නෙපත්‍ය

සිංහල විශ්වකෝෂය වෙතින්
09:42, 26 පෙබරවාරි 2024 වන විට Senasinghe (කතාබහ | දායකත්ව) ('සංස්කෘත නාට්‍යයේ ප්‍රභවය, නාට්‍ය සාහිත්‍යයට...' යොදමින් නව පිටුවක් තනන ලදි) විසින් සිදු කර ඇති සංශෝධන

(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
වෙත පනින්න: සංචලනය, සොයන්න

සංස්කෘත නාට්‍යයේ ප්‍රභවය, නාට්‍ය සාහිත්‍යයට අයත් කෘති හා නාට්‍ය රීතිය ගැන අදහස් දක්වන ඇතැම් විවේචකයෝ ඒවා රඟදැක්වීමට නොව කියවා රස විඳීමට පමණක් නිර්මාණය කළ සාහිත්‍ය කොටසක් ලෙස සලකති. එසේ වුව ද රචිත නාට්‍යවල සන්දර්භය රීතිය ගැන සලකා බලන විට ඒවා කියවීමෙන් නොව රඟ දක්වා රස විඳීම සඳහා සකස් වූ බව පෙනේ. මෙයට හොඳම නිදර්ශනය නම් නාට්‍ය ශාස්ත්‍ර නම් ග්‍රන්ථයෙහි නාට්‍ය මන්දිර හා එහි කොටස් පිළිබඳව ද එන විස්තරයයි.

‘නෙපථ්‍ය’ සංස්කෘත නාට්‍යයේ නිරන්තරයෙන් යෙදෙන්නකි. ‘නෙපථ්‍ය’ යන්නෙන් ආභරණය, සැරසිල්ල යන සාමාන්‍ය අරුත් දෙකක් නාට්‍යයෙහි දී මෙය යෙදෙන්නේ ඇඳුම් අඳින ස්ථානයටයි.

සංස්කෘත නාට්‍යාගාර නිර්මාණයේ දී නාට්‍ය මණ්ඩපය භූමි දෙකක් (ද්විභූමි) සහිතව නිර්මාණය කළ බව පෙනේ. නියමිත පූජා විධි පවත්වා නාට්‍යාගාරය නිර්මාණය කිරීමෙන් පසු එය කොටස් තුනකට බෙදනු ලැබේ. මෙයින් පළමුවෙනි කොටස නෙපථ්‍ය යනුවෙන් නම් කෙරේ. මෙය නළු නිළියන් ඇඳුම් ආභරණ ආදියෙන් සැරසී වේදිකාවට පැමිණීමට සූදානම් වන ස්ථානයයි. නාවඨ ශාස්ත්‍රයට අනුව, නෙපථ්‍ය ගෘහයෙහි දොරටු දෙකක් වේ. ඉන් එක දොරටුවකින් වේදිකාවට ඇතුළු විය හැකිය. අනික් දොරටුව රංග ශාලාව දෙසට මුහුණ ලා ඇත. සංස්කෘත නාට්‍යයේ තිරය භාවිතා කිරීම පිළිබඳ ස්ථිර නිගමනයකට බැසිය නොහැකි වුව ද තිරයක් භාවිත කළ බව ජවනිකා, තිරස්කරිණි, ජවනිකාන්තරිකෙ, පටී, අපමී ආදි වචන යෙදීමෙන් පෙනේ. ඉහත කී නෙපථ්‍ය ගෘහය ඇත්තේ මෙකියන තිරය පිටුපසය. නළු නිළියන්ගේ වේෂ නිරූපණය සඳහා පමණක් නොව නාට්‍යයට අදාළ වන අයුරින් අහසින් හෝ ඈතින් ඇසෙන හඬක් හෝ ශබ්දයක් ඇඟවීම නැතහොත් කිසියම් කලබලයක් කලකෝලහාලයක් හඟවන රාවයක් ඇඟවීම තිරය පිටුපස ඇති මෙම නෙපථ්‍ය ගෘහය තුළ සිට සිදු කළ බව පෙනේ. එපමණක් නොව සංස්කෘත නාට්‍යයෙහි එන ඇතැම් ගායනයන් ද නෙපථ්‍ය තුඝ සිට සිදු කළ බව පෙනේ. ශ්‍රී හර්ෂදේවයන්ගේ රත්නාවලී නාටකයේ මෙබඳු අවස්ථා එමට ඇත. නාට්‍යයට අදාළ ඇතැම් දෙබස්, මෙහි තුළ සිදුවන අතර ගෘහයක් වැනි ස්ථානයක් ඇඟවීම සඳහා ද නෙපථ්‍ය දෙස බලා ඒ පිළිබඳ ප්‍රකාශයක් කරනු ලැබේ. වර්තමානයේ මෙන් යම් නාට්‍යයකට අදාල ඇතැම් අංගෝපාංග වේදිකාවෙහි ඉදි නොකර අභිනය නාට්‍ය රංගනයෙහි දී උපයෝගී කර ගැන්ම මීට හේතු වූවා විය හැකිය.

නෙපථ්‍ය ගෘහය එනමින් නොයෙදුන ද පෙරපර දෙදිගම නාට්‍යාගාර තුළ දක්නට පුළුවන. සිංහල ගැමි නාටකයෙහි ඇඳුම් මඩුව යනුවෙනුත් බටහිර නාට්‍ය කලාවෙහි යන නම්වලින් හඳුන්වන්නේ මෙයයි. නළු නිළියන් වෙස් ගැන්වීම් සිදු කෙරෙනුයේ මෙහි දීය. සිංහල ගැමි නාට්‍ය විශේෂයෙන් නාඩගම් වේදිකාවට ගෙන ඒමේ දී වේදිකාව ඇත්තේ කොළ අතු විශේෂයෙන් අමු පොල් අතුවලින් ඉදිකරන ලද මෙම ඇඳුම් මඩුව ඉදිරිපිටය. ඇඳුම් මඩුව වේදිකාවෙන් වෙන් වන්නේ ශක්තිමත් ලෙස පොළවෙහි සිටුවන ලද කණුවලට තබා ඇණගසන ලද ලී පටි සහ අතුවලින් සකස් කළ වෙස් අත්ත නමින් හැඳින්වෙන තාවකාලික වෙන් කිරීමකිනි. එය සාමාන්‍යයෙන් මිනිසකුගේ උසට සරිලන සේ ඉදිකොට ඇති අතර නළුවකුට වේදිකාවට පැමිණීමට ඔහුගේ වාරය පැමිණෙන තෙක් එහි සැඟවී සිටිය හැකිය. ඇතැම් යන්ෂාවේශ චරිත මවා පාන්නෝ මෙම වෙන් කරන ලද කොටසේ උස් තැනක හිඳ බෙරවයන්නාගේ සංඥාව ලද වහාම ඉතා උස් හඬින් ගොරවමින් බිමට පනියි. මෙ ‘වෙස්අත්ත’ නම් කොටස එකල තිරය ඇරීම, වැසීම වෙනුවට භාවිත වූ බව පෙනේ. අනෙකුත් සාමාන්‍ය චරිත වේදිකාවට ඇතුළු වූයේ මෙම වෙන් කරන ලද කොටස් දෙපසිනි.

නාඩගම් නාට්‍ය කලාව කෙරෙහි බටහිර වේදිකාවෙහි ශිල්ප ක්‍රම තදින් බලපෑමත් සමඟ මේ ක්‍රම වෙනස් වී නවීන අංගෝපාංගවලින් යුත් නාට්‍යාගාර බිහි වීමෙන් මෙම ඇඳුම් මඩු ආදිය ද නූතන ක්‍රම හා අවශ්‍යතාවන් අනුව නිර්මාණය වී ඇති බව පෙනේ.

(කර්තෘ: රත්නා කුමාරි සෝමවීර:)

(සංස්කරණය නොකළ)

[[ප්‍රවර්ගය:]]

[[ප්‍රවර්ගය:]]

"http://encyclopedia.gov.lk/si_encyclopedia/index.php?title=නෙපත්‍ය&oldid=4756" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි