ජෝර්ජ් ආර්. ද සිල්වා

සිංහල විශ්වකෝෂය වෙතින්
16:25, 24 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සිය පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා නොව ලාංකිකයන්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සිය පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා නොව ලාංකිකයන්ගේ නිදහසත්, අභිවෘද්ධියත් උදෙසා සිය මුළු දිවිය ම කැප කළ තැනැත්තෙකි ජෝර්ජ් ආර් ද සිල්වා මහත්මා.

1879 වර්ෂයේ අගෝස්තු මස 08 වැනි දින කොළඹ දී ඡන්ම ලාභය ලැබූ ඔහු වැදගත් ධනවත් පවුලකට අයත් විය. වීරසේකර රාජපක්ෂ මුහන්දිරම්ලාගේ කොරනේලිස් ද සිල්වා සහ එම මහත්මියගේ පුත්‍රයකු වූ ඔහුට ලංකාවේ දී ලැබිය හැකි උසස් ම අධ්‍යාපනය ලබා දීමට ඔහුගේ දෙමව්පියන් ඉටා ගත්තෙන් ඔහු කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයට ඇතුළත් කරන ලදී. එම විදුහලෙන් සිය ද්විතීයික අධ්‍යාපනය නිමා කළ ජෝර්ජ් වැඩිදුර අධ්‍යාපනය ලැබීම සඳහා එංගලන්තයට යවන ලදී. කේම්බ්‍රිජ්හි ට්‍රිනිටි විද්‍යාලයේ නීති අංශයේ අධ්‍යාපනය ලබන කාලයේ දී ම ඔහුගේ කාර්ය ශූරත්වයත් ඉදිරිපත් වීමේ හැකියාවත් ප්‍රදර්ශනය විය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ලාංකී්‍ය ශිෂ්‍ය සංගමයේ සභාපති හැටියට ඔහු පත් කර ගන්නා ලද්දේ ඔහුගේ දස්කම් ඒ වන විටත් ප්‍රකට වූ හෙයිනි. එහිදී 'INDEPENDENT TIMES OF CEYLON' නම් සඟරාවෙහි වාර්තා කරුවකු ලෙස ද ඔහු කටයුතු කළේ ය. 1902 වසරේ දී සිය අධ්‍යාපනය නිම වූ ඔහු එල්.එල්.බී. උපාධිය සමත් වී නීතිඥයකු වශයෙන් දිවුරුම් දුන්නේ ය.

ලංකාවට පැමිණි ඔහු ඉතා සාර්ථක නීතිඥයකු ලෙස සිය වෘත්තියේ නමක් දිනා ගත්තේ ය. මුල දී කොළඹ උසාවියේ සිය වෘත්තිය කරගෙන ගිය ඔහු පසු කලක කොළඹින් පිටත ප්‍රදේශවල දී කටයුතු කළේ ය. ඔහු සිවිල් මෙන් ම අපරාධ නඩුවලට ද පෙනී සිටි අතර බොහෝ අය මොහුගේ සේවය ලබා ගැනීමට මහත් උනන්දුවක් දැක්වූහ. පසු කලක ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයේ කොමසාරිස් පදවියට පත් කරන ලදී.

මෙකල ලංකාවේ දේශපාලන බලතල ඉල්ලා ජනතාව මෙහෙය වූයේ එංගලන්තයට ගොස් අධ්‍යාපන ලැබූ ලාංකික උගතුන් ය. ඒ අනුව සෙසු ලාංකික උගතුන් සේ ම මොහු ද දේශපාලනය කෙරෙහි යොමු විය. ප්‍රථමයෙන් ඉංග්‍රීසි රජය යටතේ නාගරික කොමසාරිස් ධුරය ලබා 1936 වසරේ දී කොළඹ ද 1938 දී රත්නපුරයේ ද සේවය කළ අතර මේ නගරවල පැවැති අඩුපාඩුකම්, ජනතාවට වඩා හොඳ සේවයක් ලබා දීම සඳහා කළ යුතු ව්‍යාපෘති ආදිය අවබෝධ කර ගැනීමට අවස්ථාව සැලසිණ. දරිද්‍රතාවය නිසා දුක් විඳින ජනතාවගේ ජීවන තත්වය තරමක් හෝ දුරට උසස් කරලීමට මහත් වෙහෙසක් ගත්තේ ය.

රාජ්‍ය සේවකයකු වශයෙන් දිළිඳු ජනතාව සඳහා කළ හැකි සේවයට වඩා විශාල සේවයක් කිරීමට නම් ව්‍යවස්ථාදායක සභාවේ අසුනක් හිමිකර ගත යුතුය යි ඔහු කල්පනා කළේ ය. ඒ අදහස ඉෂ්ට වූයේ රත්නපුර ප්‍රදේශය සඳහා ව්‍යවස්ථාදායකයේ අසුනක් හිමි වී සිටි ජෝර්ජ්ගේ මාමා කෙනකු වූ ඒ. එච්. එල්. මොලමුරේ මහතා මිය යාමෙන් එම අසුන හිස් වීමය. 1931 වසරේ දී මේ අසුන සඳහා මැතිවරණයේ දී තරඟ කළ ද ඔහු පරාජය වීම නිසා කලක් දේශපාලනයෙන් ඈත් වී සිටියේ ය.

කොළඹ නගරයේ කොටහේන ආසනය සඳහා තරඟ කොට නාගරික මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ ඔහු 1937-38 අතර කාලයේ උප නගරාධිපති වශයෙන් සේවය කළේ ය. 1943 වසර මුල සිට එම වසර අවසන් වන තුරු ඔහු කොළඹ පුරපති තනතුර ද දැරීය. මේ කාලයේ දී මුඩුක්කු හා පැල්පත් වාසීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමටත් නගරයේ පොදු කටයුතු ක්‍රමවත් කොට දිළිඳු ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට පිළියම් සෙවීමට මහත් උත්සාහයක් දැරී ය.

නාගරික මන්ත්‍රී ධුරයෙන් සෑහීමට පත් නොවූ ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උතුරු කොළඹ ආසනය සඳහා තරඟ කොට ජයග්‍රහණය කළේ ය. සෞඛ්‍ය අමාත්‍යංශය ඔහු වෙත පවරන ලද අතර, පසුව පළාත් පාලන කටයුතු ද ඔහු වෙත පවරන ලදී. දෙවැනි ලෝක යුද්ධ සමයේ අන්තර් ජාතික ප්‍රවාහන කටයුතු අඩාල වීමෙන් ජනතාවට අත්විඳින්නට වූ ආර්ථික දුෂ්කරතා නිසා ඇති වූ පීඩාවන් අවම කිරීමේ වෑයමක් වශයෙන් රට පුරා ද්‍රව්‍ය සාධාරණ ව බෙදා හැරීමටත්, විවිධාකාර ආර්ථික කටයුතුවල දී මුල් තැන ගෙන ක්‍රියා කිරීමටත් සමූපකාර සේවය නඟා සිටුවීමට මහත් ආයාසයක් දැරූ අතර, ඉන් සාර්ථක ප්‍රතිඵල ද ලැබිණ.

1951 වසරේ ජූලි මස 12 වැනි දින එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිහිටුවීමේ දී ජෝරජ් ආර්. ද සිල්වා මහතා ද ඔහු අනුගමනය කළේ ය.

තම පුද්ගලික ලාභ ප්‍රයෝජන සඳහා දේශපාලනය කිසි සේත් ප්‍රයෝජනයට නොගත් ජෝරජ් ආර්. ද සිල්වා මහතා සැබෑ මහත්මයෙක් විය. වාසල මුදලි වෝල්ටර් ඩයස් බණ්ඩාරනායක මහතාගේ දියණිය වූ එව්ලින් ඩයස් බණ්ඩාරනායක මෙනෙවිය හා විවාහ වී සිටි ඔහු 1960 වසරේ ජූලි මස 28 වැනි දින අභාවප්‍රාප්ත විය.

නාගරික මන්ත්‍රීවරයකු, උපනගරාධිපති හා නගරාධිපති වශයෙන් විශේෂයෙන් ම කොටහේන ප්‍රදේශයේ ජනතාවට ඔහු කළ සේවය අගය කරනු වස් කොටහේනේ ප්‍රධාන ම වීදියක් ඔහුගේ නමින් නම් කරන ලදී.

ආශ්‍රිත ග්‍රන්ථ

CENTENARY VOLUME - COLOMBO MUNICIPAL COUNCIL 1865 - 1965

RELATIVE MERITS - YASMINE GOONARATNE

PERSONALITIES OF SRI LANKA - DR. G. D. P. WIMALARATNE

රූපය

(කර්තෘ: සුමනා ඇල්ලේපොල)

(සංස්කරණය නොකළ)