ටයිෆස් උණ (Typhus Fever)

සිංහල විශ්වකෝෂය වෙතින්
16:41, 17 ඔක්තෝබර් 2016 වන විට 127.0.0.1 (කතාබහ) ('රිකෙට්සියේ ගෝත‍්‍රයට අයත් ක්ෂුද්‍ර ජීවින් වි...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

රිකෙට්සියේ ගෝත‍්‍රයට අයත් ක්ෂුද්‍ර ජීවින් විසින් බෝ කරනු ලබන තීව‍්‍ර ආසාදිත රෝගයකි. ටයිෆස් උණ වර්ග කිහිපයක් ඇත.

එනම්: 1. වසංගත උකුණු වාහක ටයිෆස් උණ (Endemic Louse Borne Typhus Fever) 2. බී‍්‍රල්-සින්සර් රෝගය (Brill-Zinsser) 3. මූෂික හෙවත් ප‍්‍රදේශික මැක්කන් වාහක ටයිෆස් උණ (Murine or Endemic Flea-borne Typhus Fever) 4. කිණිතුලුවාහක ටයිෆස් උණ (Tick-Borne Typhus Fever)

ඉහත සඳහන් රෝග සියල්ලට ම පොදුවේ ‘ටයිෆස් උණ’ යනුවෙන් භාවිත වේ. එබැවින් ටයිෆස් උණ යන නම තනි රෝගයකට නොව, රෝග සමූහයකට ම ව්‍යවහාර වේ. රෝග අතර ඇති මූලික වෙනස වනුයේ එක් එක් රෝගයක් පාසා වෙන ම හේතුකාරක විශේෂයක් සිටීමයි. මෙකී මූලික වෙනස්කම හැර, සායනිකව (Clinically) හෝ ව්‍යාධිවේකව (Pathologically) හෝ රෝගවල ප‍්‍රභේද නැත. රෝගවල වෙනස්කම් හටගන්නේ එහි ස්වභාවයත් රෝග උග‍්‍රතාවත් රෝගයෙන් මරණයට පත් වන සංඛ්‍යාවත් අනුව පමණි.

වසංගත උකුණු වාහක ටයිෆස් උණ රෝගයෙහි හේතුකාරකයා රිකෙට්සියා ප්‍රොවාසෙකි (Rickettsia Prowazekii) විශේෂයයි. ඌ පෙඩිකියුලූස් හියුමානුස් (Pediculas Humanus) නමැති උකුණු විශේෂයේ පරපෝෂිතයෙකි. මෙම උකුණා මිනිසාගේ හිසකෙස් අතර වසන බාහිර පරපෝෂිතයෙකි. උකුණා යැපෙන්නේ මිනිසාගේ ලේ උරා බීමෙනි. මෙහි දී ඌ සමෙහි සිදුරු ඇති කරයි. ලේ උරා බීමේ දී මළ පහකිරීම උගෙන් ඉබේ ම මෙන් සිදු වන්නකි. සම තුළට විදීමේ දී ඇතිවන වේදනාව දුරු කිරීම පිණිස මිනිසා එම ස්ථානය කසයි. මෙපරිද්දෙන් සිදුර අවට ඇති ආසාදිත මළ ඒ තුළට කාවැදී රෝගය ශරීරගත වේ. රෝගය ශරීරගත වන තවත් ක‍්‍රමයකි, ඇසෙහි හෝ ශ්වසන පද්ධතියෙහි හෝ ඇති ශ්ලේෂ්මල පටලය හරහා උකුණාගේ වියළි මළ ද්‍රව්‍ය ඇතුළු වීම

බීජෞෂණ සමය දින 10 සිට සති දෙකකි. රෝග ලක්ෂණ මතුවන්නේ අනපේක්ෂිත ලෙස හදිස්සියෙනි. හිසරදය, උණ හා සමෙහි පළු මතුවීම මෙලෙස හට ගන්නා මූලික ලක්ෂණ සමහරකි. හිසරදය ඇති වූ විට දිවා රාත‍්‍රියෙහි ම පවතී. එය ඉවසිය නොහැකි තරම් වේදනාත්මක ය. රෝගය ශරීරගත වී දින 4-7ක් පමණ ගත වූ විට සමෙහි පලූ මතු වේ. පලූ ප‍්‍රථමයෙන් ම මතු වන්නේ උඩු කයෙහි ය. ඉන්පසුව මුහුණ, අත්ල හා පතුල් හැර මුළු කයෙහි ම අනුක‍්‍රමයෙන් පැතිරී යයි. මෙවිට රෝගියාට මඳ කැස්සක් ද ඇති විය හැකි ය.

නියමිත ප‍්‍රතිකාරය දීමෙන් දින 12කින් පමණ රෝගියාගේ උණ බසී. ඉන්පසුව ඉතා ශීඝ‍්‍රයෙන් ඉතිරි රෝග ලක්ෂණ නැති වී යයි. රෝගය උග‍්‍ර අතට හැරීමේ දී මුත‍්‍රා පහකිරීමේ අපහසුකම්, පිටෙහි හා පාදවල පේශී වේදනාත්ම වීම, ඇසීම දුර්වල වීම, සංසන්ධිතදාහය (Conjuctivitis) හා පර්යන්ත රුධිරවාහිනී අක‍්‍රිය වීම වැනි රෝග ලක්ෂණ අනුක‍්‍රමයෙන් මතු වේ. රෝගියා ක‍්‍රමයෙන් විභ‍්‍රාන්තක (Delirous) වී සන්‍යාස (Comatose) වීමෙන් මරණයට පත් විය හැකි ය. එහෙත් සාමාන්‍යයෙන් රෝගය එවැනි උග‍්‍ර තත්ත්වයකට පැමිණෙන්නේ වැඩිහිටියන් අතර පමණි. කුඩා ළමයින් අතර රෝගය උග‍්‍රවන්නේ කලාතුරකිනි. බී‍්‍රල්-සින්සර් රෝගය : වසංගත උකුණු වාහක ටයිෆස් උණ වැළැඳී එක්තරා ගුප්ත කාලයකට (Lafent Period) පසුව රෝගය නැවත මතු වූ කල බී‍්‍රල්-සින්සර් රෝගය වශයෙන් හැඳින්වේ.

මූෂික හෙවත් ප‍්‍රදේශික මැක්කන් වාහක ටයිෆස් උණ රෝගයෙහි හේතුකාරකයා රිකෙට්සියා මුසෙරි (Rickettsia Mooseri) විශේෂයයි. උගේ ප‍්‍රධාන වාහකයා සෙනොප්සිලා කියෝපිස් (Xenopsylla Cheopis) නමැති මැක්කා ය. මේ මැක්කා මීයාගේ පරපෝෂිතයෙකි. එහෙත් අහම්බෙන් මිනිසුන් සපා කෑමෙන් හෝ අසාදිත වියළි මළ සම්පේ‍්‍රෂණය වීමෙන් රෝගය මිනිසුන්ට බෝවිය හැකි ය.

බීජෞෂණ කාලය දින 6 සිට 14ක් පමණ ය. මෙම රෝගයෙහි ඇති වන රෝග ලක්ෂණ පෙර සඳහන් ටයිෆස් රෝගයෙහි මතුවන රෝග ලක්ෂණවලට සමාන ය. එහෙත් රෝගය එතරම් උග‍්‍ර තත්ත්වයට නොහැරේ. අතුරු ආබාධ ඇති වන්නේ කලාතුරකිනි. ඉන් මරණයට පත්වන්නේ 5‍්‍රක් වැනි සුළු සංඛ්‍යාවකි. මෙම සංඛ්‍යාව ද වැඩිහිටයන්ට සීමිත ය.

කීඩෑවන් වාහක ටයිෆස් උණ රෝගයෙහි රෝග කාරකයා රි.ට්සට්සුගමශි (R.Tsatsugamashi) විශේෂයයි. ඌ ට්‍රොම්බිකියුලා අකමුශි (Trombicula Akamushi) හා ට්‍රො.ඩිලීඑන්සිස් (T.Deliesis) නමැති කීඩෑ වාහක විශේෂයන්ගේ සමෙහි වාසය කරයි. මූ මීයාගේ පරපෝෂිතයෙකි. එබැවින් මිනිසාට රෝගය අහම්බෙන් වැළඳිය හැකි ය. මෙම රෝගය හා පෙර සඳහන් රෝග අතර ප‍්‍රධාන වෙනස වනුයේ කීඩෑවා හපන ස්ථානයෙහි තුවාල (Lession) හටගැනීමයි. ඇතැම් විට එම ස්ථානයෙහි තුවාල එකකට වඩා තිබිය හැකි ය. තව ද රෝගය හා සම්බන්ධ ව හටගන්නා උණ සමාන්‍යයෙන් සති දෙකක් පමණ පවතින අතර මාසයක් පමණ දික්ගැසිය හැකි ය. රෝගය උග‍්‍ර වීමත් සමග නියුමෝනිටිස් (Pneumonitis) හා වාහිර්කන්තු-දාහය (Myocarditis) ඇති වීමෙන් හෘත් සනාල පද්ධතියෙහි (Cardio-Vascular System) සංකූල මතු වේ.

ටයිෆස් රෝග වර්ග සියල්ලට ම සාමාන්‍ය වශයෙන් නියමිත ප‍්‍රතිකාරය ටෙට්රාසයික්ලීන් (Tetracycline) හා ක්ලෝර්ම්පෙනිකෝල් (Chloramphenicol) වැනි ඖෂධ ගැනීම ය. මේ හැර තමාගේ පිරිසිදුකමත් අවට පරිසරයේ පිරිසිදුකමත් ආරක්ෂා කිරීමෙන් මෙම රෝගය බෝවීමත් පැතිරීමත් වැළක්විය හැකි ය.

-මංගලා වීරසිංහ-

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටයිෆස්_උණ_(Typhus_Fever)&oldid=59" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි