නියම්ජෙටු

සිංහල විශ්වකෝෂය වෙතින්
12:31, 27 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('පුරාණ නිල නාමයකි. අර්ථය නිශ්චිත වශයෙන් දෙආකාර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

පුරාණ නිල නාමයකි. අර්ථය නිශ්චිත වශයෙන් දෙආකාරයෙකින් බිඳ ආවක් සේ දක්වා ඇත. සංස්කෘත 'නිගම ජේෂ්ඨ' ශබ්දයෙන් වෙළෙඳ පොළෙක ප්‍රධානියා යන අරුත් ද 'නියම ජේෂ්ඨ' යන ශබ්දයෙන් 'නීතිය දත් අය' යන අරුත් ද දෙන බව පෙනේ.

සීගිරි ගී අතුරින් 49 වැන්නේ සඳහන් "බුද්ගමු වෙහෙර නියම් පෙට් නා සගය මිලීම්" යන පාඨයට අරුත් දක්වන මහාචාර්ය පරණවිතාන පාළි 'නියගම ජෙට්ඨක' ශබ්දයෙන් විහාර නිලධාරියකු කියැවෙන බව ද මෙකී පාඨයේ සඳහන් වන්නේ බුද්ගමු වෙහෙර ප්‍රධාන පරිපාලකයා බව ද සඳහන් කොට ඇත. හතරවැනි මිහිඳුගේ මිහින්තලා ලිපියේ දෙවැනි කොටසේ ද නියම් ජෙටුවකු ගැන සඳහන් වේ. "නියම් ජෙටක් හට් ජිවෙල් පස් කිරියක් ඉසා..." ආදි වැ එකී පාඨ ගැන අදහස් දක්වන මහාචාර්ය පරණවිතාන මෙකී ශිලාලේඛනයෙන් විහාරස්ථානයක පරිපාලනය ගැන කෙරෙන මහා විස්තරය සලකා නියම (විධානය) කරන්නා යන අරුත් දී ඇත.

සුමංගල ශබ්ද කෝෂයේ ද නියම් ජෙට් යනු නියම කිරීමේ ප්‍රධානියා ය යන අරුත් දී ඇත. මහාචාර්ය පරණවිතානගේ මතය තහවුරු කිරීමට ස්ථිර වශයෙන් නියම යන්නෙන් 'නීතිය' අදහස් කරන බවට ජේතවනාරාම සංස්කෘත ශිලා ලේඛනයක් නිදසුන් දක්වයි. ගැල්නායක හා නැව් නායක යන අර්ථ දෙක නියාමක ශබ්දයෙන් විහාරස්ථානයක ප්‍රධාන කාර්ය සංවිධානයකයාට මේ නාමය යොදන ලද ද නැතහොත් නියම ශබ්දයෙන් සකසා ගත්තා දැයි සැක සහිත බව මැද උයන්ගොඩ විමලකිත්ති හිමියෝ අදහස් පහළ කරති. කෙසේ වුව ද නියම් ජෙටු යන්නෙන් විහාරයෙක පරිපාලන ප්‍රධානියා අදහස් කළ බව එකී නාමය යෙදී ඇති තැන් ගැන සලකන විට පැහැදිලි වේ.

මැද උයන්ගොඩ විමලකිත්ති හිමියන් දක්වන කරුණු අනුව පහත් සේවකයන්ට කටයුතු නියම කරන්නන්ගේ ප්‍රධානියා වූ මොහු ශ්‍රීපාද පාලනයේ ප්‍රධාන ගිහි මුලාදෑනියාට සමාන අයෙකි. අද පවා භික්ෂූන් වහන්සේ විශාල සංඛ්‍යාවක් සිටින පිරිවෙන් ස්ථානවල පරිපාලනය භාර වැඩිමහලු භික්ෂූන් වහන්සේලා සිටින බව පෙනේ. ඒ අනුව නියම් ජෙටු වූයේ භික්ෂූන්වහන්සේ කෙනකු යයි සිතා ගත හැකි ය. මිහින්තලා ලිපියේ සඳහන් වනුයේ මිහින්තලයේ අභයගිරි පක්ෂයේ කාර්යය සංවිධායකයා ය. ශ්‍රී පාද පාලනයේ මෙන් ම පැපිලියාන විහාර පාලනයේ නිලධාරී මණ්ඩලයේ ද ප්‍රධානියා විදානේ කෙනෙකු වූ හෙයින් මිහින්තලා ලිපියේ සඳහන් වන්නේ ද එකී විදානේ බව මැද උයන්ගොඩ විමලකිත්ති හිමියන් දක්වන මෑත අතීතයේ එසේ විදානේ නම් ගිහියකුට එකී තනතුර ලැබුණ නමුත් ඈත අතීතයේ භික්ෂුවකට එකී තනතුර නොලැබුණැයි ඇදහිය හැකි නොවේ.

ආශ්‍රිත ග්‍රන්ථ

සිංහල ආණ්ඩුව - මැද උයන්ගොඩ විමලකිත්ති හිමි

ශිලා ලේඛන සංග්‍රහය - මැද උයන්ගොඩ විමලකිත්ති හිමි

ශ්‍රී සුමංගල ශබ්දකෝෂය - පණ්ඩිත වැලිවිටියේ සෝරත හිමි

(කර්තෘ: පණ්ඩුල ඇඳගම)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නියම්ජෙටු&oldid=4827" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි