නිඝණ්ටු ග්‍රන්‍ථ

සිංහල විශ්වකෝෂය වෙතින්
15:19, 28 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('නිඝණ්ටුවලට ද්‍රව්‍ය ගුණ යනු ද තවත් නමෙකි. මේ න...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

නිඝණ්ටුවලට ද්‍රව්‍ය ගුණ යනු ද තවත් නමෙකි. මේ නිඝණ්ටු හුදෙක් ද්‍රව්‍ය ගුණ පමණක් විස්තර කරන්නේ නොවේ. ඇතැම් ඒවා ඒ ඒ ද්‍රව්‍යය නොයෙක් නොයෙක් පලාත්වල විවිධ භාෂාවන්ගෙන් හැඳින්වෙන සංඥනාම පැහැදිලි කරයි. පර්‍ය්‍යාය නාම වශයෙන් හැඳින්වෙන්නේ ඒවායි. ඇතැම් පර්‍ය්‍යාය නාමයන්ගෙන් ද්‍රව්‍යයේ ප්‍රභවය හැඳින්වෙන අතර ඇතැම් ඒවායින් ද්‍රව්‍යයේ ගුණ ද ඇතැම් ඒවායින් ද්‍රව්‍ය පිළිබඳ හැඳින්වීම ද කරයි. අද්‍රිජ, ශෛලෙය ශිලාත්මජ යනුවෙන් හඳුන්වන්නේ පර්‍වතවල හටගන්නා බවයි. රෙචක, මදකාරී, කෘමිඝන යන නම්වලින් හැඳින්වෙන්නේ ගුණයි. යුගල පත්‍ර, යමලච්ඡද, ත්‍රිකණ්ම, කණ්ටකාරී යන මේවා ද්‍රව්‍යයේ හැඩය කියයි. මේ නිඝණ්ටු ග්‍රන්‍ථයන්හි කරුණු විස්තර කරන අයුරු ය. ද්‍රව්‍ය පිළිබඳ විශේෂ ගුණ විස්තර ඇතැම් නිඝණ්ටුවල දීර්‍ඝ ලෙස දැක්වේ. වෛද්‍ය නිඝණ්ටු ග්‍රන්ථ කීපයක් නම් කරතොත් ඒ මෙසේ කළ හැකියි.

I. ධන්වන්තරී නිඝණ්ටුව

මෙහි කර්තෘ කාසිරාජ ධන්වන්තරීය. පසු කළෙක මෙතුමාගේ ශිෂ්‍යයෙක් මෙය සංග්‍රහ කොට එය 'ද්‍රව්‍යාවලී' නමින් හඳුන්වා තිබේ.

III. මදන විනෝද හෙවත් මදනපාල නිඝණ්ටුව

මෙහි කර්‍තෘ කච්ඡ දෙශයේ රජු වූ මදනපාල ය. මෙතුමා සිය ග්‍රන්‍ථයේ ලොකු කුඩා බොහෝ නිඝණ්ටු ගැන සඳහන් කරයි. එහෙත් ඒවා එකකුදු අද හමු නොවේ.

III. රාජ නිඝණ්ටුව

කර්‍තෘ නරහරි පණ්ඩිත ය. මෙහි සඳහන් කරුණු කාශ්මීර දේශීය භාෂාවෙන් පවසන අතර ද්‍රව්‍ය නාමයන් කර්‍ණණාට සහ මහා රාෂ්ට්‍ර භාෂාවන්ගෙන් දැක්වේ. ඊට ධන්වන්තර නිඝණ්ටු, මදනපාල නිඝණ්ටු, හලායුධ නිඝණ්ටු, විශ්ව ප්‍රකාශ නිඝණ්ටු අමර කෝෂ, ශෙෂරාජ නිඝණ්ටු යන මේවායින් කරුණු ගෙන ඇති සේ සැලකේ. චක්‍රපාණිගේ ද්‍රව්‍ය ගුණ සංග්‍රහ, රාජ වල්ලභ වෛද්‍යගේ රාජ වල්ලභ නිඝණ්ටු, සොඩලගේ සොඩල නිඝණ්ටු, මාධවගේ රත්නමාලා, චන්‍ද්‍රනාදනගේ ගණ නිඝණ්ටු, වොප දෙවගේ හෘදය ප්‍රදීප, මුදගලගේ ද්‍රව්‍ය රත්නාකර නිඝණ්ටු, කෙය දෙවගේ රත්නාකර නිඝණ්ටු, කෙශවගේ සිද්ධ මන්ත්‍ර යන මේවා තවත් නිඝණ්ටු කීපයකි. ලංකාවේ ලියැවුණු පොත් වශයෙන් සරස්වතී නිඝණ්ටුව, වනවාස නිඝණ්ටුව සහ සිදෙඖෂධ නිඝණ්ටුව සඳහන් කළ හැකි ය.

(කර්තෘ: ඒ.ඩබ්ලිව්. විලියම් අල්විස්)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නිඝණ්ටු_ග්‍රන්‍ථ&oldid=4875" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි