ඩොමිනිකන් ජනරජය

සිංහල විශ්වකෝෂය වෙතින්
12:33, 20 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

වෙත පනින්න: සංචලනය, සොයන්න

ඩොමිනිකන් ජනපදය

කැරිබියානු මුහුදේ පිහිටි හිස්පැනියෝලා දූපතෙහි නැගනහිර භාගයෙහි ඇති 2/3ක භූමි ප්‍රමාණය ඩොමීනිකන් ජනපදය යනුවෙන් හැඳින්වේ. ඉතිරි 1/3ක භූමි ප්‍රමාණය 'හයිටිය' නම් ස්වාධීන ජනපදය වේ. මහා ඇන්ටිලීස් දූපත් වළල්ලේ විශාලත්වයෙන් දෙවැනි තැන ගන්නා දූපත වන්නේ හිස්පැනියොලාවයි. එය බටහිරින් කියුබාවෙන් ද නැගෙනහිරින් පියුටේ රිකෝ දූපතින් ද මායම් වන අතර ප්ලොරිඩාවේ සිට සැතපුම් 600 ගිණිකොනින් ද කොලොම්බියාවේ සහ වෙනිසියුලාවේ සිට සැතපුම් 310ක් උතුරින් ද පිහිටා ඇත. අත්ලාන්තික් සාගරය ඩොමීනිකන් ජනපදයේ උතුරු වෙරළයි. කැරිබියානු එහි දකුණු වෙරළයි. 'මෝනා පැසේජ්' යනුවෙන් හැඳින්වෙන ඇල දූපතේ නැගෙනහිර අන්තයේ සිට පියුටේ රිකෝ දක්වා දිවෙයි. ඩොමීනිකන් ජනරජයේ භූමි ප්‍රමාණය ව.සැ.18,658 (ව.කි.මී.48,323)කි. මෙහි අගනුවර සන්තෝ දොමින්ගෝ යනුවෙන් හැඳින්වේ. එය එහි විශාලතම නගරය ද වෙයි. යුරෝපය හා ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පැනමා ඇළ දක්වා ඇති ප්‍රධාන මුහුදු මාර්ගය මේ රට හරහා වැටී ඇති නමුදු ඩොමීනිකන් ජනපදය කුඩා නොදියුණු රාජ්‍යයක් ලෙස හැඳින්විය හැක. මෙහි ජනසංඛ්‍යාව 4,696,800 (1975)කි.

ස්වභාවික පිහිටීම

මෙහි භූ දර්ශනය සංකීර්ණය, විවිධ ය. රටේ වයඹ දිග සිට ගිනිකොණ දිග දක්වා දිවෙන උස් භූමින් 5කි. මධ්‍යම කඳුකරය ඉන් එකකි. එහි ඇති අඩි 10,417 (මී.3,175) උසැති පිකෝ දුවාර්තේ කන්ද බටහිර ඉන්දියා දූපත්වල පිහිටි උස ම කන්ද වේ. මුහුදු වෙරළට සමාන්තර ව දිවෙන කුඩා කඳුවැටියක් වයඹදිග ද ඊටත් වඩා කුඩා කඳුවැටි දෙකක් නිරිත දිග ද වේ. ඊසාන දිග ප්‍රදේශයේ ඇති කුඩා කඳුගැට සහිත ප්‍රදේශය නැගෙනහිර උස් භූමිය (Cordillera Oriental) යනුවෙන් හැඳින්වෙයි. වයඹ දිග හා නිරිත දිග ප්‍රදේශ අන්තයන්හි පොළව වියළිය. පහත්ය. කාන්තාර වැනිය. ගිනිකොණ දිග ප්‍රදේශය පහත් භූමීන්ගෙන් යුක්තය. මධ්‍යම කඳුකරයේ සිට දකුණු දෙසට ගලා එන රියෝ යාක් දෙල් සූර් (Rio yaque del sur)) ගංගාව නීබා බොක්කට වැටේ. උතුරු කඳු බෑවුම්වලින් ගලා එන රියෝ යාක් දෙල් නෝර්ට් (Rio Yaque Del Norte) මොන්ටි ක්‍රිස්ටි බොක්කට වැටේ. රියෝ යූනා (Rio yuna) නම් ගංගාව දිවයිනේ නැගෙනහිර ප්‍රදේශය හරහා ගලා ගොස් සමානා බොක්කට වැටෙයි. එම ප්‍රදේශය හරහා ගලන රියෝ ඔසාමා (Rio Ozama) නම් අනෙක් ගංගාව සන්තෝ දොමින්ගෝ අසලදී මුහුදට වැටේ. නිරිතදිග ප්‍රදේශයේ හයිටි මායිම අසල පිහිටි සැතපුම් 23ක් දිග සැතපුම් 11ක් පළල එන්රික්විලෝහි ලුණුවිල ප්‍රදේශ සලකුණක් ලෙස විශේෂ තැනක් ගනී. මෙරට භූමි ප්‍රදේශයන්හි ඇති පස් වර්ග වෙනස්කම්වලින් යුක්තය. පහත් බිම්වල පස අළුත ඇති වූ ඇලුවියළු මූලාරම්භයකින් යුක්තය. එහෙත් ගිනිකොණ දිග සැවානා භූමින්හි පස අළුතින් මුහුදු ආශ්‍රිතව ඇති වූ අවසාදිත තැන්පතුවලින් යුක්ත ය. නිරිත දිග ප්‍රදේශ භූමි අන්තයේත් පෙඩර්නේල්ස් ප්‍රදේශයේත් හැරුණු විට සාමාන්‍යයෙන් මෙරට පස සාරවත් ය.

දේශගුණය, වෘක්ෂලතාදිය හා සත්ව ජීවිතය

ඩොමීනිකන් ජනපදය ඝර්ම කලාපීය රටකි. භූමියේ උස් බව නිසාද වසර පුරා අත්ලාන්තික් සාගරයේද හමා එන ඊසාන දිග වෙළද සුළං (North East Trade Windo) නිසාද මෙහි ඇති උණුසුම් දේශගුණය බොහෝ ප්‍රදේශවල සමනය වෙයි. වැඩි වශයෙන් වර්ෂාපතනය ලැබෙන්නේ ඊසාන දිග ප්‍රදේශයටයි. මෙහි සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය අඟල් 100කි. එහෙත් වෙළද සුළං නොයෙක් කඳුවැටි උඩින් හමා ඒම එහි ඇති නිසා තෙත ගතිය ක්‍රමයෙන් හීන වී යන බැවින් හයිටි මායිම දිගේ ඇති බටහිර දිග ප්‍රදේශයට ලැබෙන වාර්ෂික වැසි ප්‍රමාණය අගල් 30 වඩා යන්තම් වැඩි ය. අගෝස්තු සිට ඔක්තෝම්බර් දක්වා මධ්‍ය අත්ලාන්තික් සාගරයේ ඇති වී හමා එන ඝර්ම කලාපීය කුණාටු සහ සුළිසුළංවලින් මෙම දිවයින නිතර ආන්තරාවට භාජනය වී ඇත. ප්‍රදේශයක් ප්‍රදේශයක් පාසා සුළු දේශගුණික වෙනස්කම් තිබුණ ද සාමාන්‍යයෙන් මෙහි දේශගුණය සෞම්‍යය ය. සිත් ගන්නාසුලු ය. මෙරට අවම උෂ්ණත්වය පැ.770 (සෙ.250)කි. උෂ්ණත්වය පැ.900 (සෙ.320) වඩා ඉක්මයන්නේ කලාතුරකිනි. මධ්‍යම කඳුකරයේ උසම කන්දේ වුව ද අවම උෂ්ණත්වය පැ.690 (සෙ.210)කි. ඉතාම සීතල දේශගුණයක් ඇත්තේ ම නැත. මෙහි වෘක්ෂලතාදිය සෑහෙන වෙනස්කම්වලින් යුක්ත ය. ෆයින් ගස්වලින් යුත් වනාන්තරවලින් කඳු ප්‍රදේශය ගහණ ය. පසුගිය ශතවර්ෂයේ දී වෙළෙඳ කටයුතු සඳහා කැපීම නිසා පහත් බෑවුම් ප්‍රදේශවල කැලෑ බොහොමයක් එළිපෙහෙළි කොට ඇත. වියළි ප්‍රදේශ වඩාත් නොඋස් පඳුරුවලින් ගහණ ය. ස්වභාවික වෘක්ෂලතාදිය වෙනුවට දැන් නොයෙක් වර්ගයේ වැවිලි හා බෝග වර්ග වවා ඇත. මේවා විශේෂයෙන් උස් මිටියාවත්හි සහ පහළ කඳුබෑවුම්හි දැකිය හැකි ය. ඇතැම් මුහුදුබඩ ප්‍රදේශ වගුරු බිම්වලින් යුක්ත ය. සුන්දර වෙරළ තීරයන්ගෙන් උතුරු මුහුදුබඩ අලංකාර වී ඇත. ආදි ස්පාඤ්ඤ ජනපදවාසීන් තණබිම්වල හා කාන්තාර ප්‍රදේශවල හරකුන්, එළුවන් ඇති කරනු ලැබුව ද, වනසත්ව ජීවිතය එතරම් පුළුල් නොවේ. කුරුලු වර්ග බහුල ය. ගංගා මෝයවල කිඹුලන් ඇත. ඉස්සන්, කකුළුවන් හා මාලු ඇත ද, වෙළෙඳාම සඳහා යොදාගෙන නැත.

පාරම්පරික ප්‍රදේශ

20 වන සියවස තෙක් ඩොමිනිකන් ජනපදයේ වැසියන්ට ජාතික එක්සත්කම පිළිබඳ හැඟීමක් ඇති වූයේ නම් ඒ මඳ වශයෙනි. අතීතයේ ද ඔවුහු පාරම්පරික ප්‍රදේශවලට හා ප්‍රදේශ නායකයින්ට වඩා පක්ෂපාතීකම් දැක්වූහ. මෙරට සිඩාඕ නම් ප්‍රදේශයෙහි වැඩි ජනගහන ඝනත්වයක් ඇත. මධ්‍යම කඳුකරයෙන් දකුණට වන්නට ඇති ඇලුවියල් සානුවල සහල් වවනු ලැබේ. අසුවා (Azua) හා ඒ අවට ප්‍රදේශවල පදිංචිකාරයෝ කැනේරි දූපත්වලින් මෙහි පැමිණ පදිංචි වූවෝ ය. සන්තෝ දොමිංගෝ අවට ප්‍රදේශ 'කැපිටල්' නැතහොත් අගනුවර වශයෙන් හැඳින්වේ. අගනුවර වාසීහු වෙනත් සංස්කෘතියක් හා චරිත ලක්ෂණ ඇති පිරිසක් ලෙස සළකනු ලැබේ. එහෙත් 1970 මුල් භාගයේ සිට ගම්බද ප්‍රදේශවල සිට නගරබද ප්‍රදේශවලට ඇදී එන විශාල ජනකාය නිසා මේ අදහස වෙනස් වෙමින් පවතී. නැගෙනහිරබද සැවානා ප්‍රදේශවල උක් වගාව විශාල වශයෙන් කරනු ලැබේ. මෙහි පදිංචි වී සිටින ජනයා ප්‍රධාන වශයෙන් හරක් බලාගැනීම සඳහා මෙහි පැමිණි යුරෝපීය මූලාරම්භයක් ඇති පරම්පරාවලින් පැවත එන අය වෙති. කෙසේ වෙතත් නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල කළු ජාතිකයෝ වාසය කරති. මොවුන්ගෙන් වැඩි දෙනෙක් හයිටිවලින් උක් වගාවන්හි ද වරායේ ද මෝල්වල ද තාවකාලික සේවය සඳහා මෙහි පැමිණි පිරිස් ය. ලෝකයේ නාගරිකත්වය කරා පියනගන රටවල් අතුරෙන් ඩොමිනිකන් ජනපදය ද මුල් තැන ගන්නා රටක් බව මෑතක සිට පෙනී යයි. අගනුවර වන සන්තෝ දොමින්ගෝ බෙහෙවින්ම නාගරික ය. එය කර්මාන්ත, සෙසු නිෂ්පාදන, අධ්‍යාපනය සහ රජයේ කටයුතුවල මූලස්ථානය වේ. දෙවෙනි විශාලම නගරය සන්තියාගෝ ය.

ජනතාව

අනෙක් භාෂාවන් ව්‍යවහාර වුවද ස්පාඤ්ඤ භාෂාව මෙහි ප්‍රධාන වශයෙන් භාවිතා කෙරේ. මේ හැර විවිධ යුරෝපීය භාෂාවන් මෙහි නිතර කථා කෙරේ. හයිටි වලින් මෙහි පැමිණ ඇති පිරිස් ප්‍රංශ බස කථා කරති. මෙහි ජාතීහු මෙස්ටිසෝ හෙවත් මිශ්‍ර වර්ගයාගෙන් පැවත එන්නාහ. සුළු පිරිසක් යුරෝපීයයන්ගෙන් පැවත එන බවද ඊටත් වඩා සුළු පිරිසක් කළු මිනිසුන්ගෙන් පැවත එන බවද කියති. සුදු මිනිසුන් ඉහළ පෙළේ රැකියාවන්හි යෙදී සිටින අතර කළු මිනිස්සු සුළු රැකියාවල නිරත වී සිටිති. මෙයට අමතරව ජර්මන් යුදෙව්වන්ගේ ජනපදයක් ඇත. තවද ජපන් ජාතික සුළු පිරිසක් කොන්ස්ටන්සා නිම්නයෙහි ගෙවිතැනේ යෙදී සිටිති. 19වැනි සියවසේදී විශාල පිරිසක් මධ්‍යධරණී මුහුදු ප්‍රදේශයේ සිට විශේෂයෙන් ලෙබනන්හි සිට මෙරටට සංක්‍රමණය වී ඇත. මෙම ජනතාව රටේ අනෙක් ජනයා සමඟ සංස්කෘතික හා සමාජීය වශයෙන් මිශ්‍රව සිටිති. ස්පාඤ්ඤ ජාතිකයන් මෙම දූපත අත්පත් කොට ගත් මුල් යුගයේ මෙහි මුල් පදිංචිකරුවන් වූ තායිනෝ (අරවක්) ඉන්දියානුවන් වධ හිංසාවන්ට භාජනය කොට විනාශ කොට දමා ඇතැයි විශ්වාස කරනු ලැබේ. එහෙත් ඩොමිනිකානු ජනතාව තුළ මුල් තායිනෝ ඉන්දියානුවන්ගේ ලේ මිශ්‍රව ඇතැයි සිතිය හැක. ජනතාවගෙන් 95%ක් පමණ රෝමානු කතෝලිකයෝ ය. කතෝලික සභාවේ බලපෑම ඔවුන්ගේ සංස්කෘතික ජීවිතය කෙරෙහි බොහෝ දුරට බලපා ඇත. ප්‍රොතෙස්තන්ත්‍ර ආගමිකයෝ 20%ක් පමණ වෙති. ඉතිරි 3% යුදෙව්වන් සහ සෙසු ඇදහිලි ඇති අය ය. 1969 දී උපත් ප්‍රමාණය දළ වශයෙන් 1000ට 39කි. එය 1960 දී 1000ට 49කි. මරණ ප්‍රමාණය මේ කාලසීමාව තුළ 1000-14 සිට 1000-7 දක්වා අඩු වී ඇත. මේ නිසා ජනගහනයේ ස්වාභාවික වැඩි වීමක් දැකිය හැක. ජනගහනය බෙහෙවින් තරුණයන්ගෙන් යුක්ත බව කැපීපෙනෙන ලක්ෂණයකි. 1970දී ජනගහනයෙන් 47%ක් අවුරුදු 15ට අඩු පිරිස් වූහ.

ජාතික ආර්ථිකය

ආර්ථිකය බොහෝදුරට පදනම් වී ඇත්තේ ගොවිතැන මත ය. විදේශ විනිමයෙන් 90%ක් පමණ රටට ලැබෙන්නේ ගොවිපලවල් හා තණබිම්වලිනි. ප්‍රධාන අපනයනයන් වන්නේ සීනි, දුම්කොළ, කොකෝවා, කෝපි, පලතුරු සහ තක්කාලි කල්කය යන ඒවායි. ආහාර ද්‍රව්‍ය හා සාදා නිම කරන ලද භාණ්ඩ ආනයනය කරනු ලැබේ. රටේ දළ ජාතික නිෂ්පාදිතය හා ඒකපුද්ගල ආදායම පහළ මට්ටමක තිබේ. දළ ජාතික නිෂ්පාදිතයෙන් 22% කෘෂිකාර්මික නිෂ්පාදිතයන්ගෙන් ද 18% වෙළෙඳාමෙන් ද 17% නිෂ්පාදිතයන්ගෙන් ද 12% රජයෙන් ද 31% අනෙක් අංශ වලින්ද ලැබේ. 1961 ටෘජිලෝගේ වැටීමත් 1965 අභ්‍යන්තර යුද්ධයත් නිසා ඇති වූ දේශපාලන ව්‍යාකූල තත්වයෙන් මෙරට ආර්ථිකය හිස ඔසවන්නට වූයේ 1970 ගණන්වල මුල් භාගයෙන් පසුව ය.

ඛණිජ සම්පත්

ඛනිජ ද්‍රව්‍ය කීපයක් ම මෙහි ඇති බව සොයාගෙන තිබුණ ද බොක්සයිට්, යපස්, ජිප්සම්, නිකල් හැරුණු විට අනෙක් ඛනිජ ද්‍රව්‍යයන් වාණිජ වශයෙන් දියුණුකොට නැත. ලාගෝ එන්රික්විලෝ නම් විල අසබඩ ප්‍රදේශය ලුණු තැන්පතුවලින් පොහොසත් ය. එය වෙළෙඳාමට සුදුසු ප්‍රමාණයන්ගෙන් නිෂ්පාදනය කරනු ලැබේ. මුහුදු වතුර වාෂ්ප කර හරිනු ලැබීමෙන් ලුණු නිපදවීම මොන්ටික්‍රිස්ටිහි සුළු ප්‍රමාණයකට කරනු ලැබේ. දියුණුකොට ආර්ථික වාසි ලබාගත හැකි අනෙක් ඛණිජ ද්‍රව්‍යයන් නම් සල්ෆර්, ගල් අඟුරු, මොලිබ්ඩෙනම්, කොබෝල්ට්, ටින්, තෙල් සහ තුත්තනාගම් ය.

උද්භිද සම්පත්

ප්‍රයෝජනයට නොගෙන ඇති උද්භිද සම්පත් විරල ය. එහෙත් නියම අන්දමින් පාලනය කළ හොත් ගොවිබිම්, කැළෑ හා තණබිම්වලින් මෙයට වඩා වැඩි නිෂ්පාදනයක් කළ හැකි ය. අසබඩ මුහුදේ විකිණිය හැකි මසුන් සාපේක්ෂ වශයෙන් හිඟ බැවින් ධීවර කර්මාන්තය විශාල වශයෙන් සීමා වී ඇත. 1970 මුල භාගයේ සිට දකුණු මුහුදු බොක්කෙහි විශාල මසුන් ඇල්ලීමෙන් ද සංචාරක කර්මාන්තයේ ද ප්‍රයෝජන ගැනීමට කටයුතු කරනු ලැබේ.

ජලවිදුලි සම්පත්

දැනට වගා කොට ඇති බිම්වලින් විපුල ප්‍රයෝජන ලබාගැනීමටත් නව ප්‍රදේශ ගොවිතැන් සඳහා යොදා ගැනීමටත් වාරිමාර්ග ක්‍රමය මහත් සේ දියුණුවට පත්කළ යුතුව ඇත. 1970 ගණන්වලින් පසු ජලවිදුලි වේලි දෙකක් ඉදිකොට තිබේ. තවේරා හී වේල්ල (Presa De Tavera) ජලවිදුලි බලය සපයනවා පමණක් නොව සිපාඕ ප්‍රදේශයේ වාරිමාර්ග සඳහා අවශ්‍ය ජලයද සම්පාදනය කරයි. රියෝ නිසාඕ හී වොල්ඩේෂියා වේල්ල නිරිතදිග වියළි ප්‍රදේශයට ජලපහසුකම් ලබා දෙන අතර සන්තෝ දොමිංගෝ හා ඒ අවට ප්‍රදේශවලට විදුලිබලය සපයයි.

ආර්ථිකයේ පාලනය පොදු හා පෞද්ගලික අංශ

1930 සිට 1961 දක්වා පැවති ටෲජිලෝ පාලන සමය තුළ කෘෂිකර්මය හා කර්මාන්ත පාලනය කළේ ටෲජිලෝ පවුල විසිනි. 1961 සිට ටෲජිලෝ ව්‍යාපාර රජයේ පාලනය යටතට පැවරී ඇත. ඒවායේ පාලනය සඳහා සංස්ථා දෙකක් ඇත. පළමුවැන්න 1960දී ඇරඹූ කර්මාන්ත සංවර්ධන සංස්ථාවයි. එමගින් සීනි කම්හල් හැරුණ විට ටෲජිලෝ කර්මාන්ත ව්‍යාපාර සියල්ල පාලනය කෙරේ. 1966 දී මෙම සංස්ථාව වෙනුවට ඩොමීනිකානු රාජ්‍යය ව්‍යාපාර සංස්ථාව ඇති විණි. රාජ්‍යය සීනි මණ්ඩල රටේ සීනි කම්හල් පාලනය කරයි. 1965 සිට ඇමරිකා එක්සත් ජනපදය මෙහි කාර්මික දියුණුව වේගවත් කිරීමට ආදාර ණය මුදල් දී තිබේ. ආනයනය කරන ඇතැම් භාණ්ඩ වෙනුවට රෙදිපිළි සපත්තු, කමීස, හිස්වැසුම් රටතුළ ම නිෂ්පාදනය කිරීම අරඹා ඇත. මෙහි ඇති බොහෝ කර්මාන්ත කුඩා ය. මේවා අතර ගෘහභාණ්ඩ, සබන්, ඉටිපන්දම්, කඹ, ආහාර හා බීම වර්ග පිළියෙළ කිරීම (Processing) උළු හා කොන්ක්‍රීට් බ්ලොක් නිෂ්පාදනය වේ. බැංකු ක්‍රමය දියුණු ය. රක්ෂණ සමාගම් බොහෝමයක් විදේශිකයන් සතු ය. 1970 ගණන්වල මුල භාගයේ දී රජයේ ආදායමෙන් 40% පමණ ආනායන බදුවලින් ලැබී ඇත. විකුණුම් බදු, රථවාහන බලපත්‍ර බදු, පාර බදුවලින් රජයට ආදායම ලැබේ. 1961න් පසු කම්කරු ව්‍යාපාරය ශීඝ්‍රයෙන් වර්ධනය වන්නට විය. ඇමෙරිකානු හා ඩොමීනිකානු වෙළෙඳ මණ්ඩලය, හරක් ඇතිකරන්නන්ගේ සංගමය, සීනි නිෂ්පාදකයන්ගේ සංගමය, තක්කාලි වවන්නන්ගේ සංගමය වැනි සේව්‍ය සංගම් කීපයක් වේ. මෙහි සේවකයන්ට ගෙවන වැටුප් සුළු ය. සීනි වගාවන්හි නුපුහුණු කම්කරුවන්ට දිනකට සත 90 පමණ ගෙවනු ලැබේ. උපාධිධාරි කාර්යාල නිලධාරීහු සාමාන්‍යයෙන් මසකට ඇමෙරිකානු ඩොලර් 600 සිට 700 මුදලක් උපයති. ජීවන වියදම සාමාන්‍යයෙන් අධික ය.

ආර්ථික හා සමාජ බෙදීම්

බුද්ධිය හා ආර්ථික මට්ටම අතින් සමාජයේ ඉහළ පන්තියේ සිටින සුළු පිරිසක් වේ. ඔවුන්ගේ ප්‍රමාණය 5%කි. මධ්‍යම ප්‍රමාණයේ ආදායම් ලබන්නන්ගේ පන්තියක් වර්තමානයේ පෙනෙන්නට තිබේ. ජනගහනයෙන් වැඩිම කොටස පහළ මට්ටමේ ආදායම් ලබන ජනයාගෙන් සමන්විත ය. ඩොමීනිකානු ජනරජයේ සමාජ තත්වය සෙසු නොදියුණු ඇමරිකානු ජාතිකයන්ගේ සමාජ තත්වයට හුරුය. සුළු ගොවියෝ පාරිභෝගික භෝග (Subsistence Crop) වවති. ඊට අමතරව අත්කම් විකිණීම ආදිය කරනු ලැබේ. ඔවුන්ගේ ගෘහ කර්මාන්ත අතර වට්ටි සෑදීම, වළං කර්මාන්තය, පිදුරු තොප්පි විවීම, කෑම වර්ග සෑදීම, පැද්දෙන පුටු තැනීම ආදිය වේ.

සංස්කෘතික ජීවිතය හා ආයතන

ඩොමීනිකානු වශයෙන් හැඳින්විය හැකි සංස්කෘතික දායාදයන් හිඟ ය. ස්පාඤ්ඤ, අප්‍රිකානු හා මැදපෙරදිග සංගීතයෙහි ආභාෂය ඔවුන්ගේ සංගීතයෙහි දැකිය හැක. ගිටාරය මෙහි ජනප්‍රිය ම සංගීත භාණ්ඩයයි. බටනලාව ගම්බද ප්‍රදේශවල ජනප්‍රිය ය. ජාතික ඇඳුම යනුවෙන් දෙයක් නැත. බේස්බෝල් ක්‍රීඩාව මෙහි ජනප්‍රිය ම ක්‍රීඩාවයි. ගම්බද පළාත්වල කුකුළන් කෙටවීම පැරණි හා ජනප්‍රිය ක්‍රීඩාවකි. සියවසකට පමණ ආසන්න කාලයක් පැවති ජනප්‍රිය සාහිත්‍ය සංගම් කිහිපයකි. 1969 දී දිනපතා පුවත්පත් හයක් ප්‍රකාශයට පත්විය. 1972 දී තවත් දිනපතා පුවත්පත් කීපයක් මුද්‍රණය කිරීම අරඹන ලදී. මේවායින් බොහෝමයක් සන්තෝ දොමින්ගෝහි ප්‍රකාශනය වෙයි. ගුවන් විදුලිය තරම්ම නොවූවත් රූපවාහිනිය ද මෙහි සංස්කෘතික ජීවිතය කෙරෙහි බොහෝදුරට බලපා ඇත.

ගමනාගමනය

සන්තෝ දොමින්ගෝ ගමනාගමන කටයුතුවල මූලස්ථානය වේ. සාමාන්‍යයෙන් මාවත් ක්‍රමය යහපත් ය. එහෙත් මධ්‍යම කඳුවැටි හරහා යැවෙන මාවත් ප්‍රමාණවත් නොවේ. සන්තෝ දොමින්ගෝහි සිට ප්‍රධාන මාවත් තුනක් රටේ විවිධ ප්‍රදේශ කරා යැවෙයි. මෙම මාවත්වලින් අතුරු මාර්ග බෙදී යයි. බස් විරල ය. නගරය තුළත්, නගරයෙන් පිටතත් ගමනාගමනය සඳහා සීඝ්‍රයෙන් දිවෙන වැඩි වියදම් නැති කුලී රථ සේවයක් ඇත. බොහෝ භාණ්ඩ වෙළෙඳපළවල් කරා ගෙන යැවෙන්නේ ලොරිවලිනි. ලා වාගා (La Vaga)හි සිට සිබාඕහි නැගෙනහිර ප්‍රදේශය පසුකොට සැන්ෂේ වරාය දක්වා දිවෙන දුම්රිය මාර්ගයකි. මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය කෙරුණු මේ දුම්රිය ප්‍රවාහන සේවය සැන්ෂේ වෙළෙඳ වරායක් ලෙස පිරිහීමට පත් වූ පසු අත්හිටුවා ඇත. සන්තෝ දොමින්ගෝ සිට සැතපුම් 15ක් නැගෙනහිරින් මෙහි එක ම ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඇත. කුඩා ගුවන් යානයන් සඳහා තවත් ගුවන් තොටුපළක් සන්තියාගෝහි ඇත. රටේ අභ්‍යන්තර ගමන් සඳහා ගුවන් බිම් 15ක් පමණ විවිධ ප්‍රදේශයන්හි ඇත. භාණ්ඩ වැඩි වශයෙන් අපනයනය කෙරෙන්නේත් ආනයනය කෙරෙන්නේත් මුහුදු මාර්ගයෙනි. මුළු කැරිබියානු ප්‍රදේශයේ ම ඇති විශාල ම ස්වභාවික හා අගනා වරාය බහියා ද සමනා (Bahia De Samana) වෙයි. දකුණු දිග ප්‍රදේශයේ සීනි වගාව වර්ධනය වීමත් සමඟ සන්තෝ දොමිනගෝ සැන් පේඩ්රෝ ද මකෝරිස් හා ලා රොමානා වරායන් වැදගත්කමින් වැඩි වී ඇත. සාමාන්‍ය බඩුවලින් බොහෝමයක් සන්තෝ දොමින්ගේ වරායෙන් අපනයනය කරනු ලැබූව ද සීනි සාමාන්‍යයෙන් අපනයනය කරනු ලබන්නේ අනෙක් වරායන් දෙකෙනි. දුම්කොළ, කෝපි සහ කොකෝවා පියුටෝ ප්ලාටා වරායෙන් ද බොක්සයිට්, ජිප්සම් හා ලුණු බරාහෝනා වරායෙන් ද අපනයනය කරනු ලැබේ.

අධ්‍යාපනය

ගම්බද හා ඈත පළාත්වල අධ්‍යාපන පහසුකම් හීන ය. ප්‍රාථමික අධ්‍යාපනය සාමාන්‍යයයෙන් හය අවුරුද්දකට සීමා වී ඇත. අන්තර් මධ්‍යම පාඨශාලා අධ්‍යාපනය දෑවුරුද්දකි. ද්විතීය අධ්‍යාපනය සිව් වසරකි. ඉන්පසු ඩිප්ලෝමා සහතිකයක් දෙනු ලැබේ. ධනවත් ළමෝ ආගමික නිකායන් මඟින් පවත්වනු ලබන පුද්ගලික පාසල්වල ඉගෙනීම ලබති. කෘෂිකාර්මික හා කාර්මික පුහුණුව ලබාදෙන පාසල් තිබුණ ද එම පහසුකම්වලින් ප්‍රයෝජන ලැබිය හැක්කේ ජනගහනයෙන් සුළු පිරිසකට පමණි. මෙරටේ විශ්ව විද්‍යාල තුනකි. ඉන් දෙකක් සන්තෝ දොමින්ගෝහි ද එකක් සන්තියාගෝහි ද වේ. සන්තෝ දොමින්ගෝහි ඇති 'ද යුනිවර්සිඩැඩ් ඔටෝනොමෝ ද සන්තෝ දොමිංගෝ' එම විශ්ව විද්‍යාල තුනෙන් ම විශාල ම එක වන අතර එය ස්වාධීනව පාලනය වන්නකි. එය රජයේ හා ආගමික නිකායවල පාලනයෙන් නිදහස්ව කටයුතු කරයි. සන්තෝ දොමිංගෝහී ඇති අනෙක් විශ්වවිද්‍යාලයට කතෝලික සභාවේ හා වෙනත් පුද්ගලික ත්‍යාගශීලීන්ගේ අනුග්‍රහය ද රජයේ ආධාරය ද ලැබෙයි. සන්තියාගෝ විශ්වවිද්‍යාලය ද එසේ ම ය.

සෞඛ්‍යය

ගම්බදවත් නගරබදවත් දුප්පත් මිනිසුන් අතර සෞඛ්‍ය සේවාවන් සතුටුදායක නොවේ. මේ නිසා බෝවන රෝග පැතිරෙන අතර ළදරු මරණ සංඛ්‍යාව ද අධික ය. රෝහල් ඇත්තේත් පුහුණු වූ වෛද්‍ය සේවකයන් සිටින්නේත් විශාල නගරවල ය. ගම්බද ව දේශීය පිළියම් හා වෛද්‍ය ක්‍රම මාර්ගයෙන් සෞඛ්‍ය ආරක්ෂා කෙරේ. පුද්ගලික වෛධ්‍යවරුන් විසින් පවත්වා ගෙන යනු ලබන කුඩා චිකිත්සාගාර, මාතෘ නිවාස හා සාත්තු සේවා නිවාස ඇත.

නිවාස

නිවාස ප්‍රශ්නය මෙහි ඇති උග්‍ර ම ප්‍රශ්නයන්ගෙන් එකකි. 1962 සංඛ්‍යාලේඛනවලට අනුව, දැනට තිබෙන නිවාසවලින් 65%ත තත්වය සතුටුදායක නොවේ.

ආණ්ඩු ක්‍රමය

සෙනේට් මන්ත්‍රී මණ්ඩලයක් ද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයක් ද තිබේ. සෙනෙට් මණ්ඩලයට සෑම ප්‍රදේශයකින් ම හා සෑම දිස්ත්‍රික්කයකින් ම නියෝජිතයා බැගින් එවනු ලැබේ. ජන ප්‍රමාණය අනුව තෝරාගත් නියෝජිතයෝ නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ වෙති.

වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මානව අයිතිවාසිකම් තහවුරු කරන අතර රාජ්‍ය බලය බෙදිය යුතු අන්දම පෙන්වා දෙයි. වයස 18 වැඩි ස්ත්‍රී පුරුෂ සියලු දෙනාට ම ඡන්ද බලය ඇත. රාජ්‍ය නියෝජිත පදවිය අවුරුදු හතරක කාලයකට සීමා වේ. එහෙත් තවත් අවුරුදු හතරකට එය දීර්ඝ කළ හැක.

පළාත්පාලනය

ඩොමීනිකානු ජනපදය ප්‍රදේශ 26ක් ද එක් දිස්ත්‍රික්කයකට ද බෙදා ඇත. ජනාධිපති විසින් පත් කරනු ලැබූ ආණ්ඩුකාරවරු මධ්‍යම රජයේ පාලනය මේවායෙහි ක්‍රියාත්මක කරති. සෑම ප්‍රදේශයක ම ද්වි මණ්ඩල ජාතික සභාවට නියෝජිතයන් තෝරාපත් කොට යවයි. අභ්‍යන්තරික වශයෙන් සෑම ප්‍රදේශයක් ම නාගරික කොටස්වලට යළි බෙදා ඇත. මෙම නාගරික කොට්ඨාශ තමන්ගේ ම පාලන මණ්ඩල පත්කරගන්නා අතර ප්‍රදේශීය මට්ටමෙන් සෑහෙන භුක්ති විඳියි. එහෙත් මහජන මතය නියෝජනය වන නියම නියෝජිත රජයක් ඇතිවීමට සෑහෙන කලක් ගතවෙනු ඇත. ඩොමීනිකානු දේශපාලනයෙහි ඇමෙරිකා එක්සත් ජනපදය හා එහි හවුල්කරුවන් සෑහෙන වැදගත් සාධකයක් වෙයි. බොහෝ දෙනෙකුගේ විශ්වාසය වන්නේ ආර්ථික සෞභාග්‍යය ඇමෙරිකා එක්සත් ජනපදය හා සම්බන්ධ වීමෙන් ලබා ගත හැකි බවයි. අසල්වැසි කියුබාවේ සමාජවාදී ආණ්ඩු ක්‍රමයක් ඇතිවීමත් සමඟ ඩොමීනිකන් ජනපදයේ දේශපාලන කටයුතු ජාත්‍යන්තර වශයෙන් වැදගත්කමක් දරන්නට පටන්ගෙන ඇත.

අධිකරණය නීති ක්‍රමය නැපෝලියන්ගේ නීති පද්ධතිය පදනම් කොට සකස් වී ඇත. සෙනේට් මන්ත්‍රී මණ්ඩලය විසින් පත්කරන නඩුකාරයෝ රජයේ වෙනත් නිලතල නොදරති. ඉඩම් හා වාණිජ උසාවි හැරුනවිට අනෙක් උසාවි විසින් සිවිල් හා අපරාධ නඩු විභාග කරනු ලැබේ. ශ්‍රේෂ්ඨාධිකරණය විනිශ්චයකාරයන් නවදෙනකුගෙන් සමන්විත ය.

යුද හමුදාව

පාබල, නාවික හා ගුවන් හමුදා ඒ අංශ භාර නායකයන් යටතේ පවතියි. යුද හමුදවේ සහාය නොමැතිව කිසි ම රජයකට වැඩි කාලයක් බලයේ සිටින්නට නොහැකි බව පැහැදිලිව පෙනෙන කරුණකි.

(කර්තෘ: කේ.බී. සෝමරත්න)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=ඩොමිනිකන්_ජනරජය&oldid=4741" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි