දියවඩන නිලමේ

සිංහල විශ්වකෝෂය වෙතින්
09:19, 13 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('== දියවඩන නිලමේ == මහනුවර රජ සමයෙහි රාජකීය නිලධා...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

දියවඩන නිලමේ

මහනුවර රජ සමයෙහි රාජකීය නිලධාරීන් වශයෙන් පත් වූ දියවඩන නිලමේවරුන් තිදෙනකු ගැන සඳහන් වේ. මහ දියවඩන නිලමේ, පල්ලේ වාහල දියවඩන නිලමේ හා දළදා මාලිගාවේ දියවඩන නිලමේ යන තුන්දෙනා වෙති. දිව නිලමේ යනු එහි කෙටි නාමයක් සේ පෙනේ.

මහ දියවඩන නිලමේ රජුගේ උල්පැන් ගේ (බ.) භාර නිලධාරියා විය. දිය වැඩීමේ කාර්යය භාරවැ සිටි මොහු එකී කාර්යාංශයෙහි ප්‍රධානියා වූ හෙයින් එකල ප්‍රධානියා හඳුන්වනු ලැබූ නිලමේ යන නාමයෙන් හැඳින්වූ බව සිතිය හැකි ය. රජු නෑවීමත්, නෑවීමෙන් පසු රජුගේ තෙත පිසදමා හිස පීරා සැරසීමත් ඔහුගේ කාර්ය වීය. රජු නෑවීම සඳහා වතුර වත් කළ යුත්තේ දියවඩන නිලමේ විසිනි. එසේ වුව ද ඔහුගේ සහායක පිරිසට අයත් වූ ශට්ටම්බිලා (බ.) ජලය ගෙන ආවාහු පමණක් නොව දියවඩන නිලමේ මුලින් වතුර වත් කළාට පසු රජු නෑවීම ද ශට්ටම්බිලා විසින් ම කරන ලද බව සිතිය හැකි ය. රජුගේ පෞද්ගලික සේවයෙහි යෙදීමට වරම් ලැබුවේ ඉතා රාජ පාක්ෂික අයට පමණක් වූ හෙයින් දියවඩන නිලමේ තනතුරු ඉතා වැදගත් මෙන්ම උසස් එකක් වූවාට සැක නැත. නිතරම දියවඩන නිලමේ කෙනකු රජ මාළිගාවේ සේවයේ සිටිය යුතු හෙයින් වරකට මහ දියවඩන නිලමේලා දෙතුන් දෙනකු පත්කිරීම සාමාන්‍ය සිරිතක් වූ බව සමහරුන්ගේ මතය වේ. රජු නෑවීම දියවඩන නිලමේ සතු කාර්යයන් වූ අතර සළුපිළි පැළඳවීම සළුවඩන නිලමේ සතු කාර්යයක් වුව ද ස්නානයෙන් පසු රජුගේ හිස පීරීම, බෙහෙත් තෙල් ගැල්වීමේ පටන් සළුපිළි පැළඳවීම දක්වා වූ කාර්යයන් දියවඩන නිලමේ හෝ සළුවඩන නිලමේ විසින් විශේෂයක් නොමැතිව ඉටු කරන ලදි. සළුවඩන මණ්ඩපය උල්පැන් ගෙට යාබදව තිබීම ද මෙයට හේතුවක් සේ පිළිගත හැකි ය. මහ දියවඩන නිලමේ යටතේ සුළු නිලධාරීන් හා සේවක පිරිසක් ද විය. දියවඩන නිලමේ පත් කරනු ලැබුවේ රජු විසිනි. සහායක පිරිස පත් කරනු ලැබුවේ රජුගේ අනුමැතිය ඇතිව දියවඩන නිලමේ විසිනි. මෙසේ පත් කරනු ලැබූවන් අතර ශට්ටම්බිවරු දහ දෙනෙක් හා පණිවුඩකාරයෝ දහ දෙනෙක් වූහ. ශට්ටම්බිලා (බ.) උල්පැන් ගෙට සම්බන්ධ ව සිටි පවුලේ පන්සියයකින් පමණ යුත් ජනයාගේ උපනිලධාරීහු ය. ජලය ගෙන ඒම හා උල්පැන් ගෙය පිරිසිදු කිරීම ඔවුන් සතු කාර්යයන් විය. පණිවුඩ ගෙනයෑම පණිවුඩකාරයන්ගේ කාර්යය වීය.

පල්ලේ වාහල දියවඩන නිලමේ බිසෝවරුන්ගේ හා කුමාරවරුන්ගේ උල්පැන් ගේ කටයුතු භාරව සිටියේ ය. ඔවුන්ගෙන් කෙනකු නිතර එහි සිටිය යුතු වූ හෙයින් දියවඩන නිලමේවරු දෙතුන් දෙනෙක් වූහ.

දළදා මාලිගාවේ දියවඩන නිලමේ නම් වූයේ දළදා මාලිගාවේ පාලනය භාර වූ ගිහි ප්‍රධානියා වීය. මෙකී තනතුරුවල ආරම්භය ගැන කිසිදු තොරතුරක් දක්නට නැතත් මහනුවර යුගයෙන් පෙර ද දළදා මාළිගාවේ දියවඩන නිලමේ කෙනෙකු සිටි බව පෙනේ.

සිංහල නරේන්ද්‍රයන්ට දියවැඩීමේ කාර්යය කළ නිලධාරීන්ට දියවඩන රාළ නොහොත් දියවඩන නිලමේ යයි කියන ලදි. රජුගේ ආහාර මේවඩන තැනත් නානුමුර හෙවත් ස්නානය කරන තැනත් දියවඩන රාළා සිටි බව කියවේ. දළදා මන්දිරයේ දියවඩන නිලමේ වනාහි යට කී දියවඩන රාළලාට වඩා විශේෂත්වයක් ඇති නිලධාරියෙක් වෙයි.

(කර්තෘ: කේ.එන්. ජයතිලක: 1958)

(සංස්කරණය නොකළ)

දියවඩන නිලමේ

කෝට්ටේ රාජධානි පැවැති සමයෙහි කෝට්ටේ දළදා මාළිගයේ දියවැඩීමේ තේවා කරන ලද්දේ හිරිපිටිය රාළ නොහොත් දියවඩන නිලමේ විසිනි. කෝට්ටයට පරංගින්ගෙන් වියවුල් ආරම්භ වූ අවදියෙහි හිරිපිටියේ දියවඩන නිලමේට යමෙක් සිහිනෙන් පෙනී, “කෝට්ටේ කලාලේ ඇත ඇරලා දතමැදගන්” යන වචනය කීයේලු. කෝට්ටේ දළදා නිවස හැර දන්ත ධාතුව මැද රටට ගන්න යනු එහි ගුප්තාර්ථය'යි කියනු ලැබේ. පරංගි උවදුරෙන් දළදාව රැකගැනීම පිණිස හිරිපිටියේ දියවඩන නිලමේතුමා දළදා වහන්සේත් රැගෙන සීතා කෝරළයට පලා ගියේ ය. එහි මාළිගාතැන්න නම් ස්ථානයක රාත්‍රියක් තබා ගෙන සිට ඉක්බිති කුරුවිට කෝරළේ දෙල්ගමුවට ගෙන ගොස් ආරක්ෂා කෙළේ ය. මහනුවර ඕලන්ද වියවුලේ දී ද දියවඩන නිලමේ කෙනකු සමඟ සංඝයා වහන්සේ කෙනෙක් දළදාව මහනුවරින් උඩදුම්බරට ගෙන ගොස් ආරක්ෂා කෙළේ ය. ඊට පසු දළදා වහන්සේ හඟුරන්කෙත මැදපිටිය විහාරස්ථානයෙහි වැඩ සිටි බව ඉංග්‍රීසි හටන නම් රණ කාව්‍යයෙහි සඳහන් වේ. දළදා මන්දිරයෙහි දැනට පවත්නා පුද සිරිත් ද දළදා සිරිත නම් ග්‍රන්ථයෙහි ප්‍රකාශ වන ක්‍රමයෙන් ඇසුරු කොට කීර්ති ශ්‍රී රාජසිංහ රජු කාලයෙහි ආරම්භ විය. එදා පටන් දියවඩන නිලමේ පදවිය රන් සේ උසස් තනතුරක් විය. දළදා මාළිගයෙහි දිය වැඩීම යයි කියනුයේ දළදා සාමීන්ට පූජාවන් කරන විට පැන් වැඩීම ය. දැනට මේ කාර්යය කරනුයේ තේවමුරේ කරන භික්ෂූන් වහන්සේ විසිනි. දළදා මාලිගයේ රාළ කෙනෙක් ඊට සහභාගී වෙයි. රජතුමා මල් පහන් පිදීමට ගිය කළ රාජ හස්තයට පැන් වැඩීම කරන ලද්දේ දියවඩන නිලමේ විසිනැ'යි කියති. රජ මන්දිරයේ රජුට කරන හැම සේවයක් ම දළදා මන්දිරයේ දළදා වහන්සේට උසස් අන්දමින් කිරීම සඳහා නිලධාරීන් හා සේවකයන් සමූහයක් යොදා ඇත්තේ ය. මෙහි කෙරෙන පුද සිරිත් ආදියට ද ව්‍යවහාර කරනුයේ රාජකාරිය කියා ය. මේ රාජකාරි කාරයින්ට ඒ ඒ සේවය සඳහා වෙන වෙන ම නිලපංගු පවරා ඇත.

දළදා මාලිගාවෙහි නියුක්ත නිලදැරියන්ගේ ප්‍රධාන පාලකයා දියවඩන නිලමේ ය. තේවමුර නොහොත් රාජකාරි සේවකයන් පත් කිරීම, අස් කිරීමත් කරනු ලබන්නේ දියවඩන නිලමේ විසිනි. දළදා මාලිගාවෙහි සියලු ම අලුත්වැඩියාවන් හා ඇසළ පෙරහැර මංගල්‍යය ද දියවඩන නිලමේගේ සංවිධානයෙන් සිදු කෙරේ. දළදා මාලිගයේ මුත්තෙට්ටු කුඹුරුවලින් ලැබෙන ධාන්‍ය සම්භාරය හා අරමුදල් ද භාරකාරයා වනුයේත් දියවඩන නිලමේ ය. දළදා මන්දිරයට පැමිණෙන රාජකීය අමුත්තන් පිළිගැනීම ද දියවඩන නිලමේගේ පදවියට අයත් සිරිතකි. සෙංකඩගල නුවර සමයෙහි දළදා මන්දිරයෙහි දියවඩන නිළයට පත් කරනු ලැබුවෝ රාජ ප්‍රසාදය ලත් උසස් රදලවරු ය. ගොඩවෙල, ඇහැලේපොළ, කපුවත්ත, පිළිමතලව්වේ, රත්වත්ත, උනම්බුව, දෙහිගම, දුල්ලෑව, පානබොක්කේ, ගිරාගම, ටී.බී. නවරත්න, පී.බී. නුගවෙල යන මැතිවරු නුදුරු අතීතයෙහි දියවඩන නිලය දැරුවෝ ය. වත්මන් දියවඩන නිළමේ පී.බී. නුගවෙල මහතායි. විහාර දේවාල ආඥා පනත අනුව පත්වන දියවඩන නිලමේ කෙනෙකුගේ තනතුරු කාලය දස අවුරුද්දකි. දස වස ඉකුත් වූ පසු යළිත් ඡන්ද බලයෙන් පත් කරනු ලැබේ. මෙපරිද්දෙන් දියවඩන පදවිය පත් කරන්නේ මහා භාරකාර තැන විසින් ය. රටේ මහතුන් නොහොත් ආදායම් පාලක නිලධාරීහු, රජමහ විහාරාධිපතිවරු සහ භාරකාරවරු, අස්ගිරි මල්වතු මහවිහාර දෙකේ මහානායක හිමිවරුන් ඒ ඡන්ද බලය ඇත්තෝ ය.

(කර්තෘ: පී.ඇම්.පී. අබයසිංහ)

(සංස්කරණය නොකළ)

දියවඩන නිළමේ

පුරාණ සිංහල රාජධානි පැවැති කල රජතුමාට අත කට දොවනු පිණිස ජලය (දිය) පිළිගැන්වීම සඳහා පත්කරනු ලැබූ නිලධාරියා දියවඩන නිලමේ ය. රාජකීය පවුලේ පරිහරණය සඳහා පිරිසිදු වූත් ශුද්ධ නිදොස් ජලය සැපයීම ඔහුගේ අනිවාර්ය රාජකාරිය විය. විශේෂ යුතුකම විය. 'වේල්ල' නමින් හඳුන්වනු ලැබූ රාජකීය භෝජනාගාරයටත්, එලෙසම රාජකීය නාන තටාක ආදී ස්නානාගාරයන්ටත් හෙතෙම ජල ජල සම්පාදනය කළ යුතු විය. මේ හල විට රජුගේ අනෙකුත් ආවතේව කිරීමට මෙවැනි ‘වඩන’ නමින් හැඳින්වූ වඩන්නෝ සිටියහ.

දියවඩන නිළමේ - දළදා මාලිගාව

පෙර රජුන් කල දළදා මාලිගය ඉතා විශාලව ගොඩනැගී තිබීමත්, ඒ ඒ අවශ්‍යතාවයන් ඉටු කිරීම සඳහා නිලධාරීන් විශාල ගණනක් ඒ නිසා ම යොදා ගැනීමට සිදුවීමත් නිසා දළදා මාලිගයේ සේවය කළ සේවා සංඛ්‍යාව විශාල විය. එම සේවකයින් ද බාහිර හා අභ්‍යන්තරික වශයෙන් මෙනිසා ම කොටස් වෙන් වී තිබිණ. දියවඩන නිළමේ මේ සේවක කොටස් අතුරින් අභ්‍යන්තර සේවකයින් කොටසට අයත් වන සේවකයෙකි.

දළදා මාලිගාවේ ප්‍රධාන ගිහි නිලධාරියා වශයෙන් සේවය කරනු ලබන්නේ දියවඩන නිළමේ ය. අතීතයේ දී දියවඩන නිලධාරීන්ගේ රාජකාරිය කෙසේ වතු ද වර්තමානයේ දියවඩන නිලමේ අතින් දළදාවට දියවැඩීමක් සිදු නොවන්නේ ය. දියවඩන නිලමේ පිළිබඳ ඉතිහාසය මෙරටට පෘතුගීසීන් ආක්‍රමණයට පෙර තිබූ තත්ත්වය පිළිබඳ කරුණු සොයා ගැනීම අපහසුව ඇත. ඊට හේතු වන්නේ ඒ පිළිබඳව ලබා ගත හැකි තොරතුරුවල අල්පභාවය නිසා ය. පෘතුගීසීන් ලංකාවට පැමිණෙන යුගයේ දී එනම් කෝට්ටේ යුගයේ දී දළදාව භාරව දියවඩන නිලමේ තනතුර දරමින් සිට ඇත්තේ හිරිපිටියේ රාළ නමැති දියවඩන නිලමේතුමෙකි. මේ හිරිපිටිය දියවඩන නිලමේ තුමා දළදා වහන්සේට පරංගීන්ගෙන් හානියක් සිදු වේ යැයි යන බියෙන් දළදා වහන්සේ කුරුවිට දෙල්ගමුවේ විහාරයට ගෙන ගොස් කුරක්කන් ගලක් යට සඟවා තැබූ බවට ඇතැම් ජනප්‍රවාදයක් ද ඇත්තේ ය.

දළදා වහන්සේට පුද සත්කාර කිරීම පිළිබඳව නීති රීති ආදිය දළදා සිරිතේ දක්නට ලැබෙන්නේ ය. තවද දළදා මාලිගයේ දැන් පවත්නා වූ නීති රීති ක්‍රියාත්මක කිරීම ආරම්භ වූයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ සමයේ දී ය. එම නීති රීති ක්‍රියාත්මක කිරීමේ මූලික කටයුතු භාරව ඇත්තේ ද දියවඩන නිලමේට ය.

දළදා ප්‍රදර්ශනය නියම කරන දිනය නියම කිරීම, දළදා මාලිගයෙහි සහ එම සිද්ධස්ථානයට අයත් වන ඉඩකඩම් හා දේපළ පිළිබඳ ආදායම පාලනය කිරීම, දළදා මාලිගයේ ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කරවීම, මාලිගයට අයත් සුළු සේවකයන් පත් කිරීම හා ඉවත් කිරීම, ඇසල සමයේ හෝ වෙනත් කාලයක පවත්වන්නට යෙදෙන දළදා පෙරහැර සංවිධානය කිරීම, සේවකයන් අතර ඇති වන ආරවුල් පිළිබඳ නඩු විචාරීම, දළදා වහන්සේට පූජා උපහාර පැවැත්වීමට හා වන්දනාමාන කිරීම ආදී කටයුතු සඳහා රජතුමා දළදා මාලිගයට පැමිණි විට එතුමාගේ අතට පැන් වැඩීම යනාදී කාර්යයන් ප්‍රධාන වශයෙන් ම දියවඩන නිලමේතුමෙකු විසින් කළ යුතු රාජකාරී වන්නේ ය.

අතීතයේ දී දියවඩන නිලමේ තනතුර ගොඩවෙල, ඇහැලේපොල, ඇල්ලේපොල, කපුවත්ත, පිළිමතලව්ව, රත්වත්තේ, උනම්බුව, දෙනිගම, දුල්ලෑව, නුගවෙල, ගිරාගම, පානබොක්කෙ, උඩුරාවන ආදී මහත්වරුන් හෙබවූ අතර දැනට ආචාර්ය නිශ්ශංක විජේරත්න අධිකරණ ඇමතිතුමා විසින් හොබවනු ලබන්නේ ය.

දියවඩන නිලමේතුමා පත් කිරීම පිළිබඳව හා අස් කිරීම පිළිබඳව විස්තරත් පත් කිරීම පිළිබඳවත් ලංකාණ්ඩු ව්‍යවස්ථාවේ ආඥා පනතකින් සඳහන් වන්නේ ය. එය විහාර දේවාලගම් පනත වන්නේ ය. මේ පනතට පෙර ලංකාවේ රජුන් ආගමික කටයුතුවල ද මූලිකව කටයුතු කළ හෙයින් ආගමික අංශයේ පත් කිරීම් හා ඉවත් කිරීම් ආදිය කරනු ලැබුවේ රජතුමා විසිනි. එනිසා රාජසිංහ රජතුමා කන්ද උඩරට රාජ්‍යයෙන් නෙරපා හැරීමෙන් පසුව බෞද්ධ රජුන් අතින් සිදු වූ සේවාවන් අනුව ඒ යුතුකම් ඉටු කරනු වස් බ්‍රිතාන්‍ය රජය ද ආගමික හා අනෙකුත් නිලධාරීන් පත් කිරීමේ යෙදිණ. ඒ අනුව 1953 දක්වා බ්‍රිතාන්‍ය නියෝජිත ලංකා ආණ්ඩුකාරතුමා විසින් දියවඩන නිලමේ මාලිගාවේ කටයුතු සඳහා පත් කළේ ය. පසුව එය ලංකාවේ බෞද්ධ ආගමික අංශයන් වෙත ඉටු කිරීම සඳහා දියවඩන නිලමේ පත් කිරීම සඳහා ඡන්ද විමසීමේ කටයුතු රටේ මහත්වරු බස්නායක නිලමේවරු මඟින් කෙරිණ. දියවඩන නිලමේ සහ බස්නායක නිලමේවරුන් පත් කිරීම පිළිබඳව 1889 අංක 3 ආඥා පනතකින් නැවත සකස් කෙරිණ. එය 1895 අංක 17 දරණ ආඥාවෙන් ද පසුව 1901 දී ද වෙනස් කොට 1905 අංක 8 දරණ ආඥාවක් ද පැනවී ය. ඒවා ද 1912, 1919 දී ද විහාර දේවාලගම් පනතට නොයෙකුත් සංශෝධන ඉදිරිපත් කෙරිණ. ඒ අනුව දළදා මාලිගාවේ දියවඩන නිලමේව පළාතේ මහනුවර දිස්ත්‍රික් කොමිටිවල සාමාජිකයින් ද අස්ගිරි හා මල්වතු දෙපාර්ශ්වයේ මහානායක හිමිවරුන් මඟින් ද මහනුවර ආදායම් පාලක කොටසේ සිටින බෞද්ධ ආගමික රටේ මහත්වරුන්ගෙන් ද බස්නායක නිලමේවරුන්ගේ ද ඡන්දයෙන් පත් කිරීම සඳහා ඒ අනුව කටයුතු යෙදිණ. එලෙසම දියවඩන නිලමේවරයකු පත් කිරීම සම්බන්ධයෙන් 1956 යෙදුන සංශෝධන අනුව රජයේ මහාභාරකාරතුමා විසින් එම නිලය පුරප්පාඩු වූ විට එතැන් සිට මාස තුනක් ඇතුළත මල්වත්ත මහා විහාරයේත් අස්ගිරි මහා විහාරයේත් මහනායක හිමිවරුන් ද කන්ද උඩරට අදිකාරීවරුන් හා දිසාවේවරුන් ද රටේ මහත්වරුන් ද මහනුවර දිස්ත්‍රික්කය තුළ සිටින ප්‍රාදේශීය ආදායම් නිලධාරීන් ද මධ්‍යම පළාතේ සියලු ම දේවාලවල සිටින බස්නායක නිලමේවරුන් ද වෙනත් ආදායම් වැඩි පන්සල්වල භාරකාරතුමන්ලා ද රැස්වීමකට කැඳවිය යුතු වන්නේ ය. මෙම රැස්වීම සඳහා කැඳවීම් පත්‍ර රැස්වීමට මසකට පෙර ලියාපදිංචි තැපෑලෙන් යැවීමට මහාභාකාරතුමා විසින් කටයුතු කළ යුතු වේ. එම රැස්වීමේ දී එම පුරප්පාඩු සඳහා රහසිගත ඡන්දයක් විමසනු ලැබේ. එම අවස්ථාවේ දී නම් කීපයක් නොමැතිව එක නමක් පමණක් යෝජනාවක් වශයෙන් ඉදිරිපත් වූවහොත් එම තැනැත්තාට දියවඩන නිලමේ ලෙස මහාභාරකාරතුමා විසින් ප්‍රසිද්ධියට පත් කරනු ලැබේ. නොඑසේම වැඩි ගණනක් ඉදිරිපත් වුවහොත් වැඩි ඡන්ද ලැබූ තැනැත්තාව දියවඩන නිලමේ වශයෙන් ප්‍රසිද්ධියට පත් කෙරේ. එම පත් කිරීමෙන් පසුව මසක් ඇතුළත දී එම පත්වීම් සම්බන්ධයෙන් ලිඛිත ලිපියක් ද නිකුත් කෙරේ.

එම තනතුර සඳහා ඉල්ලුම් කිරීමට හැකි වන්නේ නිශ්චල දේපලවලින් රු.1,000.00කට නොවැඩි වටිනාකම් ඇත්තකු විය යුතු හෝ වාර්ෂික ආදායම් රු.500 වැඩි අය විය යුතු වන්නේ ය. තවද හොරමැරකම්, වංචා ආදියට වැරදිකරුවකු වූ අයට මේ සඳහා ඉල්ලුම් කළ නොහැක. තවද හේ රජයේ සේවකයෙකු වන්නේ නම් ඔහුට ඉල්ලිය නොහැක. එලෙසම යමෙකු පන්සලේ පරවෙනි ඉඩම් භුක්තිකරුවෙකු හෝ බදුකරුවකුව සිටින්නේ නම් ඔහුට ද ඉල්ලිය නොහැක. එලෙසම, වයස අවුරුදු 70ට වඩා වැඩි අපේක්ෂකයන් මෙම තනතුර සඳහා අයදුම් කරනු ලබන අවස්ථාවන්හි දී මහාභාරකාරතුමා වෙතින් අනුමත කිරීමේ ලිපියක් ලබාගෙන තිබිය යුතු වන්නේ ය. මේ ආදී සුදුසුකම් තෝරා ගැනීමේ අපහසුතාවයක් ඇති වුවහොත් විහාරාධිපතිතුමා ඉල්ලා සිටින නියෝජිතයකු මහාභාරකාරතුමා විසින් පත් කරනු ඇත.

මෙම දියවඩන නිලමේ පිළිබඳ යම් කිසි චෝදනාවක් එල්ල වූ විට ඒ පිළිබඳ නඩු ඇසීමේ බලය මහාභාරකරතුමා සතු වන්නේ ය. එලෙසම යම් කිසි නිලමේවරයෙක් ඔහුගේ යම් කිසි දුර්වලකමකින් හෝ යම් හේතුවක් මත එම නිලය පුරප්පාඩු වුවහොත් මහාභාරකාරතුමාට ඒ වෙනුවෙන් වි.දේ. ආඥා පනත අනුව වෙනත් අයකු පත් කිරීමේ බලය ඇත. ඒ අතර එම නිලය සඳහා වැඩ බැලීමේ පදනම මත කෙනකු පත් කිරීමට ද ඔහුට බලය ඇත. මේ පත්වීම සඳහා මහානායක ස්වාමීන් වහන්සේලාගේ අනුමැතිය ලබා ගත යුතු වන්නේ ය.

දියවඩන නිලමේවරයෙකු පත්වීමේ සිට වසර දහයක සේවා කාලයක් එම නිලයේ එම තනතුර දැරීමට 1981 අංක 18 බෞද්ධ විහාර දේවාලගම් සංශෝධන පනතින් අනුමැතිය දී ඇත්තේ ය. මේ හැරුන විට දළදා මාලිගාවේ සස්තක කටයුතු පිළිබඳව මූලික වගකීම දියවඩන නිලමේ සතු වන්නේ ය.

(කර්තෘ: ජී.එච්. ආරියසේන)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=දියවඩන_නිලමේ&oldid=5133" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි