936) යන තුනයි. ශිල්පීය වශයෙන් මෙම කෘතීන්හි ඇතුළත් වූ අත්හදාබැලීම් නවකථා කලාවේ විශේෂ සිද්ධි ලෙස අවධානය යොමු විය යුතු ය. නවකථාවේ එන චරිත ඉතිහාසය හා බද්ධ කිරීම පිණිස පුවත්පත් ශීර්ෂපාඨ උපයෝගී කර ගැනීමත්, ජනප්‍රිය ගීතවලින් කොටස් උපුටා දැක්වීමත් ඔහු යෙදූ එක් ශිල්පීය ක්‍රමයකි. 'කැමරා ඇස' යනුවෙන් හැඳින්වෙන තවත් උපක්‍රමයක් මඟින් කතුවරයා මාතෘකාව දුටු ආකාරය කෙටි වූ ද කාව්‍යමය වූ ද විස්තර මඟින් පාඨකයා හමුවට ගෙනඑනු ලැබේ. නවකථාවට පසුබිම් වූ යුගයේ ජීවත් වූ හෙන්රි ෆෝර්ඩ් නම් මෝටර් රථ නිෂ්පාදකවරයා, තෝමස් අල්වා එඩ්සන් නම් විද්‍යාඥයා, වුඩ්රෝ විල්සන් නම් ජනාධිපතිවරයා වැන්නන්ගේ ජීවිත කථා ද තම නවකථාව තුළට බහාලීමෙන් තාත්වික මුහුණුවරක් එයට දීමට කතුවරයා වෑයම් කර තිබේ.

'යූ.එස්.ඒ.' තුන් ඈඳුතු නවකථාවෙන් පසු 'ඩිස්ට්‍රික්ට් ඔෆ් කොලම්බියා' (District Of Columbia) නමින් තවත් තුනු ඈඳුතු නවකථාවක් ඩොස් පැසොස් විසින් ලියන ලදි. ඊට අයත් කෘති වන්නේ Adventures of a young man (1939), Number one (1943) iy The Grand Design (1949) ය. මෙහි දී කම්කරු ව්‍යාපාරය ගැනත් රුඩිකල්වාදී දේශපාලනය ගැනත් රජයේ ලිබරල්වාදය ගැනත් ඩොස් පැසොස් තුළ වර්ධනය වෙමින් පැවති කලකිරීම පිළිබිඹුව ඇත. මේ අයුරින් ක්‍රමයෙන් දේශපාලන දක්ෂිණාංශයට බරවීම හා සමඟ ඩොස් පැසොස්ගේ මුල් කෘතිවල තිබූ ආකර්ෂණීය ගුණයත් වියැකී ගිය බව පෙනේ. වර්ෂ 1962 දී ඔහු පළ කළ Mr. Wilson's War ('විල්සන් මහතාගේ යුද්ධය') පළමු ලෝක මහා සංග්‍රාමයෙහි ඉතිහාසයකි. නවකථාවන්ට අමතරව 'ඒ පුෂ්කාට් ඇට් ද කර්බ්' (A Pushcart at the curb, 1922) නම් කාව්‍ය සංග්‍රහය මෙන් ම 'ද ගාබේජ් මෑන්' (The Garbage man, 1926), 'එයාවේස් ඉන් කෝපරේටඩ්' (Airways Inc., 1929) සහ 'ෆෝචූන් හයිට්ස්' (Fortune Heights, 1934) යන නාට්‍ය ද ඔහුගේ කෘති අතර වේ. ඔහු චාරිකා ග්‍රන්ථ කීපයක් ද ලියා ඇත. එනම් 'රොසිනත්තෙ ටු ද රෝඩ් එගේන්' (Rosinante to the road again, 1922), 'ඔරියන්ට් එක්ස්ප්‍රස්' (Orient Express, 1927), 'ඉන් ඕල් කන්ට්‍රීස්' (In All Countries, 1934), 'ජර්නීස් බිට්වීන් වෝස්' (Journeys between wars, 1938) යන ඒවා ය. ඔහු විසින් සමාජ විද්‍යාත්මක රචනා දෙකක් 'ද ග්‍රවුන්ඩ් වී ස්ටෑන්ඩ් ඔන්' (The ground we stand on, 1941) සහ 'ද ස්ටේට් ඔෆ් ද නේෂන්' (The state of the nation, 1944) යනුවෙන් පළ කර තිබේ. දෙවන ලෝක මහා සංග්‍රාමයේ දී යුරෝපයේ හා පැසිපික් සාගර ප්‍රදේශයේ කළ චාරිකා 'ලයිෆ්' (Life) සඟරාවේ පළ වී පසුව 'ටුවර්ස් ඔෆ් ඩියුටි' යනුවෙන් පොතක් ලෙස ප්‍රසිද්ධ කරන ලදී. ඩොස් පැසොස් බොල්ට්මෝර්හි දී අභාවප්‍රාප්ත විය.

(කර්තෘ: කේ.එන්.ඕ. ධර්මදාස)

(සංස්කරණය නොකළ)