ඩී.බී. ධනපාල

සිංහල විශ්වකෝෂය වෙතින්
09:05, 19 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('දියෝගු බඩතුරුගේ ධනපාල (1905-1971). පුවත්පත් කලාවේදිය...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දියෝගු බඩතුරුගේ ධනපාල (1905-1971). පුවත්පත් කලාවේදියෙකි. සුප්‍රකට ලේඛකයෙකි. ග්‍රන්ථ කර්තෘවරයෙකි. කතළුවේ දියෝගු බඩතුරුගේ කරෝලිස් ද සිල්වා දම්පතින්ගේ තුන් වැනි දරුවා වූ ඩේවිඩ් උපන්නේ 1905 ජනවාරි 5 දා තිස්සමහාරාමයේ දී ය. තිස්සමහාරාමයේ සිංහල පාසලෙන් මූලික අධ්‍යපනය ලැබූ ඩේවිඩ් වැඩිදුර අධ්‍යාපනය සඳහා ගාල්ලට පැමිණියේ ය. ගාල්ලේ දී අනගාරික ධර්මපාලතුමාගේ කථා ඇසීමෙන් ජාත්‍යානුරාගයෙන් ඔද වැඩි ගිය තරුණ ඩේවිඩ් 'ධනපාල' යනුවෙන් නම වෙනස් කර ගත්තේ ය.

ඉක්බිති හම්බන්තොට ශාන්ත මේරි විද්‍යාලයයේ වැඩිදුර ඉගෙනුම ලැබූ ධනපාල එම විද්‍යාලයෙන් ද ඉවත් වී එවකට සුප්‍රකට අධ්‍යාපනඥයකු වූ ඇෆ්.ජී. පියර්ස් මහතා යටතේ දියුණුවට පත්වෙමින් තිබූ ගාල්ලේ මහින්ද විද්‍යාපීඨයට ඇතුළත් වූයේ ය. ගාල්ලේ මහින්ද විද්‍යාලයේ ඉගෙනීම ලබන අවධියෙහි දී ම පුවත්පත් සඟරාවලට ලිපි ලිවීම ආරම්භ කළ ඩී.බී. ධනපාලගේ ලිපියක් පළමුවෙන් ම පළ වූයේ Buddhist Chroniale නමැති සඟරාවෙහි ය. ගාල්ලේ මහින්ද විද්‍යාලයේ අධ්‍යාපනය හමාර කළ ඩී.බී. ධනපාල උසස් අධ්‍යාපනය ඇරඹුයේ ඉන්දියාවේ අලහබාද් විශ්වවිද්‍යාලයෙහි ය. අලහබාද් විශ්වවිද්‍යාලයේ උගන්නා සමයෙහි ම 'තෝට්' (Thought) නමැති සඟරාව ඇරඹූ හෙතෙම ඉන්පසු 'ලීඩර්' (Leader) නමැති පුවත්පතට ද ලිපි ලිවීම ඇරඹී ය. සී.වයි. චින්තාමනී නමැති සුප්‍රකට පුවත්පත් කලාවේදියාගේ කර්තෘත්වයෙන් පළ වූ මෙම සඟරාවෙහි ඩී.බී. ධනපාලගේ ලිපිවලට සුවිශේෂ තැනක් හිමිවිය. අලහබාද් විශ්වවිද්‍යාලයේ බී.ඒ. සහ ඇම්.ඒ. යන උපාධි ලබාගත් මේ ලේඛකයා වෘත්තීය ජීවිතය ඇරඹුයේ 'ද ස්ටේටස්මන්' (The Statsman) පුවත්පතෙහි ශොධ්‍යපත්‍ර කියවන්නෙකු හැටියට ය. මෙම පුවත්පතෙහි සේවය කරන අතර ම ධනපාල එවකට ජනප්‍රිය වෙමින් පැවැති Daily News පත්‍රයට විශේෂ ලිපි සැපයීමට පටන් ගත්තේ ය. මේ ලිපි අතර ගාන්ධි, නේරු, පතේල්, සරෝජිනී නායිදු වැනි භාරත නායක නායිකාවන් පිළිබඳ ව ලියූ ලිපි මෙරට ජනයා අභිරුචියෙන් කියවූහ.

සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ආදී කර්තෘ ඩී.ආර්. විජේවර්ධන මහතාගේ ආරාධනයක් අනුව ධනපාල පසුව 'ඩේලි නිව්ස්' පත්‍රයේ සේවයට බැදුණේ ය. 'ඩේලි නිව්ස්' පත්‍රයේ විශේෂාංග කර්‍තෘ ධුරයට පත් වූ හේ 'ජේනස්' නමින් එම පුවත්පතට සැපයූ ලිපි කෙමෙන් ජනප්‍රිය වූයේ ය. ඩී.බී. ධනපාල මහතා රතී මුතුවේලු මෙනෙවිය සමඟ යුග දිවියට ඇතුළු වූයේ ද මේ අවධියේ ය. 1939 අවුරුද්දේ ලේක්හවුස් පුවත්පත් සමාගමෙන් අස් වූ ඩී.බී. ධනපාල කැලණියේ ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පති ධුරය භාරගත්තේ ය. 1954 අවුරුද්දේ විද්‍යාලංකාර පිරිවෙන මඟින් ඇරඹූ ප්‍රගතිශීලී භික්‍ෂු දේශපාලන ව්‍යාපාරයට ද සම්බන්ධ වී කටයුතු කළ ධනපාල නිරතුරු කල්පනා කළේ ස්වාධීන පුවත්පත් කලාවක් බිහිකැරලීම පිළිබඳවයි.

1947 ඔක්තෝම්බර් 27 වැනිදා ඇරඹුණු 'ලංකාදීප' පත්‍රයෙහි විශේෂාංග කර්තෘවරයා ලෙස වැඩ භාරගත් ධනපාල සිය කාර්ය ශූරත්වය නිසා නොබෝ කලකින් එහි ප්‍රධාන කර්තෘ පදවියට පත් කරනු ලැබුවේ ය. 1960 දී 'ටයිම්ස් ඔෆ් සිලොන් සමාගමෙන්' ද ඉල්ලා අස් වූ ධනපාල 'චැතම් හවුස්' වෙළෙඳ ව්‍යාපාරයට අනුබද්ධ 'දිවයින' නමැති සතිපතා පුවත්පතෙහි කර්තෘ ධුරය භාර ගත්තේ ය. ධනපාලගේ පුවත්පත් කලා ජීවිතයෙහි සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැක්කේ 'දවස' පුවත්පතෙහි ආරම්භයයි. 1961 අගෝස්තු 14 වැනිදා නිකුත් වූ 'දවස' පුවත්පතෙහි ප්‍රධාන කර්තෘවරයා වූයේ ඩී.බී. ධනපාල ය. 1971 මාර්තු 18 වැනිදා අභාවප්‍රාප්ත මෙම ශූර පුවත්පත් කලාවේදියා අතින් ලියැවුණු ගද්‍ය පද්‍ය ග්‍රන්ථ කිහිපයක් ද වෙයි. ඔහු යටතේ පුහුණුව ලැබූ පුවත්පත් කලාවේදීහු රාශියක් ද වෙති.

(කර්තෘ: සරත්චන්ද්‍ර ජයකොඩි)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩී.බී._ධනපාල&oldid=5265" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි