දැදුරු ඔය

සිංහල විශ්වකෝෂය වෙතින්
12:16, 9 අප්‍රේල් 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවන ලද මුල් යුගයේ සිට...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

ලංකාවේ ආර්ය ජනාවාස පිහිටුවන ලද මුල් යුගයේ සිට ම ජනාවාස ව්‍යාප්තියට මූලික වූ එදා සිට අද දක්වාත් ලංකාවේ කෘෂි ආර්ථියකයට මහත් මෙහෙයක් කරන ගංගාවකි දැදුරු ඔය. මුල් කල ‘ජජ්ජර නදී’ යනුවෙන් ද නායක්කර් පාලන සමයේ ‘මායාවන් ආරු’ යන නමින් ද හඳුන්වන ලද මෙය ලංකාවේ තෙත් හා වියලි කලාප වෙන් කරන මායිම ද වේ. දඹදෙණි කුරුණෑගල හා ගම්පොල රාජධානි සමයේ මෙය මායා රටේ උතුරු මායිම සේ සැලකිණ.

මාතලේ ඇටිපොල කන්දේ සැවැන්දරා උල්පත ඕවිලිකන්දේ ඕවිලිකන්ද ඔය හා රම්බඩගල්ලේ මානාකැටිය ඇල්ලෙන් ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ කළුගමුව අසලින් ඇරඹෙන කොලමුණු ඔයෙන් ද වෑඋඩ අසලින් ඇරඹෙන කොස්පොත ඔයෙන් ද වෑ උඩ හා ගලගෙදර අතරින් ගලා බස්නා දික් ඔයෙන් ද කිඹුල්වානා ඔය, හක්වටුනා ඔය, මඟුරු ඔය, කොලමුණු ඔය, කෝන් ඔය, තලාගල්ල ඇල, කුඩා ඔය, මනුවන්ගම ඇල ආදී ප්‍රධාන ශාඛා සහ තවත් කුඩා අතු ගංගා රාශියකින් ද පෝෂණය වී මහනුවර, මාතලේ කුරුණෑගල දිස්ත්‍රික්ක හරහා ගලා විත් පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත අසලින් මුහුදට වැටෙන සැතපුම් 86 (කිලෝ මීටර් 138.37) දික් වූ ගංගාවකි.

දැදුරු ඔයටත්, එහි පෝෂක ගංගා වැඩි හරියකටත් ප්‍රධාන වශයෙන් වැසි ලැබෙන්නේ ඊසාන දිග මෝසමිනි. බොහෝ වර්ෂවල නියං සමයේ මෙහි ප්‍රධාන ගංගාවේ සේ ම ශාඛාවන්හි ද දිය සිඳී යන්නට ආසන්න වන්නේ සිහින් දිය දහරකට සීමා වූ වැලිතලා බවට පත්වෙයි. දීර්ඝ නියං කාලයක දී අතු ගංගා වියලී යයි. එහෙත් මහ වැසි ලැබෙත් ම මේවා දෙගොඩතලා යන අතර පහත් බිම් ප්‍රදේශවල මහා ගංවතුර තත්ත්වයක් ඇති වේ. ගං වතුර පවතින්නේ දින කීපයක් පමණි. දැදුරු ඔය දෙපස ප්‍රධාන වශයෙන් ඇත්තේ තැනිතලා බිම් නිසා දෙගොඩතලා යන මහ වතුරෙන් දැදුරු ඔයේ මාර්ගය කීප වරක් ම වෙනස් වී තිබේ.

සත් කෝරළය මැදින් ගලා බස්නා එක ම ගඟ වන මෙයින් සංවර්ධනය වී ජනාවාස ඇති වීම ලංකා ඉතිහාසයේ මුල් යුගයේ පටන් සිදුවන්නට ඇතැයි සැලකිය හැකි ය. අනුරාධපුර යුගයටත් පෙර මෙරට රජ කළ පඬුවස්දෙව් බුදු සමය මෙරටට ගෙන ආ සමයේ රාජ්‍යය විචාල දේවානම්පියතිස්ස ආදී රජුන්ට සම්බන්ධ සෙල්ලිපි දැදුරු ඔය නිම්නයෙන් හමු වීම මෙයට සාක්ෂි දරයි. වාරි මාර්‍ග කරණයෙහි විශාල උනන්දුවක් දැක් වූ අනුරාධපුර යුගයට අයත් මහසෙන් (ක්‍රි.ව.276-303) ධාතුසේන (ක්‍රි.ව.459-477) රජවරුන් සේ ම පොළොන්නරු යුගයේ රජ කළ ශ්‍රේෂ්ඨතම රජු සේ සැලකෙන මහා පරාක්‍රමබාහු (ක්‍රි.ව.1153-1186) රජු ද දැදුරු ඔයේ ජලයෙන් නිසි ඵල ලබන්නට වාරි මාර්‍ග ගණනාවක් ද ඉදි කළහ.

ආර්ය ශිෂ්ඨාචාරය මෙරට පැතිරවීමේ ආරම්භකයා සේ සැලකෙන විජය රජුගේ සොහොන යයි කියන ස්ථානය පිහිටා ඇත්තේ දැදුරු ඔය නිම්නයේ ය. ක්‍රිස්තු පූර්ව විසූ පඬුවස් දෙව් රජු දියණි චිත්‍රාවන් සිර කොට තැබුණු එක් ටැම් ගෙය පිහිටි පඬුවස් නුවර ද දැදුරු ඔය නිම්නයේ වෙයි. පසු කලක ලංකා අගනුවර නිරිත දිගට මාරු කළ යුගයේ රාජධානියක් ව පැවැති යාපහුව ද දැදුරු ඔය නිම්නයේ වෙයි. මුල් යුගයේ සිට ම මේ ප්‍රදේශ දියුණු ජනාවාස වී පැවැති බවත් ජනාවාස පිහිටුවීමට බල පෑ ප්‍රධාන සාධකය පස සරු කරන, කෘෂි කර්‍ම කටයුතුවලට ජලය සපයන මේ ගංඟාව ම බවත් කිව යුතු ය. දැදුරු ඔයත් එහි ශාඛාවනුත් හරස් කොට වේලි ඉදි කොට එම ජලය ඇල මාර්ග මඟින් වැව්වලට හරවා අවට ප්‍රදේශ කෘෂිකර්මාන්තයට සුදුසු ප්‍රදේශ බවට පත්කිරීමට පෙර සිට ම මහ වැව් බැඳි රජ දරුවෝ උත්සුක වූහ. මෙයින් ප්‍රථම තැනට පත් වන්නේ මහසෙන් රජුයි. එතුමා වැව් ගණනාවක් ම මේ ප්‍රදේශයේ ඉදි කළ බව පැවසෙතත් එයින් බොහොමයක් අද හඳුනා ගැනීමට අපහසු ය. එහෙත් ලේනව කඳුවැටිය අතරින් ගලා බසින කිඹුල්වාන ඔය හරස් කර බැඳි කිඹුල්වාන වැවත් කොලමිච්චා ඇල හරස් කොට මාගල්ලා වැවත් නිරාමුල්ල වැව, පල්ලෙකැලේ වැව, මාල වැව, ගිරිවානා වැව, හුලුගල්ල වැව ආදී වැව් ගණනාවකුත් මහසෙන් රජතුමා විසින් ඉදි කරන ලදැයි පැවසේ.

මහ වැව් බැඳි ධාතුසේන රජු ද මේ නදිය රටේ ස්වයං පෝෂණය සඳහා ඉවහල් කර ගත්තේ ය. සංගමු විහාරය අසල මැද්දේකැටිය වැවත් මා එලිය වැවත් එතුමා දැදුරු ඔය ආශ්‍රිත ව කරවන ලද වාරි කර්මාන්තයි. අනුරාධුපර යුගයේ දී ඉදි කරවන ලදැයි විශ්වාස කෙරෙතත් කවරකු විසින් සාදවන ලදදැයි අවිනිශ්චිත ගිරිබාව වැව, තලගල වැව, මැල වැව, බතලගොඩ වැව, මුන්නේශ්වරම වැව දැදුරු ඔය නිම්නයට ම අයත් ය.

අනුරාධපුර යුගය අවසන් වූ සමයේ පැවැති අරාජක කාලයේ දැදුරු ඔය නිම්නයේ සොලී ජනපද ගණනාවක් තිබිණ. පැවැත්ම සඳහා අවශ්‍ය ආහාර සහ ජලය මේ ප්‍රදේශයෙන් සපයා ගැනීමේ පහසුව මෙයට හේතුව වන්නට ඇත.

පොළොන්නරු යුගයේ දී මෙහි වටිනාකම පෙර යුගයටත් වඩා කැපී පෙනිණ. යුගයේ ආරම්භක විජයබාහු I රජතුමා දැදුරු ඔයේ වම් ඉවුර සංවර්ධනයට පාදක වූ පඬා වැව ප්‍රතිසංස්කරණය කරවී ය. මහා පරාක්‍රමබාහු රජුගේ ප්‍රථම ප්‍රධාන කාර්යය වූයේ දැදුරු ඔයේ ජලය වඩ වඩාත් කෘෂිකර්මය සඳහා යෙදවීමට කටයුතු කිරීමයි. දැදුරු ඔය ජලය හැරවීමේ දැවැන්ත සංවර්ධන කාර්යය සඳහා එහි ස්ථාන කිහිපයක දී ගඟ හරස් කොට වේලි බැන්දවී ය. ඔයේ පහතින් ම ඉදි කරන ලද්දේ කොටඨබද්ද වේල්ලයි. සිය ඉදිකිරීම් දැනුමැත්තන් මේ කාර්යයේ අනාගත අසාර්ථකත්වය පෙන්වා දුන් නමුත් රජු මෙය ඉදි කරවීමට උත්සුක වුවත් සිය ජීවිත කාලයේ දී ම එය ප්‍රතිසංස්කරණය කරවීමට රජුට සිදු විය. මේ වේල්ල බැඳ, එයින් ජලය හරවා යැවීම සඳහා ගැඹුරු, පුළුල් ඇල මාර්ගයක් මුහුද දක්වා ම තනවා ඒ ප්‍රදේශය ම වගාව යටතට ගෙන ආවේ ය. ඇල මාර්ගයේ නමින් ඒ ප්‍රදේශය ද කොට්ඨබද්ද නම් විය. මේ ප්‍රදේශය අද රතඹල ඔයත් දැදුරු ඔයත් අතර ප්‍රදේශය වන අතර එම ඇල මාර්ගය අද පවත්නා සෙංගල් ඔයයි.

දැදුරු ඔයේ ඊට ඉහළින් එබවලාපිටිය නම් ස්ථානයේ දෙවැනි වේල්ලක් ඉදි කොට, රිදී බැඳි ඇල දිගේ නිකවැරටිය දක්වා එම ජලය හරවා යවන ලදී. හක්වටුනා ඔය හා කිඹුල්වානා ඔය හමුවන තැන දෙමෝදර තැන් වැනි වේල්ල බැඳ එම ජලය ඇල මාර්ගයක් ඔස්සේ නැවතත් දැදුරු ඔයටම එක් වීමට සලස්වන ලදි. පරාක්‍රමබාහු රජුගේ ඊළඟ කාර්යය වූයේ තමාට පෙර විජයබා රජු විසින් ද අළුත්වැඩියා කරන ලද පඬා වැව අක්කර දහසකට අධික ප්‍රදේශයක් අයත් වන සේ විශාල වැවක් කිරීමයි. දැදුරු ඔය නිම්නයේ පඬුවස් නුවර අසල පරාක්‍රමපුර නම් මධ්‍යස්ථානයේ කලක් විසූ ඔහු මේ විශාල කරවන ලද වැව පරාක්‍රම සමුද්‍රය'යි නම් කළේ ය. බෑන සමුද්‍රය'යි නම් කෙරුණේ ද මෙයයි.

මහා වංශයේ කියැවෙන පරිදි මේ රජතුමා දැදුරු ඔය ආශ්‍රිත ව තවත් ලොකු කුඩා වැව් රාශියක් ඉදි කරවී ය. හෙට්ටිපොල වැව, මලයවෙල්ලිය, ඌපොත්ත, කිරාමිලත්තාව, මලගනේ, කිඹුල්වාන, දිවුල්, තලගල, මාගල්ලා මා එලිය ආදි වැව් ඉන් සමහරකි. අතු ගංගාවක් වන කොලමුනු ඔයේ වේල්ලක් බැඳ, ඇල මාර්ගයක් ඔස්සේ කරවිට වැවට ජලය සපයන ලදි. මෙසේ එකල දැදුරු ඔයේ ජලයෙන් මුළු ප්‍රදේශය ම පෝෂණය වූ බව පෙනේ.

වීරබාහු I, නිශ්ශංක මල්ල යන රජවරුන්ගේ මාලිගයන් දැදුරු ඔය නිම්නයේ ඉදි කොට තිබිණ. අද විනාශ වී හඳුනා ගැනීමට නොහැකි වුවත් මේ ප්‍රදේශයේ පොල් වගාවන් අතර කැඩී බිඳී ගොඩ වී ගිය ලොකු කුඩා වැව් දහස් ගණනක් වේ.

ආශ්‍රිත ග්‍රන්ථ

පොළොන්නරු යුගය - තිසර ප්‍රකාශකයෝ දැදුරු ඔය බඩ විත්ති - එන්. ටී. කරුණාතිලක A CONCISE HISTORY OF CEYLON - C. W. NICHOLAS - S. PARANAVITHANA)

රූපය

දැදුරු ඔය හා ශාඛා, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සිතියමකිනි. පරිමාණය අඟලට සැතපුම් අටයි.

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දැදුරු_ඔය&oldid=5349" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි