නීරාජනය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:01, 26 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('වර්ෂයක් පාසා ශරත් ඍතුවෙහි නාරායන ස්වකීය යෝග න...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

වර්ෂයක් පාසා ශරත් ඍතුවෙහි නාරායන ස්වකීය යෝග නිද්‍රාවෙන් අවදිවීමෙන් පසු මනුෂ්‍යලෝකවාසී නරපතීන් විසින් ඔවුන්ගේ ඇත්, අස්, භටාදීන් පවිත්‍රීකරණය සඳහා පවත්වන ලද ශාන්තිකර්ම විශේෂයකි. මෙය කරනු ලබන්නේ අශ්වයුජ (වප්), කාර්තික (ඉල්) යන මාසයක පූර්ව පක්ෂයේ 8-12-15 යන තිථියක ය. මේ සඳහා නගරයෙන් ඊශානදිග පිහිටි ප්‍රශස්ත භූමියක මංගල සම්මත දැව යෙදීමෙන් රියන් සොළොසක් උස ද දහයක් පළල ද ඇති තොරණක් නංවනු ලැබේ. ඊට නුදුරුව සල්, දිඹුල්, කුඹුක් යන ලීවලින් තනා කුශතණ අතුරා ධ්වජචත්‍රාදියෙන් අලංකාර කරන ලද දොරටු සහිත ශාන්ති ගෘහයක් තනනු ලැබේ. ඉන් පසු කහදියෙන් තෙමන ලද හුයකින් බදුල්ල ඇට, ඇල් කොට්ටන්, හෙළ අබ අශ්වයන්ගේ ගෙලවට බැඳ ශාන්තිගෘහය කරා ගෙනයති. එතැන් පටන් සතියක් ගතවනතුරු සූර්ය, වරුණ, විශ්වදේව, බ්‍රහ්ම, ඉන්ද්‍ර, විෂ්ණු යන දෙවිවරුන් සඳහා නිබන්ධිත මන්ත්‍ර පාඨ කියමින් ශාන්ති ගෘහය තුළ අශ්වශාන්තිය කරනු ලැබේ. මේ කාලය තුළ පෙර කී අසුන්ට තැළීම හෝ පරුෂ වචනයෙන් බැනීම නොකළ යුත්තකි. ඔවුන්ගේ භය දුරුවන පිණිස පුණ්‍යාහශබ්ද, ශංඛනාද, තූර්යවාදන, ගී ගැයීම ආදිය පැවැත්විය යුතු ය. අට වන දින උදාවත් ම තොරණට දකුණුදිග උතුරු දෙසට ප්‍රධාන දොරටුව තබා කුශතණ හා ගස්පොතු අතුරණ ලද ආශ්‍රමයක් තැනිය යුතුයි. මේ ආශ්‍රමය ඉදිරිපිට යඥීය වේදිකාවක් (අල්තාරයක්) නගා එහි ගිනි දල්වනු ලැබේ. ඉන්පසු සඳුන්, කොට්ටන්, වැල්මදට, හිරියල්, මනොශීල, පුවඟු, වදකහ, දැත්ත, රසකිඳ, ශොභාකූජන, කහ, ස්වර්ණ පුෂ්ප (රන්මල්), සිහින්මිදි, එලකටරොළු, පූර්ණකොශ, කටුකරොසන හෝ ආපසුමදු, ත්‍රායමාන, ගොඩමානෙල්, නාමල්රේණු, වඳුරු මෑ, හාතාවාරිය හා බෝදි ඇට, කළවල පුරවා නානාවිධ ඛාද්‍යවර්ග සමඟ ගින්නට පුදති. කිහිරි, කූල, දිඹුල්, ඇද්දෙමට හා ඇසතු යඥීය අග්නිය දැල්වීමට ගන්නා දැව ය. යඥීය හැන්ද රනින් හෝ රිදියෙන් කළහොත් ඉෂ්ටාර්ථ සිද්ධිය වන බව දැක්වේ.

මෙපරිද්දෙන් දල්වන ලද ගින්න ඉදිරිපිට නැගෙනහිරට මුහුණලා ව්‍යාඝ්‍රසමක් අතුරන ලද අසුනක රජතෙම අසුන්ගනී. රජු කැටුව අශ්ව වෛද්‍යයෙක් හා දෛවඥයෙක් පැමිණෙති. ඉන්පසු මංගල ලක්ෂණ සහිත අශ්වයකු හා ඇතකු නහවා, සුවඳ ගල්වා, මල්දම් ආදියෙන් සරසා, පුණ්‍යාහශබ්ද ශංඛනාද හා තූර්යවාදන පවත්වමින් ආශ්‍රමය අසල වූ තොරණ යටට ගෙන එති. එකල අශ්වයාගේ ඇතා දකුණු කකුල ඔසවා සිටී නම් එය රජු සතුරන් ජයගැනීමේ සලකුණකැයි ද භයින් තැතිගෙන සිටියොත් අනිෂ්ට ඵල ඇතිවීමට හේතුවේ යැයි ද කියත්. මීට අමතරව පුරෝහිතයා විසින් මතුරා අශ්වයාට දෙන ලද බත් පාත්‍රය අනුභවය හෝ ඉවකර සිඹීම කළහොත් රජුට ජයග්‍රහණය ද නැතහොත් පරාජය ද වේ යයි විශ්වාස කරති. ඉක්බිති පුරෝහිතයා දිඹුල් අත්තක් ගෙන කළයෙහි ජලයෙන් තෙමා ශාන්තික පෞඩික මන්ත්‍රාචාරණිය කරමින් ඇත්, අස්, සේනා හා රජුට ද එහි ස්පර්ශ්‍ය ලබන්ට සලස්වයි. නැවත මැටියෙන් කරන ලද සතුරාගේ රූපයක හෘදය අභිචාර මන්ත්‍ර ජපකරමින් හුලකින් සිදුරු කරයි. ඉන්පසු පුරෝහිතයා විසින් දෙන ලද කටකලියාව අසුට දමා රජතෙම ඌ පිට නැඟ සේනාව පිරිවරාගෙන ජයනාද පවත්වමින් උතුරු දිගට යාමෙන් නීරාජන ශාන්ති කර්මය අවසන් වේ.

අශ්වයුජ (වප්) මාසයේ 19 වන දින යුද්ධායුධ නීරාජනය කිරීම ද රජවරුන්ගේ යුද්ධ හා ආගමික චාරිත්‍රයක් වශයෙන් හැඳින්වේ. ප්‍රතිමාවක් ඉදිරිපිට ඊට ගෞරව කිරීමක් වශයෙන් පන්දම් ආදී ආලෝක වැනීම ද නීරාජන කර්මයක් වශයෙන් සලකති.

(කර්තෘ: ඩී.ආර්. සෙනෙවිරත්න:1957)

(සංස්කරණය නොකළ)

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නීරාජනය&oldid=4749" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි