ටර්කෝමන් (Turkoman)

සිංහල විශ්වකෝෂය වෙතින්
13:38, 1 සැප්තැම්බර් 2017 වන විට පරිපාලක (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

මධ්‍යම ආසියාවේ ස්ටෙප්ස් තැනිතලා ප‍්‍රදේශවල හා වෙනත් පාළු පෙදෙස්වල විසිර වාසය කළ අයිරේනියන් තුර්කිවරු මෙනමින් හඳුන්වනු ලැබූහ. මෙම ජනයා අනුගෝත‍්‍ර අටකින් සමන්විත වූහ. මෙම අනුගෝත‍්‍ර පිටස්තර අනුගෝත‍්‍රවලින් විවාහ නොගත් නමුදු ශාරීරික වශයෙන් ද සංස්කෘතික වශයෙන් ද ඔවුහු අසල්වැසි අන් ජාතීන් හා මිශ‍්‍ර වූවෝ වූහ. (ටර්ක්මෙනිස්ථානය ලිපිය බ.) මොවුන් අතර ස්තී‍්‍ර සංඛ්‍යාව අඩු වූ අතර අවිවාහක පුරුෂ සංඛ්‍යාව අධික විය. ‘මනාලි දීමනාව’ එනම් මනාලියක් සඳහා ගෙවිය යුතු මුදල් ප‍්‍රමාණය ද අධික විය. මොවුන් අතුරින් සමහරු කෘෂිකර්මයෙහි යෙදී සිටි අතර බොහෝ දෙනෙක් අසුන් ඇති කරමින් සංචාරක ජීවිතයක් ගත කළහ.

මිශ‍්‍ර ජාතියක් වූ ටර්කෝමන්වරුන් තුළ මොන්ගෝලියානු ලේ හුරුවක් ඇතැයි සිතිය හැකි වූ නමුත් ඔවුහු මොන්ගෝලියානුවන්ට වඩා යුරෝපයේ ඇල්පයින් ගෝත‍්‍රයන්ට සම්බන්ධ යැයි මානව විද්‍යාඥයන්ගේ අදහස විය. ටර්කෝමන්වරුන් කි‍්‍ර.පූ. 250 සිට කි‍්‍ර.ව. 229 දක්වා ශතවර්ෂ 5ක් පමණ කාලයක් තිස්සේ යුප‍්‍රටීස් නදිය සිට ගංගා නදිය දක්වාත් කැස්පියන් මුහුදේ සිට ඉන්දියන් සාගරය දක්වාත් ව්‍යාප්ත විශාල ප‍්‍රදේශයක් පාලනය කළ රණකාමී පාතියන්වරුන්ගෙන් ඍජු ව පැවත ආවුන් විය හැකි ය. වර්තමානයේ මොවුහු ටර්ක්-මෙනිස්ථානයේ (බ.) ප‍්‍රධාන වශයෙන් ද යාබද ඉරානයේ හා ඇෆ්ගනිස්ථානයේ ද වාසය කරති.


-එච්. එල්. සෙනෙවිරත්න-

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ටර්කෝමන්_(Turkoman)&oldid=970" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි