නියැන්ඩතාල් මානවයා

සිංහල විශ්වකෝෂය වෙතින්
13:00, 27 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('(Neanderthal). ඉහල ප්ලයිටොසින යුගයේ මුල් අවධියේ දී යුර...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

(Neanderthal). ඉහල ප්ලයිටොසින යුගයේ මුල් අවධියේ දී යුරෝපයේ පළාත් කීපයකත් මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශ කීපයකත් වාසය කළ මානව කොට්ඨාශයක් මෙනමින් හැඳින්වේ.

මෙම මානවයන්ට අයත් යැයි විශ්වාස කෙරෙන ඇට කොටස් මුලින් ම සොයා ගන්නා ලද්දේ 1856 දී ජර්මනියේ නියැන්ඩර් ගං නිම්නයේ ගුහාවකිනි. එහෙත් එම නම මුල් කරගෙන මෙම මිනිස් කොට්ඨාසය නියැන්ඩතාල් මානවයන් යන නමින් හඳුන්වන ලදි. 1886 දී බෙල්ජියම් ගල් ගුහාවක ද තිබී මීට සමාන වූ මිනිස් ඇට සැකිලි කොටස් ගල් ආයුධ හා සතුන්ගේ ඇට කොටස් ද සොයා ගනු ලැබිණි. මේවා ද ආධාර කරගෙන මිනිස් පරිණාමය පිළිබඳ කරන ලද පර්යේෂණයන්ගෙන් නියැන්ඩතාල් මානවයන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය වී තිබේ.

නියැන්ඩතාල් මානවයන් බිහි වූ කාලය හා ස්ථානය නියත වශයෙන් ම තව ම සොයා ගෙන නැත. එමෙන් ම ඔහුගේ මුතුන්මිත්තන් පිළිබඳව ද තොරතුරු සොයාගෙන ඇත්තේ මඳ වශයෙනි. නියැන්ඩතාල් මානවයන්ගේ මුතුන් මිත්තෝ ඇතැම් විට යුරෝපයේ රිස් () ග්ලැසියර් අවධියේ වාසය කරන්නට ඇත. එම යුගයට අයත් හිස් කබල් හා ශරීරයේ ඇට කොටස් සුළු ප්‍රමාණයක් ප්‍රංශයෙන් සොයාගෙන තිබේ. එහෙත් සොයාගෙන ඇති ඇට කැබලි සංඛ්‍යාව ඉතා සීමිත හෙයින් ඒ පිළිබඳව ස්ථිර නිගමන ඉදිරිපත් කිරීම දුෂ්කර වී තිබේ.

නියැන්ඩතාල් මානවයන් ලෙස හඳුනාගෙන ඇති පැරණි ම ජන කොට්ඨාසය තුන්වැනි අන්තර් ග්ලැසියර් යුගයේ දී යුරෝපයේ වාසය කළ බවට සාධක තිබේ. ඔවුන්ගේ හකු, දත් හා හිස්කබල් කැබලි චෙකොස්ලෝවැකියාවේ, ජර්මනියේ, ප්‍රංසයේ හා ඉතාලියේ ස්ථාන කීපයක තිබී සොයා ගන්නා ලදී. ඒ අනුව නිගමනය කළ පරිදි ඔවුන්ගේ ශරීර ලක්ෂණ වූයේ තරමක් කුඩා කපාල අවකාශය () කෙටි, පටු, හොඳින් නැමුණු කපාල කුහරය () තරමක් විශාල කම්මුල් ඇට හා මඳ වශයෙන් නැමුණු අත් පා ඇට ය. මුහුණේ හා හිසේ හැඩය අනුව ඔවුන් තරමක් දුරට නූතන හෝමෝසේපියන් ජනයාට සමාන කමක් දැක්වුව ද, නූතන මිනිසාගෙන් ඔහු වෙන් කළ ශාරීරික ලක්ෂණ රැසක් දක්නට ලැබිණි.

හතරවන ග්ලැසියර් යුගයට අයත් නියැන්ඩතාල් මානවයන්ගේ යයි පිළිගන්නා ලද විවිධාකාර සම්පූර්ණ ඇට කැබලි රාශියක් ද සොයාගෙන තිබේ. අන්තිම ග්ලැසියර් යුගයට පසු පැමිණි ආරම්භක අවධිය තුළදී එනම් වසර 85,000 හා 35,000 අතර කාලයට ඉහත දී ඔවුන් ජීවත් වන්නට ඇත. මොවුන් ගල්ගුහාවල ඉදිරිපස ගලින් ආවරණය වූ ප්‍රදේශ ජීවත් වීම සඳහා තෝරා ගන්නට ඇත. එමෙන් ම මළවුන් වැලලීමේ සිරිත ද ඔවුන් අතර පැවැති බවට සාක්ෂි තිබේ. දඩයම හා ආහාර ද්‍රව්‍ය රැස් කිරීම ජීවනෝපාය කරගත්, හුදකලා ජන සමූහ වශයෙන් බටහිර ආසියාවේත් යුරෝපයේ උතුරු ප්‍රදේශය හැරුණු විට සෙසු ප්‍රදේශවලත් උතුරු අප්‍රිකාවේ මධ්‍යධරණී මුහුද අවට ප්‍රදේශවලත් ජීවත් වූහ.

ඔවුන් ජීවත් වූ ස්ථාන පිළිබඳ ව කර ඇති ගවේෂණයන්ගෙන්, ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳ ව සොයාගැනීමට හැකි වී තිබේ. ඔවුන් ජීවත් වූ ගල් ගුහා මෙන් ම එළිමහන් ස්ථාන ද සිය ගණනක් හමු වී තිබේ. ඇතැම් ගල්ගුහාවල් ගල් ආයුධ ආධාර කරගෙන ජීවත් වීමට සුදුසු ආකාරයට සකස් කරගෙන තිබේ. ගිනි උදුන්වල නටබුන්, පිලිස්සුන පස් සහිත ප්‍රදේශ, අලු හා රත් වී පිපුරුන ගල් ආදිය ඔවුන් ගින්දර භාවිතා කළ බවට සාක්ෂි වේ. උගුල් ඇටවීමෙහි හා සතුන් දඩයම් කිරීමෙහි මනා හැකියාවක් ඔවුන් සතු වූ බව බහුල ව ඇති සත්ව ඇටවලින් ඔප්පු වේ. කුරුල්ලන්ගේත්, මත්ස්‍යන්ගේත්, ඇතැම් විට උරගයන්ගේත් පාෂාණගත වූ ඇට කොටස්, මේ සමඟ හමුවී තිබේ. ඔවුන් කෙතෙක් දුරට බෝග වර්ග ආහාරයට ගත්තේ ද යන්න, නිශ්චය කිරීම දුෂ්කර වී ඇත්තේ, ඒවායේ කොටස් සත්ව ඇට මෙන් කල් නොපවතින බැවිනි. එහෙත් බෝග වර්ග ඇඹරීමට හා තැලීමට යොදා ගන්නා ලද ගල් ආයුධ මොවුන් ජීවත් වූ ස්ථානවල තිබී හමුවී ඇත.

නියැන්ඩතාල් ජනයා ගල් ආම්පන්න තැනීමේ මනා දක්ෂතාවක් ඉසිලූ බව පෙනේ. ගල් මෙන් ම සතුන්ගේ ඇට ද උපයෝගී කරගෙන ඔවුහු ආයුධ තැනූහ. ලී වැනි වඩා ඉක්මනින් විනාශ වී යන ද්‍රව්‍ය ද උපයෝගී කරගත් බව පෙනේ. මෙම යුගයට අයත් ලී හෙල්ලක් ජර්මනියෙන් සොයාගැනීමට හැකිවී තිබේ. ඔවුන් විවිධාකාර ගල් ආයුධ සකස් කරගත් බව පෙනේ. හැඩයෙන් වෙනස් වූ එක ම කාර්යයක් සඳහා යොදාගත හැකි ගල් ආයුධ කීපයක් තිබීම ප්‍රදේශීය වශයෙන් වෙනස් ජන සමූහ කිපයක් තිබීමේ ප්‍රතිඵලයක් විය හැකි යයි ඇතැම් පුරාවිද්‍යාඥයෝ අනුමාන කරති.

මිනිසුන් වළ දැමීම ඔවුන් අතර පැවති බව පෙනේ. පුද්ගලයන් තනි තනි ව ම මෙන් ම සමූහ වශයෙන් ද වළ දැමීම කෙරුන බව වැඩිහිටි හා බාලයන්ගේ ඇට කැබලි එක ස්ථානයේ තිබීමෙන් හෙලිවේ. සිරුරු තබා තිබූ ආකාරය හා ඒවා සමඟ තබන ලද භාණ්ඩවලින් පෙනී යනුවේ ඔවුන් මළ තැනැත්තාට කිසියම් ගෞරවයක් හා සැලකිල්ලක් දැක්වූ බව ය. තවත් තැන්වල ඕනෑකමින් ම කඩා දමන ලද සේ පෙනෙන ඇට කැබලි තිබීමෙන් මිනීමස් කෑම ද තිබුනු බව සිතිය හැකි ය.

ආගමික පුද පූජා සඳහා යොදා ගන්නා ලදැයි සිතිය හැකි ආකාරයේ එළුවන්, වලසුන් ආදී සතුන්ගේ ඇට කැබලි ද මිනිස් ඇට කැබලි ද නියැන්ඩතාල් මානවයන් විසූ ස්ථානවල තිබී හමුවී තිබේ. නමුත් මේ අනුව ඔවුන්ගේ විශ්වාස හා පූජා විධි පිළිබඳ ව ස්ථිර නිගමනයන්ට බැසීම දුෂ්කර වේ.

නියැන්ඩතාල් මානවයන්ගේ කොටස් බහුල වශයෙන් ම හමුවී ඇත්තේ යුරෝපයේ බටහිර හා නිරිතදිග ප්‍රදේශවලිනි. මෙම ප්‍රදේශයේ වාසය කළ ජන කොට්ඨාසය පැරණි නියැන්ඩතාල් මානවයන් යන නමින් ද ඇතැම් විට හඳුන්වනු ලැබේ. බෙල්ජියම, ප්‍රංසය, ජර්මනියේ බටහිර ප්‍රදේශය, ස්පාඤ්ඤය, ඉතාලිය යන රටවලින් හමු වී ඇති ඇට කොටස් අනුව එම ප්‍රදේශවල ජීවත් වූ ජනයා ඇටසැකිල්ලේ සුවිශේෂ ලක්ෂණ අනුව එම යුගයේ ජීවත් වූ සෙසු ජන කොටස්වලට වඩා වෙනස් වූහ. ඔවුහු මිටි, මහත, ශක්ති සම්පන්න ජන සමූහයක් වූහ. ඔවුන්ගේ කපාල ධාරිතාව () ඉතා විශාල විය. පිටුපසින් පැතලි වූ දිග පහත් හා පළල් වූ කපාල කුහරයක් () ද, කුඩා කම්මුල් ඇට ද, විශාල දත් හා තල්ලක් () ද රවුම් වූ පළල් පපුවක් ද කෙටි කශේරුකාවක් ද () දිග සිහින් අක්ෂකයක් ද () ඔවුන් සතු විය. අත් හා පා විශාල වුවද ඇඟිලි කෙටි විය.

1864 දී මෙම මිනිස් වර්ගයට අයත් ඇටසැකිල්ලක් ජෙල්ඩිහෝජර් () ගුහාවේ තිබී සොයා ගැනීමෙන් අනතුරුව මෙම මිනිස් වර්ගය හෝමෝ නියැන්ඩතාලෙන්සිස් යන නමින් හඳුන්වන ලදී. එහෙත් දැනට සොයාගෙන ඇති කරුණු අනුව තීරණය කර ඇත්තේ ඔවුන් පුලුල් වූ ව්‍යාපත් වූ මානව වර්ගයක උපකොටස් පමණක් බව ය. ඔවුන් බටහිර යුරෝපයට පමණක් සීමා වූහ.

පැරණි නියැන්ඩතාල් ජනයා ලෙස හඳුන්වන මෙම ජන කොට්ඨාසය, යුරෝපයේ නිරිත දිග ප්‍රදේශයේ වාසය කළ අයගෙන් වෙන් වූ හුදකලා සමූහයක් වශයෙන් ජීවත් වන්නට ඇත්තේ අන්තිම ග්ලැසියර් අවධියේ මුල් යුගයේ පැවති දුෂ්කර දේශගුණික තත්ත්වයන්හි බලපෑම නිසා වන්නට ඇතැයි ඇතැම් විද්‍යාඥයෝ විශ්වාස කරති. ඔවුන් හුදකලාව ජීවත් වීම නිසා, සහාභිජනක () ඇතිවී ශාරීරික ව ඔවුන්ට ආවේනික වූ ලක්ෂණ ඇතිවන්නට ඇතැයි මෙම විද්‍යාඥයෝ විශ්වාස කරති. තවද දුෂ්කර දේශගුණික තත්ත්වයන්ගේ ප්‍රතිඵලයක් වශයෙන් ජනගහනය ක්‍රමයෙන් අඩු වී තැන්තට ම නැතිවී යන්නට ඇත.

එහෙත් මෙම සරල අදහස නියැන්ඩතාල් මානවයන් අතර දක්නට ලැබෙන සංකීර්ණ වෙනස්කම් පැහැදිලි කිරීමට ප්‍රමාණවත් නොවේ. මෑත දී කර ඇති පුරාවිද්‍යාත්මක කැනීම්වලින් නියැන්ඩතාල් මානවයන් අතර දක්නට ලැබෙන සංකීර්ණ වෙනස්කම් පැහැදිලි කිරීමට ප්‍රමාණවත් නොවේ. මෑත දී කර ඇති පුරාවිද්‍යාත්මක කැනීම්වලින් නියැන්ඩතාල් මානවයන් පිළිබඳ කරුණු රැසක් සොයාගෙන තිබේ. නියැන්ඩතාල් මානවයන් ලෝකයෙන් තුරන් වී ගියේ කුමන හේතුවක් නිසාදැයි තවම සොයාගෙන නැත. ඔවුන් ජීවත් වූ විවිධ ප්‍රදේශවලට විවිධ කරුණු බලපාන්නට ඇත. යුරෝපා රටවල කරන ලද ගවේෂණයන්ගෙන් පෙනී යනුයේ නියැන්ඩතාල් මානවයන්ට පසුව ජීවත් වූයේ ක්‍රෝමැග්නක් මානවයන් බව ය. නමුත් ඔවුන් එක ම කාලයේ එක ම ප්‍රදේශවල වාසය කලේදැයි ස්ථිර වශයෙන් ම දැක්වීම දුෂ්කර වී තිබේ. ඒ අනුව ක්‍රෝමැග්නන් මානවයන් විසින් නියැන්ඩතාල් පලවා හරින ලද බව හෝ එසේත් නැතිනම් ක්‍රෝමැග්නන් මානවයන් ජීවත් වූ කාලයේ නියැන්ඩතාල් ජනයා තැනින් තැන කුඩා සමූහ වශයෙන් පමණක් ජීවත් වූ බව හෝ නිශ්චිත වශයෙන් දැක්වීම අපහසු වී තිබේ.

අප්‍රිකාවේ සහරාවට දකුණින් පිහිටි ප්‍රදේශයේත් නැගෙනහිර හා ගිනිකොණ දිග ආසියාවේත් නියැන්ඩතාල් මානවයන්ට තරමක් සමාන හිස්කබලින් යුත් ජන කොටසක් වාසය කළ බව සොයාගෙන තිබේ. ඔවුන් හඳුන්වනුයේ නියැන්ඩතාලොයිඩ යන නමිනි.

(කර්තෘ: දේවිකා ප්‍රියදර්ශනී එදිරිවීර)

(සංස්කරණය නොකළ)