දාවිත් ද සිල්වා

සිංහල විශ්වකෝෂය වෙතින්
14:24, 16 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

19 වැනි සියවසේ ක්‍රිස්තියානි ධර්‍ම ප්‍රචාරක කටයුතු නිසා ලංකාවේ බුදු සසුන මහත් පසුබෑමකට මුහුණ පා සිටියේ ය. විවිධ ස්ථානවල දී කළ දේශනා, පොත පත ආදිය මඟින් පමණක් නොව බොදු පැවිදි පිරිස් ගර්හාවට ලක් කිරීමෙන් පවා බොදු දහම අතහැර සිය ආගමට ලාංකිකයන් නැඹුරු කර ගැනීමට එකල මේ ධර්‍ම ප්‍රචාරකයෝ පසුබට නොවූහ. මේ තත්වය තේරුම් ගෙන එම අභියෝගයට මුහුණ දී, බුදු සසුනට නව ප්‍රබෝධයක් ලබා දුන්නේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් විසිනි. 1873 වසරේ දී පානදුරේ පැවැති පානදුරාවාදය මේ නව ප්‍රබෝධයේ සන්ධි ස්ථානයක් විය. මේ වාදයේ දී ක්‍රිස්තියානි සහ බෞද්ධ දෙපක්ෂය අතර ප්‍රසිද්ධ වාදයක් පැවැති අතර බෞද්ධ පක්ෂය මෙහෙය වූ ගුණානන්ද හිමියන්ගේ ප්‍රතිවිරුද්ධ පක්ෂයේ නායකත්වය ගෙන ක්‍රියා කළේ දාවිත් ද සිල්වා පූජක තැනයි.

1817 දී පානදුරේ ප්‍රදේශයේ දී ජන්ම ලාභය ලැබූ දාවිත් ද සිල්වා වික්‍රමතිලක තමා ඇදහූ වෙස්ලියානු ක්‍රිස්තියානි ධර්‍මයේ උන්නතිය වෙනුවෙන් පූජකවරයට ඇතුල්වූයේ බාල වියේ දී ම ය. ක්‍රිස්තියානි ධර්‍මය පමණක් නොව, අනාගත ධර්‍ම ප්‍රචාරක කටයුතුවල දී විවේචනයට භාජන කළ යුතු බුදු දහම ගැන ද ඔහු අධ්‍යයනය කළේ ය. ත්‍රිපිටකය හැදෑරීමට අවශ්‍ය පාලි බස පමණක් නොව සංස්කෘත සහ සිංහල භාෂා පිළිබඳ හොඳ දැනීමක් ලබා ගත්තේ ය. ඔහුගේ දේශනවල දී යොදා ගත්තේ ගැඹුරු, ව්‍යක්ත සිංහල බසයි.

මේ කාලය වන විට ගුණානන්ද හිමියන් ක්‍රිස්තියානි ධර්‍මයේ විවිධ ඉගැන්වීම් විවේචනය කරමින් දේශන පැවැත්වූ අතර දාවිත් ද සිල්වා පූජකතුමා පානදුරේ වෙස්ලියානු දේවස්ථානයේ දී මේවාට පිළිතුරු දෙමින් දේශන කළේ ය. පානදුරේ ගල්කන්දේ විහාරයේ දී දහම් දෙසූ ගුණානන්ද හිමි කුලශලාකුශල විපාක, පුනරුත්පත්තිය වැනි මූලික බොදු දෙසුම් ඉදිරිපත් කළ අතර, දාවිත් ද සිල්වා පූජකවරයා මෙයට විරුද්ධ දේශනාවන් පැවැත්වී ය. අවසානයේ දී ප්‍රසිද්ධ විවාදයට පැමිණෙන ලෙස ගුණාන්නද හිමියන් කළ අභියෝගය පිළිගත්තේ ද මොහු ය.

සිරිමාන්න නම් කතිසේරු තැනගේ සහාය ද ලැබ විවාදයේ දී සිය ගැඹුරු සිංහල බසින් දේශනයන් පැවැත්වුව ද අවසානයේ දී බෞද්ධ පක්ෂයට ජයග්‍රහණය ලැබිණ. මේ විවාදය 1873 වසරේ අගෝස්තු මස 26-28 අතර පැවතිණ.

මේ වාදය නිසා ක්‍රිස්තියානි ධර්‍ම ප්‍රචාරක කටයුතුවල පසුබෑමක් ඇති වුව ද දාවිත් ද සිල්වා පූජකතුමා සිය දේශන සහ අධ්‍යයනයන් නොකඩවා කරගෙන ගියේ ය. ඔහු සිය ජීවිතයේ පනස් හත් වැනි වියේ දී 1874 වසරේ දී මෙලොවින් සමු ගත්තේ ය.

ආශ්‍රිත ග්‍රන්ථ

පානදුරා වාදය - පී. අබේසුන්දර

මොහොට්ටිවත්තේ ගුණානන්ද චරිතය

(කර්තෘ: සුමනා ඇල්ලේපොල)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දාවිත්_ද_සිල්වා&oldid=5427" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි