ධර්‍ම ප්‍රදීපිකාව

සිංහල විශ්වකෝෂය වෙතින්
11:54, 19 මාර්තු 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('1. ධර්‍මය පිළිබඳ කරුණු ප්‍රකාශ කරන ග්‍රන්ථයක්...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

1. ධර්‍මය පිළිබඳ කරුණු ප්‍රකාශ කරන ග්‍රන්ථයක් හෙයින් මේ පොතට ධර්‍ම ප්‍රදීපිකා යන නම ඉතා සුදුසු ය. කතුවරයා මේ පොත හැඳින් වූයේ 'ධර්‍ම ප්‍රදීපිකා නම් මහා බෝධි වංශ පරිකථා' (අමාවතුර 125 පි.) යනුවෙනි. පාලි මහා බෝධිවංශයෙහි පරිකථා හෙවත් විස්තර වර්‍ණනා ලිය යුතු පද වැනූ හෙයින් මහා බෝධිවංශ පරිකථා යන සාමාන්‍ය නම් ද පොතට ගැලපේ. එහෙත් බහුලව ප්‍රකට වන්නේ ධර්‍ම ප්‍රදීපිකා යන විශේෂ නාමයෙනි.

2. පාලි මහා බෝධිවංශය ඉගෙන ගන්නා සිංහල විද්‍යාර්ථීන් කෙරෙහි ග්‍රන්ථ කර්‍තෘවරයා තුළ පැවැති දයාවත් බුද්ධ ධර්‍මය වටහා ගැනීමේ උත්සාහයත් මේ පොත තැනීමට හේතුයි.

3. මේ පොත ලීවේ ගුරුළුගෝමී පඬිතුමායි. එතුමා පොළොන්නරු යුගයෙහි අවසාන භාගයෙහි සිටි කීර්තිධර බහුශ්‍රැත ගෘහස්ථ පඬිවරයෙකි.

4. මෙහි ප්‍රමාණය ඩිමයි පිටු 355කි. මෙහි පරිච්ඡේද යොදා ඇත්තේ පාලි බෝධිවංසයෙහි පරිච්ඡේද අනුව ය. මෙහි ඇත්තේ පාලි බෝධිවංස පාඨ 205කි. පරිකථා ලියන ලද්දේ ඒ පාඨවලට ය.

5. බුද්ධ ධර්‍මයෙහිත් සිංහල භාෂාවෙහිත් උසස් දැනීමක් ලද හැකි පරිදි මේ පොත ලියා ඇත.

6. ගුරුළුගෝමී පඬිතුමා සිටි කාලය ඉඳුරා කීමට පුළුවන. එහෙත් පොළොන්නරු අවධියෙහි එතුමා සිටියේ යයි ද මේ පොත එකල රචිත යයි ද සලකනු ලැබේ.

7. මේ ග්‍රන්ථය ව්‍යාඛ්‍යානයකි. එහෙත් මෞලික රචනාවක ස්වයං ප්‍රතිභානයෙන් රචනා කරන ලද පොතක මෙන් විෂය විලාසය වර්‍ණනා විචාර අතින් නව රස, නව හැඟීම් පහළ වන්නේ ය. ඊට හේතුව ගුරුළුගෝමී පඬිතුමාගේ පෘථුල පාණ්ඩිත්‍යය ද සහජ කවිත්වය ද කලා ප්‍රවීණත්වය ද ප්‍රතිභා ශක්තිය ද ධර්‍ම ඥානය ද විචාර බුද්ධිය ද වේ.

පාලි බෝධිවංශයෙහි හැම පදයකට ම පරිකථා ලිවීම ගුරුළු පඬිතුමාගේ පිළිවෙළ නොවේ. එතුමා එයින් පාඨ 205ක් තෝරා ගෙන ඒවා අනුව ත්‍රිපිටක ධර්‍මයෙන් ද ග්‍රන්‍ථාන්තරයෙන් ද දර්‍ශනාදියෙන් ද ප්‍රමාණ පාඨ සාධක වශයෙන් හේ උදාහරණ වශයෙන් හෝ උපුටා දක්වමින් උපමා අලංකාර පද ගෙන හැර පාමින් බණ පොතක ද කාව්‍ය කෘතියක ද විස්තර ව්‍යාඛ්‍යානයක ද ධර්‍ම කෝෂයක ද ස්වරූපය ගන්වමින් රචනා කරන ලද මහඟු ග්‍රන්‍ථයකි.

පාලි බෝධිවංශය ඉගෙන ගන්නන්ට එහි ඇතුළත් යම් යම් කරුණු ගැන බැහැර පොත්පත් ගණනාවකින් සොයා ගත යුතු විස්තර මෙහි නිරායාසයෙන් දැන ගන්නට සලස්වා තිබේ. ධර්‍ම ප්‍රදීපිකාව සිංහල පොතක් වුව ද එහි සඳහන් වන ඇතැම් විස්තර හොඳින් අවබෝධ කර ගත හැක්කේ පාලි සංස්කෘත භාෂා ද දන්නා අයට ය. ථෙරවාද මතය ගරු කළ සිංහලාචාර්යවරයකු වශයෙන් ගුරුළු පඬිතුමා හැඳින්විය හැකි වුව ද මෙහි ලා කරුණු තහවුරු කරනු පිණිස සෙසු බෞද්ධ නිකායිකයන්ගේ පොතපතින් පාඨ උපමා ආදර්‍ශාදිය උපුටා දක්වා තිබේ. ධර්‍ම කීර්ති ආර්යශූර චන්‍ද්‍රගොමි ආදී බෞද්ධ සංස්කෘත පඬිවරුන්ගේ කෘති මෙතුමාට ඉතා පුරුදු බව එයින් පැහැදිළි වේ. ශ්‍රී හර්‍ෂදි සංස්කෘත කවීන්ගේ කෘතිවලින් ද මේ පොතට නිදසුන් ගෙන තිබේ. ත්‍රිපිටක පෙළ අටුවා ප්‍රකරණ ග්‍රන්‍ථ රාශියක් ම මෙහිලා ආශ්‍රිත බව ප්‍රකට වේ. විශේෂයෙන් ම ජිනාලංකාරය හා එම වර්‍ණනාව මෙහි දී උදව් කර ගත් බව පෙනේ.

ධර්‍ම ප්‍රදීපිකාවෙන් පුරාතන සිංහල උගතුන්ගේ ග්‍රන්‍ථ ඥානය හා ස්මෘති ශක්තිය ප්‍රකට වේ. විශේෂයෙන් මෙහි පෙනෙන පරිකථා ගුරුළුගෝමීහු ධර්‍ම විශාරදත්‍වය එළි කරයි. සුළු කලිගු වැනි වැනුම් එතුමාගේ කවීත්‍වය පිළිබිඹු කරයි.

මෙහි භාෂා විලාසය මනහර ය. එහෙත් ප්‍රෞඪ ය. මෙය උගතුන් සඳහා ම ලියවූවක් හෙයින් සංස්කෘත තත්සම ශබ්ද බහුල වාක්‍ය සුලභ ය. පොළොන්නරු යුගයෙහි පෙළසකු රචනා විලාසය දෙක වෙන වෙන ම ද එකට ද යෙදීම සිරිතකි. මෙහිදු ඒ බව පෙනේ.

සිංහල භාෂා ඉතිහාසය තුලන කර බලන්නන්ට ධර්‍ම ප්‍රදීපිකාව මඟ පාදයි. ධ. අ. ගැටපදයෙහි තරමට නැතත් මෙහිඳු අනේපිඬු - අනේවඩු, ඉපිද - උපන්, ගදෙළ - ගදකිළි, රසාල් - රසානල, වෙණෙඳ - වෙළෙඳ වැනි විකල්ප ප්‍රයෝග දක්නට ලැබේ.

කෙස්ධයින්, පධන් භූමියැ, බොපැකිධමුන් වැනි ඉපැරණි යෙදුම් ද මෙහි ඇත. ගොඩ, ටොකු, ළිප, ලියදි, පුටුව වැනි මෙකල පවා ප්‍රචලිත වචන ද එහි ඇත. ඇය ද ගෙ, ඔවුහු පවා මා බුදුහයි ආදී යෙදුවා ද මෙහි පෙනේ. ධර්‍ම ප්‍රදීපිකාව ප්‍රශස්ත සංශෝධනයකට පත් කළේ රත්මලානේ ශ්‍රී ධර්‍මලොක, ශ්‍රී ධර්‍මමාරාම මාහිමි වරයන් දෙපොළ විසිනි. 1886 සිට කීපවරක් මෙය ශොධිත ය.

මේ සඳහා තැනූ පිරිවාර පොත්

ධර්‍ම ප්‍රදීපිකා විවරණය - යටිපහුවේ වෙධානන්‍ද,

දෙවුන්දර ශ්‍රී සාහිත්‍ය කථා III - කොටහේනේ පඤ්ඤාකිත්ති

(කර්තෘ: ඩී.සී. දිසානායක: 1956)

(සංස්කරණය නොකළ)